අභිධර්මාර්ථ ප්‍රදීපිකා

සහේතුක සිත්

සහේතුක සිත් එක් සැත්තෑවකි (71). මෙයින් සිත් දොළොසක් (12) අකුසල් සිත් ය. අකුසල් සිත් දොළොසෙහි ලෝභ, දොස මෝහ යන අකුසල හේතූන්ගෙන් එකක් හෝ දෙකක් නියත වශයෙන් යෙදෙන් නේය. ඉතිරි සිත් එකුන් සැට (59) සෝභන සිත්ය. මේ සෝභන සිත් එකුන් සැටෙහි අලෝභ, අදොස, අමෝහ යන චෛතසික වලින් දෙකක් හෝ තුනම හෝ යෙදෙන්නේය. එබැවින් මේ සහේතුක සිත් එක් සැත්තෑව තමා හා යෙදෙන හේතු ධර්මයන්ගේ ගණන අනුව කොටස් තුනකට බෙදනු ලැබේ. එනම් එකහේතුක සිත් ද්විහේතුක සිත් සහ ත්‍රිහේතුක සිත් යනුයි.

එකහේතුක සිත් දෙකකි. එනම් මෝහ හේතුව පමණක් යෙදෙන මෝහ මූල අකුසල් සිත් දෙකවූ විචිකිච්ඡා සම්ප්‍රයුක්ත සිත සහ උද්ධච්ච සම්ප්‍රයුක්ත සිතය.

ද්විහේතුක සිත් හෙවත් හේතු ධර්ම දෙකක් යෙදෙන සිත් දෙවිස් සකි. (22) එනම්.

ලොභ, මොහ යෙදෙන ලොභමූල සිත් 8

දොස, මොහ යෙදෙන දොසමූල සිත් 2

අලොභ, අදොස යෙදෙන කාමසොභන සිත් 12

(ඤාණවිප්‍රයුක්ත සිත්)

22

ත්‍රිහේතුක සිත් හෙවත් අලොභ, අදොස, අමොහ යන කුසල හේතු තුනම යෙදෙන සිත් සතළිස් සතකි. (47) එනම්

කාමසොභන ඤාණසම්ප්‍රයුක්ත සිත් 12

මහග්ගත සිත් 27

ලොකොත්තර සිත් 8

47

මේ හේතුධර්ම ස්වභාව ලක්ෂණ වශයෙන් සයකි. ජාති වශයෙන් නවයෙකි. නිර්දේශ වශයෙන් දොළොසකි, භූමි වශයෙන් පසළොසකි. සියල්ල දෙසාළිසකි. (42)

ස්වභාව ලක්ෂණ වශයෙන් සයාකාර හේතූහු නම් අකුසල පක්ෂයෙහි ලොභ, දොස, මොහ යන තුන ද කුසල පක්ෂයෙහි අලොභ, අදොස, අමොහ යන තුන ද වේ.

ජාතීන්ගේ වශයෙන් නවාකාර හේතූහු නම් අකුසල ජාතියෙහි ලොභ, දොස, මොහ යන තුනය. කුසල ජාතියෙහි අලොභ, අදොස, අමොහ යන තුන ද, අව්‍යාකෘත ජාතියෙහි අලොභ අදොස අමොහ යන තුන ද වේ.

නිර්දේශ වශයෙන් දොළොස් ආකාර හේතූහු නම් අකුසල හේතු වූ ලොභ, දොස, මොහ යන තුන ද, කුසල හේතු වූ අලොභ, අදොස, අමොහ යන තුන ද, විපාක හේතු වූ අලොභ, අදොස, අමොහ යන තුන ද, ක්‍රියා හේතු වූ අලොභ අදොස අමොහ යන තුන ද වේ.

භූමි වශයෙන් පසළොස් ආකාර හේතූහු නම් කාමභූමියෙහි අකුසල හේතු වූ ලෝභ, දෝස, මෝහ යන තුන ද, කුසලහේතු වූ, අලෝභ, අදෝස, අමෝහ යන තුන ද, රූපභූමියෙහි අලෝභ, අදෝස අමෝහ යන තුන ද, ලෝකෝත්තර භූමියෙහි අලෝභ, අදෝස, අමෝහ යන තුන ද වේ.

විපාක ශක්තිය. යම්සේ මුල් ඇත්තා වූ වෘක්ෂයක් ඒ මුල් හේතු කොට ගෙන වැටිය නොදී පෘථිවියෙහි පිහිටා ද, ඒ මුල් නමැති අතින් පෘථිවි ඕජාව නංවා ගස ද වඩා අතු අග මල් ඵල උපදවන්නාක් මෙන් සහේතුක කුසලාකුසල චිත්තයන්ගේ ඵලදීම හෙවත් ප්‍රතිසන්ධි ප්‍රවෘත්ති විපාකදීම මේ හේතුධර්ම යන්ගේම ශක්තියෙන් සිද්ධවන බව දත යුතුයි.

