මාර්ග චිත්ත වීථි
ලෝකොත්තර මාර්ග සිත් හා ඵල සිත් උපදින චිත්ත වීථි මාර්ග චිත්ත වීථි නම්. එක් පුද්ගල සන්තානයෙක්හි මේ මාර්ග චිත්ත වීථි සතරක් මිස එයට වැඩි ගණනක් නූපදී. එනම් සොවාන් මාර්ග වීථිය, සකෘදාගාමි මාර්ග වීථිය, අනාගාමි මාර්ග වීථිය, අර්හත් මාර්ග වීථිය යන මාර්ග චිත්ත වීථි සතරය.
ලොකොත්තර මාර්ග ඵල උපදවන පුද්ගලයෝ දෙදෙනෙකි. එනම් ශුෂ්ක විදර්ශක පුද්ගලයා සහ සමථයානික පුද්ගලයා යන දෙදෙනාය.
ප්‍රථමධ්‍යානය, දුතියධ්‍යානය, තතියධ්‍යානය, චතුත්ථධ්යානය, පඤ්චමධ්‍යානය යන ධ්‍යාන පසෙන් යම්කිසි එක් ධ්‍යානයක් හෝ වැඩි ගණනක් හෝ උපදවා එයින් එක් ධ්‍යානයක් උපකාර කොට ගෙන නොහොත් ධ්‍යානයෙහි අන්තර්ගත අඞ්ගයන්ට ඇතුළත් ධර්මයන් විදර්ශනා වශයෙන් වඩා, මාර්ගඵල උපදවන පුද්ගල තෙමේ, සමථයානික ආර්‍ය්‍ය පුද්ගල නම් වේ. ඒ පුද්ගලයන් හට ලැබෙන මාර්ගඵල සිත් ලොකොත්තර ධ්‍යාන සිත් සතළිසට ඇතුළත් වේ.
ශුෂ්ක විදර්ශක පුද්ගලයා වනාහි ධ්‍යානය පාදකකොට නොගෙන විදර්ශනා වඩා මාර්ග ඵලයන්ට පැමිණෙන ආර්‍ය්‍ය පුද්ගලයාය. මේ පුද්ගලයා හට ලැබෙන්නේ ලොකොත්තර මාර්ගඵල සිත් අටෙන් එක් මාර්ග සිතක් හා එක් ඵල සිතකි.
මේ ධ්‍යානය වනාහී පාදකධ්යානය, සම්මසිතධ්යානය, පුද්ගල ධ්‍යාශය ධ්‍යානය යයි තුන් වැදෑරුම් වේ.
ධ්‍යාන ලාභී පුද්ගලතෙමේ, සොවාන් ආදි මාර්ගයක් ලබනු කැමැති කල්හි, ඒ ධ්‍යානය බොහෝ කලක් පඤ්චවසිතාවෙන් පුරුදු කොට, නිතර නිතර ධ්‍යානය උපදවා ගැනීමට ශක්තිය ඇති කල්හි, ධ්‍යාන සමාපත්තියට සමවැද, ඒ සමාපත්තියෙන් නැගිට, ඒ ධ්‍යානයෙහි අන්තර්ගත අරූප වූ, නාම ධර්මයන් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් විදර්ශනා වඩා මාර්ගඵල උපදවා ගන්නේය. එයට පාදක ධ්‍යානය යයි කියති.
සම්මසිතධ්යානය වනාහී හැකිතාක් ධ්‍යාන උපදවා එයින් යම් ධ්‍යානයකට සමවැද, අනික් ධ්‍යානයක් සම්මර්ශනය කොට විදර්ශනා වඩා පෙර මෙන්ම මාර්ග ඵලයන් ලැබීමය.
පුද්ගලධ්යාශය ධ්‍යානය වනාහි, ධ්‍යාන ලාභී පුද්ගල තෙමේ යම් ධ්‍යානයකට බඳුවූ මාර්ග ඵලයක් ලබම්හයි අදහස් කොට විදර්ශනා වැඩුයේවී නම්, ඒ ධ්‍යානයට බඳු මාර්ග ඵලයන් ලැබීමය.
මෙකී පුද්ගලයෝ පාදකධ්‍යාන වශයෙන් හෝ, සම්මසිතධ්යාන වශයෙන් හෝ, පුද්ගලධ්යාශය ධ්‍යානය වශයෙන් හෝ යම් ධ්‍යානයක් උපකාර කොට ගෙන විදර්ශනා වඩා මාර්ග ඵල ලබන කල්හි, ඒ ඒ ධ්‍යානයන්ට සමාන වූ අඞ්ග හා යෙදුණු මාර්ග ඵල ලබන්නාහුය. මෙකී ත්රිවිධාකාරයම ධ්‍යාන ලාභීන්ට මුත් ශුෂ්ක විදර්ශකයන්ට නොලැබේ. එසේද වුවත්, ශුෂ්ක විදර්ශකයා විසින් ලබන්නාවූ මාර්ගය, ඒකාන්තයෙන්ම, ප්‍රථමධ්‍යානයට සමාන වූ අඞ්ග පස කින් යුක්ත වන බැවින් ශුෂ්ක විදර්‍ශකයාහට හෝ සමථයානිකයා හට හෝ ලැබෙන්නාවූ මාර්ගය ඒකාන්තයෙන්ම ධ්‍යානාඞ්ගයන් ගෙන් යුක්ත වන්නේමය.
