අභිධර්මාර්ථ ප්‍රදීපිකා

සොභන චෛතසික රාශියේ සම්ප්‍රයෝගනය

සොභන රාශියට අයත් චෛතසිකයෝ විසිපස්දෙනෙකි. එයින් එකුන්විසි (19) දෙනෙක් සොභන සාධාරණයෝය. තිදෙනෙක් විරතියෝය. දෙදෙනෙක් අප්‍රමාණ්‍යයෝය. ඉතිරි චෛතසිකය අමෝහය හෙවත් පඤ්ඤින්ද්‍රිය වේ. මේ සොභන චෛතසිකයන් ගේ සම්ප්‍රයෝග නය සතරෙක් වේ.

සොභන චෛතසිකයෝ එකුන්සැටක් (59) සොභන සිත්හි මිස අන් සිතක නොලැබේ. එබැවින් සොභන චෛතසිකයන් යෙදෙන සිත් සෙවීමේ දී සොභන සිත් පනස් නවයෙන් පිටත නො සෙවිය යුතුයි.

සොභන සාධාරණ චෛතසික (1)

සද්ධා, සති ආදී වූ එකුන්විසි (19) සොභන චෛතසිකයෝ එකුන් සැටක් (59) වූ සොභන සිත්හි ඒකාන්තයෙන්ම නො අඩුවම ලැබෙන්නාහ. සොභන සිත් පනස්නවය (59) නම්:-කාමසොභන සිත් සූවිස්සය (24), මහග්ගත සිත් සත්විස්සය (27). ලොකොත්තර සිත් අටය(8)

අසොභන සිත් තිහෙහි (30) සොභන චෛතසිකයෝ නො ලැබේ.

විරතිත්‍රය (2)

සම්මාවාචා, සම්මාකම්මන්ත, සම්මාආජීව යන චෛතසික තුන විරතිත්‍රය නම්. මේ විරති චෛතසික තුනම ශීල විසුද්ධිය සම්පූර්ණ කරමින් ලොකොත්තර සිත් අටෙහි නියත වශයෙන්ම යෙදෙන්නාහ. කාමාවචර මහා කුසල සිත් අටෙහි වෙන් වෙන්ව අනියත වශයෙන් යෙදෙති. ශීලමය පුණ්‍යකර්මයක් සිදුවන කල්හි පමණක් මේ විරතීහු යෙදෙන බැවින් අනිකුත් පින්කම් කරන කල්හි ඇති වන කුසල් සිත්හි ද, විපාක, ක්‍රියා සිත්හි ද නො ලැබේ. එබැවින් මේ විරති චෛතසිකයෝ ලොකොත්තර සිත් අටෙහි නියත වශයෙන් ද, මහා කුසල් සිත් අටෙහි අනියත වශයෙන් ද යෙදෙන බවත් ඉතිරි සිත් තෙසැත්තෑවෙහි (73) නො යෙදෙන බවත් දත යුතුයි.

අප්පමඤ්ඤා (3)

අප්‍රමාණ්‍ය ධර්මයන් වූ කරුණා, මුදිතා යන චෛතසික දෙක අනන්ත වූ සත්ත්ව ප්‍රඥාප්තිය අරමුණු කරමින් ඇති වන්නා වූ කුසල ධර්මයෝයි. කරුණා, මුදිතා ධර්මයන් වඩන්නා වූ කල්හි ඇතිවන සොභන චිත්තයෝ නම්:- කාමාවචර මහා කුසල් සිත් අටය, මහා ක්‍රියා සිත් අටය, රූපාවචර ප්‍රථම ධ්‍යාන සිත් තුනය, දුතියධ්‍යාන සිත් තුනය, තතිය ධ්‍යාන සිත් තුනය, චතුර්ථධ්‍යාන සිත් තුනය යන අටවිසි (28) සොභන චිත්තයෝය. මේ සිත් විසි අටෙහි කරුණා, මුදිතා ධර්ම වඩනා කල්හි පමණක් මේ චෛතසික දෙක අනියත වශයෙන් යෙදෙන්නාහ. ඉතිරි සිත් එක්සැටෙහි (61) අප්‍රමාණ්‍යයෝ නො ලැබේ.

කාමාවචර විපාක සිත් අට සුඛිතදුක්ඛිත සත්ත්වප්‍රඥාප්තිය අරමුණු නො කරන බැවින් කරුණා, මුදිතා දෙක ඒ විපාකසිත් අටෙහි නො ලැබේ. ධ්‍යාන සිත් අතුරෙන් රූපාවචරපඤ්චමධ්‍යාන සිත් තුනත්, අරූපාවචර සිත් දොළොසත් යන පසළොස් චිත්තයන්හි උපෙක්ඛාව යෙදෙන බැවින් කරුණා, මුදිතා දෙක ඇති නොවේ. ලොකොත්තර සිත් අට නිර්වාණය අරමුණු කිරීම හැර සත්ත්ව ප්‍රඥාප්තියක් අරමුණු නො කළ හැකි බැවින්, අප්‍රමාණ්‍ය ධර්මයෝ ලොකොත්තර සිත් අටෙහි නොයෙදෙන්නාහ.

පඤ්ඤින්ද්‍රිය (4)

සොභන සිත් පනස්නවය (59) අතුරෙන් පඤ්ඤින්ද්‍රිය චෛතසිකය යෙදෙන්නේ ඤාණ සම්ප්‍රයුක්ත සිත්හි පමණය. කාමසොභන ඤාණ විප්‍රයුක්ත සිත් දොළොස හැර ඉතිරි සොභන සිත් හතළිස් හත (47) ඤාණසම්ප්‍රයුක්තය. අසොභන සිත් තිහෙහි (30) කිසිසේත් නො ලැබේ. එබැවින් පඤ්ඤින්ද්‍රිය චෛතසිකය සොභන ඤාණසම්ප්‍රයුක්ත සිත් හතළිස්හතෙහි (47) යෙදෙන බවත්, ඉතිරි සිත් හතළිස් දෙකෙහි (42) නො යෙදෙන බවත් දත යුතුය.

සොභන රාශියට අයත් චෛතසිකයන් මෙසේ නය හෙවත් ක්‍රම සතරකින් ඒ ඒ සොභන සිත්හි යෙදෙති. සැකෙවින් සොභන රාශියට අයත් පස්විසි චෛතසිකයන්ගේ සතර සම්ප්‍රයෝග නය මෙසේ දත යුතුයි.

නයචෛතසිකයයෙදෙන සිත්නොයෙදෙන සිත්
1සොභන සාධාරණසොභන සිත් 59අසොභන සිත් 30
2විරතිත්‍රයලොකොත්තර 8
මහා කුසල් 8
16අසොභන 30
මහා කුසල් 8 ත් ලොකොත්තර 8 ත් හැර ඉතිරි සොභන 43
73
3අප්පමඤ්ඤාමහා කුසල් 8
මහා ක්‍රියා 8
ප්‍රථම ධ්‍යාන 3
දුතිය ධ්‍යාන 3
තතිය ධ්‍යාන 3
චතුත්ථ ධ්‍යාන 3
28අසොභන 30
මහා විපාක 8
පඤ්චමධ්‍යාන 15
ලොකොත්තර 8
61
4පඤ්ඤින්ද්‍රියකාම සොභන ඤාණසම්ප්‍රයුක්ත 12
මහග්ගත 27
ලොකොත්තර 8
47අසොභන 30
කාමසොභන ඤාණවිප්‍රයුක්ත 12
42