අභිධර්මාර්ථ ප්‍රදීපිකා

චුති කෘත්‍යය (14)

එක් භවයක් අවසාන කිරීම හෙවත් උප්පත්ති භවයාගේ සිඳීම චුති කෘත්‍ය නම්. පටිසන්ධි සිතින් ආරම්භ වූ භවයාගේ අවසානය ඇතිකරවන්නේ මේ චුති සිතින් ය. එබැවින් මේ චුති සිත එම භවයට අයත් භවාඞ්ග සිත් පරම්පරාවේ අන්තිම සිත වේ.

සත්ත්වයාගේ මරණ මොහොතේදී පහළවන මරණාසන්න චිත්ත වීථියේදී වස්තු දුර්වලතා ආදිය හේතුකොට ගෙන ජවන් සිත් සතක්ම පහළ වීමට ශක්තිය නැති හෙයින්, ජවන් සිත් පහක් පමණක් පහළ වන්නේය. එයට පසුව තදාරම්මණ; භවාඞ්ග සිත් ඇතිව හෝ නැතිව හෝ අවසාන සිත වශයෙන් භවාඞ්ග සිතෙහි අරමුණම ගෙන මේ චුති සිත ඇතිවී එම භවය අවසන් කරන්නේය. එයට අනතුරුව පහළවන්නේ අලුත් භවයෙහි ප්‍රතිසන්ධි ගැනීම් වශයෙන් ඇතිවන ප්‍රතිසන්ධි විපාක සිතය. එක් භවයකට අයත් ප්‍රතිසන්ධි, භවාඞ්ග, චුති යන සිත් තුන එකම අරමුණ ගෙන ඇති වන්නාවූ, එකම ජාතියකට අයත් විපාක සිතක්ම වන්නේය.

චුති කෘත්‍ය කරන සිත් ද එකුන්විස්සකි (19). එනම් අහේතුක පටිසන්ධි යුගලය, කාමාවචර මහා විපාක අටය, මහග්ගත මහා විපාක නවය යනුයි.