නිර්වාණාවබෝධය පිණිස වීර්‍ය්‍ය වඩන හැම පුද්ගලයෙකු විසින්ම ශීල, සමාධි, ප්‍රඥා යන ධර්මයන් පිළිවෙලින් වඩා කෙළෙ සුන් කෙරෙන් දුරුවිය යුතුය. පිරිසුදු සීලයෙහි නොපිහිටා ලබා ගතහැකි සමාධියක් නැත්තේය. සමාධිය නැති සිතක විදර්ශනා ඥානය පහළ නොවන්නේය. විදර්ශනා ඥානයෙන් තොරව ලබා ගත හැකි ලොකොත්තර මාර්ග ඵලයක් නැත්තේය. එබැවින් මාර්ග ඵලයන්ට පැමිණෙනු කැමති හැම පුද්ගලයෙකු විසින්ම මේ ඒකායන මාර්ගය වැඩිය යුතු වේ.
සසරදී ඉතා දීර්ඝ කාලයක් මුළුල්ලෙහි දාන ශීලාදී පින්කම් කොට තියුණු කරණ ලද ශ්‍රද්ධා, වීර්‍ය්‍ය, සති, සමාධි, ප්‍රඥා, සඞ්ඛ්‍යාත පඤ්චෙන්ද්රියයන්ගෙන් යුක්තව, පිරූ පෙරුම් ඇතිව, විපාකාවරණ, කම්මාවරණ, ක්ලේශාවරණ යන්ගෙන් මිදී ත්‍රි හේතුක ප්‍රතිසන්ධියක්ම ලැබ, සම්‍යග්දෘෂ්ටියෙහි පිහිටා පතිරූපදේශ වාසය, පණ්ඩිත සේවනය, සද්ධර්මශ්රවණය සහ නොපසුබට වීර්ය්යයෙන්ද යුක්තව පූර්වභාග ප්‍රතිපත්ති සඞ්ඛ්‍යාත ලෞකික මාර්ගයද වඩා බෝධිසම්භාරයන් සම්පූර්ණ කළ තැනැත්තා විසින්ම මාර්ගඵලාවබෝධය කළ හැකි බව දතයුතුයි. මෙතෙමේ පළමුකොට සතර සංවර ශීලයෙහි පිහිටා ශීල විසුද්ධියෙන් පිරිසුදුවී, විත්ත විසුද්ධිය හෙවත් බලවත් සමාධිය ලබා ගැණීම පිණිස පඨවි කසිණාදී කසිණ අරමුණක් හෝ ආනාපානසතියට අරමුණු වන්නාවූ ආශ්වාස ප්‍රශ්වාස ප්රඥප්ති අරමුණක් හෝ තමන්ට ප්රකටව වැටහෙන යම් අරමුණක් හෝ ගෙන භාවනා කොට අඩු වශයෙන් ප්‍රථම ධ්යානයවත් ලබාගන්නේය. මෙසේ උපචාර සමාධි, අර්පණා සමාධි වශයෙන් සමාධිය උපදවාගෙන ප්‍රථමධ්‍යානයට පැමිණි පුද්ගලතෙමේ, කැමැතිනම් ඉතිරි ධ්‍යාන ලබාගැණීම පිණිස, තමන් ලත් ධ්‍යානය පඤ්චවසිතා වශයෙන් පුරුදු කොට පිළිවෙලින් ඉතිරි ධ්‍යාන උපදවා ගන්නේය. එසේ ධ්‍යාන උපදවා ගැනීමේ අපෙක්ෂාවක් නැති, මාර්ග ඵලයන්ම අවබෝධ කරගැණීමට අදහස් කරණ පුද්ගල තෙමේ, එයටවැඩි ධ්‍යාන ගැන වීර්‍ය්‍ය නොකොට, තමන් විසින් උපදවා ගන්නා ලද්දවූ ප්‍රථමධ්‍යාන සමාපත්තියට සම වැද, එයින් නැගිට, එහි අන්තර්ගත ධ්‍යානාඞ්ගයන් වෙන් වෙන් වශයෙන් ප්රත්යවෙක්ෂා කරමින් එහි ඇතුළත් ධර්මයන් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් විදර්ශනා කිරීමට උත්සාහ කරන්නේය. ඇතැම් පුද්ගල කෙනෙක් ධ්‍යාන සමාපත්තියට සමවැද හෝ සම නොවැද හෝ, ප්‍රථමධ්‍යානය වැඩීමෙන් ලබාගත් චිත්ත විසුද්ධිය හෙවත් බලවත් සමාධියෙන් යුක්තව, ත්‍රෛභූමික සංස්කාර ධර්ම යන්ම අරමුණු කරමින් “රූපං අනිච්චං” යනාදී වශයෙන් විදර්ශනා වැඩීමට ආරම්භ කරන්නේය.
මෙසේ ධ්‍යානය පාදක කොටගෙන හෝ නොගෙන හෝ විදර්ශනා වඩන්නාවූ පුද්ගල තෙමේ, තම ආත්ම භාව සඞ්ඛ්‍යාත පඤ්චෝපාදානක් ඛන්ධය, නාමරූප වශයෙන් ඇති සැටි දක්නා සම්මර්ශන ඥානය පහළවීමෙන් දුක්ඛ සත්‍යය නිශ්චයකොට දැකීම නම් වූ දිට්ඨිවිසුද්ධිය උපදවා ගන්නේය. ඉක්බිති හෙතෙමේ නැවත නැවතත් විදර්ශනා වඩන්නේ තමන් විසින් පිරිසුදුව දක්නා ලද දුක්ඛසත්‍යයාගේ අවිද්‍යා, තෘෂ්ණාදී ප්‍රත්‍යයන් පිරිසිඳ දැනීමෙන් කාලත්රය විෂයෙහි ඉපදියහැකි වූ සැක දුරුකොට පවත්නා විදර්ශනා ඥානය නම් වූ කඞ්කාවිතරණ විසුද්ධියෙන් පිරිසුදුව සමුදය සත්‍යය නිශ්චයකොට දැනගන්නේය. නැවතත් ත්රිලක්ෂණයන් අනෙකප්‍රකාරයෙන් සම්මර්ශනය කරන්නාවූ ඔහුට, ඔභාසාදී දසවිධ විදර්ශනොපක්ලේශයන් පහළවීමෙන් නොමග යා හැකි බැවින්, ඒ නොමගින් වළක්වා නිසි මග පාදා දෙන්නාවූ මග්ගාමග්ග ඤාණදස්සන විසුද්ධියෙන් පිරිසිදු වන්නේය. මෙසේ විදර්ශනොපක්ලේශයන් ගෙන් මිදී විදර්ශනා වඩන්නාවූ පුද්ගලයා හට, උදයව්යඤාණාදී නව මහා විදර්ශනා ඥානයන් පහළ වීමෙන් ප්‍රතිපදා ඤාණදස්සන විසුද්ධියෙන්ද පිරිසුදු වන්නේය. මෙසේ මේ ෂට විසුද්ධීන් උපදවාගෙන ඔවුන්ගේ වශයෙන් නොයෙක් වර ලබන ලද පූර්වභාග මාර්ග ඇතිව චුල්ලසොතාපන්න යයි කිව යුතු බවට පැමිණෙන්නේය. මෙසේ නව මහා විදර්ශනා ඥානයන් පහළ වූ කල්හි මාර්ග ඵලාධිගමය පිණිස වැඩිය යුතු අන්‍ය විදර්ශනාවක් නැති හෙයින් මාර්ග චිත්ත වීථිය පහළ වන්නේය.
