අභිධර්මාර්ථ ප්‍රදීපිකා

5. චුතූපපාත ඥානය

සත්ත්‍වයන්ගේ චුති උත්පත්ති දක්නා ඤාණය චුතූපපාත ඥාන නම් වේ. දිව්‍යචක්‍ෂුරභිඥානයෙන් ද චුති උත්පත්ති දක්නා හෙයින් මෙයට දිබ්බචක්ඛු ඥානය යයි ද කියනු ලැබේ.

මිනිසුන්ගේ මසැස පිළිබඳ දර්‍ශනොපචාරය ඉක්ම සිටි නොහොත් මිනිස් ඇසින් නොදැක්කහැකි සූක්‍ෂ්ම රූපාදිය දැකීමට සමත් වූ, දිව්‍යමය ප්‍රසාද චක්‍ෂුෂයෙන් බලන්නාක් මෙන් සියුම් රූපාදිය දක්නා මේ දිව්‍යචක්‍ෂුරභිඥානයෙන් යුක්ත වූ යෝගාවචර තෙම චුතවන්නා වූ ද, උපදින්නා වූ ද සත්ත්‍වයන් දකී. යමෙක් චුතිය පමණක් දැක, උත්පත්තිය නො දක්නේ නම් හෙතෙමේ උච්ඡේද දෘෂ්ටිය ගන්නේ ය. යමෙක් චුතිය නොදැක උත්පත්තිය පමණක් දකීද හෙතෙමේ අභිනව සත්ත්‍වයන් පහළ වන්නේ යයි දෘෂ්ටි ගනී. යමෙක් චුතියත් උත්පත්තියත් යන දෙකම දකී නම්, හෙතෙමේ මේ උභය දෘෂ්ටින් ගෙන් මිදුණු පිරිසුදු දෘෂ්ටියක් ඇති කෙනෙක් වේ. අභිඥාලාභි බුද්ධපුත්‍රයෝ වනාහි චුති උත්පත්ති දෙකම දක්නා හෙයින් දිට්ඨි විසුද්ධත්ත්‍වයට පැමිණියාහු වෙති. චුති උත්පත්ති දක්නා කල්හි දිව්‍යචක්‍ෂුරභිඥානයට අරමුණු වන්නේ චුතියට ආසන්න වූ ද, එකෙණෙහි ම උපන්නා වූ ද සත්ත්‍වයෝ යි. රූපය පිළිබඳ චුති, උත්පාද ක්‍ෂණයන් ඉතා සියුම් බැවින් එය අභිඥා සිතට හමු නොවේ.

මේ දිවැස් නුවණින් සත්ත්‍වයන් බලන්නා වූ යෝගාවචරයාහට මොහ සම්ප්‍රයුක්ත අකුසල කර්‍මයෙන් උපන්නා වූ ජාති, කුල, භොගාදීන්ගේ වශයෙන් හීන වූ, ගර්හා කටයුතු බවට පැමිණි, ලාමක කොට දක්නා ලද, හීන සත්ත්‍වයෝ ද හමුවෙත්.

එසේම, අමොහ සම්ප්‍රයුක්ත කුසල කර්‍මයෙන් නිපන්, සහේතුක ප්‍රතිසන්‍ධි ලැබූ ප්‍රණීත වූ සත්ත්‍වයෝ ද හමු වෙත්.

තවද අද්වේෂ සම්ප්‍රයුක්ත කුසල කර්මයෙන් නිපන්, ඉෂ්ට වර්ණාදියෙන් යුක්ත හෙයින් සුවර්ණ සත්ත්‍වයන් ද.

ද්වේෂ සම්ප්‍රයුක්ත අකුසල කර්මයෙන් නිපන් හෙයින් අනිෂ්ටවූ ද, අකාන්තවූ ද, අමනාපවූ ද, විරූපවූ ද, රූප ඇති දුර්වර්ණ සත්ත්‍වයන් ද,

අලෝභ සම්ප්‍රයුක්ත කුසල කර්මයෙන් නිපන් හෙයින් ආඪ්‍ය වූ, මහඬන ඇති, සුගති පුද්ගලයන් ද,

ලෝභ සම්ප්‍රයුක්ත අකුසල කර්මයෙන් නිපන් හෙයින් දිළිඳු වූ, ස්වල්ප වූ ආහාර-පාන ඇති දුගති පුද්ගලයන් ද දකිනු ලැබේ.

