6. ප්‍රතිපදා ඤාණදස්සන විසුද්ධිය
උදය ව්‍යය ඥානයාගේ පටන් සඞ්ඛාරොපෙක්ෂා ඥානය තෙක් පැවැති අෂ්ඨවිධ ඥානයාගේ වශයෙන් ශිඛාප්රාප්තවූ විදර්ශනා ඥානය හා නවවැනිවූ සච්චානුලොමක ඥානය ද යන මේ නවමහා විදර්ශනා ඥානය, ප්‍රතිපදා ඥානදස්සන විසුද්ධි නම් වේ.
ඔභාසාදී දසවිධ විදර්ශනොපක්ලේශයන්ගෙන් මිදුණාවූ විදර්ශනා චිත්ත වීථියට බැසගත් හෙයින් විදර්ශනා නම් වූ මේ ඥානයෝ නවදෙනා නම්:-
- උදයව්යානු දර්ශනා ඥානය,
- භඞ්ගානු දර්ශනා ඥානය,
- භයතුපට්ඨාන ඥානය,
- ආදීනවානුදර්ශනා ඥානය,
- නිබ්බිදානු දර්ශනා ඥානය,
- මුඤ්චිතුකම්යතා ඥානය,
- පටිසඞ්ඛානු දර්ශනා ඥානය,
- සඞ්ඛාරොපෙක්ෂා ඥානය,
- සත්යානුලොමක ඥානය හෙවත් අනුලොම ඥානය.
උදයව්‍යය දැනීම් අර්ථයෙන් හා ප්රත්යක්ෂ වශයෙන් දැකීම් අර්ථයෙන් ද ඥාන දර්ශන නම් වේ. එයම ප්රතිපක්ෂ ධර්මයන්ගෙන් විශුද්ධ වූ හෙයින් ඥාන දර්ශන විශුද්ධි නම් වේ. එයම ආර්යමාර්ගයට පිළිපැදීම් විශයෙන් ප්‍රතිපදා ඥාන දස්සන විසුද්ධි නම් වේ.
1. උදයව්යානු දර්ශනා ඥානය:- යටකී දස උපක්ලේශයන්ගෙන් කිලිටිවූ උදයව්‍යය ඥානය යථා ස්වභාවයෙන් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් ත්රිලක්ෂණය සලකා ගැනීමට අසමර්ථය. ඒ උපක්ලේශයන්ගෙන් මිදුණු ඥානයෙන්ම ත්රිලක්ෂණ බැලීමට සමර්ථ වේ.
උදය ව්‍යය මෙනෙහි නො කිරීමෙන්, සන්තතියෙන් වැසුණු හෙයින් අනිත්‍ය ලක්ෂණය නො වැටහේ. උදය ව්‍යය මෙනෙහි කොට සන්තතිය ඉගිලවීමෙන් අනිත්‍ය ලක්ෂණය යථා ස්වභාවයෙන් වැටහේ.
සංස්කාරයන් නිතර පීඩා කරන බව මෙනෙහි නො කිරීමෙන් සතර ඉරියව්වෙන් වැසුණු හෙයින් දුක්ඛ ලක්ෂණය නො වැටහේ. සංස්කාරයන් නිතර පෙළෙන බව මෙනෙහි කොට ඉරියව්වෙන් වැසුණු බව ඉගිළවු කල දුක්ඛ ලක්ෂණය යථා ස්වභාවයෙන් වැටහේ.
නා නා ධාතූන් වෙන් කොට මෙනෙහි නො කිරීමෙන්, ඝනයෙන් වැසුණු හෙයින් අනාත්ම ලක්ෂණය නො වැටහේ, පඨවි ආදී නා නා ධාතූන් වෙන් වෙන් කොට ඝනය බිඳීම කළ කල්හි අනාත්ම ලක්ෂණය යථා ස්වභාවයෙන් වැටහේ. ඔවුනොවුන් හා සම්බන්ධව පවත්නා රූපා රූප ධර්මයන් එකක් වශයෙන් ගැනීම වූ සමූහඝනය ද, ඒ ඒ ධර්මයනට ප්‍රතිනියත කෘත්‍ය භේදයෙන් එකත්ත්වයෙන් ගැනීම වූ කෘත්‍ය ඝනය ද, ඒ ඒ ආලම්බණ සහිත ධර්මයන් ආලම්බණ භේදයෙන් එකත්ත්වයෙන් ගැනීම වූ ආලම්බන ඝනය දැයි යන ත්‍රිවිධ ඝනයම වෙන් වෙන්ව ධාතු ආදී වශයෙන් වැටහෙන කල්හි අතින් පිරිමදින ලද පෙන පිඩක්සේ විනාශයට යෙතියි ප්‍රත්‍ය ලාභයෙන් පවත්නා සූන්‍ය ධර්ම මාත්‍රයෙකැයි තතුසේ අනාත්ම ලක්ෂණය අතිශයින් ප්‍රකට වේ.
තවද, අනිත්‍යය නම් ස්කන්ධ පඤ්චකය යි, විනාශය අන්යථාත්ත්වය යන ස්වභාවය ඇති හෙයිනි. ඇතිව නැති වන හෙයින් ද අනිත්‍යය නම් වේ.
උත්පාද, ව්‍යය, අන්යථාත්ත්වය යන මෙය අනිත්‍ය ලක්ෂණය නම් වේ. ඉපිද නැතිවීම යයි කියන ලද ආකාර විකාරය ද අනිත්‍යය ලක්ෂණ යයි.
“යදනිච්චං තං දුක්ඛං” යමක් අනිත්‍ය නම් ඒ දුක යයි වදාළ හෙයින් පඤ්චස්කන්ධයම නිතර පෙළන හෙයින් දුක් නම් වේ.
නිතර පෙළෙන ආකාරය දුක්ඛ ලක්ෂණය නම් වේ.
“යං දුක්ඛං තදනත්තා” යමක් දුක නම් එය අනාත්ම යයි වදාළ හෙයින් ඒ ස්කන්ධ පඤ්චකයම වශයෙහි නො පවත්නා හෙයින් අනාත්ම නම්.
වශයෙහි නො පවත්නා ආකාරය අනාත්ම ලක්ෂණ යයි.
මෙසේ මේ යෝගාවචර තෙම මෙකී ලක්ෂණය හා ඒ ලක්ෂණයෙන් යුත් පඤ්චස්කන්ධය ද යන මේ සියල්ලම උපක්ලේශයන්ගෙන් මිදුණු, වීථියට පිළිපන් විදර්ශනා සඞ්ඛ්‍යාත උදය ව්‍යයානු දර්ශන ඥානයෙන් යථා ස්වභාවයෙන් සලකා, නැවත නැවත අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යයි රූපාරූප ධර්මයන් නිශ්චය කරන, තීරණය කරන කල්හි ඔහුගේ විදර්ශනා ඥානය තියුණු වී සංස්කාරයේ සැහැල්ලුව වැටහෙති.
