සම්පටිච්ඡන කෘත්‍යය (9)
පඤ්චද්වාරයෙන් වැදගන්නා ලද්දවූද, චක්ඛු විඤ්ඤාණාදී පඤ්චවිඤ්ඤාණයන් විසින් අරමුණු කරන ලද රූප, ශබ්දාදී අරමුණු පිළිගැනීම සම්පටිච්ඡන කෘත්‍ය නමි.
චක්ඛුද්වාරාදි පඤ්චද්වාරයෙන් ඇතුල් කරගන්නා ලද අරමුණක් ගෙන, චිත්තවීථියක් උපදනා කල්හි භවාඞ්ග චලන, භවාඞ්ගුපච්ඡේද යන දෙසිතෙන් භවාඞ්ග අරමුණ ඉවත් කොට, පඤ්චද්වාරාවජ්ජන සිතින් අළුත් අරමුණට සිත් පරම්පරාව යොමුකොට, චක්ඛුවිඤ්ඤාණාදි සිතින් අරමුණ ගත් කල්හි, මේ අළුත් අරමුණ පිළිගැනීම් වශ යෙන් සම්පටිච්ඡන කෘත්‍ය කරමින් සිතක් පහළවන්නේය. එයට සම්පටිච්ඡන සිතයයි කියනු ලැබේ.
සම්පටිච්ඡන කෘත්‍ය කරන සිත් දෙකෙකි. අකුසල විපාක චක්ඛුවිඤ්ඤාණාදි සිතකින් ගන්නාලද අනිෂ්ට අරමුණ පිළිගනිමින් සම්පටිච්ඡන කෘත්‍ය කරන අහේතුක අකුසල විපාක උපෙක්ඛා සහගත සම්පටිච්ඡන සිත හා කුසල විපාක විඤ්ඤාණ සිතකින් ගන්නා ලද ඉෂ්ට අරමුණ පිළිගනිමින් සම්පටිච්ඡන කෘත්‍ය කරන අහේතුක කුසල විපාක උපෙක්ඛාසහගත සම්පටිච්ඡන සිතත් යන සිත් දෙකය.
මේ දෙසිතෙහි අරමුණ ඊට පෙර පහළ වූ විඤ්ඤාණ සිතින් ගන්නා ලද අරමුණමය.