එපමණක් නොව යම් සත්ත්‍වයෙක් යම් කර්මයක් කොට යම් භවයෙක උත්පත්තිය ලැබුයේ නම් ඒ කර්මය ද දකී. එයට යථාකම්මුපග ඤාණය යයි කියනු ලැබේ. එසේම අනාගත භවයට හේතු වන කර්මය ද අනාගතංස ඤාණයෙන් බලයි.

යථාකම්මුපග ඤාණය උපදවනු කැමැති දිව්‍යචක්‍ෂුරභිඥානලාභී යෝගාවචර තෙම, නිරයෙහි වූ සත්ත්‍වයෙකු දකිනු කැමැති නම්, නිරය අභිමුඛ කොට ධ්‍යානාලෝකය පතුරුවා නිරයෙහි වූ සත්ත්‍වයන් දිව්‍යඥානයෙන් ප්‍රත්‍යක්‍ෂසේ දැක, ඒ සත්ත්‍වයන්ගේ නිරයෙහි උපන් කර්මය බැලීමට කැමැතිවන්නේ, පාදක චතුර්ථ ධ්‍යානයට සමවැද, එයින් නැගී “මේ සත්ත්‍වයා කවර නම් කර්මයක් කොට නිරයෙහි ඉපිද මෙපමණ දුක් අනුභව කෙරේදැ” යි මෙනෙහි කරයි. එවිට මෙනම් කර්මයකැයි කර්මාලම්බනික ඥානය උපදී. එසේම දෙව්ලොව දෙවියන් බලනු කැමැතිවේ නම්, දිව්‍ය ලෝකයට අභිමුඛකොට ආලෝකය පතුරුවා නන්‍දන වන, මිශ්‍රක වන, ඵාරුසක වනාදින්හි මහා සම්පත් අනුභව කරන සුගති සත්ත්‍වයන් දිබ්බචක්ඛු ඤාණයෙන් දකී. අනතුරුව මේ සත්ත්‍වයන් කිනම් කුසල කර්මයක් කොට මෙහි උපන්නවුන් මහත් සම්පත් අනුභව කෙරෙත් දැයි බලන්නාහට මෙනම් කර්‍මයෙකැයි කර්‍මාලම්බනිකව ඥානය උපදී. මෙයද යථාකම්මූපග ඤාණය නම්. මේ යථාකම්මූපග ඤාණය උපදවා ගැනීමට වෙනම පරිකර්‍මයක් නැත. අනාගතංස ඤාණයට ද එසේ ම ය. මේ අනාගතංස ඤාණයත්, යථාකම්මූපග ඤාණයත්, දිබ්බචක්ඛු ඤාණය පාදක කොට ඇත්තහුට ම දිබ්බචක්ඛු ඤාණයෙන් ම සමෘද්ධ වන හෙයිනි. මතු උපදනා ආත්මභාවය බලනු කැමැති දිව නැණ ලැබූ යෝගාවචර තෙම යථාකම්මූපග ඤාණයම පාදක කොට අනාගතංස ඤාණය උපදවයි. මේ ඤාණ දෙකම දිබ්බචක්ඛු ඤාණය ඇති කල්හිම ලැබෙයි. නැති කල්හි නොලැබෙයි.

එසේම කාය දුශ්චරිත, වාග් දුශ්චරිත වශයෙන් ද, ආර්‍ය්‍යාපවාදක වශයෙන් ද, මිථ්‍යාදෘෂ්ටික වශයෙන් ද අකුසල කර්‍ම සමන්නාගත වූ අපාගත සත්ත්‍වයෝ දක්නා ලැබෙති.

කායද්වාරය මෙහෙයවා කාය විඤ්ඤත්ති වශයෙන් පැවැත්තා වූ අකුසල කර්‍මය-අකුසල කාය කර්‍ම නම් වේ. වචීද්වාරය මෙහෙයවා වාග්විඤ්ඤත්ති වශයෙන් පැවැත්තා වූ අකුසල කර්‍මය-අකුසල වචීකර්‍ම නම්.