මස්තකප්රාප්ත වූ විදර්ශනා ඥාන ඇතිකල්හි හටගන්නාවූ මාර්ග චිත්ත වීථියෙහි පළමුකොට භවඞ්ග චලනය, භවඞ්ගුපච්ඡේදය, මනෝද්වාරාවජ්ජනය යන සිත් තුන පිළිවෙලින් ඉපිද නිරුද්ධ වූ පසු, මන්දප්රාඥයෙකු වී නම් පරිකර්ම, උපචාර, අනුලොම, ගොත්රභූ යන නමින් මහා කාමාවචර කුසල් සිත් සතරක්ද, තික්ඛප්රාඥයෙකු වී නම්, උපචාර, අනුලොම, ගොත්රභූ යන නමින් සිත් තුනක්ද ඉපිද නිරුද්ධ වන්නේය. මේ සිත් සතරෙන් පරිකර්ම, උපචාර, අනුලොම යන සිත් තුන නිවන් අරමුණු කරන්නාවූ චිත්තයන්ට පූර්ව භාග යෙන් එ මාර්ග චිත්තය ඉපැදවීමට මග සළසන්නාක් මෙන් එයට අනුකූලවම පවත්නා හෙයින් අනුලොම සිත් යයි ද ව්‍යවහාර වේ. මේ අනුලොම සිත් ඉතා පිරිසුදු කාමාවචර කුසල චිත්තයෝයි. තදඞ්ගප්රහාණි වශයෙන් අකුසල් නසන්නාවූ මේ චිත්තයන්හි සම්ප්‍රයුක්ත වූ ප්‍රඥා චෛතසිකය, අනුලොම ඥානය, සච්චානුලොම ඥානය, මස්තකප්රාප්ත විදර්ශනා ඥානය, වුට්ඨානගාමිනී විදර්ශනා ඥානය, සඞ්ඛාරොපෙක්ඛා ඥානය යනාදී නොයෙක් නම් වලින් ව්‍යවහාර වන්නේය. පාදක ධ්‍යානය යයි කී කල්හි මේ වුට්ඨානගාමිනී විදර්ශනාවට පාදක වන බව දතයුතුයි. එබැවින් මාර්ග චිත්ත වීථියෙහි ගොත්රභූ චිත්තය දක්වා උපදින්නාවූ සියළු ජවනයෝ ත්‍රිවිධ ලෝකයෙන් නැගී යාමට හේතුවන හෙයින් උප චාර වශයෙන් වුට්ඨානගාමිනී විදර්ශනා ජවනයයි සම්මත කරණ ලදි.
තවද, මාර්ග ඵල ලබන්නාවූ සියළුම පුද්ගලයෝ ත්‍රෛභූමික සංස්කාර ධර්මයන් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් ත්රිලක්ෂණ යට ආරෝපණය කොට භාවනා වඩන කල්හි එක් ආර්යයෙක් හට එක් ලක්ෂණයක්ම වැටහී මාර්ග ඵලයන්ගේ ලැබීම ස්වභාව ධර්මයක් වෙයි.
යම් පුද්ගලයෙක් සියලු ධර්මයන් අනාත්ම වශයෙන් දැක ආත්මය යි ගැණුම අත්හරින්නේ නම්, ඕහට උපදනා මාර්ග වීථියෙහි අනුලොම සිත හා යෙදුනාවූ ප්‍රඥා චෛතසිකය, සුඤ්ඤතානුපස්සනා නම් විමොක්ෂ මුඛය හෙවත් සසරින් මිදීමේ මාර්ගය වෙයි. අනතුරුව උපදනා මාර්ගයද සුඤ්ඤත මාර්ග නම් වේ. එයට අනතුරුව උපදනා ඵලයද සුඤ්ඤත ඵලය නම් වේ. ඒ මාර්ග ඵලයන්ට අරමුණු වන්නාවූ නිර්වාණය ද සුඤ්ඤත නිර්වාණය යයි කියනු ලැබේ.
යම් පුද්ගලයෙක් සියලු ධර්මයන් අනිත්‍ය වශයෙන් දැක විපල්ලාස නිමිත්ත අත්හරින්නේ නම්, ඔහට උපදනා මාර්ග වීථියෙහි අනුලොම සිත හා යෙදුනාවූ ප්‍රඥා චෛතසිකය, අනිමිත්තානුපස්සනා විමොක්ෂ මුඛය නම් වේ. එයට අනතුරුව උපදනා මාර්ගඵල නිර්වාණ ධර්මයෝ, අනිමිත්ත මාර්ගය, අනිමිත්ත ඵලය, අනිමිත්ත නිර්වාණය යයි ව්‍යවහාර වේ.
