නිද්‍රාව හා ස්වප්න
චිත්ත චෛතසිකයන්ගේ ගිලන් බව, අලස බව, මැලි බව හේතුකොට ගෙන හෝ ගමනාදී ඉරියව් පැවැත්වීමෙන්ද, ගිලන් වීමෙන්ද ඇතිවන ශරීර පීඩාව සංසිඳවීම පිණිස ශරීරයට විවේකය ගෙනදීමට හෝ නිද්‍රාව ඇතිවන්නේය. මෙසේ නිද්‍රාවට පැමිණෙන පුද්ගලයාහට මනොද්වාරික චිත්තවීථියක් ඉපිද, ඉන්පසු භවඞ්ග පාතය වී නින්දට පැමිණෙන්නේය. කිසිවිටෙකත් පඤ්චද්වාරික චිත්තවීථියකින් නිද්‍රාවට නොපැමිණේ. නිද සිට පිබිදෙන කල්හිද පඤ්චද්වාරික චිත්ත වීථියකින් නොව මනොද්වාරික චිත්ත වීථියකින්ම පිබිදෙන්නේය.
ස්වප්න දක්නා පුද්ගලයාද මනොද්වාරික චිත්ත වීථියකින්ම ස්වප්න දකී. වරින් වර නිදමින් පිබිදෙමින් ගතවන අවස්ථාවට කපිමිද්ධ කපිනින්ද හෙවත් වඳුරු නින්ද යයි කියති. මේ කපිනිද්රා සමයේදී, අශෛක්‍ෂයන් හැර, ශෛක්ෂ පෘථග්ජන පුද්ගලයෝම ස්වප්න දකින්නාහුය. මෙසේ සිහින දක්නා කල්හි මනොද්වාරික චිත්ත වීථි පහළවී කුසලාකුසල ජවනයන්ද ඇතිවිය හැකියි. එවිට කාමාවචර මනොද්වාරික චිත්තවීථි, තදාරම්මණ ඇතිව හෝ නැතිව හෝ හටගනිත්. ඇතැම් විට ජවන, තදාරම්මණ නූපදනා දුර්වල ස්වප්න දක්නා මනොද්වාරික චිත්තවීථි පහළවන කල්හි, මනොද්වාරාවජ්ජන සිත දෙතුන්වරක් ඉපිද නිරුද්ධ වී භවඞ්ගපාතය වන්නේය.
.....න ද ම ම භ භ.....
එසේ උපදනා මනොද්වාරික චිත්ත වීථින්හි ඇතිවන කුසලාකුසල ජවනයෝ ඉතා දුර්වල බැවින් ප්රවෘත්ති විපාක පමණක්ම ගෙන දෙන බව සැලකිය යුතුයි.