අභිධර්මාර්ථ ප්‍රදීපිකා

ත්‍රිවිධ විමොක්‍ෂ මුඛ නම්:-

  1. අනිමිත්ත විමොක්‍ෂ මුඛය,
  2. අප්පණිහිත විමොක්‍ෂ මුඛය,
  3. ශුන්‍යතා විමොක්‍ෂ මුඛය,

1. අනිච්චානුපස්සනාව බහුල වූවාහුට ශ්‍රද්ධේන්‍ද්‍රිය බලවත් වේ. හෙතෙම සසර දුකින් එතරවනු පිණිස සංස්කාරයන් උදය ව්‍යය වශයෙන් පරිච්ඡේද කොට බලයි. උදය-යෙන් පූර්‍වයෙහි සංස්කාර නැතැයි පිරිසිඳ, ඒ සංස්කාරයන්ගේ ගතිය සොයනුයේ ව්‍යයයෙන් මත්තට නොයෙන බවත්, මෙහි ම අතුරුදන් වන බවත් දකී. මෙසේ අනිත්‍යය වශයෙන් මෙනෙහි කොට ක්‍ෂය වශයෙන් සංස්කාරයන් මනාව වැටහෙන හෙයින් ද, සර්‍ව සංස්කාර නිමිති නැති හෙයින් අනිමිත්ත වූ අසඞ්ඛත ධාතුවෙහි අධිචිත්තයාගේ අනුප්‍රවේශය වන හෙයින් ද අනිමිත්ත විමොක්‍ෂ නම් වේ. මෙසේ අනිත්‍යානු දර්‍ශනයෙන් අනිමිත්ත වශයෙන් සංස්කාරයන් පරිග්‍රහ කොට විදර්‍ශනා වඩන යෝගීහුගේ අනිමිත්තා කාරයෙන් නිර්‍වාණය අරමුණු කොට පැවැති ආර්‍ය්‍ය මාර්‍ගය ද අනිමිත්තවිමොක්‍ෂ නමුදු වේ. සසර දුකින් නික්මයාම පිණිස උපකාර වන හෙයින් අනිමිත්තවිමොක්‍ෂ මුඛ නම් වේ.

4. දුක්ඛානුපස්සනාව බහුලවූවහුට සමාධින්‍ද්‍රිය බලවත් වේ. හෙතෙම සියලු සංස්කාරයන් කෙරෙහි චිත්ත සමුත්තෙජනය පිණිස, නොහොත් සංස්කාර ස්වභාවය සැලකිමෙන් සංවේගයට පැමිණී චිත්තය සම්‍යක් ප්‍රතිපත්තියෙහි තියුණු කරන පිණිස ද රාග ප්‍රණිධීන්ගේ අභාවයෙන් අප්‍රණිහිත ධාතුවෙහි චිත්තයාගේ අනුප්‍රවේශය වන හෙයින් ද අප්පණිහිතවිමොක්‍ෂය නම් වේ, අප්‍රණිහිතාකාරයෙන් නිර්‍වාණය අරමුණු කොට පැවැති ආර්‍ය්‍ය මාර්‍ගය, අප්‍රණිහිතවිමොක්‍ෂ නමුදු වේ. සසර දුකින් නික්ම යාම පිණිස උපකාර වන හෙයින් අප්පනිහිත විමොක්‍ෂ මුඛ නම් වේ.

3. අනත්තානුපස්සනාව බහුලවූවහුට ප්‍රඥෙන්‍ද්‍රිය ය බලවත් වේ. හෙතෙම සියලු සංස්කාර ධර්‍ම අනාත්ම වශයෙන් බලන්නේ, ආත්මසූන්‍යතා වශයෙන් ශුන්‍යතා ධාතුවෙහි චිත්තයාගේ අනුප්‍රවේශය වන හෙයින් සුඤ්ඤත විමොක්‍ෂය නම් වේ. මෙසේ ශුන්‍යතාකාරයෙන් නිර්‍වාණය අරමුණු කොට පැවැති ආර්‍ය්‍ය මාර්‍ගය සුඤ්ඤත විමොක්‍ෂ නමුදු වේ. සංස්කාර දුකින් නික්ම යාම පිණිස උපකාර වන හෙයින් සුඤ්ඤතවිමොක්‍ෂ මුඛ නම් වේ.

