රසාරම්මණය
ජිව්හා ප්‍රසාදය හා ස්පර්ශ වීමෙන් ජිව්හා විඤ්ඤාණය ඉපදීමට යම් රූප පරමාර්ථයක් උපකාර වේද එය රසාරම්මණය වේ. පඨවි, ආපො, තෙජො, වායො යන සතර මහා භූතරූප එක්වූ කල්හි එහි ඇති රසයද ඒ සමඟම පහළ වන්නේය. වෙන් වෙන්ව හටගන්නා රූප කලාපයන්ගේ වෙන්වෙන්වූ රස රූප ඇත්තේ වී නමුත් රූපකලාප යෝ එක්වූකල්හි ඇතිවන්නේ මිශ්‍ර රසයකි. ජිව්හා ප්‍රසාදයට හමු වන්නේ මේ මිශ්‍ර රසයයි. සෑම ද්‍රව්‍යයකම රස රූපයෝ ඇති නමුත් ඇතැම් විට දුර්වල රස රූපයන් දිවට ප්රකටව නොදැනෙන්නේය. බලවත් වූ රස රූපයෝ ජිව්හා ප්‍රසාදය හා ස්පර්ශ වීමේදී රසය ප්රකටව දැනෙන්නේය. ඇඹුල්රස, තිත්තරස, පැනිරස යනාදී වශයෙන් දැනෙන්නේ මේ රස රූපයන්ගේ මිශ්‍රණය ඇතිවූ සැටියෙනි.
තවද මේ රසාරම්මණය වැදගැනීමට ආපොධාතුහුගේ උපකාරය ලැබිය යුතු වේ. තෙත්ගතිය ඇති විටෙක රසය ඉක්මනින් වැට හෙන්නේය. එබැවින් තෙත්ගතිය හෙවත් ආපො ධාතුව වැඩි ද්‍රව්‍යයන්හි රසය හොඳින් දිවට දැනෙන්නේ ය. තෙත් ගතිය ඇති ලුණු වර්ග දිවෙහි තැබූ කල්හි රසය වහා දැනෙන්නේය. රන්, රිදී, මැණික් ආදී ඝණ වස්තූන්හි රසය එතරම් ප්‍රකට නොවේ. මේ රස රූපය ද කම්ම, චිත්ත, ඍතු, ආහාර යන සතර හේතූන්ගෙන්ම හට ගන්නේය. රස රූපය තනියම හට නොගන්නේය. උපාදා රූපයක් බැවින් මහාභූතරූප සමඟම පහළ වන්නේය.