අභිධර්මාර්ථ ප්‍රදීපිකා

ද්වාර විමුක්ත චිත්තයන්ගේ අරමුණු

ද්වාරවිමුක්ත චිත්තයෝ නම් පටිසන්ධි, භවඞ්ග, චුති කෘත්‍ය යන් කරන්නාවූ එකුන්විසි (19) චිත්තයෝයි. අතීත භවයෙන් ගන්නා ලද, කම්ම, කම්මනිමිති, ගතිනිමිති යයි සම්මත සදොරින් ගන්නා ලද ආරම්මණයෝ මේ ද්වාරවිමුක්ත චිත්තයන්ගේ අරමුණු වෙති.

මරණයට ඉතාම ආසන්නයෙහිදී පහළවන චිත්ත වීථියට මරණාසන්න චිත්තවීථිය යයි ද එම චිත්ත වීථියෙහි උපදනා ජවන් සිත් වලට මරණාසන්න ජවන් යයිද කියනු ලැබේ. මේ මරණාසන්න ජවනයන් විසින් අරමුණු කරණු ලබන්නේ කම්ම, කම්මනිමිති, ගතිනිමිති යන අරමුණුවලින් එකෙකි.

කලින් කරණ ලද යම් කුසලාකුසල කර්මයක් මතු භවයෙහි පටිසන්ධි විපාකය ගෙනදීම පිණිස මරණාසන්න ජවන් සිත් වලට අරමුණු වන්නේ නම් එයට කම්ම අරමුණයයි කියනු ලැබේ.

යම් කුසලා කුසල කර්මයක් කිරීමට උපකාර වූ යම් කිසි උපකරණාදියත් පටිසන්ධි විපාකය ගෙන දීම පිණිස මරණාසන්න ජවන් සිත්වලට අරමුණු වන්නේ නම් එයට කම්මනිමිති අරමුණ යයි කියති.

කරණ ලද යම් කුසලාකුසල කර්මයක්හුගේ විපාකය වශයෙන් යම් භවයක පටිසන්ධිය ගෙනදීමට හේතුවන්නේ නම්, එම අළුත් භවය පිළිබඳවූ යම් යම් නිමිති, දෙව් විමන්, වන, පර්වත, ගිනිදැල්, මස් වැදැලි ආදි වශයෙන් මරණාසන්න ජවන්, සිත්වලට අරමුණු වන්නේ නම් එයට ගතිනිමිති අරමුණ යයි කියනු ලැබේ.

මෙයින් කම්ම අරමුණු අතීත කාලික බැවින් මනොද්වාර මරණාසන්න චිත්තවීථියෙහි උපදනා ජවනයන්ට අරමුණු වන්නේය. අකුසල කර්මයක් නම් උද්ධච්ච සම්ප්‍රයුක්ත සිත හැර ඉතිරි එකොළොස් අකුසල චිත්තයන්ගෙන් එකකි. කුසල කර්මයක් නම් කාමාවචර කුසල් සිත් අටෙන් එකෙකි.

කම්මනිමිති ෂඩ්ද්වාරයටම අරමුණු වෙත්. වර්තමාන කම්ම නිමිත්තක් නම් පඤ්චද්වාරයටද, අතීත නිමිත්තක් නම් මනොද්වාර යටද අරමුණු වේ. කුසල පක්ෂයෙහිනම් කලින් පින්කම් කරණ කල්හි දැක පුරුදු බුද්ධ ප්‍රතිමාදියද, බණ ඇසීම, පිරිකර අනගැසීම ආදියද මරණාසන්නයේදී ලද්දක් වශයෙන් ද පෙනෙන්නේය. අකුසල පක්ෂයෙහි නම් කලින් කරන ලද ප්‍රාණවධ ආදිය පිණිස උපකරණ පිළියෙල කිරීම අවි ආයුධ ගැනීම යනාදිය පෙනෙන්නේය.

බඹලොව උපදින ධ්‍යානලාභීන්ට භාවනා කර්මය පිණිස උපකාරවූ කසිණාදී පඤ්ඤත්ති අරමුණු කර්ම නිමිති වශයෙන් ඇතිවන්නේය. කම්ම හා ගතිනිමිති අරමුණු නොකරයි.

මරණාසන්න ජවනයන් විසින් ගතිනිමිති අරමුණු කරණ කල්හි ෂඩ්ද්වාරයෙන්ම අරමුණු කරන්නේය.

නිරය පටිසන්ධිය ගෙන දෙන්නේ නම් නිරය ගිනි, නිරය පාලයන්, නිරය සුනඛයන් ආදීන් දකී. තිරිසන් භවයෙහි නම් වන, පර්වතාදියද, මිනිස් ලොව නම් මව්කුස වර්ණ, රෙදි පිළි ආදියද, දෙව්ලොව නම් දෙවඟනන්, දෙව්රුක්, දෙව්විමන්, දිව්‍ය රථ දිව්‍ය මල් ආදිය අරමුණු වන්නේය. දිව්‍ය රථාදිය චක්ඛුද්වාරයෙන්ද ගීතාදිය සොතද්වාරයෙන්ද, සුවඳ ඝාණද්වාරයෙන්ද, රස ජිව්හා ද්වාරයෙන්ද ගන්නේය. අකුසල පක්ෂයෙහිද එසේම, නිරාගිනි ශරීරයට දැනෙන්නේය. දුර්ගන්ධ, නපුරු දර්ශන ආදියද එපරිද්දෙන්ම ඒ ඒ ද්වාරවලට දැනෙන්නේය.

