9. සත්යානුලොම ඥානය
සඞ්ඛාරුපෙක්ඛා ඤාණය ආසේවනය කරන්නා වූ ද, වඩන්නා වූ ද, බහුලීකෘත කරන්නා වූ ද යෝගාවචරයාහට අධිමොක්ඛ සඞ්ඛ්‍යාත වූ ශ්‍රද්ධාව බලවත්ව උපදී. ප්රතිපක්ෂ කෙලෙසුන් මැඩීමට සමත් වීර්‍ය්‍යය මනා කොට උපදී. ආලම්බනාභිමුඛ භාවයෙන් සතිය මනාව එළඹ සිටියේ වේ. පස්සද්ධි සුඛාදීන්ගේ බලවත් වීමෙන් සිත සමාහිත වේ. අතිශයෙන් තීක්ෂණ වූ සඞ්ඛාරොපෙක්ඛා ඤාණය උපදී. ඒ යෝගීහට මාර්ගය දැන් දැන් උපදී යයි කිව යුතු බවට පැමිණි කල්හි සඞ්ඛාරොපෙක්ෂා ඤාණය ත්‍රෛභූමික සංස්කාරයන්හි එල්බ අනිත්‍ය යයි හෝ, දුක්ඛ යයි හෝ, අනාත්ම යයි හෝ සම්මර්ශනය කොට භවාඞ්ගයට බසී. අනතුරුව සඞ්ඛාරොපෙක්ෂා ඤාණය අනිත්‍යාදී වශයෙන් අරමුණු කළාක් මෙන් ම සංස්කාරයන් අනිත්‍ය යයි හෝ දුක්ඛ යයි හෝ, අනාත්ම යයි හෝ සම්මර්ශනය කොට අරමුණු කරමින් මනොද්වාරාවජ්ජන චිත්තය උපදී. එයට අනතුරුව එය ම අරමුණු කරමින් පරිකර්ම නම් වූ පළමු වන ජවන් සිත උපදී. අනතුරුව එම සංස්කාරයන් ම අරමුණු කරමින් උපචාර නම් වූ දෙවන ජවන් සිත උපදී. එයට අනතුරුව එසේම සංස්කාරයන් අරමුණු කරමින් අනුලොම නම් වූ තුන් වන ජවන් සිත උපදී. මේ සිත් තුන වෙන් වෙන් වූ නමින් හැඳින්වනු ලබන්නේ වී නමුත් ඒ ත්‍රිවිධ ජවන චිත්තයන්ට ආසෙවන යයි ද, පරිකර්ම යයි ද, උපචාර යයි ද, අනුලොම යයි ද කිය යුතු වේ.
මේ අනුලොම බව පූර්වභාග, පශ්චිම භාග යන දෙතන්හිම වූ ධර්මයන් පිළිබඳව වේ. ජවන චිත්තය පූර්ව වූ උදය-ව්යයාදී අට වැදෑරුම් විදර්ශනා ඥානයන්ට ලක්ෂණ ත්‍රය සම්මර්ශනය කිරීම වූ තථ කෘත්‍යය වන බැවින් අනුලොම වේ. මත්තෙහි ද සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන්ට තථ කෘත්‍යය සිද්ධ කරන හෙයින් අනුලොම වේ.
අනුලොම ඥානය අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් සංස්කාරයන් අරමුණු කොට පවත්නා හෙයින්, උදය- ව්‍යය ඤාණය ද, උදය-ව්යයවත් සංස්කාරයන්ගේම උදය ව්‍යය ඤාණය දිටි යයි ද, භඞ්ගානුපස්සනා ඤාණය, ඒකාන්තයෙන් භඞ්ගය ඇති ධර්මයන්ගේ භඞ්ගය දිටි යයි ද, ඒකාන්තයෙන් භය සහිත වූ යෙහිම භයතුපට්ඨාන ඤාණයට සංස්කාරයන් භය සහිතව වැටහිණැයි ද, ආදීනවානුපස්සනා ඤාණය ආදීනව සහිත වූ යෙහිම ආදීනව දිටි යයි ද, නිබ්බිදා ඤාණය නිර්වේද කටයුත්තෙහිම කළකිරුණේ යයි ද, මුඤ්චිතුකම්යතා ඤාණය, මිදිය යුත්තෙහිම මිදෙනු කැමැතිවී යයි ද, පටිසඞ්ඛානුපස්සනා ඤාණය, අනිත්‍යාදී වශයෙන් පටිසඞ්ඛා හෙවත් නුවණින් සැළකීම කරණ ලදැයි ද, සඞ්ඛාරුපෙක්ඛා ඤාණයෙන් උපෙක්ෂා කටයුත්තෙහිම උපෙක්ෂිත යයි ද, අර්ථ වශයෙන් කියන්නාක් මෙන් මේ අටවැදෑරුම් ඤාණයන්ගේ තථ කෘත්‍ය ඇති හෙයින් මතු මාර්ගයෙහි ද සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන්ට ඒ සම්‍යක් ප්‍රතිපත්තියෙන් පැමිණිය යුතු බැවින් ද අනුලොම වෙයි.
මේ අනුලොම ඤාණය සංස්කාරාලම්බනික වූ වුට්ඨාන- ගාමිණි විදර්ශනාවගේ කෙළවර වේ.
මේ වුට්ඨානගාමිනී විදර්ශනාවට, අතම්මයතාය යයි ද, නිබ්බිදා යයි ද, ධම්මට්ඨිති ඤාණය යයි ද, සඤ්ඤග්ගය යයි ද, පාරිශුද්ධිපධානියඞ්ගය යයි වදාරන ලද බව දත යුතු.