2. භඞ්ගානුදර්ශන ඥානය - උදයව්යයානුදර්ශන ඥානය තියුණුව පවත්නා කල්හි, සංස්කාරයන් සැහැල්ලුව වැටහෙන කල්හි ඉපදීමට හෝ ස්ථිතියට හෝ පැවැත්මට හෝ සංස්කාර නිමිත්තට හෝ නො පැමිණේ. ක්ෂය ව්‍යය භේද සඞ්ඛ්‍යාත නිරෝධයෙහි සිහිය මනාව පහිටයි. සංස්කාරයන් මෙසේ ඉපිද, මෙසේ නිරුද්ධ වෙතියි දක්නා වූ යෝගීහට පෙර කී සේ උදය හැර ව්‍යය ම මෙනෙහි කරන කල්හි භඞ්ගානු දර්ශනය නම් වූ විදර්ශනා ඥානය උපදී.
රූප, වෙදනාදී වූ යම් අරමුණක් ක්ෂය, ව්‍යය වශයෙන් දැන ඒ ආලම්බනය ක්ෂය ව්‍යය වශයෙන් බැලීමෙන් උපන් ඤාණයාගේ ද යම් භඞ්ගයක් වේ නම් අන්‍ය සිතකින් ඒ භඞ්ගය බැලීමෙන් උපන් ප්‍රඥාව භඞ්ගානු දර්ශනා ඥාන නම් වේ. දක්නා ලද අරමුණ ද, ඒ අනුපස්සනා වශයෙන් දක්නා ලද ඤාණය ද යන දෙකම ක්ෂය ව්‍යය වශයෙන් බැලීම යයි දත යුතු. මෙහි භඞ්ගය බලන්නේ ද, අනිච්චානු පස්සනාදී නොයෙක් ආකාරයෙන් නැවත නැවත බලයි. ඒ මෙසේයි. භඞ්ගය නම් අනිත්‍යය පිළිබඳ අන්තිම කෙළවරය. එ හෙයින් ඒ භඞ්ගය අනුව බලන යෝගී තෙමේ සියලු සංස්කාරයන්ම අනිත්‍ය වශයෙන් බලන්නේ නිත්‍ය සංඥාව දුරු කෙරේ. එසේම සියලු සංස්කාරයන් දුක් වශයෙන් බලයි. සැප වශයෙන් නො බලයි. දුක් වශයෙන් බලන්නේ සුඛ සංඥාව දුරු කෙරේ. එසේම සියලු සංස්කාරයන් අනාත්ම වශයෙන් බලයි. ආත්ම වශයෙන් නො බලයි. අනාත්ම වශයෙන් බලන්නේ ආත්ම සංඥාව දුරු කෙරේ. යමක් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම නම් එය තෘෂ්ණා, දිට්ඨි ආදී වශයෙන් අභිනන්දනය නොකට යුතු. යමක් අභිනන්දනය නොකටයුතු නම් එහි නො ඇලිය යුතු. එ හෙයින් භඞ්ගානුපස්සනා අනුසාරයෙන් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යයි දක්නා ලද සංස්කාර සමූහයෙහිම කළකිරේ. කළකිරුණේ සතුටු නොවේ, නො ඇලේ, නො රැඳේ. එ හෙයින් කළකිරීමෙන් සතුට දුරු කෙරේ, නො ඇලුණේ ලෞකික ඥානයෙන්ම රාගය දුරු කෙරේ. රාගය නිරුද්ධ කරනුයේ සමුදය නො කෙරේ. සමුදය දුරු කෙරේ, තෘෂ්ණාව නූපදවයි, මෙසේ පිළිපන් ඒ යෝගාවචර තෙම සංස්කාරයන් දුරු කෙරේ, නොගනී.
මේ අනිත්‍යාදී අනුපස්සනාව තදඞ්ග වශයෙන් ස්කන්ධාදී අභිසංස්කාරයන් සමඟ කෙලෙසුන් පහකරන හෙයින් පරිච්චාගපටිනිස්සග්ගය යයි ද සංස්කාර ධර්මයන්ගේ දොස් දැකීමෙන් ද සංස්කාර ධර්මයට විපරීත වූ නිර්වාණයෙහි නිම්න භාවයෙන් පක්ඛන්දනය වන හෙයින් ද පක්ඛන්දන පටිනිස්සග්ග යයි ද කියනු ලැබේ.
විදර්ශනාවට ප්රවෘත්ති ස්ථාන හෙයින් වස්තු නම් වූ රූපාදී ආලම්බනයාගේ භඞ්ගය දැක නැවත ඒ භඞ්ගය දක්නා ලද සිතෙහි ද භඞ්ගය දැකීම් වශයෙන් පළමු වස්තුවෙන් අන්‍ය වස්තුවකට සංක්‍රමණය වීමෙන්, ව්යයෙහි විදර්ශනා ප්‍රඥාව මනාව පිහිටීමෙන් ඒ ආලම්බනයාගේ භඞ්ගය දැක නැවත ඒ භඞ්ගය අරමුණු කරන චිත්තයාගේ ද භඞ්ගය දැකීම පිණිස ආවර්ජනා කිරීමෙහි සමත් බව පටිසඞ්ඛාවිපස්සනා නම් වේ.
ප්රත්යක්ෂ වශයෙන් දක්නා ලද අරමුණු අනුව යාමෙන්, වර්තමාන ස්කන්ධ පඤ්චකය බිඳෙන්නා සේ අතීතයෙහි ද, අනාගතයෙහි ද සංස්කාර බිඳේ යයි ද, දිට්ඨ, අදිට්ඨ දෙදෙනාගේ ක්ෂණ භඞ්ගය හිරු නැගි කල තණ අග පිණිබිඳු සේ විනාශ වන සුළු බව ද ඒකාකාරයෙන් ව්‍යවස්ථා කොට ඒ භඞ්ග සඞ්ඛ්‍යාත නිරෝධයෙහිම අධිමුක්ත බව, ගරු කොට ඇති බව, එයට නැමුණු බව, අවනත බව, අභිමුඛ බව දැකීම ව්‍යය ලක්ෂණ විපස්සනා හෙවත් විපරිනාම ලක්ෂණ භඞ්ගානුදර්ශන විදර්ශනා නම් වේ.
භඞ්ගානුදර්ශන වශයෙන් රූපාදී අරමුණු දැන ඒ ආලම්බනයාගේ භඞ්ගය දැක, ඒ භඞ්ගය අරමුණු කළ චිත්තයාගේ ද භඞ්ගය දැක, මෙසේ භඞ්ගය අනුව බලන ඒ යෝගීහට සංස්කාරයෝම බිඳෙති, සංස්කාරයන්ගේ භෙදයම මරණයය අන්‍ය වූ කිසි ආත්මයක් නැත්තේ යයි ශුන්‍ය වශයෙන් වැටහීම වේ.
