අභිධර්මාර්ථ ප්‍රදීපිකා

7. ඥානදර්ශන විශුද්ධිය

යටකී අනුලොම ඤාණයට අනතුරුව ගෝත්‍රභු ඤාණය වේ. ඒ ගෝත්‍රභු ඤාණය මාර්ගය ආවර්‍ජනා කරන ස්ථානයෙහි වූ හෙයින් ප්‍රතිපදා ඥාන දස්සන විසුද්ධිය නොවේ. එසේම ඥාන දර්ශන විසුද්ධිය ද නොවේ. ක්‍රියා මනොධාතුව විඤ්ඤාණ ධාතූන්ට විෂය දක්වන්නාක් මෙන් ගෝත්‍රභු සිත මාර්ගයට ආවර්‍ජනා ස්ථානය ගන්නේ ය. එහෙත් වුට්ඨානගාමිනී විදර්ශනාවගේ අවසානය වූ විදර්ශනා ශ්‍රෝතයෙහි පතිත වූ හෙයින් විදර්‍ශනා සඞ්ඛ්‍යාවට යේ. ගෝත්‍රභු චිත්තයට අනතුරුව සෝවාන් මාර්‍ග චිත්තය වේ.

සෝවාන් මාර්‍ගය, සකෘදාගාමි මාර්‍ගය, අනාගාමි මාර්‍ගය, අර්‍හත් මාර්‍ගය යන මේ සතර මාර්‍ගයෙහි ඥානය ඥානදස්සන විශුද්ධිය නම් වේ.

සෝවාන් මාර්‍ග ඥානය සම්පාදනය කරනු කැමැති යෝගාවචරයා විසින් අනුලොම ඥානය උපදවා ගැනීමෙන් ම මාර්‍ගය පිණිස වැඩිය යුතු විදර්‍ශනාවන් අවසන් කොට වඩන ලද හෙයින් ඒ සඳහා කළමනා අන් කිසිවක් නැති බවට පැමිණේ.

හෙතෙම පරිකර්‍ම, උපචාර අනුලොම යන ත්‍රිවිධ අනුලොම ඥානයෙන් තමතමන්ගේ ශක්ති පමණින් මහත් මහත්, සත්‍යය වසා සිටි මොහාන්‍ධකාරය දුරු කළ කල්හි, සියලු සංස්කාර ගතයෙහි සිත නොදුවයි. එසේම සංස්කාර ධර්‍මයන්හි සිත නොසිටී, නො ඇලේ, නො රැඳේ, නො ලැගේ, නො බැඳේ. නෙළුම් පතෙහි වත් දිය බිඳක් මෙන් හැකිලේ, පැකිලේ, පෙරැලේ. සියලු සංස්කාරාලම්බනයෝ ද, සියලු විපාක ප්‍රවෘත්ති ආලම්බනයෝ ද පළිබෝධ වශයෙන් වැටහෙත්. සියලු නිමිත්තාරම්මණයන් හා පවත්තාරම්මණයන් ද පළිබෝධ වශයෙන් වැටහුණු කල්හි, අනුලොම ඤාණයාගේ ආසේවනය ලත් හෙයින් අනුලොම චිත්තයට අනතුරුව සංස්කාර නිමිති නැති හෙයින් අනිමිත්ත වූ, සංස්කාර ප්‍රවෘත්ති නැති, සංස්කාරයෙන් වියුක්ත වූ, සංස්කාර විරෝධ වූ, නිරෝධ වූ නිර්‍වාණය අරමුණු කරමින් පෘථග්ජන ගෝත්‍රය ද, පෘථග්ජන සඞ්ඛ්‍යාව ද, පෘථග්ජන භූමිය ද ඉක්මවන්නාවූ ආර්‍ය්‍ය ගෝත්‍රයට, ආර්‍ය්‍ය සඞ්ඛ්‍යාවට, ආර්‍ය්‍ය භූමියට පමුණුවන්නා වූ, නිර්‍වාණාලම්බනයෙහි පළමු ආවර්ජනය වූ, පළමු ආභෝගය වූ, පළමු සමන්නාහාරය වූ මාර්‍ගයට අනන්තර, සමනන්තර, ආසේවන, උපනිස්සය, නත්‍ථි, විගත යන සයාකාර ප්‍රත්‍ය භාවය සිද්ධ කරමින්, විදර්‍ශනාවගේ මස්තකය වූ පෙරලා නො එන ගෝත්‍රභු චිත්තය හෙවත් ගෝත්‍රභු ඥානය එක් වරක් උපදී.

උත්පාදය, ප්‍රවෘත්තිය, දැඩි ආයාසය, බාහිර සංස්කාර නිමිති මඩිනුයි ගෝත්‍රභූ නම්. එසේම අනුප්පාදවූ ද, සංස්කාර ප්‍රවෘත්තිය නැත්තාවූ ද, උපායාස නැත්තාවූ ද, සංස්කාර නිරොධය වූ නිර්‍වාණයට වදීනුයි ගෝත්‍රභූ නම් වේ.

මෙකී පරිකර්‍ම, උපචාර, අනුලොම, ගෝත්‍රභූ, මාර්‍ග, ඵල චිත්තයෝ එකම ජවන වීථියෙහි උපදනා චිත්තයෝ ය.

