පොට්ඨබ්බාරම්මණය
කායප්‍රසාදය හා ස්පර්ශ වීමෙන් කාය විඤ්ඤාණය ඉපදීමට යම් රූප සමූහයක් උපකාරවේද, එයට පොට්ඨබ්බාරම්මණ යයි කියනු ලැබේ. සතර මහා භූතරූපයන් අතුරෙන් ආපො ධාතුව හැර පඨවි, තෙජො, වායො යන භූතත්‍රය පොට්ඨබ්බය නම් වේ. ආපො ධාතුව, සහජාතරූපයන් එකට බැඳීම, විසිරයානොදී වළක්වා ගැනීම කෘත්‍ය කොට ඇත්තේය. එබැවින් එය ස්පර්ශ කළ නොහැකි වේ. යම් කිසි දෙයක් ශරීරය හා ස්පර්ශ වූ කල්හි තදගතිය දැනේ නම් එය පඨවිධාතුහුගේ ස්පර්ශ වීමය. උනුසුම් බවක් හෝ සිහිල් බවක් හෝ දැනේනම් එය තෙජො ධාතුව ස්පර්ශ වීමය. සුළඟ හමන කල්හි ශරීරයට තදින් ස්පර්ශවීමක් දැනේනම් එය පඨවි ධාතුහුගේ ස්පර්ශයයි. සිහිල් හෝ උනුසුම් වාතය දැනේ නම් එය සුළඟෙහි ඇති තෙජො ධාතුවගේ ස්පර්ශයයි. එක්වර දැනෙන්නේ මේ ධාතුන්ගෙන් එකෙක්මය. බලවත් ධාතුහුගේ ස්පර්ශය ප්රකටව දැනෙන කල්හි අනිකුත් ස්පර්ශයෝ නොදැනේ. මේ පොට්ඨබ්බා රම්මණය කාය ප්‍රසාද වස්තුව හා ගැටීමෙන් ඒ පිළිබඳව දැනීම නම් වූ කාය විඤ්ඤාණය හටගන්නේය. ඉෂ්ඨ වූ ස්පර්ශයක් හමු වූ කල්හි කුසල විපාක සුඛ සහගත කාය විඤ්ඤාණය ද, අනිෂ්ට හෙවත් නොකැමැති ස්පර්ශයක් හමු වූ කල්හි අකුසල විපාක දුක්ඛ සහගත කාය විඤ්ඤාණය ද, උපදින්නේය. මෙසේ සුඛ දුක්ඛ වශයෙන් කාය විඤ්ඤාණයන් හටගන්නේ පොට්ඨබ්බාරම්මණයේ ඇති තද බව හේතු කොටගෙනය. චක්ඛු, සොත, ඝාණ, ජිව්හා විඤ්ඤාණයන්ට හමුවන රූප, ශබ්ද, ගන්ධ, රස යන ආරම්මණයෝ ඉතා සියුම් ලෙසින් ස්පර්ශ වන බැවින් එහි වේදනාව උපෙක්ඛා වන බව සැලකිය යුතුයි.