යම් පුද්ගලයෙක් විදර්ශනා වඩන කල්හි සියලු ධර්මයන් දුක් වශයෙන් දැක තෘෂ්ණා ප්‍රණිධිය අත්හරීද, ඔහුට උපදනා මාර්ග වීථියෙහි අනුලොම සිත හා යෙදුනාවූ ප්‍රඥා චෛතසිකය, අප්පණිහිතානුපස්සනා විමොක්ෂ මුඛය නම් වේ. ඊට අනතුරුව උපදනා මාර්ග ඵල නිර්වාණ ධර්මයෝ, අප්පණිහිත මාර්ගය, අප්පණිහිත ඵලය හා අප්පණිහිත නිර්වාණය යයි ද ව්‍යවහාර වේ. මෙසේ අනුලොම සිත හා යෙදුනාවූ ප්‍රඥා චෛතසිකය, වුට්ඨානගාමිණී විදර්ශනාය, සංඛාරොපෙක්ෂා ඥානය, සච්චානුලොම ඥානය, අනුලොම ඥානය යනාදී නම් ලබන්නාක් මෙන්ම සුඤ්ඤතානුපස්සනා විමොක්ෂ මුඛය අනිමිත්තානුපස්සනා විමොක්ෂ මුඛය, අප්පණිහිතානුපස්සනා විමොක්ෂ මුඛය යන නම්ද ලබා ඒ හේතුවෙන්ම මාර්ග ඵල නිර්වාණ ධර්මයෝ ද ඒ ඒ නම් ලබන බව දතයුතුයි. නිර්වාණ නම් වූ ක්ෂෙම භූමියට ඇතුළු වන්නාවූ දොරටු තුනක් බඳු හෙයින් මේ විදර්ශනා ඥානයෝ තුන්දෙනාට විමොක්ෂ මුඛ යයි කියති.
අනුලොම සිත්වලට අනතුරුව ලැබෙන්නාවූ ගොත්රභූ සිත, නිර්වාණ ධර්මය අරමුණු කරමින්, පෘථග්ජන ගොත්‍රය, නසා, ආර්ය පුද්ගල භාවයට පමුණුවන්නාවූ කාමාවචර මහා කුසල් සිතකි. ඒ සිත නිර්වාණය අරමුණු කරන්නේවී නමුත් මාර්ග චිත්තයන් විසින්ම සිදුකරනු ලබන්නාවූ සතර මාර්ග කෘත්‍යයන් සිදු කිරීමට අපොහොසත් බැවින් පෘථග්ජන භාවයෙහිම සිට නිර්වාණය පමණක් අරමුණු කරන බව දත යුතුයි. එබැවින් ගොත්රභූ ඥානය මාර්ගය ආවර්ජනා කිරීම් වශයෙන් අනුලොම සිත්වලට අනතුරුව මාර්ග සිතට පළමුවද හට ගන්නා හෙයින් ප්‍රතිපදා ඥානදස්සන විශුද්ධියද නොවන්නේය, එසේම මාර්ගය නොවන හෙයින් ඥානදස්සන විසුද්ධියද නොවේ. අනුලොම ඥාන තුනෙන්, සත්‍යය වසා සිටි මොහාන්ධකාරය දුරුකළ කල්හි, සියලු සංස්කාරයන් විෂයෙහි සිත නොයවන්නේය. සංස්කාර නිමිත්ත දුරුවූ කල්හි සංස්කාර විරෝධ වූ නිවණ අරමුණු කරමින් පෘථග්ජන භූමියෙන් නික්ම ආර්‍ය්‍ය භූමියට පමුණුවන්නාවූ විදර්ශනාවගේ මස්තකය වැනිවූ පෙරලා නොඑන ගෝත්‍රභූ ඥානය උපදී.
උත්පාදයත්, ප්‍රවෘත්තියත්, සංස්කාර නිමිත්තත් මඩිනුයි යන අර්ථයෙන්ද, අනුත්පාද වූද, සංස්කාරයන්ගේ නොපැවැත්ම හෙවත් සංස්කාර නිරෝධයවූද, නිර්වාණයට වදිනුයි යන අර්ථයෙන්ද, ගෝත්‍රභූ නම් වන බව දත යුතුයි.
දියෙන් පිරි ඇළකින් එතරවනු කැමැති පුරුෂයෙක් වහා දිව විත්, මෙතෙර සිට, වෘක්ෂ ශාඛාවෙක්හි එල්වනලද රැහැනක එල්ලී, එම වේගයෙන්ම එතෙරට පැන, රැහැණ අතහැර, වෙව්ලමින් සිට, පසුව පොළොවෙහි ස්ථිරව පිහිටන්නේය. මෙසේ යෝගාවචර තෙමේද, සසරින් එතෙරව, නිවණෙහි පිහිටනු කැමැතිව, උදයව්යානු දර්ශනාදී නව මහා විදර්ශනා ඥානයන්ගේ වේගයෙන් දිව විත්, නාම රූප ධර්මයන්හි අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්රිලක්ෂණයන් අතුරෙන් එක් ලක්ෂණයක් එල්බගෙන අනුලොම චිත්තයන්ගේ උපකාරයෙන් තමන් විසින් පැමිණිය යුතු නිවණට ආසන්නව තුන්වන අනුලොම චිත්තයාගේ නිරෝධයෙන්, ඒ සංස්කාරාලම්බණය අත් හැර ගෝත්‍රභූ සිතින් නිවණට පැමිණ, සොවාන් මාර්ගඥානයෙන් නිවණෙහි ස්ථිරව පිහිටන්නේය.
