ධම්මාරම්මණය
චක්ඛු, සොත, ඝාණ, ජිව්හා, කාය යන පඤ්චද්වාරයන්ට ගොචර නොවන, මනොද්වාරයට පමණක් ගොචර වන, පසාදරූප, සුඛුමරූප, චිත්ත, චෛතසික, නිබ්බාණ, පඤ්ඤත්ති යන සය ධම්මා රම්මණය නම් වේ.
චක්ඛුප්රසාදය, සොතප්රසාදය, ඝාණප්‍රසාදය, ජිව්හා ප්‍රසාදය, කාය ප්‍රසාදය යන පස පසාදරූප නම් වේ.
මේ පසාදරූප පසත්, රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ඨබ්බ සඞ්ඛ්‍යාත පඨවි, තෙජො, වායො යන මේ දොළොස හැර ඉතිරි සොළොස් රූපයෝ සුඛුමරූප නම් වේ.
චිත්ත යනු එකුන් අනූවක් (89) සිත් ය.
චෛතසික නම් සිත් හා යෙදෙන දෙපනස් (52) චෛතසිකයෝයි.
නිබ්බාන යනු දුක්ඛ නිරොධ නම් වූ නිර්වාණ පරමාර්ථ ධාතුවයි.
පඤ්ඤත්ති යනු ව්‍යවහාරය පිණිස පණවාගන්නා ලද පරමාර්ථ නොවූ සියලුම ධර්මයෝයි. මෙකී සියල්ලම පඤ්චද්වාරයන්ට ගොචර නොවන්නාහ. නමුත් මනොද්වාරයට මේ සියල්ලම අරමුණු වන හෙයින් ධම්මාරම්මණය යි කියති.
මේ ආරම්මණයෝ සදෙනාම, මිශ්‍ර, අමිශ්‍ර වශයෙන්ද දෙකොටස කට බෙදනු ලැබේ. රූප, ශබ්ද, ගන්ධ, රස යන ගොචර රූප සතර වෙන් වෙන්ව පවත්නා රූප බැවින් අමිශ්‍ර අරමුණුය. පොට්ඨබ්බාරම්මණය, පඨවි, තෙජො, වායො යන භූතත්රයෙන් යුක්ත බැවින් මිශ්‍ර අරමුණු ය. ධම්මාරම්මණය, නාම, රූප, නිබ්බාන, පඤ්ඤත්ති ධර්මයන්ගේ වශයෙන් මිශ්‍ර අරමුණු ය.
තවද දිට්ඨ, සුත, මුත වශයෙන් ආරම්මණයෝ තුන් ආකාර වෙත්.
ඇසින් දක්නාලද රූපයෝ දිට්ඨාරම්මණයෝ යි. කණින් අසන ලද සද්දාරම්මණ, සුත අරමුණු නම් වේ.
ඝාණ, ජිව්හා, කාය යන ද්වාරත්‍රයෙන් විඳගන්නා ලද ගන්ධ, රස, පොට්ඨබ්බ යන ආරම්මණයෝ මුත අරමුණු නම් වෙති. මෙ කී රූපයන්ගේ ආයුෂය වූ චිත්තක්ෂණ සතළොස (17) ගත වූ පසු ඒ රූපයෝ දිට්ඨ, සුත, මුත වශයෙන් සළකනු ලබන බව දත යුතුයි. එබැවින් අතීත කාලික වූ දිට්ඨ, සුත, මුත ආරම්මණයෝ මනොද්වාරයට ම හමුවන්නේය. මනොද්වාරයෙන් කාලත්‍රයට අයත් අරමුණු ගන්නා කල්හි රූපාදී ආරම්මණයන්ගේ ප්‍රත්‍යුත්පන්න චිත්තක්ෂණ සතළොස ඇතුළත කාලයේදී මනොද්වාරයට හමු නොවෙත්. වත්මන් හෙවත් පවත්නා අරමුණු චක්ඛු ආදී වූ පඤ්චද්වාරයන්ටම අරමුණු වේ. මෙසේ පඤ්චද්වාර චිත්තවීථියෙන් මුවහ කරන ලද බැවින් මේ කාලයේදී අරමුණු මනොද්වාරයට හමු නොවන බව දත යුතුයි. වත්මන් අරමුණ මනොද්වාරයට හමුවන්නේ පඤ්චද්වාර චිත්ත වීථියට පසුවය.