බුදු, පසේබුදු, බුද්ධශ්‍රාවකයනට යටත්පිරිසෙයින් සෝවාන් ගිහියෙකුට පවා, අනර්‍ත්‍ථකාමීව අන්තිම වස්තුවෙන් හෝ ගුණ නැසීමෙන් හෝ උපවාද කරන්නාහු, ආක්‍රොශ කරන්නාහු, ගර්හා කරන්නාහු, ආර්‍ය්‍යාපවාදක අකුසල කර්‍මයෙන් සමන්නාගත පුද්ගලයෝ වෙති. ආර්‍ය්‍යයන් වහන්සේට සීලයෙන් උපවාද කරන්නේ නම් අන්තිම වස්තුවෙන් උපවාද කීයේ වේ. මොහුට ශ්‍රමණ ධර්‍මයක් නැත. මොහු අශ්‍රමණයෙක යනාදී වශයෙනි. මොහට ධ්‍යානයෙක් වත්, විමෝක්‍ෂයෙක් වත්, මාර්‍ගයෙක් වත්, ඵලයෙක් වත් නැතැයි උපවාද කරන්නේ, ගුණ නැසීමෙන් උපවාද කරන්නේ වේ.

ඕහු දැන හෝ නොදැන හෝ උපවාද කළ කල්හි ඒ කර්මය ආර්‍ය්‍යොපවාද කර්මය වේ. මෙය ආනන්තරීය කර්මය හා සමානවූ ස්වර්ගාවරණවූ ද මාර්ගාවරණවූ ද, අකුසල කර්මයකි. නමුත් එය ආනන්තරීය කර්මය මෙන් ක්‍ෂමා කර නොගත හැකි අතෙකිච්ඡ කර්මයක් නොව ක්‍ෂමා කරගත හැකි සතෙකිච්ඡ කර්මයකි.

පෙර එක්තරා ගමෙක එක් ස්ථවිරයන් වහන්සේ නමක් නවක භික්‍ෂුවක් සමග පිඬුසිඟා වඩින සේක. උන්වහන්සේලාට පළමු ගෙහිම උණු කැඳිත්තක් ලැබිණ. ස්ථවිරයන් වහන්සේට කුච්ඡි වාතයක් නොහොත් බඩරුජාවක් හටගත් හෙයින් “මේ උණු කැඳිත්ත උණුවෙන් ම සිහිල්වන්නට නොදී වැළඳුව හොත් සප්පාය වේ” යයි සිතා උළුඅස්සක් පිණිස මිනිසුන් ගෙනවුත් දමා තුබූ ලී කොටයක් මතහිඳ තෙරුන්වහන්සේ එය වැළඳුහ. නවක භික්‍ෂුව මෙය දැක, “ඉතා බඩසයින් පෙළෙන මේ මහල්ලා අපට ලජ්ජාවිය යුත්තක් කෙළේ” යයි කීය. තෙරුන් වහන්සේ ද ගම පිඬුසිඟා විහාරයට ගොස් නවක භික්‍ෂුවට කථාකොට “ඇවැත්නි, තොපට මේ ශාසනයෙහි පිහිටක් ඇද්දැ” යි විචාළාහ. “එසේ ය, ස්වාමීන්වහන්ස, මම සෝවාන්මි” යි කීය. “එසේ නම් මතුමාර්ගයක් පිණිස උත්සාහ නොකරව, නුඹ රහත්නමකට උපවාද කළහ” යි වදාළහ. නවක භික්‍ෂු තෙම තෙරුන්වහන්සේ ක්‍ෂමා කරවීය. එහෙයින් ඒ කර්මය ද බැහැර වී ය.

