අභිධර්මාර්ථ ප්‍රදීපිකා

පටිසන්ධි කෘත්‍ය (1)

අතීත භවය හා වර්තමාන භවය හෝ, වර්තමානභවය හා අනාගත භවය හෝ, ගළපන, සම්බන්ධකරවන හෙයින් පටිසන්ධි නම් වේ

එක් සත්ත්වයෙකු පිළිබඳ වූ චිත්ත පරම්පරාව වනාහී අනාදිමත් කාලයක සිට, අතරක් නැතිව, සිත් ඉපිද නිරුද්ධ වෙමින්, එකිනෙකට සම්බන්ධ වී සසර පවත්වාගෙන එන ශක්තියකි. අසුරු සැනක් ගසනා කල්හි ඉපිද නිරුද්ධවන චිත්තයන්ගේ සංඛ්‍යාව ලක්ෂ කොටි ගණන් ය. ඉතා ස්වල්ප වූ ආයුෂ ඇති මේ සිත්, වෙන් වෙන්වූ අරමුණු ගනිමින් වෙන් වෙන් වූ කෘත්‍ය කරමින්, එක් සිතක් අනිත් සිතෙහි කෘත්‍ය කිරීමට උපකාරවෙමින් තම තමන්ගේම ශක්තියෙන් උපදවා ගත් රූප කය ඇසුරු කරමින් භවය ඇති කොට ඒ ඒ චිත්තයන්ගේ හෙවත් කර්මයන්ගේ ශක්තියෙන් නොයෙක් ක්‍රියා සිදු කොට කර්මයාගේ හෝ ශරීරයාගේ ආයු ශක්තිය පිරිහී යාමෙන් ස්කන්ධයන්ගේ භෙදය වූ මරණය ඇති වී, මේ භවයෙන් ගිලිහී නැවත අළුත් භවයක් ඇති කරගනිමින් මෙසේ භවයෙන් භවයට පත් වෙමින් සසර පවත්වන්නේය. අවිද්‍යා තෘෂ්ණාදි හේතූන් නොසිඳී පවත්නා තෙක් සසරින් මිදීමක් නොවන්නේය. මෙසේ මේ චිත්ත පරම්පරාවට අයත් එක් භවයෙක්හි අවසාන සිත වූ චුති සිතින් මේභවය අවසන්කොට අතරක් නැතිව අළුත් භවය ඇති කරමින් පහළ වන, ඒ අළුත් භවයට අයත් පළමු සිත වූ ප්‍රතිසන්ධි චිත්තය, පරණ භවයත් අළුත් භවයත් ගළපමින් සන්ධි කරමින් උපදනේය. මෙයට පටිසන්ධි කෘත්‍ය යයි කියනු ලැබේ.

පටිසන්ධි කෘත්‍යය කරන සිත් එකුන් විස්සකි (19)

දොළොස් අකුසල් සිත් අතුරෙන් උද්ධච්ච සම්ප්‍රයුක්ත සිත හැර ඉතිරි සිත් එකොළොසින් යම් කර්ම පථයක් සිදුවී එහි ප්‍රතිසන්ධි විපාක ගෙනදීම් වශයෙන් මරණාසන්න චිත්ත වීථියෙහි ජවනයන්ට අරමුණු වී නම් ඒ අකුසල කර්මයාගේ විපාක වශයෙන් සතර අපාය අතුරෙන් එමකර්මයට අනුරූප වූ යම්කිසි ස්ථානයක ඉපැද්වීම හෙවත් පටිසන්ධි කිරීම් වශයෙන් අහේතුක අකුසල විපාක උපෙක්ෂා සහගත සන්තීරණ සිත ප්‍රතිසන්ධි කෘත්‍ය කරමින් එම අළුත් භවයෙහි පළමු සිත වශයෙන් පහළ වන්නේය. මෙයට දුගති අහේතුක ප්‍රතිසන්ධියයයිද කියනු ලැබේ.

ඤාණයෙන් තොරව ආනිශංස නොදැන හෝ සිහි නොකර හෝ යම්කිසි දුර්වල කුසල කර්මපථයක් කරන කල්හි, දුර්වල වූ කාමාවචර ඤාණ විප්‍රයුක්ත කුසල් සිත් සතරින් එකක් පහළ වී නම් එම කර්මයාගේ ප්‍රතිසන්ධි විපාක ලැබීමට අවස්ථා පැමිණි කල්හි, අහෙතුක කුසල විපාක උපෙක්ෂා සහගත සන්තීරණ සිත පටිසන්ධි කෘත්‍ය සිද්ධ කරමින් මනුෂ්‍යාත්ම භාවයක නම් ජාත්‍යන්ධ ජාතිබධිර ආදී දුර්වල ආත්ම භාවයක් හෝ විනිපාතික වර්ගයට අයත් සුගති අහෙතුක භවයක් හෝ ගෙන දෙන්නේය. මෙයට සුගති අහෙතුක ප්‍රතිසන්ධිය යයි කියති.

