කර්මස්ථාන
ධ්‍යාන සිත් අතුරෙන් ප්‍රථමධ්‍යාන කුසල විපාක ක්‍රියා චිත්තයෝ වනාහි දසකසිණය, දසඅසුභය, කායගතාසතියට අරමුණු වන්නාවූ කේශාදි කාය කොට්ඨාශ ප්රඥප්තිය, ආනාපාන සතියට අරමුණු වන්නාවූ ආශ්වාස ප්‍රශ්වාස ප්රඥප්තිය, මෙත්තා, කරුණා, මුදිතා සඞ්ඛ්‍යාත බ්‍රහ්ම විහාරත්රයට අරමුණු වන්නාවූ අනන්ත සත්ත්ව ප්රඥප්තිය යන පස්විසි (25) ප්රඥප්ති ප්‍රතිභාග නිමිත්ත සඞ්ඛ්‍යාත ධම්මාරම්මණයන් අතුරෙන් එක් අරමුණක් එල්බ ගෙණ හටගනිත්.
දුතිය, තතිය, චතුත්ථධ්‍යාන කුසල විපාක ක්‍රියා චිත්තයෝ, දසකසිණය, ආනාපාන සතියට අරමුණු වන්නාවූ ආශ්වාස ප්‍රශ්වාස ප්රඥප්තිය, මෙත්තා, කරුණා මුදිතා, සඞ්ඛ්‍යාත බ්‍රහ්ම විහාරත්රයට අරමුණු වන්නාවූ අනන්ත සත්ත්ව ප්රඥප්තිය, යන තුදුස් (14) ප්රඥප්ති ප්‍රතිභාග නිමිත්ත සංඛ්‍යාත ධම්මාරම්මණයන් අතුරෙන් එක් අරමුණක් එල්බගෙණ හටගනිත්.
අභිඥා වශයෙන් නොපවත්නාවූ පඤ්චමධ්‍යාන කුසල විපාක ක්‍රියා චිත්තයෝ, දසකසිණය, ආනාපාන සතියට අරමුණු වන්නාවූ ආශ්වාස ප්‍රශ්වාස ප්රඥප්තිය, උපෙක්ෂා බ්‍රහ්ම විහාරයට අරමුණු වන්නාවූ අනන්ත සත්ත්ව ප්රඥප්තිය යන දොළොස් (12) ප්රඥප්ති ප්‍රතිභාග නිමිත්ත සඞ්ඛ්‍යාත ධම්මාරම්මණයන් අතුරෙන් එක් අරමුණක් එල්බගෙණ හටගනිත්.
සතර අරූපධ්‍යාන අතුරෙන් ආකාශානඤ්චායතන කුසල විපාක, ක්‍රියා ධ්‍යානයෝ වනාහි ආකාශ කසිණය තොර කොට ඇති නව කසිණයන් අතුරෙන් එක් කසිණයක් උගුලුවා ලබන ලද ආකාශ ප්රඥප්තිය අරමුණු කොටගෙණ හටගනිත්.
විඤ්ඤාණඤ්චායතන කුසල හා විපාකධ්යානයෝ මේ වර්ත්මාන භවයෙහිද, අනන්තර පූර්ව භවයෙහිද අධ්යාත්මසන්තානයෙහි උපන්විරූ ආකාශානඤ්චායතන කුසල චිත්ත සඞ්ඛ්‍යාත මහග්ගතා රම්මණය එල්බගෙණ හටගනිත්.
විඤ්ඤාණඤ්චායතන ක්‍රියා චිත්තය වනාහි මේ භවයෙහිද, අනතුරු පෙර භවයෙහිද, තම සන්තානයෙහි උපන් ආකාශානඤ්චා- යතන කුසල චිත්තයද, මේ භවයෙහි තම සතන්හි උපන් ආකාශා නඤ්චායතන ක්‍රියා චිත්තයද යන මහග්ගතාරම්මණය එල්බගෙණ හටගනිත්.