මහ ඇළකින් පැන එතර පිහිටනු කැමැති එක්තරා පුරුෂයෙක් වහා දුවගෙනවිත් ඇළ මෙතෙර සිට වෘක්‍ෂ ශාඛායෙහි බැඳි එල්බෙන රැහැනක් හෝ යෂ්ටියක් හෝ ගෙන උඩින් පැන පරතීරයට නැමුණු බරවූ කය ඇතිව පරතීරයේ මතු භාගයට පැමිණ ඒ රැහැන හෝ යෂ්ටිය හෝ හැර වෙවුලමින් පරතෙර පතිතව සෙමෙන් පිහිටයි.

එ පරිද්දෙන් ම යෝගාවචර තෙමේ ද, භව, යෝනි, ගති, විඤ්ඤාණස්ථිති, සත්ත්‍වාවාසයන්ගේ පරතෙර වූ නිවණෙහි පිහිටනු කැමැත්තේ, උදය-ව්‍යයානු දර්‍ශනාදී වේගයෙන් දුව විත් ආත්මභාව නමැති වෘක්‍ෂ ශාඛායෙහි එල්වන ලද රූප නැමති රැහැන හෝ වෙදනාදීන් අතුරෙන් එක් වේදනාදී නැමැති දණ්ඩක් හෝ, අනිත්‍ය යයි හෝ දුක්ඛ යයි හෝ අනාත්ම යයි හෝ අනුලොම ආවර්ජනයෙන් ගෙන ඒ නො හැරම ප්‍රථම අනුලොම චිත්තයෙන් උඩ නැගී, දෙවන අනුලොම චිත්තයෙන් පරතීරයට නැමුණු, බරවූ සිත් ඇතිව, තුන්වන අනුලොම චිත්තයෙන් පරතීරයේ මතු භාගයට පැමිණියාක් මෙන් දැන් පැමිණිය යුතු නිවණට ආසන්නව ඒ තුන් වන අනුලොම චිත්ත නිරොධයෙන් ඒ සංස්කාරාලම්බනය හැර ගෝත්‍රභූ සිතින් විසංඛාර වූ, පරතීරය වූ නිර්‍වාණයෙහි පතිත වේ. එක් වරක්ම ලද අරමුණෙහි ආසේවන නො ලද බැවින් වෙව්ලන ඒ පුරුෂයා මෙන් පළමු කොට මනාව පිහිටියේ නොවේ, ඉක්බිති මාර්‍ග ඥානයෙන් මනාව පිහිටන්නේ වේ.

අනුලොම ඤාණය සත්‍යය වසා සිටින ක්ලේශාන්‍ධකාරයන් දුරු කිරීමට සමත් වේ. නමුත් නිවණ අරමුණු කිරීමට සමත් නොවේ. ගෝත්‍රභූ ඤාණය නිවණ අරමුණු කිරීමට සමත් වේ. නමුත් සත්‍යය මුවහ කරණ ක්ලේශාන්‍ධකාරය දුරු කරන්නට සමත් නොවේ.

ඇස් ඇති පුරුෂයෙක් චන්‍ද්‍රයා බලා නක්‍ෂත්‍ර යෝගයක් දැන ගැනීම පිණිස රාත්‍රි කාලයෙහි නික්ම ගොස් අහස බැලූ කල වලායෙන් වැසුණු හෙයින් සඳ නො දුටුයේ ය. ඒ වේලෙහි එක් වාතයක් නැග ඝන ඝන වලාපටලයන් පහ කෙළේ ය. නැවත ද වාතයක් නැගී මධ්‍යම වලාපටලයන් පහ කෙළේ ය. නැවත ද අනෙක් වාතයෙක් නැගී සියුම් වලාහකයන් ද පහ කෙළේ ය. ඉක්බිති ඒ පුරුෂයා පහවූ වලා ඇති අහසෙහි සඳ දැක නක්‍ෂත්‍රයෝගය දැන ගත්තේ ය.

එහි තුන් වලාහකයන් මෙන් සත්‍යය මුවහ කරන ඝනවූ ද, මධ්‍යමවූ ද, සියුම්වූ ද ක්ලේශාන්‍ධකාරය දත යුතු. තුන් වාතයන් මෙන් තුන් අනුලොම් සිත් දත යුතු. ඇස් ඇති පුරුෂයා මෙන් ගෝත්‍රභූ ඤාණය ද, සඳ මෙන් නිවණ ද, එකි එකී වාතයෙන් පිළිවෙලින් වලාහකයන් පහ කිරීම මෙන් එකි එකී අනුලොම චිත්තයාගේ සත්‍යය වසා සිටි ක්ලේශාන්‍ධකාරය දුරු කිරීම දත යුතු. වලා පහවූ අහසෙහි ඒ පුරුෂයාගේ පිරිසුදු සඳ දැකීම මෙන් සත්‍යය වසා සිටි මොහාන්‍ධකාරය නැසුණු කල ගෝත්‍රභූ ඤාණයාගේ නිර්‍වාණ දර්‍ශනය ද දත යුතු.