මෙ කී ත්‍රිවිධ විමොක්‍ෂ මුඛ වශයෙන් ප්‍රත්‍යය ලැබීමෙන් ඇතිවන සප්තාර්‍ය්‍ය පුද්ගලයෝ නම්:-

  1. සද්ධානුසාරිය,
  2. සද්ධාවිමුත්තය,
  3. කායසක්ඛීය,
  4. උභතොභාගවිමුත්තය,
  5. ධම්මානුසාරීය,
  6. දිට්ඨිප්පත්තය,
  7. පඤ්ඤාවිමුත්තය යන ආර්‍ය්‍ය පුද්ගලයෝ සත්දෙන ය.
  8. සද්ධානුසාරී ආර්‍ය්‍ය පුද්ගලයා - අනිත්‍ය වශයෙන් සංස්කාරයන් මෙනෙහි කිරීමෙන් ශ්‍රද්ධෙන්‍ද්‍රිය ය තියුණු කර ගෙන ඒ අනුව විදසුන් වඩා සෝවාන් මාර්‍ග ඥානය ලබන පුද්ගලයා ඒ සෝවාන් මාර්‍ගක්‍ෂණයේදී සද්ධානුසාරී නම් වේ.
  9. සද්ධා විමුත්ත ආර්‍ය්‍ය පුද්ගලයා - හේතු-ඵල විශ්වාස කරමින් කෙළෙසුන් කෙරෙන් මිදුණු සෙසු සත් මාර්‍ගඵලලාභී පුද්ගලයෝ සද්ධාවිමුත්ත ආර්‍ය්‍ය පුද්ගලයෝ නම් වෙති.
  10. කායසක්ඛී ආර්‍ය්‍ය පුද්ගලයා - සංස්කාරයන් දුක් වශයෙන් මෙනෙහි කිරීමෙන් පස්සද්ධිය බහුලව, සමාධින්‍ද්‍රිය තියුණු කොට ගෙන ඒ අනුව විදසුන් වඩා මාර්‍ගය ලබා ගත් ආර්‍ය්‍ය පුද්ගල තෙම හැම තැනම කායසක්ඛී නම් වේ. මෙතෙම අරූපධ්‍යාන පළමුව ස්පර්‍ශ කොට පසුව නිරෝධය හෙවත් නිර්‍වාණය ප්‍රත්‍යක්‍ෂ කරන පුද්ගලයා ය.
  11. උභතෝභාග විමුත්ත ආර්‍ය්‍ය පුද්ගලයා - අරූප ධ්‍යානයට පැමිණ අර්‍හත් ඵලය ලබන පුද්ගලයා උභතෝභාග විමුත්ත පුද්ගලයා නම් වේ. හෙතෙම අරූප ධ්‍යානයෙන් ද ආර්‍ය්‍ය මාර්‍ගයෙන් දැයි දෙකොටසින් මුක්ත වූ පුද්ගලයා යි. රූප කාය, නාම කාය වශයෙන් හෝ විෂ්කම්භන සමුච්ඡේද වශයෙන් හෝ උභයභාගයෙන් හෝ උභය වාරයෙක හෝ මිදුණේ උභතෝභාග විමුත්ත යයි ද කියනු ලැබේ.
  12. ධම්මානුසාරි ආර්‍ය්‍ය පුද්ගලයා - සංස්කාරයන් අනාත්ම වශයෙන් මෙනෙහි කොට දැනීම බහුල කොට ඇත්තේ, ප්‍රඥෙන්‍ද්‍රිය තියුණු කොට ගෙන ඒ අනුව සෝවාන් මාර්‍ග ඥානය ලබන පුද්ගලයා සෝවාන් මාර්‍ගක්‍ෂණයේදී ධම්මානුසාරි ආර්‍ය්‍ය පුද්ගල නම් වේ.
  13. දිට්ඨිප්පත්ත ආර්‍ය්‍ය පුද්ගලයා - සෝවාන් මාර්‍ගයට අනතුරුව සොවාන් ඵලයෙහි සිට අර්‍හත් මාර්‍ගය තෙක් පැමිණි ආර්‍ය්‍ය පුද්ගලයෝ දිට්ඨිප්පත්ත පුද්ගලයෝ නම් වෙත්. සංස්කාරයෝ දුක්ඛයහ, නිරෝධය සුඛයහයි දක්නා ලද්දේ, ප්‍රකට කොට දක්නා ලද්දේ, ස්පර්‍ශ කරන ලද්දේ දිට්ඨිප්පත්ත නම් වේ.
  14. පඤ්ඤා විමුත්ත ආර්‍ය්‍ය පුද්ගලයා - අනිත්‍යාදි වශයෙන් ප්‍රකාරයෙන් දැන කෙලෙසුන් කෙරෙන් මිදුණු අර්‍හත් ඵලයෙහි පිහිටි පුද්ගල තෙම පඤ්ඤාවිමුත්ත ආර්‍ය්‍ය පුද්ගල නම් වේ.