මෙසේ ආලම්බන පටිසඞ්ඛා විපස්සනා ප්‍රඥාව ද, භඞ්ගානුපස්සනාව ද, ශුන්‍ය යයි වැටහීම දැයි මේ තුන් ආකාර විදර්ශනාව අධිපඤ්ඤා විපස්සනා නම් වේ.
එ හෙයින් මෙසේ වූ විදර්ශනා ඥාන ඇති යෝගාවචර තෙම ශාස්වත දිට්ඨි ආදී නා නා ප්‍රකාර දෘෂ්ටින්හි කම්පා නොවේ. මෙසේ කම්පා නො වන ඒ යෝගී තෙම, නිරුද්ධ නුවූයේම නිරුද්ධ වේ. නො බිඳුනේම බිඳේ යයි පැවැති මනස්කාර ඇත්තේ බිඳෙන දුර්වල භාජනයක් මෙන් ද, විසිරෙන සියුම් දූලි රැසක් මෙන් ද, බදින තල මෙන් ද, සියලු සංස්කාරයන්ගේ උප්පාද, ඨිති, පවත්ති, නිමිත්ත හැර භෙදයම දකී.
ඇස් ඇති පුරුෂයෙක් පොකුණු තෙරෙක හෝ ගං තෙරෙක හෝ සිට මහත් පොද ඇති වැස්සක් වස්නා කල දිය පිට මහත්, මහත් බුබුළු නැගී නැගී, වහ වහා බිඳෙන්නවුන් දක්නා සේ, ඒ යෝගී තෙමේ සියලු සංස්කාරයෝ බිඳෙත් බිඳෙත් යයි දකී, දිය බුබුලක්, මිරිඟු දියක් දක්නා සේ ලෝකය බලන යෝගී තෙම අර්හත්වයට පැමිණෙන හෙයින් මරහු නොදකී. මෙසේ බලන ඒ යෝගීහුගේ, අටඅනුස්සකින් පිරිවරාගත් භඞ්ගානුපස්සනා ඤාණය බලවත් බවට පැමිණේ.
ඒ අනුසස් අට නම්:-
- භවදිට්ඨි ප්රහාණය හෙවත් ශාස්වත දෘෂ්ටිය දුරු කිරීම.
- ජීවිතනිකන්ති පරිත්‍යාගය හෙවත් ජීවිත ආශාව දුරු කිරීමය.
- සදායුත්තපයුත්තතාවය හෙවත් සතත භාවනායෙහි යුක්ත ප්රයුක්තතාවය.
- විසුද්ධාජීවතා හෙවත් පිරිසුදු ආජීවතාය.
- උස්සුක්කප්පහාන හෙවත් කෘත්යාකෘත්යයෙහි ව්‍යාවෘත නො වීමය.
- විගතභයතා හෙවත් කිසිවකට භය නැති බවය.
- ඛන්තිසොරච්ච ප්‍රතිලාභය හෙවත් ක්ෂාන්ති සුරතභාව ලාභය.
- අරතිරතිසහනතා හෙවත් අධිකුසල ධර්මයෙහි අරතිය හා කාමගුණරතිය සහනතාය.
මේ උතුම් අනුසස් අට දැක, ඒ භඞ්ගය බලන සුලු යෝගී තෙම නිවණට පැමිණෙනු පිණිස ගිනිගත් වස්ත්‍ර, ශීර්ෂ ඇතියකු සේ සංස්කාරයන්ගේ භඞ්ගය සම්මර්ශනය කෙරේ.
3. භයතුපට්ඨාන ඥානය - සියලු සංස්කාරයන්ගේ ක්ෂය, ව්‍යය භේද සඞ්ඛ්‍යාත නිරෝධය අරමුණු කොට පැවැති භඞ්ගානුපස්සනාව ආසේවනය කරන, වඩන, නැවත නැවත වඩන ඒ යෝගාවචරයාහට සියලු භව, යොනි, ගති, විඤ්ඤාණස්ථිති, සත්ත්වාවාසයන්හි බිඳෙන සංස්කාරයෝ, සුවසේ ජීවත්වනු කැමැති බියසුළු පුරුෂයෙකුහට සිංහ, ව්යාඝ්ර, දිවි, වලස්, යක්, රකුස්, සැඩගොන්, සැඩබලු, මදකිපුණු ඇත්, ඝෝර සර්ප, හෙණ, සොහොන්, යුදබිම්, දිලිසෙන අඟුරු වළ ආදිය දක්නා කලෙක මෙන් මහා භයක්ව වැටහේ.
අතීත සංස්කාරයෝ නිරුද්ධවූහ. වර්තමාන සංස්කාරයෝ නිරුද්ධවෙත්. අනාගතයෙහි උපදින සංස්කාරයෝ ද මෙසේ ම මතු නිරුද්ධ වන්නාහයි බලන්නා වූ යෝගාවචරයා හට භයතුපට්ඨාන නම් වූ ඤාණය උපදී.
මෙය අවබෝධ කර ගැනීම පිණිස උපමාවෙක් දක්වනු ලැබේ. එක් සත්‍රියකගේ පුත්‍රයින් තිදෙනෙක් අපරාධ කොට, රජුට අසුවී, හිස් සිඳ දැමීමට නියෝග ලැබ වධස්ථානයට පමුණුවන කල්හි ඔතෝමෝ ද පුතුන් සමඟ වධස්ථානයට පැමිණියා ය. දෙටුපුතුගේ හිස සිඳ මද්දුම පුතුගේ හිස සිඳීමට සූදානම් වූ කල්හි ඔතොමෝ වැඩිමලාගේ හිස සින්දේය, මද්දුමයාගේ හිස ද සිඳියි.” කියා මේ තෙමේද අනික් දෙදෙනා මෙනැයි සිතා බාලයා කෙරෙහි ආලය හැරියා ය.
මේ උපමායෙහි ඒ ස්ත්‍රිය දෙටු පුතුගේ සිඳි හිස දැකීම මෙන් යෝගීහුගේ ඉකුත් සංස්කාරයන්ගේ නිරෝධය දැකීම ද මද්දුමයාගේ හිස සිඳිනු මෙන් වර්තමාන සංස්කාර නිරෝධය දැකීම ද, මේද මොවුන් වැනි යයි බාලයා කෙරෙහි ආලය හැරීම මෙන් අනාගතයෙහි ද උපදනා සංස්කාරයෝ බිඳෙත් යයි අනාගත ධර්මයන්ගේ නිරෝධය දැකීම ද දත යුතු.
මෙසේ බලන්නාවූ ඒ යෝගීහට මෙතැන භයතුපට්ඨාන ඤාණය උපදී.
