සද්දාරම්මණය
සෝතප්රසාදය හා ගැටුනු කල්හි සෝතවිඤ්ඤාණයක් ඉපදීමට උපකාරවන යම් රූප පරමාර්ථයක් වේද, එයට සද්දාරම්මණ යයි කියනු ලැබේ. රූපකලාපයන් ඔවුන්නොවුන් හා ගැටීම වන කල්හිද, ගැටුණු රූප කලාපයන්ගේ වෙන්වීම වන කල්හිද, වායො ධාතුහුගේ චලනය වීම කරණකොට ගෙන උපදවන ලද රූප පරමාර්ථ යෝ, සෝතප්රසාදය හා ගැටීමෙන් සෝතවිඤ්ඤාණය උපදවනු ලැබේ. සියුම් ආකාරයෙන් රූප කලාපයන්ගේ ගැටීම වන කල්හි, එයින් උපදවන ශබ්දරූපයෝ දුර්වල බැවින් කණට නො ඇසෙන් නේය. වේගවත්ව ගැටෙන කල්හිම ඇසෙන්නේ වේ. නොයෙක් ආකාරවූ රූප කලාපයෝ ඔවුනොවුන් හා ගැටීම නොයෙක් ලෙසින් සිදුවන බැවින්, ඒ ඒ ආකාරයට අනුව ශබ්දය ද වෙනස්වේ. වායො ධාතුව නැති කල්හි මේ ශබ්දයෝ නො පැතිරෙන්නාහ. ශබ්දය පැතිරෙන්නේයයි කී කල්හි, රූප කලාප ඝට්ටණයෙන් ඇතිවන ශබ්දරූපයෝ වායු වේගයෙන් ඈතට ගෙන යන්නේයයි වරදවා නොසිතිය යුතුයි. ශබ්ද රූපයන්ගේද ආයුෂය චිත්තක්ෂණ සතළොසකට වැඩි නොවන බැවින් එසේ ගෙනයාමට ශබ්ද රූපයෝ නොපවති. රූප කලාප ඝට්ටණයෙන් ඇතිවන වායු චලනය කරණ කොට ගෙන එයට ඉදිරියෙහි පවත්නා රූප කලාපයන්ගේද ඝට්ටණ වන්නේය. එයින් හටගත් වායු චලනය නිසා එයට ඉදිරියෙන් ඇති රූප කලාපයන්ගේ ගැටීම ඇතිවේ. මේ ක්‍රමයෙන් ප්‍රථමයෙන් ඇති වූ රූප ඝට්ටණයේ වේගයට අනුව ඉදිරි ඉදිරි රූප කලාප ඝට්ටණය වී සෝතප්‍රසාද වස්තුව සමීපයෙහි වූ රූප කලාපයන්ගේ ගැටීමෙන් හටගන්නා ශබ්ද රූපයෝම සෝතප්රසාදය හා ස්පර්ශවී මෙන් සෝතවිඤ්ඤාණය ඇතිවන බව දත යුතුය.
මෙසේ උපදවනු ලබන ශබ්දරූප කලාප සන්තතිය, යම් උපක්‍රමයකින් දියුණු කරගතහොත්, ඉතා ඈතට පවා පතුරුවන්නටද හැකි වේ. මේ ක්‍රමයට එක් ස්ථානයකින් පිළිවෙලින් උපදවනු ලබන ශබ්දරූප කලාප සන්තති, ඒ පිළිවෙලටම සෝතප්රසාදය හා ගැටීම වන කල්හි කලින් අසා පුරුදු ශබ්දයෝ නම්, මේ ඇසුණේ අසවල් අසවල් ශබ්දයෝයි වෙන් වෙන් වශයෙන් ශබ්ද හැඳිනගන්නේය. බෙර ශබ්දය, වීණා ශබ්දය, මනුෂ්‍ය කට හඬය, පක්ෂිනාදය, අහස ගිගුම් ගැනීමය, යනාදි වශයෙන් ශබ්ද හැඳිනගන්නේ මේ ක්‍රමයෙන් බව දත යුතුයි. මේ ශබ්ද රූපයට තනිවම පැවතිය නොහැකි වේ. රූපකලාපයකට ඇතුළත්වම පවතී. චිත්තසමුට්ඨාන වශයෙන් උපදවන ශබ්ද රූපයෝ වාග්විඤ්ඤත්ති දශක රූප කලාපයට ඇතුළත් වේ. උතුසමුට්ඨාන හෙවත් සෘතුව නිසා හටගන්නා වූ ශබ්දයෝ ශබ්දනවක රූපකලාපයට හෝ ශබ්ද ලහුතාදි ද්වාදසක රූපකලාපයට හෝ ඇතුළත් වන්නේය.