මෙහි අනුලොම ඥානය, සත්‍ය මුවහ කරණ කෙළෙස් නමැති අන්ධකාරය දුරු කරන්නට සමර්ථවන නමුත්, නිර්වාණය අරමුණු කරන්නට අසමර්ථ වේ. ගෝත්‍රභූ ඥානය නිර්වාණය අරමුණු කිරීමට සමර්ථවන නමුත් සත්‍ය මුවහ කරණ ක්ලේශාන්ධකාරය නැසීමට අසමර්ථ වේ.
ඇස් ඇති පුරුෂයෙක් අහසෙහි සඳ තරු දැක යෝගයක් දැනගනු කැමැතිව රාත්‍රි කාලයෙහි අහස බලන්නේ වලාකුලින් වැසී තිබෙන හෙයින් සඳ තරු නොදකී. එවේලෙහි එක් වාතයක් නැඟ ඝණවූ වලා පටලයන් පහ කෙළේය. එයිනුත් සඳ නොපෙනි සිටි කල්හි දෙවනුව ද වාතයක් නැග මධ්‍යමවූ වලාපටලයන් පහ කෙළේය. නැවත තුන්වන වාතයක්ද නැග සියුම් වලා පහකළ කල්හි, ඒ පුරුෂයා සඳ තරු ආදිය දැක යොගය දැනගත්තේය. මෙසේ ඝණ, මධ්‍යම සියුම් වලාපටලයන් සත්‍ය මුවහ කරන ක්ලේශාන්ධකාරය මෙන්ද, තුන් වාතයන් මෙන් අනුලොම චිත්ත යන්ද, සඳ දකින්නාවූ ඇස් ඇති පුරුෂයා මෙන් ගොත්රභූ චිත්තය ද, සඳ මෙන් නිර්වාණයද දතයුතුයි.
මෙසේ ෂට් විශුද්ධීන්ගෙන් පිරිසුදුවූ, සම්පූර්ණ කරණලද ලොකික මාර්ග ඇත්තේ සත්වන ඥාන දස්සන විසුද්ධිය ලබන්නාවූ මාර්ග චිත්ත වීථිය පහළවී, අනුලොම චිත්තයන්ට අනතුරුව උපදනා ගොත්රභූ සිතින් පෘථග්ජන භාවයෙන් එතරවූ කල්හි ඥාන දස්සන නම්වූ සොවාන් මාර්ග සිත නිර්වාණය අරමුණු කරමින් සතර මාර්ග කෘත්‍යයන් එකක්ෂණිකව සිද්ධකරමින්, එක් වරක් ඉපිද නිරුද්ධ වේ. ඒ සතරමාර්ග කෘත්‍යයෝ නම්, දුක්ඛ සත්‍යය පිරිසිඳ දැනීමය, සමුදය සත්‍යය පහ කිරීමය, නිරෝධ සත්‍යය ප්රත්යක් ෂව දැනීමය, මාර්ග සත්‍යය වැඩීමය යන කෘත්යයෝයි. සමථයානික ආර්‍ය්‍ය පුද්ගලයා හට මේ සොතාපන්න මාර්ග සිත වශයෙන් ලැබෙන් නේ තමන් විසින් පාදකකොට ගත්, ප්‍රථමධ්‍යානාදී ධ්‍යාන පසෙන් යම්කිසි ධ්‍යානයකට බඳුවූ ලොකොත්තර සොවාන් මාර්ග ධ්‍යාන සිත් පසෙන් එකකි. ශුෂ්ක විදර්ශක පුද්ගලයෙක් වීනම් ඕහට ලැබෙන්නේ ලොකොත්තර සිත් අටට ඇතුළත් සොවාන් මාර්ග සිතය.
සොවාන් මාර්ග සිතින් නැසිය යුතු කෙළෙස් නසා, චතුරාර්‍ය්‍ය සත්‍යාවබෝධය පළමු වරට සිද්ධ කරමින්, පෘථග්ජන භාවයෙන් එතර කරමින්, නිර්වාණ මාර්ගයට පමුණුවන්නාවූ මේ සොවාන් මාර්ග චිත්තය ඉපිද නිරුද්ධවූ කල්හි, එහි අකාලික වූ හෙවත් කල් නොයවා දෙන විපාකය නම් වූ, සොවාන් ඵල සිත දෙවරක් හෝ තුන්වරක් ඉපිද නිරුද්ධ වන්නේය. මේ චිත්ත වීථියෙහි පරිකර්ම සිත උපදනා මන්ද ප්‍රාඥයන්ට වනාහී ඵල සිත් දෙකක්ද, තික්ඛ ප්‍රාඥයන්ට පරිකර්ම සිතක් නැති හෙයින් ඵල සිත් තුනක්ද උපදනේය. මෙසේ ඵල සිත් දෙකක් හෝ තුනක් මුත් එයට වැඩි ගණනක් නූපදීමට හේතුව චිත්ත වීථියක ඇති වන්නට අවකාශ ඇත්තේ ජවන් සිත් සතක් මුත් එයට වැඩි ගණනක් නොවන බැවිනි. මන්ද ප්‍රාඥ පුද්ගලයා හට පරිකර්ම, උපචාර, අනුලොම, ගොත්රභූ, මාර්ග සිත, සහ ඵල සිත් දෙකත් එකතු වීමෙන් ජවන් සිත් සත සම්පූර්ණ වේ. තික්ඛ ප්‍රාඥ පුද්ගලයා හට උපචාර, අනුලොම ගොත්රභූ මාර්ග සිත සහ ඵල සිත් තුනක් එකතු වීමෙන් ජවන් සිත් සත සම්පූර්ණ වන්නේය.