මිය යන දරුවන් ඇති එක් ස්ත්‍රියක් දරුවන් දස දෙනකු වැදුවාය. එයින් නව දෙනෙක් මළහ. එකෙක් දැන් මරණාසන්නව අතෙහි සිටී. අනෙකෙක් කුසෙහි ද සිටී. ඔතොමෝ දරුවන් නව දෙනෙකුන් මළ කල, දසවැන්නා ද මියයන්නහු දැක, කුසහොත් දරුවා මළවුන් හා සම යයි ඔහු කෙරෙහි ආලය හැරියා ය.
ඒ උපමායෙහි ද, ඒ ස්ත්‍රියගේ දරුවන් නව දෙනෙකුන්ගේ මරණය සිහි කිරීම මෙන් ඒ යෝගීහුගේ අතීත සංස්කාර පිළිබඳ නිරෝධය සිහි කිරීම ද, අතදරුවා මිය යනු දැකීම මෙන් වර්තමාන සංස්කාර නිරෝධය දැකීම ද, කුස හොත් දරුවා කෙරෙහි ආලය හැරීම මෙන් අනාගත සංස්කාර නිරෝධය දැකීම ද දත යුතුයි. මෙසේ බලන්නාවූ ඒ යෝගීහට එකෙණෙහිම භයතුපට්ඨාන ඤාණය උපදී.
මේ භයතුපට්ඨාන ඤාණය වනාහි “ඉකුත් සංස්කාරයෝ නිරුද්ධයහ. වර්තමාන සංස්කාරයෝ නිරුද්ධ වෙත්. අනාගත සංස්කාරයෝ නිරුද්ධ වන්නාහ” යි තීරණ මාත්‍රයක් පමණමුත් බිය වන ආකාරයෙන් උපදනා නුවණක් නොවන බව දතයුතු.
ඇස් ඇති පුරුෂයෙක් නුවර දොර අගුරු වළවල් තුනක් දැක බිය නොවෙයි. මෙහි යම් යම් කෙනෙක් වැටෙත් නම් ඔහු හැම දෙනම බොහෝ දුක් විඳිතියි තීරණ මාත්රයෙක්ම ඕහට වේ. භයතුපට්ඨාන ඤාණය ද එ පරිද්දෙන් ම සංස්කාර නිරෝධයෙහි තීරණ මාත්‍රයෙක්මය.
අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන්නාහට සංස්කාර යන්ගේ භඞ්ගය පෙනෙන හෙයින් ඒ අතීතානාගත ප්‍රත්‍යුප්පන්න වූ සංස්කාර නිමිත්ත භය වශයෙන් වැටහේ. දුක් වශයෙන් මෙනෙහි කරන්නාහට රූපා රූප භවයන්ගේ ප්‍රවෘත්තිය නිතර පෙළෙන හෙයින් භය වශයෙන් වැටහේ. අනාත්ම වශයෙන් මෙනෙහි කරන්නාහට සංස්කාර නිමිත්ත ද භව ප්‍රවෘත්තිය ද ශුන්‍ය ගමක් මෙන් ද, මිරිඟු දියක් මෙන් ද, ගන්ධර්ව නගරයක් මෙන් ද රික්තය, තුච්ඡය, ශුන්‍යය, අස්වාමිකය, අපරිනායක යයි පෙනෙන හෙයින් නිමිත්ත ප්රවෘත්ති දෙකම භය වශයෙන් වැටහේ.
මෙසේ අනිත්‍ය දුක්ඛ, අනාත්ම වශයෙන් සංස්කාර යන්ගේ භඞ්ගය දක්නා යෝගාවචරයාහට භයතුපට්ඨාන ඤාණය උපදී.
4. ආදීනවානුදර්ශනාඤාණය - ඒ භයතුපට්ඨාන ඤාණය සේවනය කරන්නා වූ, වඩන්නා වූ, බහුල කොට වඩන්නා වූ ඒ යෝගාවචරයාහට සියලුම භව, යොනි, ගති, විඤ්ඤාණස්ථිති, සත්ත්වාවාසයන්හි සංස්කාරයන් ගෙන් වන්නා වූ අනර්ත්ථයන්ගෙන් ආරක්ෂාවක් හෝ උවදුරු වළක්වාලීමට සැඟවෙන තැනෙක් හෝ, යායුතු තැනෙක් හෝ පිළිසරණ හෙවත් රක්ෂා කරන තැනක් හෝ නැතැයි වැටහේ. එ හෙයින් එකී තැන්හිවූ එක සංස්කාරයෙක්හිදු ප්‍රාර්ථනාවෙක් හෝ පරාමාසයක් හෙවත් දෘෂ්ටි වශයෙන් දැඩිව ගැනීමක් හෝ නොවේ. ඒ ත්‍රිවිධ භවයම සාලඟුරින් පිරි අගුරු වලවල් මෙන් ද, සතර මහා භූත, කට්ඨමුඛ, පූතිමුඛ, අග්ගිමුඛ, සත්ථමුඛ නම් වූ ආශීර්විෂයන් සතර දෙනෙකුන් මෙන් ද, පඤ්චසකන්ධයෝ, ඔසවාගත් කඩු ඇති වධකයන් පස් දෙනෙකු මෙන් ද, චක්ෂුරාදී අධ්‍යාත්මික ආයතන සය, ආත්ම-ආත්මිය භාවයෙන් ශුන්‍ය හෙයින් ශුන්‍ය ග්‍රාමයක් මෙන් ද, බාහිරායතන සය ගම් පහරන සොරුන් මෙන් ද, සප්තවිඤ්ඤාණස්ථිතහු ද, නවසත්ථාවාසයෝ ද රාගාදී එකොළොස් ගින්නෙන් ඇවිල ගත්තවුන් මෙන් ද, දිළිසෙන්නවුන් මෙන් ද, ගිනිසිළු ඇත්තවුන් මෙන් ද, සියලු සංස්කාරයෝ ගඩ මෙන් ද, රෝග මෙන් ද, හුල් මෙන් ද, අඝයන් මෙන් ද, ආබාධයන් මෙන් ද වූවාහු ආස්වාද රහිතයන්ව, නිරසයන්ව, මහත් ආදීනව රැසක්ව වැටහෙති.
යම්සේ පුරුෂයෙක් චණ්ඩ මෘගාදීන් ඇති වනගහණාදීන්ට පැමිණ බියපත්ව, කළකිරුණේ, හටගත් ලොමුඩැහැගැනීම් ඇතිව හාත්පසින් ආදීනව දක්නාසේ මේ යෝගාවචර තෙමේ ද, භඞ්ගානුපස්සනා ඤාණයාගේ වශයෙන් සියලු සංස්කාරයන් භය වශයෙන් එළඹ සිටි කල්හි හාත්පසින් ආස්වාද රහිත වූ නීරස වූ ආදීනවයම දකී. මෙසේ බලන්නාවූ ඒ යෝගාවචරයාහට ආදීනවානුපස්සනා ඤාණය උපන්නේ වේ.
