අභිධර්මාර්ථ ප්‍රදීපිකා

දස්සන කෘත්‍යය (4)

චක්ඛුද්වාරයෙන් ගනු ලබන රූප අරමුණු දැනීම හෙවත් රූප දැකීම දර්ශන කෘත්‍ය නම් වේ. ආලෝකයේ උපකාරයෙන් ප්‍රකට බවට පැමිණි රූපය පිළිබඳ වූ වර්ණය චක්ඛු ප්‍රසාද වස්තුව හා ගැටුනු කල්හි පඤ්චද්වාරාවජ්ජන ක්‍රියා සිතින් යොමු කරන ලද චිත්ත පරම්පරාවෙහි මේ වර්ණය අරමුණු කොට ගෙන චක්ඛු ප්‍රසාද වස්තුවෙහිදී ම ඒ වර්ණය දැන ගැනීම හෙවත් දස්සන කෘත්‍යය කරන්නා වූ චක්ඛු විඤ්ඤාණ සිත උපදින්නේය. චක්ඛු විඤ්ඤාණ සිත දස්සන කෘත්‍යය හැර අන් කෘත්‍යයක් කිරීමට අසමර්ථය. තවද මේ දස්සන කෘත්‍ය කරන කල්හි රූප අරමුණු දැන ගැනීම මිස එහි ඉෂ්ටානිෂ්ටාදී අන්‍ය ස්වභාවයන් දැන ගැනීමේ ශක්තියක් ද ඇති නොවන්නේ ය. එබැවින් මේ දස්සන කෘත්‍ය කරන චක්ඛු විඤ්ඤාණ සිත ඉතා දුර්වල වූ විපාක සිතක් ම වන්නේය.

දස්සන කෘත්‍ය කරන සිත් දෙකකි. එනම්, අකුසල විපාක වශයෙන් හමුවන අනිෂ්ටරූප අරමුණක් ගෙන පහළ වන්නා වූ අහේතුක අකුසල විපාක උපෙක්ඛා සහගත චක්ඛුවිඤ්ඤාණ සිත හා කුසලවිපාක වශයෙන් හමුවන ඉෂ්ට අරමුණක් ගෙන පහළවන්නා වූ අහේතුක කුසලවිපාක උපෙක්ඛා සහගත චක්ඛුවිඤ්ඤාණ සිත ද වේ.

ඇසින් දැකිය යුතු යම්කිසි වස්තුවක් දැක මෙය අසවල් ගසය, අසවල් සත්ත්වයාය, අසවල් ද්‍රව්‍යය යනාදී වශයෙන් නිශ්චය කර ගැනීම, සිත් රාශියකින් හෙවත් චිත්තවීථි කීපයකින් සිදුවන ක්‍රියාවකි. චක්ඛුවිඤ්ඤාණ සිතින් ඇති වන්නේ වර්ණය දැනීම පමණකි.

එබැවින් චක්ඛුවිඤ්ඤාණ දෙසිතෙහි අරමුණ, සතර මහා භූතයන් නිසා පවත්නාවූ, චක්ඛුවිඤ්ඤාණයට ගොචරවන හෙවත් ඇසින් දැකිය යුතු රූපයන් පිළිබඳ වූ වර්ණය හෙවත් පැහැය බව සැලකිය යුතුයි.