මෙසේ මාර්‍ගයට පූර්‍වයෙහි නිබ්බිදානුපස්සනා ඥානයෙන් සංස්කාරයන් කෙරෙහි කළකිරුණු පුද්ගලයා, ඡන්‍දරාගාදීන් ප්‍රහානය කිරීමෙන් සසරින් මිදෙනු කැමැතිව මුඤ්චිතු කම්‍යතා ඥානය උපදවා ගෙන සසරින් මිදීමට උපාය කරනු පිණිස නැවත සංස්කාරයන් තිලකුණට නගා පටිසඞ්ඛානුපස්සනා ඥානය ලබා අවසානයෙහි අපේක්‍ෂාව හැරීම් වශයෙන් මස්තකප්‍රාප්ත වීමෙන් මැදහත් භාවයෙහි පිහිටි සඞ්ඛාරුපේක්‍ෂා ඥානය උපදවා ගන්නේ ය.

මේ සඞ්ඛාරුපේක්ඛා ඥානලාභි පුද්ගල තෙම විදර්‍ශනාව මස්තකප්‍රාප්ත කළ බැවින් එයට සිඛාප්පත්ත විපස්සනා යයි ද වුට්ඨාන සඞ්ඛ්‍යාත මාර්‍ගයට යන හෙයින් වුට්ඨාන ගාමිනී යයි ද කියනු ලැබේ. මේ ඥානය සිඛාවට කෘත්‍ය වශයෙන් ද, ප්‍රවෘත්ති වශයෙන් ද, ලෞකික ඥානයන්ගේ මස්තකයට, උත්තම බවට පැමිණි හෙයින් සිඛාප්‍රාප්ත නම් වේ. පිටත විදර්‍ශනාවට අරමුණු වූ අභිනිවේශ කළ පඤ්චස්කන්‍ධ සඞ්ඛාත වස්තුවෙන් ද, අධ්‍යාත්ම සන්තානයෙහි පවත්නා මිත්‍යාදෘෂ්ටි ආදියෙන් හා ඒ අනුව පවත්නා ක්ලේශයන් කෙරෙන් ද නැගී සිටින හෙයින් ද වුට්ඨාන නම් වූ මාර්‍ගයට යන හෙයින් ද වුට්ඨාන ගාමිනී නම් වේ.

මේ අභිනිවේශය ද වුට්ඨානය ද ප්‍රකට කරනු ලබන්නේ මෙසේ යි:-

  1. අධ්‍යාත්මයෙහි පිවිස අධ්‍යාත්මයෙන් නැගී සිටී,
  2. අධ්‍යාත්මයෙහි පිවිස බාහිරයෙන් නැගී සිටී,
  3. බාහිරයෙන් පිවිස බාහිරයෙන් නැගී සිටී,
  4. බාහිරයෙන් පිවිස අධ්‍යාත්මයෙන් නැගී සිටී,
  5. රූපයෙහි පිවිස රූපයෙන් නැගී සිටී,
  6. රූපයෙහි පිවිස අරූපයෙන් නැගී සිටී,
  7. අරූපයෙහි පිවිස අරූපයෙන් නැගී සිටී,
  8. අරූපයෙහි පිවිස රූපයෙන් නැගී සිටී,
  9. එකප්‍රහාරයෙන් පඤ්චස්කන්‍ධයෙන් නැගී සිටී,
  10. අනිත්‍ය වශයෙන් පිවිස අනිත්‍ය වශයෙන් නැගී සිටී,
  11. අනිත්‍ය වශයෙන් පිවිස දුක් වශයෙන් ද, අනාත්ම වශයෙන් ද නැගී සිටී.
  12. දුක් වශයෙන් පිවිස දුක් වශයෙන් ද, අනිත්‍ය වශයෙන් ද, අනාත්ම වශයෙන් ද නැගී සිටී,
  13. අනාත්ම වශයෙන් පිවිස අනාත්ම වශයෙන් ද, අනිත්‍ය වශයෙන් ද, දුක් වශයෙන් ද නැගී සිටී.

