ඝායන කෘත්‍යය (6)
ඝාණද්වාරයෙන් ගනු ලබන ගන්ධ අරමුණු දැනගන්නා හෙවත් නැහැයට හමුවූ ගඳ සුවඳ දැනීම ඝායන කෘත්‍ය නම් වේ. ගන්ධ අරමුණක් ඝාණ ප්‍රසාද වස්තුව හා ගැටුනු කල්හි ඇතිවන පඤ්චද්වාර චිත්තවීථියෙහි පඤ්චද්වාරාවජ්ජන සිතට අනතුරුව ඝාණ විඤ්ඤාණ නම් සිත ඝායන කෘත්‍ය කරමින් ගන්ධ අරමුණ ගෙන පහළ වන්නේය. ඝායන කෘත්‍ය කරන කල්හි ගන්ධයාගේ මිහිරි අමිහිරි බවක් හෝ නො දැනෙන්නේය. ගන්ධ අරමුණක් හමුවූ බව පමණක් දැන ගන්නේය.
ඝායන කෘත්‍ය කරන සිත් දෙකෙකි. අප්‍රිය අමනාප ගන්ධයක් හෙවත් දුගඳක් හමුවූ විට අහේතුක අකුසල විපාක උපෙක්ඛා සහගත ඝාණ විඤ්ඤාණ සිත ඝායන කෘත්‍ය කරමින් පහළ වන්නේය. මිහිරි වූ මනාප වූ ඉෂ්ට වූ සුගන්ධයක් හමුවූ කල්හි අහේතුක කුසලවිපාක ඝාණ විඤ්ඤාණ සිත ඝායන කෘත්‍යය කරමින් පහළ වන්නේය.
ඝාණ විඤ්ඤාණ දෙසිතෙහි අරමුණ සතර මහාභූතයන් නිසා පවත්නා, ඝාණ විඤ්ඤාණයට ගොචර වන හෙවත් නැහැයෙන් ආඝ්‍රාණය කළයුතු ගඳ සුවඳ යයි කියන්නා වූ ගන්ධ අරමුණයි.