මෙහි විස්තර කරන ලද මේ හේතුධර්මයෝ, සිත් ඉපැද්මෙහි හේතූන් යයි වරදවා නොගත යුතුයි. අවිද්‍යා තණ්හා ආදී ප්‍රත්‍යයන් හේතු කොට ගෙන උපදවන ලද චිත්ත සන්තතියක් ඇතිවීමය. ආරම්මණයන්ගේ හමුවීමය, චිත්තෝත්පාදයට සුදුසු ස්ථාන හෙවත් වත්ථු ඇති වීම යනාදී නොයෙක් හේතූන් ඇතිවූ කල්හි සිත් හටගන්නේ වේ. මෙසේ හටගන්නාලද සිත් තම අරමුණෙහි ස්ථිරව පිහිටීමට උපකාර වන ධර්ම වශයෙන් ද, සිත ශක්තිමත් කිරීමට අනුබලයක් වශයෙන් ද, මෙකී ලෝභ, දෝස, මෝහ, අලෝභ, අදෝස, අමෝහ යන චෛතසික සය ඒ ඒ සිත්වල යෙදෙන හේතු ධර්ම වශයෙන් සැලකිය යුතුය.

මේ කුසලාකුසල හේතු ධර්මයෝ අන්‍ය චෛතසිකයන්ට වඩා බලවත්ය. එයින් කුසල හේතු අකුසල හේතූන්ට වඩා බලවත්ය. මේ කුසල හේතූන්ට අකුසලයන් නැසීමේ ශක්තියද ඇත. අලෝභයෙන් ලෝභයද, අදෝසයෙන් දෝසයද, අමෝහ හෙවත් ප්‍රඥාවෙන් මෝහයද, නසනු ලැබේ. බලවත් කුසල විපාක දෙන කල්හි අකුසල විපාක ශක්තිය යටපත් වන්නේය.

හේතු ධර්මයන්ගේ යෙදීම සංක්ෂේපයෙන් මෙසේ දතයුතුයි.

  1. අහේතුක සිත් 18
    1. අකුසල විපාක 7
    2. කුසල විපාක 8
    3. ක්‍රියා 3
  2. සහේතුක සිත් 71
    1. එකහේතුක සිත් 2—(මොහමූලක අකුසල් සිත් 2)
    2. ද්විහේතුක සිත් 22
    3. අකුසල් 10—(ලොභමූල 8) (දොස් මූල 2)
    4. කුසල් 12. (කාමාසොභන ඤාණවිප්‍රයුක්ත 12)
  3. ත්‍රිහේතුක සිත් 47
    1. කාමසොභන 12 (ඤාණසම්ප්‍රයුක්ත සිත් 12)
    2. මහග්ගත 27. (රූපාවචර 15. අරූපාවචර 12)
    3. ලොකොත්තර 8. (මග්ග 4 ඵල 4)

හේතු ධර්මයන්ගේ ප්‍රභේද සංක්ෂෙපයෙන් මෙසේ දත යුතුයි.

හේතු ධර්ම 42
  1. ස්වභාව ලක්ෂණ වශයෙන් 6
    1. අකුසල 3—ලොභ, දොස, මොහ
    2. කුසල 3—අලොභ, අදොස, අමොහ
  2. ජාති වශයෙන් 9
    1. අකුසල ජාති 3—ලොභ, දොස, මොහ.
    2. කුසල ජාති 3—අලොභ, අදොස, අමොහ
    3. අව්‍යාකෘත ජාති 3—අලොභ, අදොස, අමොහ
  3. නිර්දේශ වශයෙන් 12
    1. අකුසල් 3 - ලොහ, දොස, මොහ
    2. කුසල 3 - අලොහ, අදොස, අමොහ
    3. විපාක 3 - අලොහ, අදොස, අමොහ
    4. ක්‍රියා 3 - අලොහ, අදොස, අමොහ
  4. භුමි වශයෙන් 15
    1. කාමභුමි අකුසල් 3 - ලොහ, දොස, මොහ කුසල් 3 - අලොහ, අදොස, අමොහ
    2. රූපභුමි 3 - අලොහ, අදොස, අමොහ
    3. අරූපභුමි 3 - අලොහ, අදොස, අමොහ
    4. ලොකොත්තරභුමි 3 - අලොහ, අදොස, අමොහ.