මේ ශාසනයෙහි එක් යෝගාවචර කෙනෙක් පළමු කොට අධ්‍යාත්ම සංස්කාරයන් විෂයෙහි පිවිස හෙවත් අධ්‍යාත්ම සංස්කාරයන් අරමුණු කිරීමෙන් විදර්‍ශනාව ආරම්භ කොට අධ්‍යාත්ම සංස්කාරයන් මනා කොට බලයි. අධ්‍යාත්ම සංස්කාර දර්‍ශනයෙන් පමණක් මාර්‍ග ව්‍යුත්‍ථානය නොවන හෙයින් බාහිර සංස්කාරයන් ද බැලිය යුතු වේ. එ හෙයින් පරසන්තානගත ස්කන්‍ධයන් ද, අනුපාදින්න නොහොත් අනින්‍ද්‍රිය බඩ සංස්කාරයන් ද අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් බලයි. මෙසේ හෙතෙම කලෙක අධ්‍යාත්ම සංස්කාරයන් සම්මර්‍ශනය කෙරේ. කලෙක බාහිර සන්තානගත සංස්කාරයන් සම්මර්‍ශනය කෙරේ. යෝගී තෙම මෙසේ සම්මර්‍ශනය කරන කල්හි, අධ්‍යාත්ම සංස්කාරයන් සම්මර්‍ශනය කිරීමේදී, විදර්‍ශනාව මාර්‍ගය හා ගැළපේ නම් අධ්‍යාත්මයෙහි පිවිස අධ්‍යාත්මයෙන් නැගී සිටී නම් වේ. බාහිර ධර්‍මයන් සම්මසනය කළ විදර්‍ශනාව මාර්‍ගය හා ගැළපේ නම් අධ්‍යාත්මයෙහි පිවිස බාහිරයෙන් නැගී සිටී නම් වේ. මෙ පරිද්දෙන් ම පළමු කොට බාහිර සංස්කාරයන්හි පිවිස විදර්‍ශනා ආරම්භ කොට බාහිර අධ්‍යාත්ම දෙතන්හිම සංස්කාරයන් සම්මර්‍ශනය කොට, එයින් බාහිර ධර්‍මයන් සම්මසනය කළ විදර්‍ශනාව මාර්‍ගය හා ගැළපේ නම්, බාහිරයෙහි පිවිස බාහිරයෙන් නැගී සිටී නම් වේ. අධ්‍යාත්ම සංස්කාරයන් සම්මසනය කළ විදර්‍ශනාව මාර්‍ගය හා ගැළපේ නම්, බාහිරයෙහි පිවිස අධ්‍යාත්මයෙන් නැගී සිටී නම් වේ.