මාර්ග සිතට අනතුරුව උපදින්නාවූ මේ ඵල සිත්, එකාන්තයෙන්ම නිවණ අරමුණු කරන්නේවීනමුත් කුසල සඞ්ඛ්‍යාවට නො ගැනේ. ආනන්තරික සමාධිය, අකාලික විපාකය යන නම් වලින් හැඳින්වනු ලබන මේ ඵල චිත්තයෝ, අව්‍යාකෘත ධර්මයෝ වෙත්. මාර්ග සිතින් නසනලද කෙලෙස් ඇති චිත්ත සන්තානයෙහි සංසිඳීම් ස්වභාවය ඇති කරවන හෙයින් මේ ඵල චිත්තයෝ පටිප්පස්සද්ධිප්රහාණයෙන් කෙලෙස් සන්සිඳවන බව දත යුතුයි. මනුෂ්‍ය ශරීරයෙන්ම නිවන් සැප විඳිනා හෙයින් ඒ ඵල චිත්තයට වඩා උතුම් සැප ගෙනදෙන චිත්තයක් මේ භවත්රයෙහිම නො ලැබෙන්නේය. මේ සොවාන් ඵල සිත් දෙක හෝ තුන ඉපිද නිරුද්ධ වූ කල්හි චිත්ත සන්තතිය නැවත භවඞ්ගයට බසින්නේය.
සොවාන් මාර්ග චිත්ත වීථිය මෙසේ දක්වනු ලැබේ.
මන්දප්‍රාඥයා හට: ... න ද ම ප උ නු ගො මග්ග ඵ ඵ ... තික්ඛ ප්‍රාඥයාහට: ... න ද ම උ නු ගො මග්ග ඵ ඵ ඵ ...
මේ චිත්ත වීථියට පෙර පසු උපදනා භවඞ්ගයෝ පඤ්චවොකාර ත්‍රිහේතුක භවඞ්ග නවයෙන් එකක්ම වන්නේය. එනම්, ඤාණසම්ප්ර යුක්ත කාමාවචර මහා විපාක සතරය, රූපාවචර විපාක පසය යන විපාක සිත් නවය වේ.
මෙසේ සොවාන් මාර්ග චිත්ත වීථිය අවසන් වී භවඞ්ග සිත් පරම්පරාව නැවතත් හටගෙන, එයට අනතුරුව ප්රත්යවෙක්ෂා ජවනයන්ගෙන් යුත් චිත්ත වීථි පහළ වන්නේය. ධර්මයන් පිළිබඳ මනා අවබොධයක් ඇති තික්ඛ ප්‍රාඥ ආර්‍ය්‍ය පුද්ගල තෙමේ කරුණු පසක්ම ප්රත්යවෙක්ෂා කරන්නේය. පළමුකොට තමන් උපදවා ගත් මාර්ගය ප්රත්යවෙක්ෂා කරමින් එක් චිත්ත වීථියක් හටගන්නේය. භවඞ්ග චලන, භවඞ්ගුපච්ඡෙද, යන සිත් දෙක ඉපිද නිරුද්ධ වූ පසු, තමන් විසින්. උපදවාගත් සොවාන් මාර්ගය අරමුණු කොට ගෙන මනොද්වාරාවජ්ජන සිත පහළ වී, අනතුරුව කාමාවචර ඤාණ සම්ප්‍රයුක්ත මහා කුසල් සිත් සතරින් එකක් සොවාන් මාර්ගයම අරමුණු කරමින් ජවන් සිත් වශයෙන් සත්වරක් ඉපිද නිරුද්ධ වේ. එයට පසු සිත් පරම්පරාව නැවත භවඞ්ග වේ. මේ චිත්ත වීථියට පෙර පසු උපදනා භවඞ්ගයෝ පඤ්චවොකාර ත්‍රිහේතුක භවඞ්ග නවයෙන් එකක්ම වන්නේය.
ඉක්බිති, නැවතත් සොවාන් ඵලය ප්රත්යවෙක්ෂා කරමින් චිත්ත වීථියක් පහළ වන්නේය. එම චිත්ත වීථියේද භවඞ්ග චලන, භවඞ්ගුපච්ඡෙද යන සිත් දෙක ඉපිද නිරුද්ධ වූ පසු, සොවාන් ඵලය අරමුණු කරමින් මනොද්වාරාවජ්ජනය සහ ජවන් සිත් සතක් ද පළමු දැක්වූ පරිදි, පිළිවෙලින් ඉපිද නිරුද්ධ වීමෙන් නැවත භවඞ්ගපාතය වේ.
තුන්වෙනුව හටගන්නා ප්රත්යවෙක්ෂා ජවනයෝ, තමන් ලත් මාර්ගයෙන් ප්‍රහීණ කරනලද ක්ලේශයන් අරමුණු කරමින්, මේ මේ ක්ලේශයන් මා විසින් නසන ලද්දේයයි ප්රත්යවෙක්ෂා කරන්නේය. එම චිත්ත වීථියෙහිද, භවඞ්ග චලනය, භවඞ්ගුපච්ඡෙදය, යන සිත් දෙකට අනතුරුව, ප්‍රහීණ කෙලෙස් අරමුණු කරමින් මනොද්වාරා වජ්ජන සිතක්ද, කාමාවචර ඤාණ සම්ප්‍රයුක්ත මහා කුසල් සිත් සතරින් එකක් ජවන් වශයෙන් සත්වරක්ද ඉපිද නිරුද්ධ වීමෙන් පසු නැවත භවඞ්ගපාතය වන්නේය.