මේ ගෝත්‍රභූ චිත්තය ආවර්‍ජනා නුවූයේම ආවර්‍ජනා ස්ථානයෙහි සිට මෙසේ උපදවයි මාර්‍ගයට සංඥා දෙන්නක්හු මෙන් නිරුද්ධ වේ. අනතුරුව උපදනා මාර්‍ගය ද ඒ ගෝත්‍රභූ චිත්තයා විසින් දුන් සංඥාව නො හැරම අතුරක් නැති ප්‍රබන්‍ධ වශයෙන් ඒ ගෝත්‍රභූ ඥානය ලුහු බඳිනු ලබන්නේ පෙර නොවිදු විරු නොපැලු විරු ලෝභස්කන්‍ධය ද, ද්වේෂස්කන්‍ධය ද, මෝහස්කන්‍ධය ද විදිමින් පළමින් උපදනේ වේ.

එක් දුනුවායෙක් අට ඉස්බක් පමණ දුර සිට පුවරු සියයක් තබවා වස්ත්‍රයෙකින් මුහුණ වසා බැඳ හීයක් සවිකොට චක්‍රයන්ත්‍රයෙහි සිටියේ ය. අනෙක් පුරුෂයෙක් චක්‍රයන්ත්‍රය කරකවා යම් වෙලාවක දුනුවායාට පුවරු සියය අභිමුඛ වේ නම් එකල ඒ චක්‍රයෙහි දණ්ඩෙකින් සළකුණු දෙයි. දුනුවායා දඬුවෙන් කළ සළකුණු නොහැර හීය විද පුවරු සියයම විද දමයි.

එහි දඬු සලකුණ මෙන් ගෝත්‍රභූ ඥානය ද, දුනුවායා මෙන් මාර්‍ග ඥානය ද, දුනුවායාගේ, දුනු දඬුවෙන් කළ සංඥාව නොහැර, පුවරු සියය විදීම මෙන්, මාර්‍ග ඥානයට ගෝත්‍රභූ ඥානයෙන් දෙන ලද සංඥාව නොහැර නිවන් අරමුණු කොට පෙර නොවිදි, පෙර නොපැලූ ලොභ, ද්වෙෂ, මොහස්කන්‍ධයන් පැළීම ද දත යුතු.

මෙසේ උපදනා මාර්‍ග සිත, ලොභ, ද්වෙෂ, මොහස්කන්‍ධයන් පමණක් නොව, අනවරාග්‍ර සංසාරවට්ට දුක්ඛ සමුදය වියළවයි. සියලු අපායද්වාරයන් වසා දමයි. සප්තාර්‍ය්‍ය ධනයට අභිමුඛ කෙරෙයි. අෂ්ටාඞ්ගික වූ මිථ්‍යා මාර්‍ගය දුරු කරයි. සියලු කෙලෙස් සතුරු බිය සංසිඳුවයි. සම්‍යක් සම්බුද්ධයන් වහන්සේගේ ඖරස පුත්‍ර භාවයට පමුණුවයි. අනෙක් නොයෙක් සියගණන් ආනිසංසයන්ගේ ප්‍රතිලාභය පිණිස ද පවතී. මෙසේ අනෙකානිසංස දායක වූ සෝවන් මාර්‍ගය හා සම්ප්‍රයුක්ත ඤාණය සොතාපත්තිමග්ග ඤාණ නම් වේ. මේ පළමු වන ආර්‍ය්‍ය පුද්ගලයා ය.

සොවාන් මාර්‍ග සිතට අනතුරුව එම මාර්‍ගඥානයාගේ විපාකය වූ සොවාන් ඵල සිත් දෙකක් හෝ තුනක් උපදිත්. මෙයට අකාලික ඵලය යයි ද ආනන්තරික සමාධිය යයි ද කියනු ලැබේ.

මාර්‍ග-ඵල චිත්තයන් උපදනා මනොද්වාරික චිත්තවීථියෙහි ජවන් සිත් සතක්ම විය යුතු. එය අර්‍පණා චිත්තවීථියක් බැවින් එහි සතරවැනිව හෝ පස්වැනිව අර්‍පණාව විය යුතු. ඉන් ඔබ්බෙහි භවාඞ්ගයට ආසන්න හෙයින් අර්‍පණා චිත්තය නූපදී. මේ නියමය අනුව මන්‍දප්‍රාඥ පුද්ගලයාහට පිළිවෙලින් මනොද්වාරාවජ්ජනයට අනතුරුව පළමු ජවනය වශයෙන් පරිකර්ම චිත්තය ද, දෙවන ජවනය, උපචාර චිත්ත යද, තුන්වන ජවනය අනුලොම චිත්තය ද, සතර වන ජවනය ගෝත්‍රභූ චිත්තය ද වේ. පස්වනුව උපදනා ජවනක්‍ෂණය අර්පණා ප්‍රාප්තවූ මාර්ග චිත්තය යි, ඉතිරිවූ සවන, සත්වන ජවනක්‍ෂණයෝ ඵල සිත් දෙකින් සම්පූර්ණ වෙති. තික්ඛප්‍රාඥ පුද්ගලයාට වනාහි පරිකර්මයක් නූපදනා හෙයින් පළමු ජවනක්‍ෂණය උපචාර වශයෙන් ද, දෙවන ජවනක්‍ෂණය අනුලොම වශයෙන් ද, තුන්වන ජවනක්‍ෂණය ගෝත්‍රභූ වශයෙන් ද, සතරවන ජවනක්‍ෂණය මාර්ග චිත්තය වශයෙන් ද, පස්වන, සවන, සත්වන ජවනක්‍ෂණයෝ ඵල සිත් තුනකින් ද යුක්ත වන බව දත යුතු. මාර්ග සිතට අනතුරුව ඵල සිත් දෙකක් හෝ තුනක් උපදින බව කියන ලද්දේ එ හෙයිනි.

