අභිධර්මාර්ථ ප්‍රදීපිකා

ආවර්ජන කෘත්‍යය (3)

චක්ඛු, සොත, ඝාණ, ජිව්හා, කාය යන පඤ්චද්වාරයෙන් හා මනෝද්වාරයෙන් ද ගනු ලබන්නා වූ අරමුණුවලට භවාඞ්ග සිත් පරම්පරාව යොමු කිරීම ආවර්ජන කෘත්‍ය නම් වේ.

ෂට්ද්වාරයන් අතුරෙන් යම්කිසි ද්වාරයකට අරමුණක් හමු වූ කල්හි භවාඞ්ග සිත බිඳී අළුත් අරමුණ ගෙන චිත්ත වීථිය ඇතිවන කල්හි ඒ අරමුණ කුමක්දැයි දැන ගැනීමට පෙර, භවාඞ්ග සිත් පරම් පරාව එම අළුත් අරමුණට යොමු කිරීම් වශයෙන් සිතක් පහළ වී නිරුද්ධ වන්නේය. මේ සිතින් ආවර්ජනය කිරීම හැර එයට වැඩි ක්‍රියාවක් කළ නොහැකිවේ. ගෙයට ඇතුල්වීම පිණිස දොර හරින්නාක් මෙන්, ෂට් ද්වාරයෙන් ගන්නා අරමුණු ඇතුල් කිරීම පිණිස මේ ආවර්ජනා සිත් උපකාර වන්නේය.

ආවර්ජන කෘත්‍ය කරන සිත් දෙකකි. චක්ඛුද්වාරාදි පඤ්චද්වාරයෙන් ගන්නා වූ අරමුණුවලට සිත් පරම්පරාව යොමු කිරීම් වශයෙන් පහළවන්නා වූ අහේතුක උපෙක්ඛා සහගත පඤ්චද්වාරාවජ්ජන ක්‍රියා සිත සහ මනෝද්වාරයෙන් ගනු ලබන අරමුණුවලට සිත් පරම් පරාව යොමු කිරීම් වශයෙන් උපදනා අහේතුක උපෙක්ඛා සහගත මනෝද්වාරාවජ්ජන ක්‍රියා සිත ද යන මේ සිත් දෙක ආවජ්ජන කෘත්‍යය කරන සිත් වෙති. පඤ්චද්වාරික චිත්ත වීථියෙහි භවාඞ්ග සිතෙහි අරමුණ ඉවත් කරමින් උපදනා භවඞ්ගුපච්ඡේද සිතටත්, චක්ඛු විඤ්ඤාණාදි විඤ්ඤාණ සිතටත් අතර මේ පඤ්චද්වාරාවර්ජන සිත පහළ වේ. මනොද්වාරික චිත්ත වීථියේදී ආවර්ජන කෘත්‍ය කරන්නා වූ මේ මනොද්වාරාවර්ජන සිත භවඞ්ගුපච්ඡේදයටත් ජවනයටත් අතර පහළ වන්නේය.

ආවජ්ජනා සිත්හි අරමුණ එම චිත්ත වීථිය හටගැනීමට උපකාර වූ අළුත් අරමුණය. චිත්ත වීථියක පළමුව උපදනා වීථි සිත මේ ආවජ්ජනා සිතක්මය.