සතරවෙනුව, ඉතිරි හෙවත් අවශෙෂ ක්ලේශයන් අරමුණු කරන් නාවූ චිත්ත වීථියක් හටගන්නේය. එම චිත්ත වීථියෙහිද භවඞ්ග චලනය භවඞ්ගුපච්ඡෙදය ඇතිවී අනතුරුව තමන් විසින් ඉදිරි මාර්ගයන්ගෙන් නැසිය යුතු කෙලෙස් ප්රත්යවෙක්ෂා කිරීම නම් වූ අවශෙෂ ක්ලේශාරම්මණය ගෙන මනොද්වාරාවජ්ජන සහ කාමාවචර ඤාණ සම්ප්‍රයුක්ත මහා කුසල් සිත් සතරින් එකක් ජවන් වශයෙන් සත්වරක් ඉපිද නිරුද්ධ වේ. එයට පසුව චිත්ත සන්තතිය නැවත භවඞ්ග වේ. පස්වෙනුව හෙවත් අවසානයේදී, මා විසින් නිර්වාණ සඞ්ඛ්‍යාත මේ ධර්මය අරමුණු කිරීම් වශයෙන් අවබෝධ කරණ ලද්දේය යි, මෙසේ ජාති ජරා මරණාදියෙන් පහවූ අසඞ්ඛත ධර්මය ප්රත්යවෙක්ෂා කරන්නේය. එම චිත්ත වීථියේද, භවඞ්ග චලන, භවඞ්ගුපච්ඡේද යන දෙසිත නිරුද්ධ වූ පසු නිර්වාණාරම්මණය ගෙණ මනොද්වාරා වජ්ජන සිතක් සහ ඤාණසම්ප්‍රයුක්ත කාමාවචර මහා කුසල් සිත් සතරින් එක් සිතක් ජවන් වශයෙන් සත්වරක් ඉපිද නිරුද්ධ වන් නේය.
මේ ප්රත්යවෙක්ෂා චිත්ත වීථි මෙසේ යි:-
...න ද ම ජ ජ ජ ජ ජ ජ ජ භ භ...
මන්ද ප්‍රාඥ පුද්ගලයන් හට ඇතැම් විටෙක ප්‍රහීණ ක්ලේශයන් සහ අවශේෂ ක්ලේශයන්ද ප්රත්යවෙක්ෂා කරන චිත්ත වීථි නූපදිත්. එවිට ඒ පුද්ගලයා හට ඇති වන්නේ මාර්ගය, ඵලය, සහ නිර්වාණය අරමුණ කරන්නාවූ ප්රත්යවෙක්ෂා ජවන වීථි තුන පමණය.
සකෘදාගාමී, අනාගාමි, අර්හත් යන මාර්ග වීථි තුන ද සොවාන් මාර්ග වීථියට සමානය. ඒ චිත්ත වීථින්හි මාර්ග චිත්තයට පෙර උපදින්නාවූ ගොත්රභූ චිත්තය වෙනුවට වොදාන යන නමින් ජවන් සිතක් නිර්වාණය අරමුණු කරමින් උපදින්නේය. වොදාන යන්නෙහි අදහස පිරිසුදු වූ බවයි. සොවාන් මාර්ගය ලබන්නට පෙර පෘථග්ජන ගොත්‍රයෙන් එතර විය යුතු බැවින් ඒ චිත්ත වීථියේ උපන් ගොත්රභූ චිත්තය පෘථග්ජන ගොත්‍රයෙන් එතර කරවන කෘත්‍ය කරමින් උපදින්නේය. එයට පසු ආර්‍ය්‍ය භාවයට පත් පුද්ගලයා හට පහ කළයුතු පෘථග්ජන ගොත්‍රයක් නොමැති බැවින් ඒ වෙනුවට සෑම අතින්ම පිරිසුදු වූ නිර්වාණය අරමුණු කරන්නාවූ වොදාන සිත උපදින බව දතයුතුයි.
ඒ චිත්ත වීථින්හි පෙර පසු උපදනා භවඞ්ගයෝ තෙළෙස් (13) භවඞ්ගයන්ගෙන් එකක්ම වේ. එනම් ඤාණසම්ප්‍රයුක්ත මහා විපාක සතරය, රූපාවචර විපාක පසය අරූපාවචර විපාක සතරය යන තෙළෙස් විපාක චිත්තයෝ යි. සොවාන් මාර්ග වීථිය අරූප ලොකයන්හි හට නො ගන්නා බැවින්, සොවාන් චිත්ත වීථියට පෙර පසු භවඞ්ග වශයෙන් අරූප විපාක සිත් සතර නො ලැබේ. සොවාන් ආර්‍ය්‍ය පුද්ගල තෙමේ අරූපධ්‍යාන වඩා අරූප තලයන්හි ප්රතිසන්ධිය ලැබූයේ වී නම් එහිදීම ඉතිරි මාර්ග ඵල ලබා පිරිනිවන් පාන්නේය.
අර්හත් මාර්ග වීථියට පසු ඇතිවිය හැකි ප්රත්යවෙක්ෂණ චිත්ත වීථි සතරෙකි. එනම් මග්ග, ඵල, ප්‍රහීණ ක්ලේශ සහ නිබ්බාණ යන සතරය. සියලු කෙලෙසුන් නසා අවසන් කළ හෙයින්, ප්රත්යවෙක්ෂා කිරීමට ඉතිරි ක්ලේශයන් නැත්තේය. එබැවින් අන්‍ය ආර්‍ය්‍යයන්ට මෙන් අවශේෂ කිලෙස පච්චවෙක්ඛණ චිත්ත වීථියක් ඇති නොවේ.
මෙසේ සොවාන්, සකෘදාගාමි, අනාගාමි යන මාර්ගත්රයෙහි ප්රත්යවෙක්ෂා වීථි පසක් පසක් බැගින්ද, අර්හත් මාර්ග වීථියෙහි ප්රත්යවෙක්ෂා වීථි සතරක් දැයි එකුන් විසි (19) ප්රත්යවෙක්ෂණ වීථි කෙනෙක් වෙති. ඔව්හුම විමුක්ති ඥාන යයි ද ව්‍යවහාර කරණු ලැබෙත්.