මෙසේ අන්‍යයෙක් ආර්‍ය්‍යයන් වහන්සේ නමකට උපවාද කෙළේ නම්, උන්වහන්සේ වෙත ගොස් තමා වැඩිමහලු නම් උක්කුටකයෙන් හිඳ, “මම ආයුෂ්මතුන්ට මේ මේ දෙය කීවෙමි, ඒ මට ක්‍ෂමා කෙරේවා” යි කියා ක්‍ෂමා කරවා ගතයුතු. ඉදින් තමා නවක කෙනෙක් වී නම් ආර්‍ය්‍යයන් වහන්සේ වැඳ, උක්කුටුකයෙන් හිඳ, ඇඳිළි බැඳ, “ස්වාමීනි, මම ඔබවහන්සේට මේ මේ දෙය කීවෙමි. ඒ මට ක්‍ෂමා කරනු මැනවැ” යි ක්‍ෂමා කර විය යුතු. ඉදින් ආර්‍ය්‍යයන් වහන්සේ යම් දීසාවෙකට ගියේ වී නම්, තෙමේ ම එහි ගොස් හෝ සද්ධිවිහාරිකයකු හෝ යවා ක්‍ෂමා කර විය යුතු. ඉදින් එහි යන්නට හෝ කෙනෙකු යැවීමට හෝ නොහැකිවී නම් ඒ විහාරයෙහි භික්‍ෂූන් වැඩ සිටිද් ද, ඒ භික්‍ෂූහු නවක භික්‍ෂූන් නම් උක්කුටුකයෙන් හිද, වැඩිමහලු භික්‍ෂූන් නම් යට කියන පරිද්දෙන් පිළිපැද, “ස්වාමීනි, මම අසවල් ආයුෂ්මතුන්ට හෝ ස්ථවිරයන් වහන්සේට මේ මේ දැය කීවෙමි, ඒ ආයුෂ්මතුන් හෝ ස්ථවිරයන් වහන්සේ මට ක්‍ෂමා කෙරෙත්වා” යි කියා ක්‍ෂමා කරගත යුතු. සම්මුඛයෙහි ක්‍ෂමා කළ නොහැකි නම් මෙසේ කළ යුතු. ඉදින් ආර්‍ය්‍යයන් වහන්සේ එකවාරික භික්‍ෂූවක් නොහොත් උන්වහන්සේ වසන තැනක් හෝ ආගිය තැනක් හෝ නොදනී නම්, එක් උගත් භික්‍ෂූන්වහන්සේ නමක් වෙත ගොස්, ‘ස්වාමීන්වහන්ස, මම අසුවල් ආයුෂ්මතුන්ට මෙනම් මෙනම් දැයක් කීවෙමි. එය සිහි කරන්නාවූ මට විපිළිසර උපදී. එයට කුමක් කරන්නෙම්දැ” යි කිවයුතු. එවිට, “ඔබ එසේ නොසිතව, තෙරුන්වහන්සේ ඔබට ක්‍ෂමා කරනු ඇත. සිතසනසා ගනුව” යි කියා නම් ඔහු විසින් ද ඒ තෙරුන්වහන්සේ ගිය දිසාවට වැඳ ක්‍ෂමා කෙරෙත්වා යි කිව යුතු. ඉදින් ආර්‍ය්‍යයන්වහන්සේ පිරිනිවන් පෑසේක් නම්, ඒ පිරිනිවන්පෑ ඇඳ සමීපයට ගොස් හෝ සොහොන වෙත ගොස් හෝ ක්‍ෂමා කරවිය යුතු. මෙසේ ක්‍ෂමා කරගත් කල්හි ඒ කර්‍මය ස්වර්‍ගාවරණ හෝ මාර්‍ගාවරණ හෝ නොවේ. කර්‍මය ද සංසිඳේ.

මිථ්‍යාදෘෂ්ටිකයෝ නම් විපරිතදෘෂ්ටි ඇත්තෝ යි.

මිච්ඡාදිට්ඨි කම්ම සමාදානවූවෝ නම් විපරිත දෘෂ්ටි වශයෙන් සමාදන් වූ නා නා විධ අකුසල කර්‍ම ඇත්තෝ ය. ඔව්හු මිථ්‍යාදෘෂ්ටිකවූ කාය කර්‍මාදීන්හි අන්‍යයන් ද සමාදන් කරවන්නාහු ය.

මේ මිථ්‍යාදෘෂ්ටිය මනොකර්‍මයකි. ආර්‍ය්‍යාපවාදය වචීකර්‍මයෙකි. මිථ්‍යාදෘෂ්ටියට වඩා මහාසාවද්‍ය වූ අනික් කර්‍මයක් නැත්තේ ය.

මෙසේ කාය දුශ්චරිත, වාග් දුශ්චරිත, ආය්‍ර්‍යොපවාද, මිථ්‍යාදෘෂ්ටි ආදී වූ අකුසල කර්මයන් කළාහු අපායෙහි ද, දුගතියෙහි ද, විනිපාතයෙහි ද, නරකයෙහි ද උපදින්නාහු වෙත්. මේ දිව්‍යචක්‍ෂුරභිඥානයෙන් ඔවුන් ද දකිනු ලැබේ.

අය සඞ්ඛ්‍යාත සැපයෙන් පහවූ හෙයින් අපාය නම් වේ. මේ අපාය යයි ගැනීමෙන් තිරිසන් යෝනිය ද ගැනේ.

දුකට ගතිවූ හෙයින් දුගති නම් වේ. මෙයින් ප්‍රේත ලෝකය ද ගැනේ.