ආකිඤ්චඤ්ඤායතන කුසල විපාක ධ්‍යානයෝ වනාහි ආකාශා නඤ්චායතන කුසල චිත්තයාගේ නත්ථිභාව සඞ්ඛ්‍යාත අභාව ප්‍රඥප් තිය අරමුණු කොටගෙණ හටගනිත්.
ආකිඤ්චඤ්ඤායතන ක්‍රියා චිත්තය, ආකාශානඤ්චායතන කුසල ක්‍රියා චිත්තයන්ගේ අභාව ප්රඥප්තිය අරමුණු කොටගෙණ හටගණී.
නේවසඤ්ඤානාසඤ්ඤායතන කුසල විපාකධ්යානයෝ මේ වර්තමාන භවයෙහිද අනතුරු පෙර භවයෙහිද, අධ්‍යාත්ම සන්තාන යෙහි උපන් ආකිඤ්චඤ්ඤායතන කුසල චිත්ත සඞ්ඛ්‍යාත මහග්ගතා රම්මණය එල්බගෙණ හටගණිත්.
නේවසඤ්ඤානාසඤ්ඤායතන ක්‍රියා චිත්තය වනාහි මේ භවයෙහිද අනතුරු පෙර භවයෙහිද තම සතන්හි උපන් ආකිඤ්චඤ්ඤායතන කුසල චිත්තයද මේ භවයෙන් තම සන්තානයෙහි උපන් ආකිඤ්චඤ්ඤා- යතන ක්‍රියා චිත්තයද යන මහග්ගතාරම්මණය එල්බගෙණ හටගණිත්.
භාවනානුයොගී පුද්ගලතෙමේ, මෙකී කමටහන් අතුරෙන් තම චරිතයට යොග්‍ය වූ අරමුණක් ලබාගෙණ භාවනා කරණ කල්හි, ඔහුට ධ්‍යාන ලැබීමට හේතු සම්පත් ඇත්තේවීනම්, ඔහුගේ භවඞ්ග චිත්තය ඤාණ සම්ප්‍රයුක්ත මහා විපාක සිත් සතරින් එකක්ම වන්නේය. භාවනාව සඵල වූ කල්හි, ප්‍රතිභාග නිමිත්ත සඞ්ඛ්‍යාත ධම්මාරම්මණය එල්බ ගෙණ චිත්ත වීථිය හටගැණිමේදී පළමුකොට භවඞ්ග චලනය, භවඞ්ගුපච්ඡෙදය, යන භවඞ්ග සිත් දෙක ඉපිද නිරුද්ධවූ පසු, ප්‍රතිභාග නිමිත්ත එල්බගෙණ මනොද්වාරාවජ්ජන සිත එක්වරක් ඉපිද නිරුද්ධ වේ. ඊට අනතුරුව ඤාණසම්ප්‍රයුක්ත කාමාවචර මහා කුසල් සිත් සතරින් එක් චිත්තයක් පරිකර්ම, උපචාර, අනුලෝම, ගෝත්‍රභූ යන නමින් සතර වරක් ඉපිද නිරුද්ධ වන්නේය. එයට අනතුරුව අර්පණා හෙවත් ධ්‍යාන සිත එක් වරක් ඉපිද නිරුද්ධ වීමෙන් පසු චිත්ත සන්තතිය නැවත භවඞ්ග වේ.