මෙසේ මේ භවයෙහිදී ෂඩ්ද්වාරයෙන් ගන්නාලද කම්ම, කම්ම නිමිති, ගතිනිමිති යන අරමුණුවලින් එකක් ගෙන මරණාසන්න ජවන් ඉපිද නිරුද්ධ වූ පසු චුති චිත්තයෙන් ඒ භවය අවසන් කොට එයට අනතුරුව අළුත් භවයෙහි පටිසන්ධි විපාක සිත එම මරණාසන්න ජවනයන්ගේම අරමුණ ගෙන උපදින්නේය. අළුත් භවයෙහි භවඞ්ග සිත්වල අරමුණත් චුති සිතෙහි අරමුණත් එයමය.

ද්වාරවිමුක්ත සිත්වශයෙන් උපදනා කාමාවචර ප්‍රතිසන්ධිහු දසදෙනෙක් වෙති. එනම් අහේතුක ප්‍රතිසන්ධි දෙක හා මහා විපාක අටය. මොව්හු ෂඩ්ද්වාරයෙන්ම ගනු ලබන කම්ම, කම්මනිමිති, ගතිනිමිති යයි සම්මත වූද ප්‍රත්‍යුත්පන්න, අතීත යන කාල දෙකටම අයත් රූපාදිය අරමුණු කරන්නාහුය.

රූපාවචර ප්‍රතිසන්ධිහු පස්දෙන සහ ආකාශානඤ්චායතන, ආකිඤ්චඤ්ඤායතන සඞ්ඛ්‍යාත අරූපි දෙදෙනා යන මහග්ගත ප්‍රතිසන්ධිහු සත්දෙන මනොද්වාරයෙන් ගන්නා ලද්දවූද, කාලවිමුක්තවූද, ප්‍රඥප්ති ධම්මාලම්බණ සඞ්ඛ්‍යාත කර්මනිමිති අරමුණු කරන්නේය.

විඤ්ඤාණඤ්චායතන සහ නේවසඤ්ඤානාසඤ්ඤායතන යන අරූප ප්‍රතිසන්ධි දෙදෙනා මනොද්වාරයෙන් ගන්නා ලද්දා වූද, අතීතකාලික වූද, ආකාශානඤ්චායතන සහ ආකිඤ්චඤ්ඤායතන කුසල චිත්ත සඞ්ඛ්‍යාත ධම්මාලම්බණ කම්මනිමිත්ත අරමුණු කරන්නේය.

මරණාසන්න ජවනයන්ගේද, අනතුරු භවයෙහි පටිසන්ධි චිත්තයාගේද අරමුණු බොහෝ සෙයින් සමානය ඇතැම් තැනෙක අසමානද වේ, එනම්

  1. මිනිස් ලොවදී වායො කසිණයෙන් චතුර්ථධ්‍යානය උපදවා අසංඥාතලයෙහි උපදනා කර්මවාදි ක්‍රියාවාදී තීර්ථකයන්ගේ ප්‍රති සන්ධියයි. මෙතෙමේ මනුෂ්‍යලොකයෙහි යම් ඉරියව්වකින් හිඳ, සතරනාමස්කන්ධයන්ගේ දොස් දැක වායො කසිණය වඩා නොපිරි හුණු ධ්‍යානයෙන් කලුරිය කෙළේවිනම්, එම ඉරියව්වෙන්ම ප්‍රතිමා රූපයක් මෙන් රූපස්කන්ධයක්ම අසඥාතලයෙහි පහළවන්නේය. ප්‍රතිසන්ධි චිත්තයක්වූ නාමස්කන්ධයක් නූපදනේය.

2. අසංඥාතලයෙහි ඉපදීමට වඩාගත් ධ්‍යාන වේගය මහාකල්ප පන්සියයක් පමණ කල් නොසිඳී පවතින බැවින්, එතෙක්කල් මේ පුද්ගලතෙමේ අසඥාතලයෙහි රූපස්කන්ධයෙන් පමණක් වැස එයින් චුතව සප්ත කාම භූමියට එන කල්හි අසංඥාතලයට එන් නට පෙර භවයෙහිදි කරණ ලද යම් කුසල කර්මයක්හුගේ විපාක වශයෙන් කාමාවචර ප්‍රතිසන්ධි මහා විපාක සිතකින් කාම සුගතියෙහි ප්‍රතිසන්ධිය ලබන්නේය.

3. රහතන් වහන්සේගේ ස්කන්ධ පරිනිර්වාණයේදි චිත්ත සන්තතිය නිරුද්ධ වන බැවින්, අවසාන චිත්තයවූ චුතිසිතට අනතුරුව පටිසන්ධියක් ඇති නොවන්නේය.