අඤ්ඤසමාන චෛතසික රාශියේ සම්ප්‍රයෝග නය
සබ්බචිත්ත සාධාරණ සත (1)
ඵස්ස, වෙදනා, සඤ්ඤා, චෙතනා, එකග්ගතා, ජීවිතෙන්ද්රිය, මනසිකාරය යන සබ්බචිත්ත සාධාරණ චෛතසික සත, සිත් සියල් ලෙහිම ඒකාන්තයෙන්ම ලැබෙති. මේ චෛතසිකයන් නො යෙදෙන සිතක් නැත.
ප්රකීර්ණක සය
විතක්ක, විචාර, අධිමොක්ඛ, විරිය, පීති, ඡන්ද යන ප්රකීර්ණක චෛතසිකයන් සදෙනා අසූනවයක් සිත් අතුරෙන් යෙදෙන්නා වූද නොයෙදෙන්නා වූද සිත් ඇත්තාහ. එබැවින් මේ චෛතසික සය වෙන් වෙන්ව ගෙණ යෙදෙන නො යෙදෙන සැටි විස්තර කරනු ලැබේ.
විතර්කය (2)
විතර්කය, ධ්‍යානාඞ්ගයක් ද වන බැවින්, එය යෙදෙන සිත් සෙවීමේදී ලෞකික සිත් අසූඑකත්, සාමාන්‍ය ලොකොත්තර සිත් අට වෙනුවට ධ්‍යාන වශයෙන් ඇතිවන ලොකොත්තර සිත් සතලිස (40) ත් ගෙන එක්සියවිසි එකක් (121) සිත් අතුරෙන් සෙවිය යුතුයි. විචාර, පීති චෛතසිකයන්ට ද මෙසේ මය.
දෙපස් විඤ්ඤාණයෝ හෙවත් චක්ඛු විඤ්ඤාණ, සොත විඤ්ඤාණ, ඝාණ විඤ්ඤාණ, ජිව්හා විඤ්ඤාණ, කාය විඤ්ඤාණ යන අහේතුක අකුසල විපාක පසත් කුසල විපාක පසත් ඉතා දුර්වල විපාක සිත් බැවින්, ඒ සිත්වල ලැබෙන්නේ සබ්බචිත්ත සාධාරණයන් සත්දෙනා පමණය. ඉතිරි පන්සාළිස් (45) චෛතසිකයන් නො ලැබෙත්. එබැවින් මේ විතර්කය සූපනස් (54) කාමාවචර සිත් අතුරෙන් දෙපස් විඤ්ඤාණ හැර ඉතිරි කාමාවචර සිත් සූසාළිසෙහි (44) ලැබෙන්නේ ය. තව ද ධ්‍යානාඞ්ගයක් වශයෙන් යෙදෙන මේ විතර්ක චෛතසිකය, ප්‍රථම ධ්‍යාන සිත්හි මිස අනිකුත් ධ්‍යාන සිත්හි නොයෙදෙන්නේ ය. ප්‍රථම ධ්‍යාන සිත් සියල්ල එකොළොසකි. එනම්: රූපාවචර ප්‍රථම ධ්‍යාන කුසල, විපාක, ක්‍රියා සිත් තුනය, ප්‍රථම ධ්‍යාන සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අර්හත් යන ලොකොත් තර මාර්ගඵල සිත් අටය යන එකොළොසය. හැටහතක් (67) ධ්‍යාන සිත් අතුරෙන් මෙකී එකොළොස හැර ඉතිරි ධ්‍යාන සිත් සපනසෙහි (56) විතර්කය නො ලැබේ. එබැවින් විතර්කය සූසාළිස් (44) කාමාවචර සිත්හි සහ ප්‍රථම ධ්‍යාන සිත් එකොළසෙහි (11) යන පස් පනස් (55) සිත්වල යෙදෙන බවත් ඉතිරි සිත් සසැටෙහි (66) නො යෙදෙන බවත් දත යුතුයි.
විචාරය (3)
විචාරය ද ධ්‍යානාඞ්ගයක් වන බැවින් එය යෙදෙන සිත් සෙවීමේදී එක්සිය විසි එකක් (121) වූ සිත් වලින්ම ම සෙවිය යුතුයි. කාමාවචර සිත් සූපනසෙන් (54) දෙපස් විඤ්ඤාණයන් හැර ඉතිරි සූසාළිසෙහි (44) ද, ධ්‍යාන සිත් හැටහතෙන් (67) පළමු, දෙවන ධ්‍යාන සිත් දෙවිස් සෙහි ද (22) යන සිත් හැට හයෙහි (66) මේ විචාර චෛතසිකය යෙදෙන්නේ ය. ඉතිරි පස්පනස් (55) චිත්තයන්හි නො ලැබේ.