1. ඉපදීම භයෙක, සංස්කාර ප්‍රවෘත්තිය භයෙක, සංස්කාර නිමිත්ත භයෙක, ආයූහන සඞ්ඛ්‍යාත ප්රතිසන්ධියට හේතුවූ කර්මය භයෙක, ප්රතිසන්ධිය භයෙක, නිරයාදී පස්ගතිය භයෙක, නිපැත්ම භයෙක, උපප්‍රාප්තිය භයෙක, ජාතිය භයෙක, ජරාව භයෙක, ව්‍යාධිය භයෙක, මරණය භයෙක, සෝකය භයෙක, පරිදෙවය භයෙක, උපායාසය භයෙකැයි භයතුපට්ඨානයෙහි ප්‍රඥාව ආදීනවයෙහි ඥාන නම් වේ.
- අනුත්පාදය, අප්‍රවෘත්තිය, අනුපායාසය, ක්ෂේම යයි ශාන්තිපද සඞ්ඛ්‍යාත නිර්වාණයෙහි ඥානය වේ.
- උත්පාදය භයය, අනුත්පාදය ක්ෂේම යයි ශාන්ති- පදයෙහි ඥානය වේ.
- උත්පාදය, ප්‍රවෘත්තිය, උපායාසය දුක් යයි භයතුපට්ඨානයෙහි ප්‍රඥාව ආදීනවයෙහි ඥානය වේ.
- අනුත්පාදය, අප්‍රවෘත්තිය, අනුපායාසය සුඛ යයි ශාන්තිපදයෙහි ඥානය වේ.
- උත්පාදය දුක්ය, අනුත්පාදය සුඛ යයි ශාන්ති- පදයෙහි ඥානය වේ.
- උත්පාදය, සංස්කාර ප්‍රවෘත්තිය, උපායාසය සාමිස යයි භයතුපට්ඨානයෙහි ප්‍රඥාව ආදීනවයෙහි ඥානය වේ.
- අනුත්පාදය, අප්‍රවෘත්තිය, අනුපායාසය නිරාමිස යයි ශාන්තිපදයෙහි ඥානය වේ.
- උත්පාදය සාමිසය, අනුත්පාදය නිරාමිස යයි ශාන්තිපදයෙහි ඥානය වේ.
- උත්පාදය, ප්‍රවෘත්තිය, උපායාසය සංස්කාරයහයි භයතුපට්ඨානයෙහි ප්‍රඥාව ආදීනවයෙහි ඥානය වේ.
- අනුත්පාදය, අප්‍රවෘත්තිය, අනුපායාසය නිර්වාණය යයි ශාන්තිපදයෙහි ඥානය වේ.
- උත්පාදය සංස්කාරයහ, අනුත්පාදය නිර්වාණයහ, ප්‍රවෘත්තිය සංස්කාරයහ, අප්‍රවෘත්තිය නිර්වාණයහ, උපායාසය සංස්කාරයහ, අනුපායාසය නිර්වාණය යි ශාන්තිපදයෙහි ඥානය වේ.
ඉපදීමය, පැවැත්මය, නිමිත්තය, ආයූහනය, ප්රතිසන්ධිය දුක් වශයෙන් දැකීම ආදීනවයෙහි ඥානය යි. නවම පරිච්ඡේදය අනුත්පාදය, අප්‍රවෘත්තිය, අනිමිත්තය, අනායූහනය, අප්රතිසන්ධිය සැප යයි දැකීම නිර්වාණ සඞ්ඛ්‍යාත ශාන්ති- පදයෙහි ඤාණය වේ.
මෙසේ උත්පාදාදී ධර්මයෝ භය වශයෙන් මැනවින් වටහාගත් යෝගාවචරයාගේ සිත ඒ භය ආදියට ප්රතිපක්ෂ වූ නිර්වාණයට නැමේ.
5. නිබ්බිදානුදර්ශන ඥානය - ත්‍රෛභූමික වූ සියලු සංස්කාරයන් ආදීනව වශයෙන් දක්නා යෝගාවචර තෙම සියලු භව, යොනි, ගති, විඤ්ඤාණට්ඨිති, සත්ත්වාවාසයන්හි වූ, බිඳෙන සුලු සියලුම සංස්කාරයන්හි කළකිරෙයි. උකටලී වෙයි, නො ඇලෙයි, චිත්‍රකූට පර්වත පාදයෙහි ඇලුණු ස්වර්ග හංසරාජයා අපවිත්‍රවූ සැඩොල් ගම්දොර ගවර වළෙහි නො ඇලෙන්නාක් මෙනි. ඔව්හු සිංහ ප්රපාතාදී සප්ත මහාවිල්හිම ඇලේ. එ පරිද්දෙන් ම මේ යෝගී තෙම මනාකොට දක්නා ලද ආදීනව ඇති ත්‍රෛභූමික සංස්කාරයන්හි නො ඇලේ. භාවනායෙහි ඇලුණු හෙයින් භාවනාභිරතියෙන් යුක්තවූයේ සප්තානුදර්ශනයෙහි ඇලේ. මෙසේ සියලු සංස්කාර ධර්මයන් කෙරෙහි කළකිරීම් වශයෙන් පැවැති ඥානය නිබ්බිදානුපස්සනා ඤාණ නම් වේ.
6. මුඤ්චිතු කම්‍යතා ඤාණය - යට කී නිබ්බිදානුපස්සනා ඤාණයෙන් කළකිරුණු, උකටලී වූ නො ඇලුණු යෝගාවචරයාගේ සිත සියලු භව, යොනි, ගති, විඤ්ඤාණට්ඨිති, සත්ත්වාවාසයන්හි සියලු සංස්කාරයන් අතුරෙන් එකද සංස්කාරයෙක්හිවත් නො ඇලේ. නො ලැගේ, නො බැඳේ. සියලු සංස්කාරයන්ගෙන් මිදෙනු කැමැත්තේ, නික්මෙනු කැමැත්තේ වේ.
දැල ඇතුළට වන් මත්ස්‍යයකු මෙන් ද, සර්පමුඛගත මැඩියකු මෙන් ද, මැදිරියක ලූ වලිකුකූළකු මෙන් ද, දැඩි මලපුඩුවකට අසුවූ මුවකු මෙන් ද, අභිකුණ්ඨිකයෙකු අතට පත් නයකු සේ ද, මහමඩෙහි ගැලුණු ඇතකු සේ ද, ගරුඩ මුව ගත නාගයකු සේ ද, රාහු මුඛගත චන්ද්‍රයා සේ ද, සතුරන් පිරිවරණ ලද පුරුෂයකු සේ ද, ඒ යෝගීහුගේ සිත ද සියලු සංස්කාරයන්ගෙන් මිදෙනු කැමැත්තේ, නික්මෙනු කැමැත්තේ වේ. මෙසේ සියලු සංස්කාරයෙහි නො ඇලුණු, එයින් මිදෙනු කැමැති ඒ යෝගීහට මුඤ්චිතුකම්යතා ඤාණය උපදී.
