අකුසල චෛතසික රාශියේ සම්ප්‍රයෝග නය
අකුසල රාශියට අයත් චෛතසිකයන් තුදුසෙකි. (14) අසූනව යක් (89) සිත් අතුරෙන්, මේ තුදුස් (14) අකුසල චෛතසිකයෝ අකුසල් සිත් දොළොසෙහි මිස, ඉතිරි සිත් සත්සැත්තෑවේ (77) නො ලැබේ. එබැවින් අකුසල චෛතසිකයන් යෙදෙන සිත් සෙවිමේදී මේ අකුසල් සිත් දොළොසෙන් කවර නම් අකුසල් සිතක යෙදේද, කවර සිතක නො යෙදේදැයි සෙවිය යුතුය.
මොහ චතුෂ්කය (1)
මොහය, අභිරිකය, අනොත්තප්පය, උද්ධච්චය යන චෛතසික සතරට මොහ චතුෂ්කය යයි කියති. මේ චෛතසික සතර දොළොස් අකුසල් සිත්හි ඒකාන්තයෙන් ම යෙදෙන බැවින් අකුසල සාධාරණ යෝ යයි ද ව්‍යවහාර වේ. අටළොස් අහේතුක චිත්තයන්හි ද එකුන් සැට සොභන සිත්හි ද යන සත්සැත්තෑ (77) සිත්හි නොයෙදෙන්නාහ.
ලොභ ත්‍රිකය (2)
ලොභය, දිට්ඨිය, මානය යන චෛතසික තුන ලොභ ත්‍රිකය නමි. දොළොස් අකුසල චිත්තයන් අතුරෙන් ලොභ මූල සිත් අටෙහි මිස, දොසමූල මොහමූල සිත් සතරෙහි නො යෙදේ. එයින් ලොභය, ලොභ මූල සිත් අටෙහි නියත වශයෙන්ම යෙදෙන්නේය. දිට්ඨි චෛතසිකය දිට්ඨිගත සම්ප්‍රයුක්ත සිත් සතරෙහි නියතය. මානය, දිට්ඨිය මෙන්ම බලවත් අකුසලයක් බැවින්, මේ චෛතසික දෙක එක සිතක නො යෙදේ. මානය, දිට්ඨිගත විප්පයුත්ත සිත් සතරෙහි අනියත වශයෙන් යෙදෙන්නේය. සෑම දිට්ඨිගත විප්පයුත්ත සිතකම මානය නො යෙදෙන බවත්, මානය යෙදෙන්නේත් දිට්ඨිගත විප්පයුත්ත සිතක මිස අන් සිතක නොවන බවත් දත යුතුයි. අටළොස් අහේතුක සිත් හා එකුන් සැට සොභන සිත්හි ද ලොභ ත්‍රිකය නොයෙදේ.
දොස චතුෂ්කය (3)
දොසය, ඉස්සාවය, මච්ඡරිය, කුක්කුච්චය යන චෛතසික සතරට දොස චතුෂ්කය යයි කියති. දොළොස් අකුසල චිත්තයන් අතුරෙන් දොසමූල සිත් දෙකෙහි පමණක් මේ දොස චතුෂ්කය යෙදෙන් නේය. ඉතිරි සිත් අසූහතෙහි (87) නො යෙදේ. මේ චෛතසික සතර, සිත් දුෂ්‍ය කරවන ධර්මයෝයි. ඉස්සා, මච්ඡරිය, කුක්කුච්ච යන තුන දොසයත් සමඟ යෙදෙනු මිස දොසය නැතිව නො යෙදෙත් නාහ. හැම දොස සිතකම ඉස්සා, මච්ඡරිය, කුක්කුච්චයන් නොයෙදේ. මේ තුන එක්වරම එක සිතක නො යෙදේ. යෙදෙතොත් වෙන් වෙන්වම දොසයත් සමඟ දොස මූල සිතකම යෙදේ. එබැවින් ඉස්සා, මච්ඡරිය, කුක්කුච්චය යන චෛතසික තුන දොස මූල සිත් දෙකෙහි අනියත යොගී වන්නේය. දොසය නියත යොගී වේ.
ථිනය සහ මිද්ධය (4)
ථිනයත් මිද්ධයත් එකටම උපදින, වෙන් කළ නොහැකි අකුසල ධර්මයෝයි. දොළොස් අකුසල් සිත් අතුරෙන් සසංඛාරික අකුසල් සිත් පසෙහි පමණක් අනියත වශයෙන් යෙදෙන්නේය. මේ චෛතසික දෙක අකර්මණ්‍යභාවය හෙවත් කටයුත්තෙහි යොග්‍ය නොවන ස්වභාවය ඇති හෙයින් අසංඛාරික අකුසල් සිත්හි නො යෙදේ. අහේතුක අටළොස සහ සොභන පනස්නවයෙහි ද නො ලැබේ. සසංඛාරික අකුසල් සිත් පස නම්, ලොභමූල සතරත් දොසමූල එකත් යන පසය. ඉතිරි අකුසල් සත අසංඛාරිකය. සියළුම සසංඛාරික අකුසල් සිත්වල ථීනයත් මිද්ධයත් නො යෙදෙන බවද, යෙදෙතොත් මේ සසංඛාරික සිත් පසෙහි මිස අන් සිතක නො යෙදෙන බවද දත යුතුයි.
විචිකිච්ඡාව (5)
විචිකිච්ඡා චෛතසිකය දොළොස් අකුසල චිත්තයන් අතුරෙන් එකම මොහමූල විචිකිච්ඡා සම්ප්‍රයුක්ත සිතෙහි පමණක් නියත වශයෙන් යෙදෙන්නේය. ඉතිරි සිත් අසූ අටෙහි (88) නො ලැබේ.
අකුසල රාශියට අයත් තුදුස් (14) චෛතසිකයන් මෙසේ නය හෙවත් ක්‍රම පසෙකින් ඒ ඒ දොළොස් අකුසල් සිත්හිම යෙදෙන බව දත යුතුයි. සැකෙවින් මේ අකුසල චෛතසිකයන්ගේ සම්ප්‍රයෝග නය මෙසේයි.
| නය | චෛතසික | යෙදෙන සිත් | නොයෙදෙන සිත් |
|---|---|---|---|
| 1 | මොහ චතුෂ්කය | අකුසල් සිත් 12 | අකුසල් 12 හැර ඉතිරි 77 |
| 2 | ලොභ ත්‍රිකය | ලොභමූල සිත් 8 | ලොභමූල 8 හැර ඉතිරි 81 |
| 3 | දොස චතුෂ්කය | දොසමූල සිත් 2 | දොසමූල 2 හැර ඉතිරි 87 |
| 4 | ථීනය සහ මිද්ධය | සසංඛාරික අකුසල් 5 | සසංඛාරික 5 හැර ඉතිරි 84 |
| 5 | විචිකිච්ඡාව | මොහමූල විචිකිච්ඡා සිත 1 | විචිකිච්ඡා සිත හැර ඉතිරි 88 |