අධිමොක්ඛය (4)
අධිමොක්ඛයත්, විචිකිච්ඡාවත් එකිනෙකට විරුද්ධ ධර්මයෝයි. එහෙයින් අධිමොක්ඛය යෙදෙන කල්හි විචිකිච්ඡාවත්, විචිකිච්ඡාව යෙදෙන කල්හි අධිමොක්ඛයත් නොයෙදෙන්නේ ය. විචිකිච්ඡාව යෙදෙන්නේ මොහමූල විචිකිච්ඡා සම්ප්‍රයුක්ත සිතෙහි පමණකි. එබැවින් විචිකිච්ඡා සම්ප්‍රයුක්ත සිතෙහි අධිමොක්ඛය නො ලැබේ.
කාමාවචර සිත් අතුරෙන් විචිකිච්ඡා සිතත් දෙපස් විඤ්ඤාණ සිත් දසයත් යන සිත් එකළොසෙහි අධිමොක්ඛය නො ලැබේ. ඉතිරි සිත් අට සැත්තෑ වෙහි (78) අධිමොක්ඛය ලැබෙයි.
විරිය (5)
අටලොස් අහේතුක සිත් අතුරෙන් දෙපස් විඤ්ඤාණයෝය, පඤ්චද්වාරා වර්ජනය, සම්පටිච්ඡන දෙක සහ සන්තීරණ තුන ප්‍රසාද වස්තුන්හි අරමුණු ගැටුණු කල්හි, චිත්ත නියාමය පරිදි වීර්‍ය්‍යයක් නොමැතිව හටගන්නා බැවින් මේ සිත් සොළොසෙහි වීර්‍ය්‍ය චෛතසිකය හට නොගන්නේ ය. ඉතිරි තෙසැත්තෑ (73) සිත්වල වීර්‍ය්‍යය යෙදෙයි.
ප්‍රීතිය (6)
ප්‍රීතිය ද, ධ්‍යානාඞ්ගයක් වන බැවින් එක්සිය විසිඑකක් සිත් අතුරෙන් මේ චෛතසිකය යෙදෙන සිත් සෙවිය යුතුයි. සොම නස්සය ඇති කල්හිම ප්‍රීතිය හටගනි. දොමනස්ස, උපෙක්ඛා, චිත්තයන්හි ප්‍රීතිය නො ලැබෙන්නේ ය. සොමනස්සය යෙදෙන සිත් සියල්ල එක්පනසෙකි. (51) එනම්:- දොළොස් අකුසල් සිත් අතුරෙන් ලොභමූල සොමනස්ස සිත් සතරෙකි. (4). අටළොස් අහේතුක සිත් අතුරෙන් සොමනස්ස සිත් දෙකෙකි. (2). එනම් සොමනස්ස සන්තීරණය සහ සොමනස්ස හසිතුප්පාදය යන දෙකය. සූවිසි කාමසොභන සිත් අතුරෙන් සොමනස්ස සිත් දොළොසෙකි. (12). හැට හතක් ධ්‍යාන සිත් අතුරෙන් ප්‍රථම ධ්‍යාන, දුතීයධ්යාන තතියධ්යාන සිත් තෙතිසය. (33). මේ එක් පනස් චිත්තයන් හැර ඉතිරි සිත් සැත්තෑවෙහි (70) ප්‍රීතිය නො ලැබෙන්නේ ය.
ඡන්දය (7)
ඡන්ද චෛතසිකය අටළොස් අහේතුක සිත්හි සහ මොහ මූල දෙසිතෙහි ද යන විසි (20) චිත්තයන්හි නො යෙදෙන්නේය. ඉතිරි සිත් එකුන්සැත්තෑවෙහි ම (69) යෙදෙයි.
ඡන්දය යයි කියනුයේ කරනු කැමැත්තටය. අහේතුක සිත් සියල්ලෙහිම කරුණු කැමැත්තක් නැති බැවින් ඡන්දය නො යෙදෙන බව දත යුතුයි. එමෙන්ම මොහමූල දෙසිතෙහි ද, මොහය අධික බැවින්, නොසන්සුන් බවත් අවිනිශ්චිත භාවයත් ඇති කල්හි, කැමැත්තක් ඇති නො වන්නේය. එබැවින් මොහමූල දෙසිතෙහි ද ඡන්දය නො යෙදෙන්නේ ය. මෙසේ අඤ්ඤසමාන චෛතසිකයන් නය හෙවත් ක්‍රම සතකින් ඒ ඒ සිත් හා යෙදීම හෝනො යෙදීම වන්නේය.
සැකෙවින් මේ අඤ්ඤසමාන චෛතසිකයන්ගේ සම්ප්‍රයෝග නය සත මෙසේ දත යුතුයි. (213 පිටුව බලනු)