7. පටිසඞ්ඛානු දර්ශන ඥානය - මෙසේ මුඤ්චිතුකම්යතා ඥානය උපදවාගත් යෝගාවචර තෙම සියලු සංස්කාරයන්ගෙන් මිදෙනු පිණිස නැවත ඒ සංස්කාරයන්ම පටිසඞ්ඛානුපස්සනා ඤාණයෙන් ත්රිලක්ෂණයට නඟා පරිග්‍රහ කෙරේ.
සියලු සංස්කාරයන් අනිත්‍ය හෙයින් ද, තාවකාලික හෙයින් ද, උදය ව්‍යය දෙකින් පිරිසිඳිනා ලද හෙයින් ද, විනාශ වන හෙයින් ද, බිඳෙන හෙයින් ද, අස්ථිර හෙයින් ද, විපරිණාම ධර්ම හෙයින් ද, අසාරක හෙයින් ද, විභව හෙයින් ද, සඞ්ඛත හෙයින් ද, මරණ ධර්ම හෙයින් ද යනාදී කාරණයෙන් ඒ යෝගී තෙම සංස්කාරයන් අනිත්‍යයයි දකී.
නිතර පෙළෙන හෙයින් ද, දුකින් ඉවසන හෙයින් ද, දුකට වස්තු හෙයින් ද, රෝග හෙයින් ද, ගණ්ඩ හෙයින් ද, දුක් හෙයින් ද, ආබාධ හෙයින් ද, ඊති හෙවත් හිරිහැර හෙයින් ද, උපද්‍රව හෙයින් ද, භය හෙයින් ද, උපසග්ග හෙයින් ද, රක්ෂා ස්ථාන නැති හෙයින් ද, නීලීන ස්ථාන නැති හෙයින් ද, අසරණ හෙයින් ද, ආදීනව හෙයින් ද, දුකට මුල් හෙයින් ද, වධක හෙයින් ද, ආශ්‍රව සහිත හෙයින් ද, මාරාමිෂ හෙයින් ද, ජාති ස්වභාව ඇති හෙයින් ද, ජරා ස්වභාව ඇති හෙයින් ද, ව්‍යාධි ස්වභාව ඇති හෙයින් ද, ශෝක ස්වභාව ඇති හෙයින් ද, පරිදෙව ස්වභාව ඇති හෙයින් ද, උපායාස ස්වභාව ඇති හෙයින් ද, සංක්ලේශ ස්වභාව හෙයින් දැයි මේ ආදී කාරණයෙන් දුක්ඛ යයි දකී.
අමනොඥ හෙයින් ද, දුර්ගන්ධ හෙයින් ද, පිළිකුල් කටයුතු හෙයින් ද, අමණ්ඩනාර්හ හෙයින් ද, විරූප හෙයින් දැයි මේ ආදී කාරණයෙන් දුක්ඛ ලක්ෂණයට පරිවාර වූ අශුභයහයි දකී.
පර වශයෙන් ද, පරිත්ත හෙයින් ද, තුච්ඡ හෙයින් ද, ශුන්‍ය හෙයින් ද, අස්වාමික හෙයින් ද, අනීශ්වර හෙයින් ද, තමා වශයෙහි නො පවත්නා හෙයින් දැයි මේ ආදී කාරණයෙන් අනාත්ම වශයෙන් දකී.
සංස්කාරයන් ගෙන් මිදීම සඳහා උපාය සම්පාදනය කරණු පිණිස යෝගාවචර තෙම මෙසේ සංස්කාරයන් පරිග්‍රහ කෙරේ. එයට එක් උපමාවක් දක්වා ඇත.
එක්තරා පුරුෂයෙක් මසුන් ඇල්ලීම පිණිස මස් කරප්පයක් ගෙන ජලයෙහි අටවා ඒ කරක් මුවින් අත දමා දියතුළ වූ සර්පයෙකු ගෙළෙන් අල්වාගෙන මසෙක් ගන්නා ලදැයි සතුටුවී මා විසින් මහා මත්ස්‍යයෙක් ලදැයි ඔසවා බලනුයේ සෝවැති තුන දැක සර්පයා හැඳින බියපත්ව, ආදීනව දැක ගැනීමෙන් කළකිරී ඉන් මිදෙනු කැමැතිව එයට උපාය යොදනුයේ නගුට අග සිට අත වෙළුම හැර බාහුව ඔසවා, හිසවට දෙතුන් වරක් කරකවා, ඌ දුබල කොට, දුෂ්ට සර්පයා යවයි දුරට දමා ගසා වහා වෑ මියරට නැගී, “පින්වත, මහා සර්පමුඛයෙන් මිදුනෙමි” යි කියා ආ මග බලමින් සිටියේ ය.
මේ උපමායෙහි ඒ පුරුෂයා මත්ස්යයෙකැයි සර්පයා ගෙන සතුටු වූ කාලය මෙන් මේ යෝගීහුගේ ආදියෙහිම ආත්මය ලැබ සතුටු වූ කාලය ද,
ඔහු කරක් මුවින් සර්ප හිස පිටතට ගෙන සෝවැති තුන දැකීම මෙන් මොහු ඝන විනිර්භෝග කොට සංස්කාරයන්ගේ තිලකුණු දැකීම ද,
ඔහු බියවූ කාලය මෙන් මොහුගේ භයතුපට්ඨාන ඤාණය ද,
අනතුරුව ආදීනව දැකීම මෙන් ආදීනවානුපස්සනා ඤාණය ද,
සර්පයාගෙන් මිදෙනු කැමැත්ත මෙන් මුඤ්චිතුකම්යතා ඤාණය ද,
මිදීමට උපාය සෙවීම මෙන් පටිසඞ්ඛානුපස්සනා ඤාණයෙන් සංස්කාරයන් තිලකුණට නැගීම ද,
ඒ පුරුෂයා සර්පයා හිස වටා සිසාරා දුබල කොට පෙරළා දෂ්ට කිරීමට අසමර්ත්ථ කොට මොනවට මිදුණා සේ මේ යෝගීතෙම තිලකුණට නගා සංස්කාරයන් බමවා දුබල කොට නැවත නිත්‍ය, සුඛ, සුභ, ආත්ම ආකාරයෙන් එළඹ සිටීමට අසමර්ත්ථ බවට පමුණුවා මනාමිදුමෙන් මිදේ.