මේ සෝවාන් ඵලස්ථ පුද්ගලයාහට දෙවන ආර්‍ය්‍ය පුද්ගලයා යයි කියනු ලැබේ.

සොවාන් ඵලස්ථ දෙවන ආර්‍ය්‍ය පුද්ගලයා දෙව් සැප, සක්විති සැප ආදිය ලැබීමෙන් ඉතා ප්‍රමාදවූයේ වී නමුත් සත්වරක් දෙවියන් අතර ද, මනුෂ්‍යයන් අතර ද ඉපිද දුක් කෙළවර කිරීමට සමත් වේ.

සෝවාන් ඵල චිත්තයන් ඉපිද නිරුද්ධ වූ පසු ඒ ආර්‍ය්‍ය පුද්ගලයාගේ සිත භවාඞ්ගයට බසී. ඉක්බිති භවාඞ්ගය සිඳී තමා උපදවා ගත් සෝවාන් මාර්ගය ප්‍රත්‍යවේක්‍ෂා කරනු පිණිස මනෝචාරාවජ්ජන චිත්තය ඉපිද නිරුද්ධවූ පසු පිළිවෙලින් මාර්ගය ප්‍රත්‍යවේක්‍ෂා කරන කාමාවචර ජවන් සිත් සතක් උපදී. එයින් “මම මේ මාර්ගයෙන් ඒකාන්තයෙන්ම නිවණට පැමිණියෙමි” යි ප්‍රත්‍යවේක්‍ෂා කෙරේ.

මාර්ග ප්‍රත්‍යවේක්‍ෂා ජවනයන්ට අනතුරුව නැවත භවාඞ්ගය වේ. ඉක්බිති “මා විසින් මේ අනුසස් ලබන ලදැ යි” සෝතාපත්ති ඵලය ප්‍රත්‍යවේක්‍ෂා කරමින් පෙරසේ ම ප්‍රත්‍යවේක්‍ෂා ජවන් සතකින් යුත් චිත්ත වීථියක් උපදී. එයට අනතුරුව සිත භවාඞ්ගයට බසී.

මෙසේ ඵලය ප්‍රත්‍යවේක්‍ෂා කොට අනතුරුව “මාගේ මේ මේ කෙලෙස් පහවී” යයි පහවූ කෙලෙස් ප්‍රත්‍යවෙක්‍ෂා කරනු සඳහා නැවත පෙරසේ චිත්ත වීථියක් උපදී. එයට අනතුරුව භවාඞ්ගය වේ.

එයට ඉක්බිතිව “මාගේ මෙනම් කෙලෙස් ඉතිරිවී” යයි ඉතිරි කෙලෙස් ප්‍රත්‍යවෙක්‍ෂා කරනු සඳහා නැවත ද චිත්ත වීථියක් ඉපිද අනතුරුව භවාඞ්ගයට බසී.

අවසානව “මා විසින් මේ ධර්‍මය අරමුණු කරමින් ප්‍රතිවේධ කරන ලදැ”යි අමෘත වූ නිර්‍වාණය ප්‍රත්‍යවේක්‍ෂා කරනු සඳහා චිත්ත වීථියක් ඉපිද භවාඞ්ගයට බසී.

මෙසේ ප්‍රත්‍යවේක්‍ෂණයන් පස් දෙනෙක්ම ඇති වන්නේ උත්කෘෂ්ට පරිච්ඡේද වශයෙනි. සමහර ශෛක්‍ෂ පුද්ගලයන් හට ප්‍රහීණ කෙලෙස් හා ඉතිරි කෙලෙස් ප්‍රත්‍යවේක්‍ෂණයක් නොවෙයි. මේ ක්‍රමයෙන් සෝවාන්, සකෘදාගාමි ආර්‍ය්‍යපුද්ගලයන්හට උත්කෘෂ්ට වශයෙන් ප්‍රත්‍යවේක්‍ෂණයෝ පස් දෙන බැගින් ප්‍රත්‍යවේක්‍ෂණ පසළොසක් (15) වෙති. අර්‍හත් වූ ආර්‍ය්‍ය පුද්ගලයාහට වනාහි ඉතිරි කෙලෙස් නැති හෙයින් ප්‍රත්‍යවේක්‍ෂණයෝ සතර දෙනෙක් ම වෙති. එහෙයින් එකුන්විසි (19) ප්‍රත්‍යවේක්‍ෂා කෙනෙක් ඇති බව වදාරණ ලදී.

සසරින් එතර වනු කැමැති යෝගාවචර තෙමේ, මෙසේ සංස්කාර ධර්‍මයන් අනිත්‍ය, දුඃඛ, අනාත්ම වශයෙන් සම්මර්‍ශනය කොට සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, දිට්ඨි විසුද්ධි, කඞ්ඛාවිතරණ විසුද්ධි, මග්ගාමග්ගඤාණදස්සන විසුද්ධි, සඞ්ඛ්‍යාත පඤ්ච විසුද්ධීන්ගේ වශයෙන් විසුද්ධි බවට පැමිණ, ප්‍රතිපදා ඤාණදස්සන විසුද්ධිය පිණිස උදයව්‍යයාදි නවමහා විදර්‍ශනා ඥාන උපදවා ගෙන පරිකර්‍ම, උපචාර, අනුලොම ගෝත්‍රභූ පිළිවෙළින් ගොස් මාර්‍ගයත් ඵලයත් උපදවා ගෙන ආර්‍ය්‍ය භාවයට පැමිණෙන්නේ ය.

