අභිධර්මාර්ථ ප්‍රදීපිකා

චෛතසිකයන්ගේ සම්ප්‍රයෝග නය

දෙපණස් (52) චෛතසික ධර්මයන්ගේ ස්වභාවලක්ෂණයන් ඉගෙන ගත් පසු, ඒ චෛතසිකයන් සිත්වල යෙදෙන්නාවූද, නො යෙදෙන්නා වූද ක්‍රමය දැන ගත යුතුය.

සම්ප්‍රයෝග නය, සංග්‍රහ නය, යයි චෛතසිකයන් පිළිබඳව නය දෙකෙකි. එයින් සම්ප්‍රයෝග නය යනු ඒ ඒ චෛතසිකයන් යෙදෙන සිත් කවරහුදැයි දැක්වීමේ ක්‍රමයයි. ඒ ඒ සිත්හි යෙදෙන චෛතසිකයන් දැක්වීමේ ක්‍රමයට සංග්‍රහ නය යයි කියනු ලැබේ.

අඤ්ඤසමාන රාශිය, අකුසල රාශිය, සෝභන රාශිය යයි චෛතසිකයන්ගේ රාශි තුනෙකි. සබ්බචිත්ත සාධාරණයන් සත් දෙනා සහ ප්‍රකීර්ණකයන් සදෙනාත් යන තෙළෙස් (13) චෛතසිකයන් අඤ්ඤසමාන රාශියට ද, තුදුස් (14) අකුසල චෛතසිකයන් අකුසල රාශියට ද, පස් විසි (25) සෝභන චෛතසිකයන් සෝභන රාශියට ද ඇතුළත් වේ.

අඤ්ඤසමාන රාශියට අයත් චෛතසිකයන් අතුරෙන් සබ්බචිත්ත සාධාරණ සත, සියලුම එකුන් අනූවක් (89) ක් හෝ එක්සිය විසි එකක් (121) ප්‍රභේද ඇති සිත්වල එකාන්තයෙන්ම නො අඩුවම යෙදෙත්.

ප්‍රකීර්ණක චෛතසික සය අසූනවයක් (89) හෙවත් එක්සිය විසි එකක් (121) ප්‍රභේද ඇති සිත් අතුරෙන් සුදුසු පරිදි යෙදෙන්නා වූද, නො යෙදෙන්නා වූ ද සිත් ඇත්තාහ.

තුදුස් (14) අකුසල චෛතසිකයෝ දොළොස් (12) අකුසල් සිත්හි සුදුසු පරිදි යෙදෙති. ඉතිරි සත්සැත්තෑ (77) සිත්හි නොයෙදෙති.

පස්විසි (25) සෝභන චෛතසිකයෝ එකුන්සැටක් (59) සෝභන සිත්හි සුදුසු පරිදි යෙදෙති. ඉතිරි සිත් තිහෙහි (30) නො ලැබේ.

සම්ප්‍රයෝග නය ඉගෙනිමේදී සිත් සියල්ලම හොඳින් මතක තබා ගත යුතු යි. අකුසල් සිත් දොළොසකි. (12) අහේතුක සිත් අටළොසකි. (18), සෝභන සිත් එකුන් සැටකි. (59), සෝභන සිත් අතුරෙන් කාමසෝභන සිත් සූවිස්සකි. (24), මහග්ගත සිත් සත්විස්සකි. (27), ලොකොත්තර සිත් අටෙකි. (8)