අභිධර්මාර්ථ ප්‍රදීපිකා

නියත මහග්ගත අරමුණු ඇති සිත්

දොළොස් අරූපාවචර චිත්තයන් අතුරෙන් විඤ්ඤාණඤ්චායතන කුසල, විපාක, ක්‍රියා සිත් තුනද, නේවසඤ්ඤානාසඤ්ඤායතන කුසල විපාක, ක්‍රියා සිත් තුනද යන අරූප සිත් සය නියත වශයෙන්ම මහග්ගත අරමුණුම අරමුණු කරන්නේය.

විඤ්ඤාණඤ්චායතන කුසල් සිත උපදවනු කැමැති පුද්ගලයා විසින් ආකාසානඤ්චායතන කුසල චිත්තය අරමුණු කොට එම ධ්‍යාන චිත්තයාගේ අනන්ත බව වටහා ගන්නා බැවින්, එහි අරමුණ මහග්ගත චිත්තය වූ ආකාශානඤ්චායතන කුසල් සිත නම් වේ.

විඤ්ඤාණඤ්චායතන විපාක සිත, විඤ්ඤාණඤ්චායතන අරූප භූමියෙහි ප්‍රතිසන්ධිය ගෙනදෙන විපාක සිතක් බැවින් එයට පූර්ව භවයෙහිදී මරණාසන්න ජවනයන්ට අරමුණු වූ ආකාශානඤ්චායතන කුසල් සිත නම් වූ කර්මනිමිත්ත අරමුණු කරණු ලැබේ.

විඤ්ඤාණඤ්චායතන ක්‍රියා සිත ඇතිවන්නේ රහතන් වහන්සේටය. අර්හත්වය ලබන්නට පෙර වඩනා ලද ආකාශානඤ්චායතන කුසල චිත්තයාගේ හේතුවෙන් ආකාශානඤ්චායතන අරූප තල යෙහි ඉපිද හෝ මාර්ගඵල වඩා අර්හත්වයට පැමිණ විඤ්ඤාණඤ්චායතන ධ්‍යානය වඩනා කල්හි හෝ පූර්වයෙහි වඩනා ලද එම ආකාශානඤ්චායතන කුසල් සිත අරමුණු කොට, විඤ්ඤාණඤ්චායතන ක්‍රියා සිත උපදවා ගන්නේය. තවද, අර්හත්වයට පැමිණ වඩනාලද ආකාශානඤ්චායතන ක්‍රියා සිත් ඇති රහතන් වහන්සේ එම ආකාශානඤ්චායතන ක්‍රියා සිතම අරමුණු කොට විඤ්ඤාණඤ්චායතන ක්‍රියා සිත උපදවා ගන්නේය.

නෙවසඤ්ඤානාසඤ්ඤායතන කුසල් සිත, ආකිඤ්චඤ්ඤායතන කුසල් සිතම අරමුණු කරන්නේය.

නෙවසඤ්ඤානාසඤ්ඤායතන විපාක සිත, පූර්ව භවයෙහි දී වඩන ලද ආකිඤ්චඤ්ඤායතන කුසල් සිත සඞ්ඛ්‍යාත කම්මනිමිත්ත අරමුණු කොට උපදනා මරණාසන්න ජවනයන්ට අනතුරුව නෙවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි ප්‍රතිසන්ධිය ගෙනදෙන බැවින් අතීත භවයෙහි ආකිඤ්චඤ්ඤායතන කුසල සඞ්ඛ්‍යාත කම්මනිමිත්තම අරමුණු කරන්නේය.

නෙවසඤ්ඤානාසඤ්ඤායතන ක්‍රියා සිත ඇතිවන්නේ රහතන් වහන්සේටය. අර්හත්වය ලැබීමට පෙර, මේ භවයෙහිදී හෝ අතීත භවයෙහිදී හෝ වඩනා ලද ආකිඤ්චඤ්ඤායතන කුසල චිත්තයාගේ හේතුවෙන් ආකිඤ්චඤ්ඤායතන අරූප තලයෙහි ඉපිද හෝ මාර්ගඵල වඩා, අර්හත්වයට පැමිණ නෙවසඤ්ඤානාසඤ්ඤායතන ධ්‍යානය වඩනා කල්හි ආකිඤ්චඤ්ඤායතන කුසල් සිත අරමුණුකොට, නෙවසඤ්ඤානාසඤ්ඤායතන ක්‍රියා සිත උපදවාගන්නේය. තවද අර්හත්වයට පැමිණ වඩනාලද ආකිඤ්චඤ්ඤායතන ක්‍රියා සිත් ඇති රහතන් වහන්සේ එම ආකිඤ්චඤ්ඤායතන ක්‍රියා සිතම අරමුණුකොට, නෙවසඤ්ඤානාසඤ්ඤායතන ක්‍රියා සිත උපදවා ගන්නේය.

මේ අරූපාවචර සිත් සය මෙසේ මහග්ගතවූ අරූපාවචර සිත්ම අරමුණු කරත්. කාමාවචර, ලොකොත්තර, පඤ්ඤත්ති අරමුණු නොගනී.