පරිකර්මාදි මේ සිත් සතර, ඉතාමත්ම පිරිසුදුවූ කාමාවචර කුසල් සිත් සතරකි. භාවනාමය කුසල කර්මය සිද්ධ කරන්නාවූ මේ සිත් සතරින් පළමුවෙනි සිත අර්පණාවට සිත පිළියෙල කිරීම් වශයෙන් පහළවන බැවින් එයට පරිකර්ම සිත යයි කියනු ලැබේ. එයට අනතුරුව උපදනා මහා කුසල් සිත, අර්පණාවට ඉතා නුදුරුවූද, ඉතා නොලංවූද අර්පණාවට සමීපව පිහිටි හෙයින් උපචාර සිත යයි ව්‍යවහාර වේ. එයට අනතුරුව උපදින සිත අර්පණා නොවූවත් එයට අනුකූල බව ඇති හෙයින් අනුලෝම යන නමින් හැඳින්වේ. මෙසේ මහා කුසල් සිත් තුනෙකින් පිළියෙලවී අර්පණාවට ලංකොට එයටම අනුකූලව වන සේ යෙදෙමින් නිරුද්ධ වූ කල්හි, කාමගෝත්රයෙන් එතර කරවමින් අර්පණාවට පමුණුවන්නාවූ ගෝත්‍රභූ චිත්තය ඉපිද නිරුද්ධ වේ.
කාම ගෝත්‍රය හෙවත් කාමලෝකයට අයත් බවය, පෘථග්ජන ගෝත්‍රය, හෙවත් පෘථග්ජන බවය යයි ගෝත්‍ර දෙකෙකි, ධ්‍යානයෝ රූපාරූප බ්‍රහ්ම ලෝක වලට ඇතුළත් බැවින් කාම බවෙන් වෙන්වම ලබාගත යුතු වේ. එබැවින් රූපාරූප ධ්‍යාන සිත් ඉපැද්- වීමට පෙර, කාම භවය හෙවත් කාම ගෝත්‍රය තාවකාලික වශයෙන් වත් නැසිය යුතු වේ. එබැවින් ධ්‍යාන චිත්තයට පළමුව උපදනා සිත කාම ගෝත්‍රය නැසීම කරණ හෙයින් එයට ගෝත්‍රභූ සිත යයි කියනු ලැබේ.
ආර්‍ය්‍ය භාවයට හෙවත් සෝවාන් මාර්ගයට පැමිණීමට පෙර පෘථග්ජන ගෝත්‍රය නැසිය යුතු වේ. ඒ නැසීම, ධ්‍යානයට පළමුව කාම ගෝත්‍රය නැසීම මෙන් නොව, පෘථග්ජන ගෝත්‍රයට නැවත නොපැමිණෙන සේ නැසීමය. එබැවින් මාර්ග චිත්ත වීථියෙහි යෙදෙන ගෝත්‍රභූ සිත පෘථග්ජන ගෝත්‍රය නසමින් ආර්‍ය්‍ය භාවයට පමුණුවන කාමාවචර මහා කුසල් සිතක් බව දත යුතුයි.
අර්පණා චිත්ත වීථියෙහි යෙදෙන්නාවූ මේ කාමාවචර මහා කුසල් සිත් සතරට උපචාර සමාධිය යයි ද උපචාර භාවනායයි ද, කියනු ලැබේ. ඒ සිත් අර්පණාවට ඉතා සමීපව පහළවන බැවින් උපචාර සමාධිය නම් වේ. උපචාර සමාධිය ලැබීමත් සමගම අර්පණා සමාධියද ලැබෙන බව දතයුතුයි.
තවද, පරිකර්ම, උපචාර, අනුලොම යන නමින් උපදනා කාමාව චර කුසල් සිත් තුනට ආසේවන සිත් යයි ද, පරිකර්ම සිත් යයි ද උපචාර සිත් යයි ද, අනුලොම සිත් යයි ද කියනු ලැබේ.
