අභිධර්මාර්ථ ප්‍රදීපිකා

භවාඞ්ග කෘත්‍යය 2

භවයාගේ නො සිඳී පැවැත්මට උපකාර වූ කෘත්‍යය භවාඞ්ග කෘත්‍ය නම් වේ. ප්‍රතිසන්ධි සිත ඉපිද නිරුද්ධ වූ පසු, එම විපාක සිත, එම අරමුණම ගෙන, භවයාගේ අවසානය තෙක් චිත්ත සන්තතිය පවත්වා ගැනීමේ අඞ්ගයක් වශයෙන් භවාඞ්ග චිත්තය යන නමින් පහළ වන්නේ ය. වර්තමාන භවයෙන් අරමුණු ගෙන සිත් නූපදනා හැම කල්හිම පහළ වන්නේ මේ භවාඞ්ග සිත් පරම්පරාවමය. යම් අවස්ථාවෙක්හි අළුත් අරමුණක් ගෙන සිත් හටගැනීමක් ඇතිවන විට මේ භවාඞ්ග සිත බිඳී ඒ වෙනුවට අළුත් අරමුණ ගෙන චිත්ත වීථියක් ඇතිවී අවසන්වූ පසු නැවත මේ භවාඞ්ග සිත් පරම්පරාව හටගන්නේ ය. භවාඞ්ග සිත තිබියදී අන්සිතක් හට නොගන්නේ ය. මේ භවාඞ්ග සිත් පරම්පරාවේ අවසාන සිත සත්ත්වයා මේ භවයෙන් චුත කර වන බැවින් චුති සිත යයි ව්‍යවහාර වන්නේ ය.

භවාඞ්ග කෘත්‍යය කරන සිත් පටිසන්ධි කෘත්‍යය කරන සිත්ම බැවින් එකුන් විස්සකි (19). පටිසන්ධි සිතෙහි විස්තර කරන ලද පරිද්දෙන් ඒ එකුන් විසි චිත්තයන් දත යුතුයි.

භවාඞ්ග සිතෙහි අරමුණ පටිසන්ධි සිත විසින් ගන්නා ලද, පූර්ව භවයට අයත් කර්ම, කර්මනිමිති, ගතිනිමිති යන අරමුණු වලින් එකකි. මේ භවාඞ්ග සිත, භූමි, ජාති, සම්ප්‍රයුක්ත ධර්ම, සංස්කාර, ආරම්මණයාගේ වශයෙන් ප්‍රතිසන්ධි සිතට සෑම අතින්ම සමානය. අහේතුක පටිසන්ධි සිතෙහි අන්‍යසමාන චෛතසිකයන් දසදෙනෙක් පමණක් යෙදෙන බැවින් දුර්වල විපාක සිතකි. එබැවින් එම භවාංග සිතෙහි ද අරමුණ අප්‍රකටය. නමුත් ක්ලේශ ධර්මයන්ගෙන් මිශ්‍ර නො වූ හෙයින් පවිත්‍රය. ප්‍රකෘති සිත යයි කියන්නේත් මේ භවාඞ්ග සිතටමය. සිතින්ම ගනු ලබන යම් අරමුණක් ගෙන යම් චිත්තවීථි යක් ඇතිවේනම් එහි මනෝද්වාරාවජ්ජන සිතට පෙර උපදනා භවාංග පච්ඡේද සිතට මනෝද්වාරයයි කියනු ලැබේ.