ඇතැම් යෝගාවචර කෙනෙක් පළමු කොට රූපයෙහි පිවිසෙයි, හෙවත් රූපය අරමුණු කොට විදර්‍ශනා ආරම්භ කරයි. හෙතෙම භූත රූප ද, උපදා රූප ද රැසක් කොට දකී. රූප දර්‍ශනයෙන් පමණක් මාර්‍ගව්‍යුත්‍ථානය නොවන හෙයින් අරූපය ද දැකිය යුතු වේ. එ හෙයින් ඒ රූපය අරමුණු කොට උපන් වේදනා, සංඥා, සංස්කාර, විඥාන යන මෙය අරූප යයි අරූප සම්මර්‍ශනය කෙරේ. හෙතෙම මෙසේ කලෙක රූපය සම්මර්‍ශනය කෙරේ, කලෙක අරූපය සම්මර්‍ශනය කෙරේ. මෙසේ සම්මර්‍ශනය කරන ඒ යෝගී හට රූපය සම්මසන කාලයෙහි විදර්‍ශනාව මාර්‍ගය හා ගැළපේ නම් රූපයෙහි පිවිස රූපයෙන් නැගී සිටී නම් වේ. අරූප සම්මසනය කළ විදර්‍ශනාව මාර්‍ගය හා ගැළපේ නම් රූපයෙහි පිවිස අරූපයෙන් නැගී සිටී නම් වේ. ඉදින් හෙතෙම පළමු කොට අරූපයෙහි පිවිස අරූප රූප දෙතන්හිම විදර්‍ශනා වශයෙන් සම්මසනය කළ, අරූප සම්මර්‍ශනය කරන කාලයෙහි විදර්‍ශනාව මාර්‍ගය හා ගැළපේ නම්, අරූපයෙහි පිවිස අරූපයෙන් නැගී සිටී නම් වේ. රූපය සම්මර්‍ශනය කරන කාලයෙහි විදර්‍ශනාව මාර්‍ගය හා ගැළපේ නම් අරූපයෙහි පිවිස රූපයෙන් නැගී සිටී නම් වේ.

ඇතැම් යෝගී කෙනෙක් “යං කිඤ්චි සමුදය ධම්මං සබ්බං තං නිරොධ ධම්මං” යයි උදය වන සුලුවූයේ ව්‍යය වන සුලුය යි මෙසේ අභිනිවෙශ කොට විදර්‍ශනා වඩන කල්හි මාර්‍ගව්‍යුත්‍ථාන කාලයෙහි එක ප්‍රහාරයෙන්ම පඤ්චස්කන්‍ධයෙන් නැගී සිටී නම් වේ.

තවද, එක් යෝගාවචර කෙනෙක් පළමු කොට අනිත්‍ය වශයෙන් සංස්කාරයන් සම්මර්‍ශනය කෙරේ. අනිත්‍ය වශයෙන් සම්මර්‍ශනය කළ පමණින්ම මාර්‍ගව්‍යුත්‍ථානය නොවන හෙයින් දුක් වශයෙන් ද, අනාත්ම වශයෙන් ද, සම්මර්‍ශනය කළ යුතු වේ. එ හෙයින් හෙතෙම දුක් වශයෙන් ද, අනාත්ම වශයෙන් ද සංස්කාරයන් සම්මර්‍ශනය කෙරේ. එසේ පිළිපැද අනිත්‍ය වශයෙන් සම්මර්‍ශනය කරන කල මාර්‍ගව්‍යුත්‍ථානය වේ නම් නොහොත් විදර්‍ශනාව මාර්‍ගය හා ගැළපේ නම් අනිත්‍ය වශයෙන් පිවිස අනිත්‍ය වශයෙන් නැගී සිටී නම් වේ. දුක් වශයෙන් ද, අනාත්ම වශයෙන් ද සම්මර්‍ශනය කරන කල මාර්‍ගව්‍යුත්‍ථානය වේ නම් අනිත්‍ය වශයෙන් පිවිස දුක් වශයෙන් ද, අනාත්ම වශයෙන් ද නැගී සිටී නම් වේ.

මෙ පරිද්දෙන් ම පළමු කොට දුක් වශයෙන් හෝ අනාත්ම වශයෙන් හෝ පිවිස දුක් වශයෙන් ද, අනිත්‍ය වශයෙන් ද, අනාත්ම වශයෙන් ද නැගී සිටී නම් වේ.

