අභිධර්මාර්ථ ප්‍රදීපිකා

රූපාරම්මණය

ඇසට හෙවත් චක්ඛුවිඤ්ඤාණයට හමුවන වර්ණය හෙවත් පැහැය රූපාරම්මණ නම්වේ. පඨවි, ආපො, තෙජො, වායො යන සතර මහා භූතයන් එක්වූ කල්හි එහි ඇතිවන්නාවූ ලක්ෂණය හෙවත් පැහැය වර්ණධාතුව නම් වේ. ඇසට ගොචරවන මේ වර්ණ ධාතුවට රූපාරම්මණය යයි කියති.

සතර මහා භූතයෝ වනාහී ඇසට නොපෙනෙන ඉතා සියුම් රූප පරමාර්ථයෝ යි. මේ රූපපරමාර්ථයන්ට තනිව වෙන් වෙන්ව සිටිය නො හැකිවේ. හැම විටම ඔවුන් එක්වී සමූහ හෙවත් කලාප වශයෙන් පවතී. මෙසේ සතරමහා භූතයෝ එක්වූ කල්හි, ඔවුන්ගේ එක්තරා පැහැයක් හෙවත් වර්ණයක් ද, රසයක්ද, ගන්ධ යක් ද, ඕජාවක් ද, ඇතිවන්නේය. එබැවින් හැම රූප කලාපයකම පඨවි, ආපො, තෙජො, වායො යන සතරමහාභූතරූපද ඒ සතර මහාභූතරූප නිසා හටගන්නා උපාදාරූප නම් වූ වර්ණ, ගන්ධ, රස, ඕජා යන රූප සතරදැයි මෙසේ අඩුම ගණනින් රූපපරමාර්ථ යෝ අට දෙනෙක් විද්‍යාමාන වේ. මෙයට සුද්ධාෂ්ටක රූප කලාපය යයිද කියති. මෙවැනි රූපකලාප මහත් රාශියක් එකතුවීමෙන් ද්‍රව්‍යයයි සම්මත දෙය ඇතිවන්නේය. ද්‍රව්‍යයකට ඇතුළත් වූ හැම රූපකලාපයන්ගේම වෙන් වෙන්වූ වර්ණයන් එකතු වීමෙන්, මිශ්‍රවීමෙන්, ද්‍රව්‍යයකට ඇත්තේ වර්ණ මිශ්‍රණයකි. ඇසට හමු වන්නේ ද්‍රව්‍යයක ඇති මේ වර්ණ මිශ්‍රණය මිස රූප කලාපයන්හි ඇත්තාවූ, සත්‍යවූ පරමාර්ථවූ වර්ණ රූප නොවන බව දතයුතුයි. මෙසේ නොයෙක් ලෙසින් මිශ්‍ර වූ වර්ණය ඇසට හමු වූ කල්හි කලින් දැක පුරුදු සළකුණු වලින් හැඳිනගෙන අසවල් දෙය දැක්කා යයි කියති. සුදු, නිල් රතු, කහ යනාදී වශයෙන් ද්‍රව්‍යයක වර්ණය ප්‍රකාශ කරන කල්හි නොයෙක් ලෙසින් ඇතිවූ, මේ වර්ණ මිශ්‍රණයම ප්‍රකාශ වන බව දතයුතුයි. ඇතැම් රූප කලාපයන්හි වර්ණය අප්‍රකටවූ කල්හි එයින් සැදුනු රූප ඇසට නො පෙනෙන්නේය. ප්‍රකට වර්ණයන් ඇති කල්හිම ද්‍රව්‍යයන් පෙනෙන්නේවේ. රූප කලාප යන්හි වායො ධාතු අධික වූ කල්හි සුලඟයයි කියති. එහි වර්ණය ඉතාමත් දුර්වල බැවින් සුලඟ ඇසට නොපෙනෙන්නේය. ශරීරයට සුලඟ දැනෙන්නේ එහි ඇති පඨවි ධාතු නිසාය. එබැවින් චක්ඛුද්වාරයට හමුවන්නාවූ ද, චක්ඛුවිඤ්ඤාණය ඉපදීමට උපකාර වන්නා වූද රූපාරම්මණය යයි කියනු ලබන්නේ මේ වර්ණ ධාතුවට බව දත යුතුයි.

චක්ඛුද්වාරයට හමුවන වර්ණ සඞ්ඛ්‍යාත රූපාරම්මණය වර්ත මාන හෙවත් ප්‍රත්‍යුත්පන්න රූපාරම්මණයයි. අතීත හෝ අනාගත හෝ රූප අරමුණු චක්ඛුද්වාරයට හමුනොවන්නේය.

පච්චුප්පන්නය තුන් වැදෑරුම් වේ. එනම්:-

  1. ඛණ පච්චුප්පන්නය
  2. සන්තති පච්චුප්පන්නය
  3. අද්ධා පච්චුප්පන්නය

ඛණ පච්චුප්පන්නය නම් චිත්තක්ෂණ හෙවත් සිත් සතළොසක් (17) ඉපිද නිරුද්ධවීමට ගතවන කාලයයි. මෙය රූප පරමාර්ථයාගේ ආයුෂය වේ. පළමුවෙනි චිත්තක්ෂණයේ උත්පාදයත් සමගම රූප පරමාර්ථයාගේ උත්පාදය ඇතිවී සතොළොස්වන (17 වන) චිත්තක්ෂණයේ භඞ්ගයත් සමගම රූපයද නිරුද්ධ වේ. අටළොස්වන (18 වන) චිත්තක්ෂණය ඇතිවන විට එය අතීත රූපයක් වන්නේය.

සන්තති පච්චුප්පන්නය. රූපයක් ඇසින් දුටු කල්හි හෙවත් රූප අරමුණක් ගෙන චක්ඛුද්වාරික චිත්තවීථියක් පහළවී එයට අනතුරුව එම අරමුණම ගෙන පිළිවෙලින් මනොද්වාරික චිත්තවීථි තුනක් ඇතිවීමෙන් පසු ඒ රූපාරම්මණය හැඳිනගනු ලබන්නේය. මෙකී චක්ඛුද්වාරික චිත්තවීථියත් මනොද්වාරික චිත්තවීථි තුනත් යන චිත්තවීථි සතරට ගතවන කාලය සන්තති පච්චුප්පන්නය නම් වේ. අරමුණක් හැඳිනීමට ගතවන කාලයයි.

අද්ධා පච්චුප්පන්නය නම් එක් සත්ත්වයෙක් පිළිබඳ වූ එක් භවයකට අයත් පටිසන්ධි චිත්තක්ෂණයේ පටන් එම භවයේ අවසානය හෙවත් චුතිසිත දක්වා පවත්නා කාලයයි.

මෙයින්, චක්ඛු විඤ්ඤාණය ඉපදීමට උපකාර වන ප්‍රත්‍යුත්පන්න අරමුණ යයි කී කල්හි ඛණ පච්චුප්පන්නය යයි කියන ලද, රූපාරම්මණ යාගේ ආයුෂය වූ චිත්තක්ෂණ සතළොස (17) පවත්නා කාලයෙහි වූ අර මුණුබව දතයුතුයි.

මේ රූපාරම්මණය අමිශ්‍ර අරමුණකි. එසේම මේ වර්ණ රූපය, කම්ම, චිත්ත, සෘතු, ආහාර යන හේතු සතරින්ම උපදවනු ලැබේ.