ගොත්රභූ චිත්තය ඉපිද නිරුද්ධවූ පසු භාවනා අරමුණවූ ප්‍රතිභාග නිමිත්ත සඞ්ඛ්‍යාත ධම්මාරම්මණය ගෙණ ප්‍රථමධ්‍යාන සිත උපදී. මේ ප්‍රථමධ්‍යාන චිත්තය වනාහී, කාම භවයෙහි බැඳ තබන්නාවූද ධ්‍යානය වළක්වන්නාවූද, කාමච්ඡන්දය, ව්‍යාපාද, ථිනමිද්ධ, උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා යන පඤ්ච නීවරණ ධර්මයන් විෂ්කම්භණ වශයෙන් ප්රහාණය කිරීමට උපකාර වන්නාවූ, විතක්ක, විචාර, පීති, සුඛ, එකග්ගතා සඞ්ඛ්‍යාත ධ්‍යානාඞ්ග පසකින් යුක්තව පහළවන්නාවූ ධ්‍යාන සිතකි. මෙයට අර්පණා සිත යයි ද කියනු ලැබේ. මෙසේ අර්පණා චිත්තයක්වූ පළමුවෙනි ධ්‍යාන සිත එක්වරක් ඉපිද නිරුද්ධවූ පසු, නැවත භවඞ්ග චිත්ත පරම්පරාව පහළ වන්නේය.
මන්දප්රාඥ, තික්ඛප්රාඥ යන පුද්ගලයන් අතුරෙන් තික්ඛ ප්‍රාඥ නම්වූ තීක්ෂ්ණ නුවණක් ඇති, වහා සිත එකඟ කර ගැනීමට ශක්තිය ඇති පුද්ගලයා හට නැවත නැවත මේ ධ්‍යානය උපදවමින් පුරුදුවූ කල්හි ඔහුගේ සන්තානයෙහි පහළ වන්නාවූ අර්පණා චිත්ත වීථියේ, ධ්‍යාන සිතට පූර්වභාගයෙහි ඇතිවන මහා කුසල් සිත් සතර අතුරෙන් පරිකර්ම සිත හට නොගන්නේය. භවඞ්ග චලන, භවඞ්ගුපච්ඡෙද මනෝද්වාරාවජ්ජන චිත්තයන්ට අනතුරුව උපචාර, අනුලොම ගොත්රභූ යන සිත් තුන පමණක් පහළවී ධ්‍යාන සිත හට ගන්නේය. මන්ද ප්‍රාඥයා හට වනාහී පරිකර්ම, උපචාර, අනුලොම, ගොත්රභූ යන සිත් සතරම පහළ වන්නාහ.
ප්‍රථමධ්‍යාන ලාභි පුද්ගල තෙමේ ඒ ධ්‍යානය ආවජ්ජන වසී සමාපජ්ජන වසී, අධිට්ඨාන වසී, උට්ඨාන වසී, පච්චවෙක්ඛණ වසී යන පස් ආකාරයෙන් පුරුදුකොට, ඒ ප්‍රථමධ්‍යාන සිත, කාමාවචර චිත්තයන්ට ආසන්න බැවින්ද, පඤ්චනීවරණ ධර්මයන් නැවත නැවත මතුවීමට අවකාශ ඇති බැවින්ද, ප්‍රථමධ්‍යානයෙහි දොස් දැක, දෙවෙනි ධ්‍යානය උපදවාගනු කැමැතිව, නැවතත් පුරුදු කර්මස්ඨානය ගෙණ භාවනාකොට රූපාවචර දුතියජ්ඣානය උපදවා ගන්නේය.
දෙවෙනි ධ්‍යාන සිත උපදින චිත්ත වීථියේද, පළමුවෙන් භවඞ්ග චලනය, භවඞ්ගුපච්ඡෙදය, මනෝද්වාරාවජ්ජනය, පරිකර්ම, උපචාර අනුලොම, ගොත්රභූ යන සිත් ඉපිද නිරුද්ධවූ කල්හි, විචාර, පීති, සුඛ, එකග්ගතා යන ධ්‍යානාඞ්ග සතරින් යුත් දුතියජ්ඣාන අර්පණා චිත්තය එක්වරක් ඉපිද නිරුද්ධ වීමෙන් චිත්ත වීථිය අවසන් වේ.