මේ යෝගීන් අතුරෙන් ඇතැම් කෙනෙක් පළමු කොට අනිත්‍ය වශයෙන් අභිනිවේශය කෙරේ. ඇතැම් කෙනෙක් දුක්ඛ වශයෙන් අභිනිවේශය කෙරේ. ඇතැම් කෙනෙක් අනාත්ම වශයෙන් අභිනිවේශය කෙරේ. මොවුන් අතුරෙන් යමෙක් වුට්ඨාන කාලයෙහි අනිත්‍ය වශයෙන් වුට්ඨානය වේ නම්, ඒ තුන්දෙනම අධිමොක්ඛ බහුලයෝ වෙති. ශ්‍රද්ධේන්‍ද්‍රිය ය පිළිලබත්. අනිමිත්ත විමොක්‍ෂයෙන් මිදෙත්. සෝවාන් මාර්‍ගක්‍ෂණයෙහි දී සද්ධානුසාරීහු වෙති. සෙසු සත් තන්හි ශ්‍රද්ධා විමුක්තයෝ වෙති.

යමෙක් වුට්ඨාන කාලයෙහි දුක්ඛ වශයෙන් වුට්ඨානය වේ නම්, ඒ තුන්දෙනම පස්සද්ධි බහුලයෝ වෙති. සමාධින්‍ද්‍රිය පිළිලබති. අප්පණිහිත විමොක්‍ෂයෙන් මිදෙති. සියලු තන්හිම කායසක්ඛිහු වෙති.

අරූපධ්‍යානය මෙහිදී යමෙකුට පාදක වේ නම් හෙතෙම අර්‍හත් ඵලයෙහිදී උභතොභාග විමුක්ත වේ.

යමෙක් වුට්ඨාන කාලයෙහි අනාත්ම වශයෙන් වුට්ඨානය වේ නම් ඒ තුන්දෙනම ප්‍රඥා බහුලයෝ වෙති. ප්‍රඥෙන්‍ද්‍රිය පිළිලබති. ශුන්‍යතා විමොක්‍ෂයෙන් මිදෙත්. සෝවාන් මාර්‍ගක්‍ෂණයෙහි දී ධම්මානුසාරීහු වෙති. සෝවාන් ඵලය සිට අර්‍හත් මාර්‍ගය තෙක් දිට්ඨිප්පත්තයෝ වෙති. අර්‍හත් ඵලයෙහි ප්‍රඥා විමුක්තයෝ වෙති.

මේ සඞ්ඛාරුපෙක්ඛා ඥානය, මත්තෙහි ආර්‍ය්‍ය මාර්‍ගයාගේ ද, බොධ්‍යාඞ්ග, මාර්‍ගාඞ්ග, ධ්‍යානාඞ්ග ප්‍රතිපදා, විමොක්‍ෂ යන මොවුන්ගේ ද විශේෂය නියම කෙරේ.

  1. ධ්‍යානලාභි නොවූ ශුෂ්කවිදර්‍ශකයාහට උපන් මාර්‍ගය ද,
  2. සමාපත්තිලාභි යෝගීයාහට ධ්‍යාන පාදක නොකොට උපන් මාර්‍ගය ද,
  3. ප්‍රථම ධ්‍යානය පාදක කොට ඒ පාදක ධ්‍යානයෙන් අන්‍ය වූ ප්‍රකීර්‍ණක සංස්කාරයන් සම්මර්‍ශනය කොට උපදවන ලද මාර්‍ගය ද ප්‍රථම ධ්‍යානිකයෝ ම වෙති.

මේ තුන් ප්‍රකාර මාර්‍ගයෙහි ම සප්ත බොධ්‍යාඞ්ගයෝ ද, අෂ්ට මාර්‍ගාඞ්ගයෝ ද, පඤ්ච ධ්‍යානාඞ්ගයෝ ද වෙති.

ආර්‍ය්‍ය මාර්‍ගයන්ගේ පූර්‍වභාග විදර්‍ශනාව, සෝමනස්ස සහගතව ද, උපෙක්ඛා සහගතව ද වේ. වුට්ඨාන කාලයෙහි හෙවත් මාර්‍ගාසන්න කාලයෙහි සඞ්ඛාරුපෙක්ඛා භාවයට පැමිණ සෝමනස්ස සහගත වේ.