මේ පිළිවෙතෙහි දක්වන ලද වුට්ඨානගාමිනී විදර්‍ශනායෙහි, භයතුපට්ඨාන ඤාණයෙහි පටන් ඵල ඤාණය දක්වා සියලු ඤාණ කෘත්‍යයන් ප්‍රකට කිරීම පිණිස උපමා දක්වනු ලැබේ.

එක් වවුලියක් ශාඛා පසක් ඇති මී රුකෙක වසා, “මෙහි මලක් හෝ ගෙඩියක් හෝ ලබමි”යි සිතා එහි එක් ශාඛාවක් පරාමර්‍ශනය කොට එහි ගත යුතු කිසි මලක් හෝ ඵලයක් හෝ නො දැක, පිළිවෙළින් දෙවන, තුන්වන, සතරවන, පස්වන ශාඛාවන් ද පරාමර්‍ශනය කොට, ඉන් එකෙකවත් මලක් හෝ ඵලයක් නො දැක, ඒකාන්තයෙන් මේ රුක ඵලනැත්තෙකැයි එහි ගතමනා කිසිවක් නැතැයි නිගමනය කොට එහි ආලය හැර ඍජුවූ ශාඛාවට නැග හිස ඔසවා උඩ බලා අහසෙහි පියාඹා අනික් ඵල ඇති රුකෙක වැසුවා ය.

මේ උපමාවෙහි යෝගී තෙම වවුලිය මෙන් ද, පඤ්ච උපාදානස්කන්‍ධය ශාඛා පසක් ඇති මී රුක මෙන් ද, වවුලිය මී රුකෙහි වැසීම මෙන් යෝගීහුගේ පඤ්චස්කන්‍ධයෙහි අභිනිවෙශය ද, ඇයගේ එක එක ශාඛාව පරාමර්‍ශනය මෙන් යෝගියාගේ රූපස්කන්‍ධය සම්මර්‍ශනය කොට ගතමනා කිසිවක් නො දැක සෙසු ස්කන්‍ධයන් සම්මර්‍ශනය කිරීම ද, ඇය ඒ රුක නිෂ්ඵල යයි රුකෙහි ආලය හැරීම මෙන් පඤ්චස්කන්‍ධයෙහි අනිත්‍යාදී ලක්‍ෂණ දැකීම වශයෙන් කළකිරුණු යෝගීහුගේ මුඤ්චිතුකම්‍යතා, පටිසඞ්ඛානු පස්සනා, සඞ්ඛාරුපෙක්ඛා යන ත්‍රිවිධ ඤාණ ද, ඇය ඍජු ශාඛාවෙන් මත්තෙහි නැගීම මෙන් යෝගීහුගේ අනුලොම ඤාණය ද, හිස නගා උඩ බැලීම මෙන් ගෝත්‍රභූ ඤාණය ද, ආකාශයෙහි ඉහළ නැගීම මෙන් මාර්‍ගඤාණය ද, අන් ඵලරුකෙක වැසීම මෙන් ඵලඤාණය ද දත යුතු.

යට පටිසඞ්ඛානු පස්සනාඤාණයෙහිදී දක්වන ලද සර්‍පයාගේ උපමායෙහි ද, සර්‍පයා හැරීම මෙන් ගෝත්‍රභූ ඤාණය ද, සර්‍පයා මුදා හැර ආ මග බලන්නාක් මෙන් මාර්‍ග ඤාණය ද, එයින් මිදී අභයස්ථානයෙහි සිටීම මෙන් ඵල ඤාණය ද දත යුතු.

තවද, ගෙහිමියෙක් රාත්‍රි අහර නිමවා යහනට නැගී නිදිගත් කල ගෙය ගිනිගත් හෙයින් ඔහු පිබිදී ගිනි දැක බියවී මේ ගින්නෙන් නොදැවී නික්ම යේ නම් මැනැවැයි සිතා වටපිට බලන්නේ මගක් දැක එයින් නික්ම වේගයෙන් නිර්‍හය ස්ථානයකට ගොස් සිටියේ ය.

මේ උපමායෙහි ගෙහිමියා අහර ගෙන යහනට නැගී නිදීම සේ බාල පෘථග්ජනයා පඤ්චස්කන්‍ධයෙහි “මම ය, මාගේ” යයි මමායනය ද, පිබිද ගිනි දැක බියපත් කල මෙන් සම්‍යක් ප්‍රතිපත්තියෙහි පිළිපැද තිලකුණු දැක ඇති වූ භයතුපට්ඨාන ඤාණය ද, නික්මෙන මග සෙවීම මෙන් මුඤ්චිතුකම්‍යතා ඤාණය ද, මග දැකීම මෙන් අනුලෝම ඤාණය ද, නික්මයාම මෙන් ගෝත්‍රහු ඤාණය ද, වේගයෙන් යාම මෙන් මාර්‍ග ඤාණය ද, අභයස්ථානයෙහි සිටීම මෙන් ඵල ඤාණය ද දත යුතු.