මෙතෙකින් ඒ යෝගීහට පටිසඞ්ඛා ඤාණය උපන්නේ වේ.
8. සඞ්ඛාරොපෙක්ෂා ඤාණය - පටිසඞ්ඛානුපස්සනා ඤාණය උපදවා ගත් යෝගාවචර තෙම සියලු සංස්කාරයෝ ශුන්යහයි පිළිගෙන, නැවත මේ සංස්කාර ධර්ම සමූහය ආත්මයෙන් හා ආත්මය පිළිබඳ ධර්මයකින් ද ශුන්යහයි මෙසේ දෙකොණක් ඇති ශුන්යත්ත්වය පරිග්‍රහ කෙරේ.
මෙසේ ආත්මයක් නො ලැබෙන හෙයින් ම ප්රත්යක්ෂ වශයෙන් ද, අනුමාන වශයෙන් ද, ආත්මයක් නො දැක, තමතමාගේ උපකරණ වශයෙන් සුවදුක් එළවන භාවයෙන් සිටි අන් කිසිවකු හෝ නොදැක නැවත හෙතෙම (1) “මම කිසිතැනෙක්හි ආත්මය නොදකිමි. (2) තමාගේ ආත්මය අන් කිසිවකුට පළිබොධ භාවයෙහි එළවිය යුත්තක් නො දකී. (3) මම ශබ්දය හැර අන්‍යයාගේ ආත්මය ද කිසි තැනක නො දක්නේ ය. (4) අන්‍යයාගේ ආත්මය මාගේ කිසි තැනෙක පළිබොධ භාවයෙහි ඇතැයි නො දකී” යි මෙසේ චතුකොටික සුඤ්ඤතාවය පරිග්‍රහ කෙරේ.
නැවත ද හෙතෙම සයාකාරයකින් ශුන්‍යතාවය පරිග්‍රහ කෙරේ. ඒ මෙසේ යි:- චක්‍ෂුෂය (1) ආත්මයෙන් හෝ, (2) ආත්මය පිළිබඳ දැයින් හෝ, (3) නිත්‍යයෙන් හෝ, (4) ධුව හෙවත් ස්ථිරත්ත්වයෙන් හෝ, (5) ශාස්වතයෙන් හෝ, (6) අවිපරිණාම ධර්මයෙන් හෝ ශුන්‍යය වේ. මෙසේ චක්ඛු සොතාදීහු ද, රූපශබ්දාදීහු ද, චක්ඛු විඤ්ඤාණාදීහු ද, චක්ඛු සම්ඵස්සාදීහු ද යනාදී ක්‍රමයෙන් ජරා මරණ ධර්ම තෙක් මේ සයාකාරයෙන් ශුන්‍යතාවය පරිග්‍රහ කෙරේ.
නැවත ද යෝගාවචර තෙම අටාකාරයකින් ශුන්‍යතාවය පරිග්‍රහ කෙරේ. ඒ මෙසේයි:- රූපය (1) නිත්‍ය සාරසාරයෙන් හෝ, (2) ධුව සාරසාරයෙන් හෝ, (3) සුඛ සාරසාරයෙන් හෝ, (4) ආත්ම සාරසාරයෙන් හෝ, (5) නිත්‍යයෙන් හෝ, (6) ධුවයෙන් හෝ, (7) ශාස්වතයෙන් හෝ, (8) අවිපරිණාම ධර්මයෙන් හෝ අසාරය, නිස්සාරය, සාරාපගතය, වෙදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ, චක්ඛු, සොත, ඝාණ, ජිව්හා, කාය, මන, යනාදී වශයෙන් ජරා මරණතෙක් සියලුම ධර්ම සමූහය අසාරය, නිස්සාරය, සාරාපගතය යයි අටාකාරයකින් පරිග්‍රහ කෙරේ.
බටය, එරඬුය, දිඹුල්ය, හෙළවරාය, එරබදුය, පෙණපිඩුය, දිය බුබුලුය, මිරිඟු දියය, කෙසෙල් කඳය, මායාය, යන මේ දැය යම්සේ අසාර වෙද්ද, නිස්සාර වෙද් ද, සාරාපගත වෙද්ද එසේම යටකී ධර්මයෝ එකී අටාකාරයකින් ශුන්‍යතාවය පරිග්‍රහ කෙරේ.
නැවත ද ඒ යෝගී තෙම දසාකාරයකින් ශුන්‍යතාවය පරිග්‍රහ කෙරේ. ඒ මෙසේ යි. (1) රික්ත වශයෙන් ද, (2) තුච්ඡ වශයෙන් ද, (3) ශුන්‍ය වශයෙන් ද, (4) අනාත්ම වශයෙන් ද, (5) අනිශ්චර වශයෙන් ද, (6) අකාම කාර්ය්ය වශයෙන් ද, (7) අලබ්භනීය වශයෙන් ද, (8) අවසවත්තක වශයෙන් ද, (9) පර වශයෙන් ද, (10) විවික්ත වශයෙන් ද යන මේ දසාකාරයෙන් ශුන්‍යතාවය බලයි. මෙසේ වෙදනා දී සෙසු ධර්මයන් ද මේ දසාකාරයෙන් ශුන්‍යතාවය පරිග්‍රහ කෙරේ.
නැවත ද යෝගාවචර තෙම දොළොස් ආකාරයකින් ශුන්‍යතාවය පරිග්‍රහ කරන්නේ ය. ඒ මෙසේ යි. රූපය: (1) සත්ත්වයෙක් නොවේ, (2) ජීවයෙක් නොවේ, (3) නරයෙක් නොවේ, (4) මානවකයෙක් නොවේ, (5) ස්ත්‍රියක් නොවේ, (6) පුරුෂයෙක් නොවේ, (7) ආත්මයක් නොවේ, (8) ආත්මය පිළිබඳ දෙයක් නොවේ, (9) මම නොවෙමි, (10) මාගේ නොවේ, (11) අනෙකෙකුගේ නොවේ, (12) කිසිවෙකුගේ නොවේ. වේදනාදී ධර්ම ද මෙසේ ම ය. මේ දොළොස් ආකාරයෙන් සියලුම ධර්මයන්ගේ ශුන්‍යතාවය පරිග්‍රහ කෙරේ.