පඤ්චකනය වශයෙන් ද්විතීය ධ්‍යානය පාදක කොට මාර්‍ගය උපදවන කල්හි විතර්‍කය හැර ධ්‍යානාඞ්ග සතරක් වේ. තෘතීය ධ්‍යානය පාදක කොට මාර්‍ගය උපදනා කල්හි විතර්‍ක විචාරයන් හැර ධ්‍යානාඞ්ග තුනෙක් වේ. චතුර්‍ත්‍ථ ධ්‍යානය පාදක කොට මාර්‍ගය උපදවන කල්හි විතර්‍ක, විචාර, පීති හැර ධ්‍යානාඞ්ග දෙකෙක්ම වේ. මෙකී සියලු තන්හිම විතර්‍ක නැති හෙයින් සම්මා සඞ්කප්පය හැර මාර්‍ගාඞ්ග සතක්ම වෙත්. චතුර්‍ත්‍ථ ධ්‍යානයෙන් උපදවන කල්හි ප්‍රීති සම්බොධ්‍යාඞ්ගය හැර බොධ්‍යාඞ්ග සයෙක් වේ. මේ විශේෂය පාදකධ්‍යාන නියමයෙන් ද, විපස්සනා නියමයෙන් ද වේ. මෙයින් පූර්‍වභාග විපස්සනාව සෝමනස්ස සහගතව ද, උපෙක්ඛා සහගතව ද වේ. වුට්ඨානගාමිනී ප්‍රඥාව සෝමනස්ස සහගත ම වේ.

පඤ්චමධ්‍යානය පාදක කොට උපදවන මාර්‍ගයෙහි, උපෙක්ඛා, එකග්ගතා වශයෙන් ධ්‍යානාඞ්ගයෝ දෙදෙනෙක් වෙත්. එහි බොධ්‍යාඞ්ගයෝ ප්‍රීතිය හැර සදෙනෙකි. මාර්‍ගාඞ්ගයෝ සම්මාසඞ්කප්පය හැර සත්දෙනෙකි. මේ විශේෂය ද පාදක ධ්‍යාන නියමය හා විදර්‍ශනා නියමය ද යන උභය නියමයන්ගේ වශයෙන් වේ. මෙහිදී ද පූර්‍වභාග විපස්සනාව සොමනස්ස සහගතව හෝ උපෙක්ඛා සහගතව හෝ වෙයි. වුට්ඨානගාමිනී විදර්‍ශනාව උපෙක්ඛා සහගත ම වේ.

අරූප ධ්‍යානයන් පාදක කොට උපදවන ලද මාර්‍ගයෙහි ද මේ ක්‍රමයම වේ.

මේ සඞ්ඛාරුපෙක්ඛාව මුල පටන් කෙලෙස් විෂ්කම්භනය කරන්නේ දුකින්, උත්සාහයෙන් විෂ්කම්භනය කිරීමට හැකි වී නම් ඒ ප්‍රතිපදාව දුක් සහිත වූ හෙයින් දුක්ඛාපටිපදා නම් වේ. විපර්‍ය්‍යාසයෙන් සුඛාප්‍රතිපදා නමුදු වේ. ක්ලේශයන් විෂ්කම්භනය කොට මාර්‍ගය පහළවීම සෙමෙන් කෙරෙන කල්හි දන්‍ධාභිඤ්ඤා නම් වේ. විපර්‍ය්‍යාසයෙන් ඛිප්පාභිඤ්ඤා ද වේ. මෙසේ මේ සඞ්ඛාරු පෙක්ඛාව ආගමනීය ස්ථානයෙහි සිට තම තමන්ගේ මාර්‍ගයට නම් නියම කෙරේ. එහෙයින් මාර්‍ගය නම් සතරක් ලබයි. එනම් දුක්ඛාපටිපදා දන්‍ධාභිඤ්ඤා, දුක්ඛාපටිපදා ඛිප්පාභිඤ්ඤා, සුඛා පටිපදා දන්‍ධාභිඤ්ඤා, සුඛා පටිපදා ඛිප්පාභිඤ්ඤා කියා යි.

මේ ප්‍රතිපදාව ඇතැම් භික්‍ෂුවක්හට වෙන් වෙන් වශයෙන් ද වේ. කිසි භික්‍ෂුවක්හට සතර මාර්‍ගයෙහි එකම ප්‍රතිපදාවෙක් ම වෙයි. බුදුරදුන්ට වූ කලී සතර මාර්‍ගයම සුඛා පටිපදා ඛිප්පාභිඤ්ඤා විය. දම්සෙනෙවි සැරියුත් මහ තෙරුන්ට ද එසේ ම විය. මහමුගලන් තෙරණුවන්ට වනාහි සෝවාන් මාර්‍ගය සුඛා පටිපදා ඛිප්පාභිඤ්ඤා විය. මතු තුන දුක්ඛා පටිපදා දන්‍ධාභිඤ්ඤා විය.

