අභිධර්මාර්ථ ප්‍රදීපිකා

ජවන කෘත්‍යය (12)

වොට්ඨපන සිතින් නිශ්චය කර දෙන ලද ආකාරයෙන් අරමුණ ගෙන, ඒ අරමුණ පිළිබඳව ඒ ඒ කායික, වාචසික, මානසික ක්‍රියා සිදු කරමින් වෙගවත්ව දුවන්නාක් මෙන් පැවැත්වෙන කෘත්‍යය ජවන කෘත්‍ය නම් වේ.

සාමාන්‍යයෙන් මේ ජවන කෘත්‍ය කරන සිත පිළිවෙළින් සත් වරක් උපදින්නේය. චිත්තවීථියක කර්ම සිත් යයි කියනු ලබන්නේ මේ ජවන් සිත් සතටය. සහේතුක වූ මේ කර්ම සිත් අන්‍ය වීථි සිත් වලට වඩා බලවත් ය. හැම ජවන් සිතකම ප්‍රවෘත්ති විපාක ගෙනදීමේ ශක්තිය ඇත්තේය. කර්මපථ බවට පැමිණි ජවන් සිත්වල පටිසන්ධි විපාක ශක්තිය ද ඇත්තේය. මෙයින් පළමු ජවන් සිත දිට්ඨ ධම්ම වෙදනීය කර්ම වන බැවින් ඉහාත්මභාවයෙහිම විපාක දෙන්නේ වේ. සත්වන ජවන් සිත උපපද්‍ය වෙදනීය කර්මය වන බැවින් දෙවන ආත්මභාවයෙහි විපාක දෙන්නේ වේ. ඉතිරි වූ ජවන් සිත් පස අපරාපරිය වෙදනීය කර්ම වන බැවින් කාලනියමයක් නැතිව අවස්ථා පැමිණි කල්හි විපාක දෙන්නේය. එක් ජවන් සිතක විපාකය එක්වරක් දුන් කල්හි, එයින් එහි විපාක ශක්තිය කෙළවර වේ.

ජවන කෘත්‍ය කරන සිත් පස්පනසෙකි (55). එනම් අකුසල් සිත් දොළොසය, හසිතුප්පාදය, කාම සෝභන කුසල් අට සහ ක්‍රියා අටය, මහග්ගත කුසල් නවය සහ ක්‍රියා නවය; ලොකෝත්තර සිත් අටය යන චිත්තයෝය.