විවශව පතිත වන්නෝ විනිපාතයෝ ය. මෙයින් අසුර කාය ද ගැනේ.

ආස්වාද නම් වූ අය නැති හෙයින් නොහොත් ස්වර්ගමොක්‍ෂයට හේතු වූ ප්‍රත්‍යය සම්මත අය ගෙන් පහවූ හෙයින් සැපයන්ගේ හටගැනීමක් නැති හෙයින් නිරය නම් වේ. මෙයින් අවිචිය තෙක් සියලු අපාය ගැනේ.

මෙපරිද්දෙන් ම කුසල කර්මවිපාකයන්ගේ වශයෙන් සැපයට ගති වූ හෙයින් සුගති නම් වූ ද, සුවයෙන් අග්‍රවූ හෙයින් ස්වර්ගලෝකයෙහි උපන්නවුන් ද දකිති. මෙහි සුගතිය ගැනීමෙන් මනුෂ්‍යයෝ ද, ස්වර්ගය ගැනීමෙන් දෙවියෝ ද ගැනෙති.

දිව්‍යචක්‍ෂුරභිඥානයෙන් රූපයන් දකිනු කැමති ආදි කර්මික යෝගාවචර තෙම අටකසිණයන් අතුරෙන් යම්කිසි කසිණයක් අරමුණු කොට අභිඥාපාදක චතුර්‍ත්‍ථ ධ්‍යානය උපදවා, යට දක්වන ලද පරිදි තුදුස් ආකාරයෙන් සිත දමනය කොට අඞ්ග අටකින් සම්පූර්‍ණ කිරීමෙන් භූමි, පාද, පද, මූල සම්පාදනය කිරීම් වශයෙන් සර්‍වප්‍රකාරයෙන් ම දිව්‍යඥානයට සිත මෙහෙයීමට සුදුසු කොට තෙජො කසිණ, ඔදාත කසිණ, ආලොක කසිණ යන තුනෙන් එකක් දිව්‍යචක්‍ෂුරභිඥානයට ආසන්න කළ යුතු. එකී කසිණයන්හි උපචාර ධ්‍යානය පුහුණු කොට අරමුණ ද වැඩිය යුතු. ධ්‍යාන වශයෙන් කසිණාරම්මණයෙහි අර්‍පණා නොඉපදවිය යුතු.

මේ තුන් කසිණයන් අතුරෙන් ආලෝක කසිණය ශ්‍රේෂ්ඨ ය. එහෙයින් ආලෝක කසිණය හෝ අනික් එකක් හෝ වඩා උපචාර ධ්‍යානය උපදවා ඒ උපචාර භූමියෙහි සිට ම ප්‍රතිභාග නිමිත්ත වැඩිය යුතු. එසේ කසිණ ප්‍රතිභාග නිමිත්ත වඩන ලද ප්‍රදේශයෙහි වූ රූපාලම්බනය ම දැක්ක යුතු. එයින් පිටත අරමුණු කරන්නාහට පරිකර්‍ම වාරය ඉක්ම යන හෙයින් කසිණාලෝකය අතුරුදහන් වේ. අනතුරුව ධ්‍යානලාභීහු විසින් නැවත නැවත පාදක ධ්‍යානයට සමවැද එයින් නැගී ආලෝකය පැතිර විය යුතු. මෙසේ වඩා කසිණාලෝකය ශක්තිමත්වූ කල්හි යම් පමණ ප්‍රදේශයක කසිණාලෝකය පැතිරේවා යි පිරිසිඳින ලද්දේ නම් ඒ ප්‍රදේශයෙහි කසිණාලෝකය පවතී. දවසක් මුළුල්ලෙහි වුවද එහිම හිඳ බලන්නාහට රූපාලම්බනය දැක්ක හැකි වේ. මෙයට උපමාවක් දක්වනු ලැබේ.