දුර්වල නො වූ ද්විහෙතුක ඤාණවිප්‍රයුක්ත සිතකින් කරණ ලද කුසල කර්මයාගේ ප්‍රතිසන්ධි විපාක වශයෙන් මධ්‍යම පමණින් සැප සම්පත් සළසන්නා වූ සුගති ආත්ම භාවයක් ලබන කල්හි ඤාණවිප්‍රයුක්ත මහා විපාක සිත් සතරින් එකක් පටිසන්ධි කෘත්‍ය කරමින් පහළ වන්නේය. මේ පුද්ගලයාහට තම උත්සාහයෙන් ප්‍රමාණවත් වූ සැප සම්පත් ලබාගත හැකිවේ. ධ්‍යාන මාර්ග ඵලාදිය ලැබිය නො හැකිවේ.

දුර්වල වූ ඤාණයකින් යුක්තව, දුර්වල ත්‍රිහෙතුක සිතකින් කරණ ලද කුසල කර්මයාගේ ප්‍රතිසන්ධි විපාක වශයෙන් ලැබෙන්නේත් ද්විහෙතුක ඤාණවිප්‍රයුක්ත විපාක සිත් සතරින් ලැබෙන ද්විහෙතුක ප්‍රතිසන්ධියකි.

ත්‍රිහෙතුක උත්කෘෂ්ට කුසල කර්මයාගේ හෙවත් බලවත්වූ ඤාණ සම්ප්‍රයුක්ත කුසල් සිතකින් යම් කුසල කර්මයක් සිදුවී නම් ඤාණ සම්ප්‍රයුක්ත වූ ත්‍රිහෙතුක විපාක සිත් සතරින් එකක් ප්‍රතිසන්ධි කෘත්‍ය කරමින් දිව්‍ය මනුෂ්‍ය දෙගතියෙහි බොහෝ සැප සම්පත් ගෙන දෙන ආත්ම භාවයක් ඇති කර දෙන්නේය.

රූපාරූප ධ්‍යාන කුසල් සිත් නවයෙන් යම් බලවත් සමාධියෙන් යුක්ත වූ කුසලයක් සිදු වී නම් ඒ ධ්‍යානයට සුදුසු රූපාරූප භූමියක හෙවත් රූපාරූප බ්‍රහ්ම ලෝකයක ප්‍රතිසන්ධි කෘත්‍ය කරමින් මහග්ගත විපාක සිත් නවයෙන් එකක් පහළ වන්නේය.

මෙසේ පටිසන්ධි කෘත්‍ය කරන්නා වූ සිත් දහනවය (19) අහෙතුක පටිසන්ධි යුගලය, මහා විපාක අට සහ මහග්ගත විපාක නවය බව දත යුතුයි.

පටිසන්ධි සිතෙහි අරමුණ එයට පූර්ව භවයෙන් ගන්නා ලද කර්ම කර්මනිමිති ගතිනිමිති යන අරමුණු වලින් එකෙකි. සෑම සත්ත්වයෙකුගේ මරණාසන්නයේ දී මතු භවය ගෙනදීමට උපකාර වන කර්මයක් ඉදිරිපත් වන්නේ ය. එක් භවයකගේ අවසාන චිත්ත වීථියට මරණාසන්න චිත්ත වීථියයි කියනු ලැබේ. එම චිත්ත වීථියෙහි උපදනා ජවන් සිත්වලට අරමුණු වන්නා වූ කර්ම, කර්ම නිමිත්ත, ගතිනිමිත්ත යන අරමුණු වලින් එකක් එම චිත්ත වීථියේ අවසාන සිත වූ චුති සිතට අනතුරුව දෙවන භවයෙහි පළමුව හට ගන්නා වූ මේ පටිසන්ධි විපාක සිත විසින් ගනු ලබන්නේ ය. එයට පසු එම අළුත් භවයෙහි නොසිඳී පැවැත්ම පිණිස එම අරමුණම ගෙන ඇතිවන භවාඞ්ග සිත් පරම්පරාවද ගනු ලබන්නේ මේ පටිසන්ධි සිතෙහි අරමුණමය.