තවද, එක් ගොවියකු රෑ නිදාගත් කල ගාල බිඳගෙන ගවයෝ පලාගියහ. ඔහු අලුයම එහි ගොස් බැලූ කල ඔවුන් පැනගිය බව දැන පියවර අනුව ගොස් රජුගේ ගොනුන් දැක “මේ මාගේ ගෙරීහු” යයි සිතා ගවයන් ගෙන යන්නාවූ හෙතෙම අළුයම්හි මේ මාගේ ගෙරිහු නොවෙති, රජහුගේ ගෙරිහු යයි හැඳින මේ සොරෙකැයි මා රාජ පුරුෂයන් දැක අල්ලා පෙළන්නට පෙර පලායෙමැයි බියව ගවයන් හැර වේගයෙන් පලාගොස් බිය නැති තැනෙක සිටියේ ය.

මේ උපමායෙහි මාගේ ගෙරිහු යයි රජුහුගේ ගොනුන් ගැනීම මෙන් බාල පෘථග්ජනයන්ගේ “මම ය, මාගේ” යයි ගැනීම ද, අලුයම්හි රජුගේ ගෙරිහු යයි හැඳිනීම මෙන් යෝගීහුගේ තිලකුණු වශයෙන් අනිත්‍යය, දුක්ඛය, අනාත්ම යයි ස්කන්‍ධයන් හැඳිනීම ද, බිය වූ කාලය මෙන් භයතුපට්ඨාන ඤාණය ද ගොනුන් හැර පලායනු කැමැත්ත මෙන් මුඤ්චිතුකම්‍යතා ඤාණය ද, ගොනුන් අත්හැරීම මෙන් ගෝත්‍රහු ඤාණය ද, පලායාම මෙන් මාර්‍ග ඤාණය ද, පලා ගොස් අභයස්ථානයෙහි සිටීම මෙන් ඵල ඤාණය ද දත යුතු.

තවද, එක් පුරුෂයෙක් යකින්නක් හා සමඟ සහවාසය කෙළේ ය. ඕතොමෝ රාත්‍රි කාලයෙහි “මෙතෙම නිදිවන්නේ” යයි සිතා අමුසොහොනට ගොස් මිනීමස් කයි. හෙතෙම ඈ නොදැක, ඈ කොහි දැයි ලුහුබැඳ මිනී මස් කනු බව දැක, ඇය මිනිස් නොවන බව දැන, මාද කන්නට පෙර පැන යම් යි භය වී වේගයෙන් පලාගොස් අභය ස්ථානයක සිටියේ ය.

ඒ උපමාවෙහි මිනිසාගේ, යකින්න හා සහවාසය මෙන් ස්කන්‍ධයන් “මම ය, මාගේ” යයි ගැනීම ද, සොහොනෙහි මිනීමස් කනු දැක “මෝ යකින්නකැ”යි ගැනීම මෙන් ස්කන්‍ධයන්ගේ තිලකුණු දැක අනිත්‍යාදි ලක්‍ෂණ දැකීම ද, බියපත් වූ කල මෙන් භයතුපට්ඨානඤාණය ද, පලායනු කැමැත්ත මෙන් මුඤ්චිතු කම්‍යතා ඤාණය ද, සොහොන හැරීම මෙන් ගෝත්‍රභූ ඤාණය ද, වේගයෙන් පලායාම මෙන් මාර්‍ග ඥානය ද, අභය ස්ථානයෙහි සිටීම මෙන් ඵල ඤාණය ද දත යුතු.

තවද, දරු සෙනහය ඇති එක් ස්ත්‍රියක් පහයෙක මතු මහලෙහි සිටියේ ඇතුළු වීථියෙහි දරුහඬක් අසා “මා පුතු කිසිවෙක් පෙලාදැ”යි වේගයෙන් ගොස් තමාගේ පුත්‍රයා යයි හැඟීමෙන් අන් පුතකු ගත්තාය. ඕ තොමෝ මේ පර පුතෙකැයි හැඳින හෙයින් ඔබමොබ බලන්නී මෝ දරු සොරෙකැයි කිසිවකු කියන්නට පෙර දරුවා එහි බස්වා පෙරලා වේගයෙන් පහයට නැඟී හුන්නේ ය.

මේ උපමායෙහි තමාගේ පුත්‍රයා යයි සඤ්ඤායෙන් පර පුතු ගැනීම මෙන් මම ය, මාගේ යයි පඤ්චස්කන්‍ධය ගැනීම ද, මේ පර පුතු යයි හැඳිනීම මෙන් තිලකුණු වශයෙන් මම නොවෙමි, මාගේ නොවේ යයි හැඳිනීම ද, බියවීම මෙන් භයතුපට්ඨාන ඤාණය ද, පැනයාමට ඔබ මොබ බැලීම මෙන් මුඤ්චිතු කම්‍යතා ඤාණය ද, එහි ම දරුවා බැස්වීම මෙන් අනුලෝම ඤාණය ද, බස්වා ඇතුළු වීථියෙහි සිටි කාලය මෙන් ගෝත්‍රභූ ඤාණය ද, පහයට නැඟීම මෙන් මාර්‍ග ඥානය ද, නැග හිඳීම මෙන් ඵල ඤාණය ද දත යුතු.

තවද, බඩගින්නෙන් මඩනා ලද, සාගිනි ඇති පුරුෂයෙකු මිහිරි වූ රස බොජුනක් කැමැති වන්නා සේ මේ යෝගාවචර තෙම සංසාර වෘත්තිය නමැති බඩසයින් පෙළුණේ අමාරස වූ කායගතා සති නම් වූ බොජුන ප්‍රාර්ථනා කරයි.