තවද, මේ එක් මාර්ගයකට දහසක් නය ඇත්තේවීනමුත්, එයින් එක් ආර්‍ය්‍ය පුද්ගලයෙකු හට පහළ වන්නේ එක් මාර්ග චිත්තයක් පමණය. ඒ දහසක් නය මෙසේයි:—
සොවාන් මාර්ගය, සුඤ්ඤත සොතාපත්ති මාර්ගය, අප්පණිහිත සෝතාපත්ති මාර්ගය යයි දෙයාකාර වේ (2). ඒ මාර්ග දෙක, දුක්ඛා පටිපදා ඛිප්පාභිඤ්ඤා, දුක්ඛා පටිපදා දන්ධාභිඤ්ඤා, සුඛා පටිපදා ඛිප්පාභිඤ්ඤා, සුඛා පටිපදා දන්ධාභිඤ්ඤා, යන සතර ප්‍රතිපදා වශයෙන් ගත් කල්හි අට දෙනෙකි (8). මෙසේ සුඤ්ඤත, අප්පණිහිත වශයෙන් දෙකක්, ප්‍රතිපදා වශයෙන් අටත් එකතු කළ කල්හි දසයකි (10). ඒ දසදෙනා, (1) සතිපට්ඨානය, (2) සම්‍යග් ප්‍රධානය, (3) සාද්ධිපාදය, (4) ඉන්ද්රිය, (5) බලය (6) බොජ්ඣඞ්ගය, (7) සච්චය, (8) සමථය, (9) විදර්ශනාය, (10) ලොකුත්තර ධර්මය, (11) ස්කන්ධය, (12) ආයතනය, (13) ධාතුය, (14) ආහාරය, (15) ඵස්සය, (16) වෙදනාය, (17) සඤ්ඤා, (18) චෙතනාය, (19) චිත්තය යන එකුන් විසි අභිනිවේශයන් වශයෙන් ගත් කල්හි එක්සිය අනූවක් (190) සොතාපත්ති මාර්ග චිත්තයෝ වෙති. මේ එක්සිය අනූවට පළමු කී දසය එක් කළ විට දෙසියයක් (200) නය වෙති. මේ සිත් දෙසියය, ඡන්ද, චිත්ත, විරිය, වීමංස යන අධිපති ධර්ම සතර වශයෙන් ගත් කළ අටසියයක් (800) වෙති. මේ අටසියයට පළමු දෙසියය එකතු කළ විට නය දහසක් (1000) වෙති. මේ මාර්ග සිත් දහස, දහසක් ආර්‍ය්‍ය පුද්ගලයන්ට, මුත්, එක් ආර්‍ය්‍යයෙක් හට සිත් දෙකක් නො ලැබෙන්නේය. දහසක් නයින් ප්‍රතිමණ්ඩිත සොවන් මාර්ගය යයි කියන්නේ මේ දහසට බව දත යුතුයි.
මෙසේ සකෘදාගාමි, අනාගාමි, අර්හත් යන මාර්ගයන්හිද මේ පිළිවෙලට දහස දහස බැගින් සිත් ලැබෙන්නේය. එවිට සතර මාර්ගයෙහි නය සාරදහසක් (4000) වේ.
තවද, සම්මාදිට්ඨි, සම්මාසඞ්කප්ප, සම්මාවාචා, සම්මාකම්මන්ත, සම්මාආජීව, සම්මාවායාම, සම්මාසති, සම්මාසමාධි යන ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගික මාර්ගයන්ගේ (1) ක්ලේශයන්ගෙන් නික්ම යාම, (2) අකු සල චිත්තයන්ගෙන් නික්ම යාම, (3) අකුසල මූලයන්ගෙන් නික්ම යාම, (4) සම්ප්‍රයුක්ත ධර්මයන්ගෙන් නික්ම යාම, (5) කාමාදි චතුරා ශ්රවයන්ගෙන් නික්ම යාම යන පංච ප්‍රකාර නෛර්ය්යාණිකාර්ථයන්ගේ වශයෙන් සතර මාර්ගයෙහිම විසි දහසක් (4000 × 5=20,000) නය ලැබෙන්නේය.
තවද, ශුෂ්ක විදර්ශක පුද්ගලයා හට ලැබෙන්නාවූ ධ්‍යානාඞ්ග පඤ්චකය වශයෙන් ගත් කල්හිද, නය විසිදහසක් (4000 × 5=20,000) වන්නේය.
තවද, සමථයානිකයාගේ වශයෙන් ලැබෙන්නාවූ ධ්‍යානාඞ්ග පඤ්චකය වශයෙන් ගත් කල්හිද, නය විසිදහසක් (4000 × 5=20,000) ලැබෙන්නේය.
මෙසේ ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගික මාර්ගයන්ගේ පඤ්චප්‍රකාර නෛර්ය්යාණිකාර්ථයන්ගේ වශයෙන් විසිදහසෙක (20,000) ශුෂ්ක විදර්ශකයන්ගේ ප්‍රථමධ්‍යානයෙහි යෙදුනාවූ අඞ්ග පඤ්චකයන්ගේ වශයෙන් විසි දහසෙක (20,000) සමථයානිකයා හට ලැබිය යුතුවූ ධ්‍යානාඞ්ගයන් ගේ වශයෙන් විසි දහසෙකැයි (20,000) සතර මාර්ගයෙහි ලැබිය යුතු නය හැට දහසෙකි. (60,000)
තවද, සතර මාර්ගයෙහි ප්රතිබිම්බවූ සතර ඵල චිත්තයෙහිද මෙසේ සැටදහසක් (60,000) නය ලැබිය යුතු හෙයින්, මාර්ග ඵල චිත්තයන් අටදෙනාගේ එක් ලක්ෂ විසි දහසක් (1,20,000) නය, ක්‍රමයෝ සුදුසු පරිදි යොදාගත යුතුයි.