අභිධර්මාර්ථ ප්‍රදීපිකා

ඵුසන කෘත්‍යය (8)

කායද්වාරයෙන් ගනු ලබන ස්පර්ශ අරමුණු දැනීම හෙවත් කයට වැදගත් පොට්ඨබ්බය දැනගැනීම ඵුසන කෘත්‍යය නමි. පොට්ඨබ්බ අරමුණක් කායප්‍රසාද වස්තුව හා ගැටුණු කල්හි පඤ්චද්වා රාවජ්ජන සිතට අනතුරුව ඵුසන කෘත්‍යය කරමින් කායවිඤ්ඤාණ නම් වූ සිත කායප්‍රසාද වස්තුවෙහි හටගන්නේය. මේ කායවිඤ්ඤාණ සිතින් කරනු ලබන්නේ ස්පර්ශය දැනගැනීම පමණකි. අන් කෘත්‍යයක් කිරීමට මේ සිත අසමර්ථ වේ.

ඵුසන කෘත්‍ය කරන සිත් දෙකෙකි. අමිහිරිවූද, නො කැමැති වූද, දුක් උපදවන්නා වූද ස්පර්ශයක් හමුවූ කල්හි අහේතුක අකුසල විපාක දුක්ඛසහගත කාය විඤ්ඤාණ නම් වූ සිත ඵුසන කෘත්‍යය කරමින් පහළ වන්නේය. ප්‍රිය මනාපවූද, මිහිරිවූද, සැප උපදවන ඉෂ්ට වූ ස්පර්ශයක් හමුවූ කල්හි අහේතුක කුසලවිපාක සුඛ සහගත කායවිඤ්ඤාණ නම් සිත ඵුසන කෘත්‍යය කරමින් පහළවන්නේය.

ඵුසන කෘත්‍ය කරන සිත්වල අරමුණ නම් පඨවි, තේජෝ, වායො යන භූතත්‍රය සංඛ්‍යාත පොට්ඨබ්බ අරමුණය. චක්ඛු, සොත, ඝාණ, ජිව්හා යන සතර විඤ්ඤාණයන් පිළිබඳ වූ අරමුණු මහාභූතයන් නිසා පවත්නා උපාදාරූප බැවින් ඉතා සියුම්ය. එබැවින් ඒ සිත්හි වෙදනාව උපෙක්ඛා වෙදනාවයි. කාය විඤ්ඤාණ දෙසිතෙහි අරමුණ මහා භූතයන්ම බැවින් තදය. එබැවින් මෙහි වෙදනාව දුක් හෝ සැප වන බව දත යුතුයි.