පිපාසිත පුරුෂයෙකු වියළි හෙළ මුව ඇතිව නොයෙක් ද්‍රව්‍යයෙන් යුත් පානයක් පතන්නා සේ මේ යෝගී තෙම සංසාර වෘත්ත සඞ්ඛ්‍යාත පිපාසයෙන් පෙළුණේ ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගික මාර්‍ග නමැති පානය පතන්නේය.

සීතලින් පෙළුණු පුරුෂයකු උණුසුම පතන්නා සේ සංසාර වෘත්තයෙහි තෘෂ්ණා, සෙනහ ශීතයෙන් පෙළුණේ කෙලෙස් තවන මාර්‍ග සඞ්ඛ්‍යාත වූ උෂ්ණය පතයි.

උෂ්ණයෙන් පහරන ලද පුරුෂයකු සිහිල පතන්නා සේ සංසාර වෘත්තියෙහි රාගාදී එකොළොස් ගින්නෙන් තැවුණු යෝගී තෙම එකොළොස් ගිනි සංසිඳුවන නිවන පතයි.

අන්‍ධකාරයෙන් මඩනා ලද පුරුෂයකු එළියක් පතන්නා සේ අවිද්‍යාන්‍ධකාරයෙන් වෙළා වට කරන ලද යෝගී තෙම ඤාණාලෝකය ගෙන දෙන මාර්‍ග භාවනාව පතයි.

විෂ කැවුණු පුරුෂයකු විෂ නසන බෙහෙතක් පතන්නා සේ ක්ලේශයෙන් වළඳනා ලද මේ යෝගී තෙම කෙලෙස් විෂ මඩනා අමෘතය ඖෂධයක් වූ නිවන පතයි.

සෝවාන් ඵලයට පැමිණි දෙවන ආර්‍ය්‍ය පුද්ගල තෙම, යට කියන ලද පරිද්දෙන් මාර්‍ගය ද, ඵලය ද, ප්‍රහීණ කෙලෙස් ද, අවශේෂ කෙලෙස් හා නිවණ ද ප්‍රත්‍යවේක්‍ෂා කොට එම ආසනයෙහිම හිඳ හෝ අන් කලෙක හෝ කාමරාග, ව්‍යාපාද තුනි කිරීමෙන් දෙවන ශ්‍රාමණ්‍ය ඵලය වූ සකෘදාගාමි මාර්‍ග ඵල ප්‍රතිලාභය පිණිස යෝග කෙරේ. හෙතෙම ශ්‍රද්ධාදි පඤ්චෙන්ද්‍රියන් ද, ශ්‍රද්ධාදි පඤ්ච බලයන් ද, සති ආදි සප්තබෝධ්‍යඞ්ගයන් ද, රැස් කොට රූප, වෙදනා, සංඥා, සඞ්ඛාර, විඤ්ඤාණ යන භේද ඇති සංස්කාර සමූහය අනිත්‍යය, දුක්ඛය, අනාත්මය යයි නුවණින් සම්මර්‍ශනය කොට, උදය-ව්‍යායානු දර්‍ශනයෙහි පටන් විදර්‍ශනා වීථියට බසී. මෙසේ පිළිපන් ඒ පුද්ගලයා හට පෙර උදයව්‍යය ඤාණාදිය උපන්නාසේ යටකී නයින්ම සංස්කාරොපෙක්‍ෂාවගේ අවසානයෙහි අනුලෝම වොදාන ඤාණයන් උපන් කල වොදන ඤාණයට අනතුරු ව සකෘදාගාමි මාර්‍ගය උපදී. ඒ සකෘදාගාමි මාර්‍ග සම්ප්‍රයුක්ත ඥානය සකෘදාගාමි මාර්‍ග ඥාන නම් වේ. මෙ තෙමේ තුන්වන ආර්‍ය්‍ය පුද්ගලයා නම් වේ.

සකෘදාගාමි මාර්‍ගයට අනතුරුව යට කීසේ සකෘදාගාමි ඵල සිත් තුනක් හෝ දෙයක් උපදී. සකෘදාගාමි ඵලයට පැමිණි මේ පුද්ගලයා සතරවනආර්‍ය්‍යපුද්ගලයා නම් වේ. හෙතෙමේ එක් වරක් මේ ලෝකයට පැමිණ දුක් කෙළවර කිරීමට සමත්‍ථවූයේ වේ.

ඇතැම් සකෘදාගාමි ඵලස්ථ ආර්‍ය්‍යයෝ මෙහිදීම රහත්ව පිරිනිවන් පාන්නාහ.

ඇතැම් කෙනෙක් මෙහිදී සකෘදාගාමීව, දෙව්ලොවදී පිරිනිවන් පාන්නේ ය.

ඇතැම් කෙනෙක් දෙව් ලොවදී සකෘදාගාමීව දෙව් ලොවදීම පිරිනිවන් පාන්නේ ය.

ඇතැම් කෙනෙක් දෙව් ලොවදී සකෘදාගාමීව මෙලොවට පැමිණ පිරිනිවන් පාන්නේ ය.

තවත් කෙනෙක් මෙහිදී සකෘදාගාමීව දෙව් ලොව ඉපිද ආයු ඇතිතාක් එහි වැස නැවත මිනිස් ලොවට විත් පිරිනිවන් පාන්නේ ය.