නැවත ද යෝගාවචර තෙම තීරණ පරිඥා වශයෙන් දෙසාළිස් ආකාරයකින් ශුන්යත්ත්වය පරිග්‍රහ කෙරේ. ඒ මෙසේ යි:-
රූපය:
- අනිත්‍යය
- දුක්ඛය
- රෝගය
- ගණ්ඩය
- සල්ලය
- අඝය
- ආබාධය
- පරය
- පලෝකය
- ඊතිය
- උපද්දවය
- භයය
- උපස්සග්ගය
- චලය
- පභඞ්ගුය
- අද්ධුවය
- අත්තාණය
- අලෙනය
- අසරණය
- අසරණීභූතය
- රිත්තය
- සුඤ්ඤය
- තුච්ඡය
- අනත්තය
- අනස්සාදය
- ආදීනවය
- විපරිණාමධම්මය
- අසාරය
- අඝමූලය
- වධකය
- විභවය
- සාසවය
- සංඛතය
- මාරාමිසය
- ජාතිධම්මය
- ජරාධම්මය
- ව්යාධිධම්මය
- මරණධම්මය
- සොක පරිදෙව දුක්ඛ දොමනස්ස උපායාස ධම්මය
- සමුදය ය
- අත්ථඞ්ගමය
- නිස්සරණය
යනාදී වශයෙන් වෙදනාදී සියලුම ධර්මයන් දෙසාළිස් ආකාරයකින් ශුන්‍යතා වශයෙන් පරිග්‍රහ කෙරේ.
රූප, වෙදනා, සංඥා, සඞ්ඛාර, විඤ්ඤාණාදීහු අනිත්‍යාදි වූ මේ දෙසාළිස් ආකාරයෙන් ශුන්‍යතා වශයෙන් බලන්නේ ලෝකය බලන්නේ වේ.
මෙසේ සියලු සංස්කාරයන් ශුන්‍ය වශයෙන් දැක, තිලකුණට නඟා සංස්කාරයන් පරිග්‍රහ කරන්නේ, සම්මර්ශනය කරන්නේ සංස්කාරයන්ගේ විනාශය නිසා භය ද, සංස්කාරයන්ගේ සම්පත්තිය නිසා ඇති වන ප්‍රීතිය ද, හැර, සංස්කාරයන් කෙරෙහි උදාසීන වෙයි. මැදහත් වෙයි. මම වෙමියි කියා හෝ මාගේ යයි කියා හෝ අත්හළ භාර්‍ය්‍යාවක් ඇති පුරුෂයකු මෙන් මිථ්‍යාදෘෂ්ටි වශයෙන් නොගනී.
සියලු සංස්කාරයන්ගෙන් මිදෙනු කැමැති යෝගීතෙම පටිසඞ්ඛානුපස්සනා ඤාණයෙන් සංස්කාරයන් සම්මර්ශනය කොට, මම ය, මාගේ යයි ගත යුත්තක් නොදැක භය ද, ප්‍රීතිය ද හැර සියලු සංස්කාරයන්හි උදාසීනව, මැදහත් වෙයි. මෙසේ දන්නා, මෙසේ දක්නා ඒ යෝගීහුගේ සිත ත්‍රිවිධ භවයෙහි ද, සතර යෝනියෙහි ද, පස්ගතියෙහි ද, සප්තවිඥාන ස්ථිතියෙහි ද, නව සත්ත්‍වාවාසයෙහි ද හැකිලෙයි. පැකිලෙයි. වැතිරෙයි. නොපැතිරෙයි. මැදහත් බව හෝ පිළිකුල් බව හෝ පිහිටයි.
මදක් නැමුණු පියුම් පතෙක දිය බිඳුහු හැකිලෙද් ද, පැකිලෙද් ද, වැතිරෙත් ද, නොපැතිරෙද් ද, ගින්නෙහි බහාලූ කුකුළු පිහාටුවෙක් හෝ නහර වැලක් හෝ හැකිලේ ද, පැකිලේ ද, වැතිරේ ද, නොපැතිරේ ද, එපරිද්දෙන් ම ඒ යෝගාවචරයාගේ සිත ද තුන් භවයෙහි හෝ සතර යෝනියෙහි හෝ පඤ්චගතියෙහි හෝ සප්තවිඤ්ඤාණස්ථිතියෙහි හෝ නව සත්ත්වාවාසයන්හි හෝ මැදහත් බව හෝ පිළිකුල් බව හෝ පිහිටයි. මෙසේ ඒ යෝගීහට සඞ්ඛාරුපෙක්ඛාඤාණය උපන්නේ වේ.
මේ සඞ්ඛාරුපෙක්ඛා ඤාණය සාන්තිපද සඞ්ඛ්‍යාත නිර්වාණය ශාන්ත වශයෙන් දකී. සියලු සංස්කාර ප්‍රවෘත්තිය හැර නිවණට ම වදී. ඉදින් ඒ ඤාණය නිර්වාණය ශාන්ත වශයෙන් නොදකී නම් නැවත නැවත සංස්කාරයන් ම අරමුණු කොට පවතී. සමුද්රිකයන්ගේ දිසාකාකයා මෙනැයි කියන ලදී.
මහ මුහුද තරණය කරන වෙළෙඳ ජනයා නැව් නගින කල්හි දිසා කාකයකු ගෙන යති යම් හෙයකින් වාත වේගයෙන් පහරණ ලද නැව විදේශයකට පැමිණ තෙරක් නොපෙනේ නම් එ කල ඔව්හු දිසා කාකයා අත්හරිත්. එවිට ඌ කුඹගසින් අහසට නැඟී සියලු සතර දිග ද, සතර අනුදිග ද අනුව ගොස් තෙරක් පෙනේ නම් එයට අභිමුඛව යෙයි. එසේ තෙරක් නොදකී නම් නැවත නැවත අවුත් කුඹගසෙහි ම ලැගෙයි.
එ පරිද්දෙන් ම සඞ්ඛාරොපෙක්ඛා ඥානය, ශාන්ත පදය වූ නිර්වාණය ශාන්ත වශයෙන් දකී නම් සියලු සංස්කාර ප්‍රවෘත්තිය හැර නිවණට ම වදී. එසේ නිවණ නොදකී නම් නැවත නැවත සංස්කාරයන් අරමුණු කොට පවතී. ඒ විදර්ශනා ඥානය, කුළු අග පොළනු ලබන පිටි මෙන් ද, පොළා ඇට භරන ලද කපු පුළුනක් මෙන් ද, නානා ප්‍රකාරයෙන් සංස්කාරයන් පරිග්‍රහ කොට භය ද, නන්දිය ද, හැර සංස්කාර පරිග්‍රහයෙහි මැදහත්ව ත්රිවිධානුදර්ශනා වශයෙන් සිටී. මෙසේ පැවැති ඒ සඞ්ඛාරොපෙක්ඛා ඥානය, ත්රිවිධඅනුපස්සනා වශයෙන් පවත්නා හෙයින් ශ්‍රද්ධා, සමාධි, ප්‍රඥා යන ත්‍රිවිධ ඉන්ද්රියයන්ගේ අධිපති වශයෙන් ත්‍රිවිධ විමොක්ෂ මුඛ භාවයට පැමිණ සද්ධානුසාරී ආදී වූ සප්තාර්‍ය්‍ය පුද්ගල භාවය පිණිස ප්‍රත්‍යය වේ.