නැවත, ඒ දුතියධ්යානයද, පඤ්චවසිතාවෙන් පුරුදු කොට ගෙණ නැවත නැවතත් භාවනා වඩනා කල්හි ඒ දුතියධ්යානයාගේ දොස් දැක තුන්වෙනි ධ්‍යානය උපදවාගනු කැමැතිව වීර්‍ය්‍යය වඩන්නේය. එසේ වඩනා ලද භාවනාව සම්පූර්ණවූ කල්හි, පළමුකී පරිද්දෙන් නැවතත් අර්පණා චිත්ත වීථියක් පහළවන්නේය. එහි උපදනා අර්පණා සිත හෙවත් තුන්වෙනි ධ්‍යාන සිත, විතක්ක විචාර යන ධ්‍යානාඞ්ග දෙක හැර ඉතිරිවූ පීති, සුඛ, එකග්ගතා යන ධ්‍යානාඞ්ග තුනෙන් යුක්ත වන්නේය.
මෙයින් තෘප්තියකට නොපැමිණි යොගාවචර තෙමේ තමන් ලත් ධ්‍යානය පඤ්චවසිතාවෙන් පුරුදුකොටගෙණ සතරවෙනි පස්වෙනි ධ්‍යානයන් පළමුකී පරිදි පිළිවෙලින් උපදවා ගන්නේය. සතරවෙනි ධ්‍යාන සිතෙහි සුඛ, එකග්ගතා යන ධ්‍යානාඞ්ග දෙක ද පස්වන ධ්‍යාන සිතෙහි උපෙක්ඛා, එකග්ගතා යන ධ්‍යානාඞ්ග දෙකද පහළවන බව දත යුතුයි.
අරූපාවචර ධ්‍යාන උපදවන කල්හිද, මෙයට සමාන අර්පණා චිත්ත වීථි පහළ වන්නාහ. අරූපාවචර ධ්‍යානයෝ පඤ්චමධ්‍යාන සඞ්ඛ්‍යාවට ගැනෙන බැවින් එහි යෙදෙන ධ්‍යානාඞ්ගයෝ දෙදෙනා නම් උපෙක්ඛා, එකග්ගතා යන ධ්යානාඞ්ගයෝය.
මන්දප්‍රාඥයා හට උපදනා අර්පණා චිත්ත වීථිය මෙසේයි:-
...න ද ම ප උ නු ගො ඣා ...
තික්ඛප්රාඥයා හට උපදනා අර්පණා චිත්ත වීථිය නම්:-
...න ද ම උ නු ගො ඣා ...
ඒ ඒ ධ්‍යානයන්ට අනතුරුව, එක් ධ්යානාඞ්ගයකට එක් ප්‍රත්‍ය- වෙක්ෂා ජවන වීථියක් බැගින් ලැබෙන්නේය. එවිට භවඞ්ග චල- නය, භවඞ්ගුපච්ඡේදය, මනෝද්වාරාවජ්ජනය යන සිත් තුන ඉපිද නිරුද්ධවූ කල්හි, ඤාණ සම්ප්‍රයුක්ත මහා කුසල් සිත් සතරින් එකක් ජවන් වශයෙන් එම ධ්‍යානාඞ්ගයක් අරමුණු කරමින් පස් වරක් පිළිවෙලින් ඉපිද නිරුද්ධ වන්නේය. පස්වන ජවනයට අනතුරුව භවඞ්ගපාතය වීමෙන් එක් ප්රත්යවෙක්ෂා ජවන වීථියක් අවසන් වේ. මේ ක්‍රමයෙන් සියලුම ධ්‍යානාඞ්ගයන් අරමුණු කරන් නාවූ ප්රත්යවෙක්ෂා ජවන වීථි ඒ ඒ ධ්‍යානයන්ට අනතුරුව පහළ වන බව දතයුතුයි.