මෙසේ සඞ්ඛාරුපෙක්‍ෂා ඤාණය ප්‍රතිපදා විශේෂය නියම කෙරේ. විමොක්‍ෂ විශේෂය නියම කෙරෙන පිළිවෙල යට දක්වන ලදී.

තවද, මේ මාර්‍ගය කරුණු පසෙකින් ද නම් ලබයි.

  1. ස්වරස වශයෙන් - මේ සඞ්ඛාරුපෙක්ඛා ඤාණය, සංස්කාරයන් අනිත්‍ය වශයෙන් සම්මර්‍ශනය කොට නැගේ නම් ඒ මාර්‍ගය අනිමිත්ත විමොක්‍ෂ නම් වේ. දුක් වශයෙන් සංස්කාරයන් සම්මර්‍ශනය කොට නැගේ නම් ඒ මාර්‍ගය අප්පණිහිත විමොක්‍ෂ නම් වේ. අනාත්ම වශයෙන් සම්මර්‍ශනය කොට නැගේ නම් ඒ මාර්‍ගය සුඤ්ඤත විමොක්‍ෂ නම් වේ. මෙය ස්වරස වශයෙන් නම් ලැබීම වේ.
  2. ප්‍රත්‍යනික වශයෙන් - මේ මාර්‍ගය අනිත්‍යානු දර්‍ශනයෙන් සංස්කාරයන්ගේ ඝන විනිර්‍භොග කොට නිත්‍ය නිමිත්තය, ධ්‍රැව නිමිත්තය, ශාශ්වත නිමිත්තය යන මොවුන් දුරු කෙරෙමින් ආ හෙයින් අනිමිත්ත නමි. දුක්ඛානු දර්‍ශනයෙන් සුඛ සංඥාව හැර ප්‍රණිධිය හෙවත් ප්‍රාර්‍ත්‍ථනාව වියළවමින් ආ හෙයින් අප්පණිහිත නමි. අනත්තානුපස්සනාවෙන් ආත්මය ය, සත්ත්‍වය ය, පුද්ගලය යන සංඥා හැර සංස්කාර ශූන්‍යත්ත්‍වයෙන් දක්නා ලද හෙයින් සුඤ්ඤත යයි මෙසේ ප්‍රත්‍යනික වශයෙන් සිද්ධ නාම වෙති.
  3. ස්වගුණ වශයෙන් - රාගාදීන්ගෙන් ශූන්‍ය හෙයින් සුඤ්ඤත නමි. රූප නිමිති ආදීන්ගේ ද, රාග නිමිති ආදීන් ගේ ද අභාවයෙන් අනිමිත්ත නමි. රාග ප්‍රාර්‍ත්‍ථනා ආදීන්ගේ අභාවයෙන් අප්පණිහිත යයි ද මේ මාර්‍ගයට ස්වගුණ වශයෙන් සිද්ධ නම් වෙති.
  4. ආලම්බන වශයෙන් - මේ මාර්‍ගය ශූන්‍ය වශයෙන් නිර්‍වාණය අරමුණු කරන හෙයින් සුඤ්ඤත ය. අනිමිත්ත වශයෙන් නිර්‍වාණය අරමුණු කරන හෙයින් අනිමිත්ත ය. අප්‍රණිහිත වශයෙන් නිර්‍වාණය අරමුණු කරන හෙයින් අප්පණිහිත ය. මෙසේ මාර්‍ගයට ආලම්බන වශයෙන් මේ නාමයෝ වෙති.
  5. ආගමනය වශයෙන් - විපස්සනාගමනය, මග්ගා ගමනය කියා ආගමන ද්විධ වේ. එයින් මාර්‍ගයෙහි විදර්‍ශනා ගමනය වේ. ඵලයෙහි මාර්‍ගා ගමනය ලැබේ.