අභිධර්මාර්ථ ප්‍රදීපිකා

සවණ කෘත්‍යය (5)

සෝතද්වාරයෙන් ගනු ලබන ශබ්ද අරමුණු දැනීම හෙවත් ශබ්ද ඇසීම ශ්‍රවණ කෘත්‍ය නමි. වායෝධාතුහුගේ උපකාරයෙන් ශබ්ද අරමුණක් ශ්‍රෝතප්‍රසාද වස්තුව හා ගැටුනු කල්හි පඤ්චද්වාරාවජ්ජන ක්‍රියා සිතින් යොමු කරන ලද චිත්ත පරම්පරාවෙහි මේ ශබ්දය අර මුණු කොට ගෙණ ශ්‍රෝතප්‍රසාද වස්තුවෙහිදීම ඒ ශබ්දය දැන ගැනීම හෙවත් සවණ කෘත්‍ය කරන්නා වූ සෝත විඤ්ඤාණ සිත උපදින්නේය. මේ සවණ කෘත්‍ය කරන කල්හි ඒ ශබ්දයාගේ මිහිරි බව හෝ අමිහිරි බව යනාදී ආකාරයන් නොවැටහෙන්නේ ය. ශබ්දයක් අරමුණු කළ බව පමණක් දැනගන්නේය.

සවණ කෘත්‍ය කරණ සිත් දෙකෙකි. අප්‍රියවූ අමනාපවූ අමිහිරි වූ ශබ්ද අරමුණක් හමුවූ කල්හි අකුසලවිපාක අහේතුක උපෙක්ඛා සහගත සෝත විඤ්ඤාණ සිත සවණ කෘත්‍ය කරමින් පහළ වන්නේය. එමෙන්ම ප්‍රියමනාප වූ, මිහිරිවූ ඉෂ්ට වූ ශබ්ද අරමුණක් හමුවූ කල්හි අහේතුක කුසලවිපාක උපෙක්ඛා සහගත සෝතවිඤ්ඤාණ සිත සවණ කෘත්‍ය කරමින් පහළ වන්නේය.

සෝතවිඤ්ඤාණ දෙසිතෙහි අරමුණ, සතරමහාභූතයන් නිසා පවත්නා වූ ශ්‍රෝත විඤ්ඤාණයන්ට ගොචරවන හෙවත් කණින් ඇසියයුතු ශබ්දය වේ.