සකෘදාගාමි ඵල සිතට අනතුරුව, මාර්‍ගය, ඵලය, නැසුණු කෙලෙස් ය. අවශේෂ කෙලෙස් ය, නිවණය යන මේ ප්‍රත්‍යවෙක්‍ෂා කරන චිත්ත වීථි උපදී.

ඒ සකෘදාගාමි ඵලස්ථ ආර්‍ය්‍ය පුද්ගල තෙම එම ආසනයෙහි ම හිඳ හෝ එයට පසුව හෝ කාමරාග, ව්‍යාපාදයන් නිරවශේෂප්‍රහාණයෙන් තුන්වන ආර්‍ය්‍ය භූමිය වූ අනාගාමි මාර්‍ගයට පැමිණීම පිණිස විදර්‍ශනා කරන්නේය.

හෙතෙම ඉන්‍ද්‍රිය, බල, බෝධ්‍යඞ්ග ධර්‍මයන් එකග්ගතාවයෙන් එක් රැස් කොට, සියලු සංස්කාරයන් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යයි විදර්‍ශනා ඥානයෙන් සම්මර්‍ශනය කොට විදර්‍ශනා වීථියට බසී. මෙසේ පිළිපන් ඒ යෝගීනට පෙර කී සේ ම සඞ්ඛාරුපෙක්ඛා ඤාණයාගේ අවසානයෙහි අනුලෝම වෝදාන සිත් උපන් කල්හි අනාගාමි මාර්‍ගය උපදී. මේ මාර්‍ගය හා සම්ප්‍රයුක්ත ඥානය අනාගාමි මග්ග ඤාණ නම් වේ. මෙනම් පස්වන ආර්‍ය්‍යපුද්ගලයා ය.

අනාගාමි මාර්‍ගඤාණයට අනතුරුව යට කී පරිදි අනාගාමි ඵල සිත් දෙකක් හෝ තුනක් උපදී. අනාගාමි ඵලස්ථ පුද්ගල තෙම සවන ආර්‍ය්‍ය පුද්ගලයා නම් වේ.

අනාගාමි ආර්‍ය්‍ය පුද්ගල තෙමේ මරණින් මතු බඹළොව වැස එහි ම රහත්ව පිරිනිවන්පාන්නේය. නැවත කාම භවයට නොඑන හෙයින් අනාගාමි යයි කියනු ලැබේ. එයට අනතුරුව පෙර කී සේ ප්‍රත්‍යවේක්‍ෂා චිත්ත වීථි උපදී.

ඒ අනාගාමි ආර්‍ය්‍ය ශ්‍රාවක තෙමේ එම ආසනයෙහි හිඳ හෝ පසුකලෙක හෝ රූපරාග, අරූපරාග, මාන, උඩච්ච, අවිජ්ජා යන පඤ්ච උද්ධම්භාගීය සංයෝජනයන්ගේ නිරවශේෂ ප්‍රහාණයෙන් සතර වන අර්‍හත් භූමියට පැමිණීම පිණිස නැවත විදර්‍ශනා වඩන්නේ ය. හෙතෙම ඉන්‍ද්‍රිය, බල, බෝධ්‍යඞ්ගයන් එකග්ගතායෙන් එක්රැස් කොට සංස්කාරයන් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යයි විදර්‍ශනා ඥානයෙන් සම්මර්‍ශනය කෙරේ. මෙසේ පිළිපන් ඒ යෝගීහට යට කී සේ සඞ්ඛාරොපෙක්‍ෂා ඥානයාගේ අවසානයෙහි අනුලෝම, වෝදාන ඤාණයන් උපන් කල වෝදාන සිතට අනතුරුව අර්‍හත් මාර්‍ගය උපදී. ඒ මාර්‍ගය හා සම්ප්‍රයුක්ත ඥානය අරහත්තමග්ග ඤාණ නම් වේ. මේ සත්වන ආර්‍ය්‍ය පුද්ගලයා ය.

අර්‍හත් මාර්‍ග ඤාණයට අනතුරුව පෙර කී සේ ඵල සිත් දෙකක් හෝ තුනක් උපදී. මෙතෙකින් හෙතෙමේ අටවන ආර්‍ය්‍ය පුද්ගලයා නම් වේ. මෙයින් මේ ආර්‍ය්‍ය පුද්ගල තෙම මහා ඛීණාසව වූ අන්තිම දේහය දරණ, බහා තබන ලද ස්කන්‍ධාදී බර ඇති, ස්වකීය අර්ථයට පැමිණි, ක්‍ෂය කළ භව සංයෝජන ඇති, ස්කන්‍ධාදීන්ගේ ස්කන්‍ධාදී අර්ථයන් මොනවට දැන විමුක්ත වූ, දෙවියන් සහිත ලෝකයාගේ අග්‍රදක්‍ෂිණාවට සුදුසු වූ මහරහත් බවට පැමිණි අටවන ආර්‍ය්‍ය පුද්ගලයා වන්නේය.

මෙසේ සොතාපත්ති මග්ගය, සකදාගාමි මග්ගය, අනාගාමි මග්ගය, අරහත්ත මග්ගය යන මේ චතුර්විධ මාර්‍ගයෙහි ඤාණය, ඤාණදස්සන විසුද්ධි නම් වේ.