එක්තරා මිනිසෙක් ගිනිහුලක් තනා රාත්‍රි කාලයෙහි මගට පිළිපන්නේ ය. ඒ ගිනිහුල නිවුණු කල්හි මාර්ගයෙහි සමවිසම තැන් නොපෙනී යයි. හෙතෙමේ ඒ ගිනිහුල බිමගසා නැවත ද දල්වා පෙරට වඩා එළිය වූයෙන් නැවත ද යන්නේ එය නැවත නැවත නිවීගිය කල්හි නැවත නැවත දල්වා මග යන්නේ ය. මෙසේ යන්නාවූ ඔහු සූර්‍ය්‍යයා උදාවූයෙන් ගිනිහුලෙන් වැඩක් නැති හෙයින් එය හැර දමා දවසම ගියේ ය. මේ උපමායෙහි ගිනිහුල එළිය මෙන් පරිකර්‍ම කළ කසිණාලෝකය ද, ගිනිහුල නිවීමෙන් සමවිසම තැන් නොදැකීම මෙන් පරිකර්‍ම ධ්‍යාන වාරය ඉක්මවීමෙන් කසිණාලෝකය අතුරුදහන් වී රූප නොදැකීම ද, ගිනිහුල බිම ගැසීම මෙන් නැවත නැවත පාදක ධ්‍යානයට සමවැදීම ද නැවත දල්වාගත් ගිනිහුල පෙරට වඩා ආලෝකවීම මෙන් නැවත පරිකර්‍ම කරන කල පෙරට වඩා කසිණාලොකය පැතිරවීම ද, සූර්‍ය්‍යයාගේ උදාවීම මෙන් පිරිසිඳි පමණ තන්හි කසිණාලොකය දැඩිව පැතිරි සිටීම ද, සූර්‍ය්‍යාලොකයෙන් දවල් කාලයෙහි යාම මෙන්, දැඩිවූ කසිණාලොකයෙන් දවසක් වූව ද රූප දැකීම දත යුතු.

මෙසේ භාවනා කරන යෝගාවචරයාගේ මසැසට හමුනොවූ කුසතුල වූ රූපය ද, හෘදවස්තුව ඇසුරු කොට පවත්නා රූපය ද, පොළොව යට භාගයෙහි වූ ද, භිත්ති පවුරු ආදියෙන් මුවහවූ ද, සක්වලින් බැහැරවූ ද රූපයන් යම් කලෙක නුවණැසට හමුවේ ද මසැසින් දක්නාක්මෙන් නුවණැසින් ප්‍රකටව දක්නේවේ ද එකල්හි දිව්‍යචක්‍ෂුරභි ඥානය උපන්නේ යයි දත යුතු. චක්‍ෂුර් විඥානයෙන් ප්‍රකෘති රූපය මනාකොට දක්නාක් මෙන්, රූපයක් අරමුණුකොට පවත්නා සිත් අතුරෙන් දිව්‍යචක්‍ෂුරභිඥානය ද රූපාලම්බනය දැකීමට සමත් වේ. එයට පූර්‍වභාගයෙහි පැවැති පරිකර්‍ම සිත් රූපාලම්බනය දක්නේ නමුත් ප්‍රකට කොට බැලිමට සමත් නොවේ. දිව්‍යචක්‍ෂුරභිඥානය උපදනා චිත්ත වීථිය ඇති වන කල්හි එම රූපාලම්බනය අරමුණු කොට මනොද්වාරාවජ්ජන සිත ඉපිද නිරුද්ධවූ කල්හි එයම අරමුණු කොට පෙර කී සේ ජවන් සතරක් හෝ පසක් උපදී. එයින් අවසානයෙහි වූ රූපාලම්බන දැකීම සිද්ධ කරන චිත්තය රූපාවචර චතුර්‍ත්‍ථ ධ්‍යානිකය. ඒ හා එක්ව යෙදුණා වූ ඥානයට චුතූප පාත ඥානය යයි ද, දිව්‍ය- චක්‍ෂුරභිඥානය යයි ද කියනු ලැබේ.

මේ දිව්‍ය චක්‍ෂුරභිඥානය පෘථග්ජනයාහට අන්තරායකර විය හැකි. හෙතෙමේ යම් තැනෙක ආලොක වේවායි අධිෂ්ඨාන කෙළේ නම් ඒ ඒ තන්හි වූ පෘථිවි, පර්‍වත, සමුද්‍රාදිය විනිවිද ආලොකය වේ. එකල්හි දකිනු ලබන යක්‍ෂ රාක්‍ෂසාදී රූපයෙන් භය ඉපිද චිත්තවික්‍ෂෙපයට ද පැමිණ ධ්‍යානයෙන් පිරිහි උමතු බවට ද පැමිණිය හැකි වේ. එහෙයින් දීවැසින් පමණක් සතුටට පත්නොවී විදර්‍ශනා වඩා චතුස්සත්‍යාවබෝධයෙහි උත්සාහවත් විය යුතු.