අභිධර්මාර්ථ ප්‍රදීපිකා

4. පුබ්බෙනිවාසානුස්සති ඥානය

පෙර ජාතීන්හි කාම, රූප, අරූප භවයන්හි පැවති ස්කන්‍ධ පරම්පරාව සිහි කිරීමට සමත් වූ ස්මෘතිය හා එක්ව පැවති ඥානය පූර්වෙනිවාසානුස්මෘති ඥානය නම්. මේ ඥානය උපදවාගත් යෝගාවචර තෙම නොයෙක් භව, යොනි, ගති, විඤ්ඤාණස්ථිති සත්ත්‍වාවාසාදී වශයෙන් අනෙක ප්‍රකාර වූ නාම, ගෝත්‍රාදී ආකාරයෙන් අනතුරු අතීත භවය ආදිකොට ඒ ඒ භවයෙහි පැවති ස්කන්‍ධ, පටිපාටි වශයෙන් හෝ, චුති-පටිසන්‍ධි වශයෙන් හෝ පිළිවෙලින් නුවණින් අනුගමනය කොට සිහි කරයි. එසේ සිහි කරන පුද්ගලයෝ සදෙනෙකි. එනම්:-

  1. තීර්ථකයා - මේ ශාසනයෙන් පිටත්හි වූ කර්‍මවාදි ක්‍රියාවාදී තාපසාදීහු ඉකුත් සතළිස් (40) කල්පයක් කල් සිහි කෙරෙති. එය ද ස්කන්‍ධ පටිපාටිය වශයෙන් සිහි කරති. නාම-රූප ධර්‍මයන් පිරිසිඳ දන්නා විදර්ශනා ඥානය නැති හෙයින් ඔහු දුර්වල ප්‍රඥාවෙන් යුක්තවූ වෙකි.
  2. ප්‍රකෘති ශ්‍රාවකයෝ - අග්‍රශ්‍රාවක, මහාශ්‍රාවකයන් හැර අනිකුත් බුද්ධශ්‍රාවකයෝ ප්‍රකෘති ශ්‍රාවකයෝ ය. ඒ ප්‍රකෘති ශ්‍රාවකයෝ බලවත් ප්‍රඥා ඇති හෙයින් ස්කන්‍ධ පිළිවෙලින් හෝ චුතිප්‍රතිසන්‍ධි පිළිවෙලින් හෝ කල්ප සීයක්, දහසක් හෝ සිහි කෙරෙති.
  3. අසූමහා ශ්‍රාවකයෝ - කල්ප ලක්‍ෂයක් චුති ප්‍රතිසන්‍ධි ක්‍රමය අනුව සිහි කෙරෙති.
  4. අග්‍රශ්‍රාවක දෙනම - එකාසඞ්ඛ්‍ය කල්ප ලක්‍ෂයක් චුතිප්‍රතිසන්‍ධි පිළිවෙළින් සිහි කෙරෙති.
  5. පසේබුදුවරයන් වහන්සේලා - දෙයාසඞ්ඛ්‍ය කල්ප ලක්‍ෂයක් චුති-ප්‍රතිසන්‍ධි පිළිවෙලින් සිහි කෙරෙති.

මහාශ්‍රාවක, අග්‍රශ්‍රාවක හා පසේබුදුවරයන්ගේ මේ කාල පරිච්ඡේදය උන්වහන්සේලාගේ අභිනිහාරය හා බෝධිසම්භාරය පූරණ කාලය වශයෙන් දක්වන ලදී.

  1. සම්‍යක් සම්බුදුන් වහන්සේට ස්කන්‍ධ පටිපාටියක් හෝ, චුති-පටිසන්‍ධි පටිපාටියක් හෝ කාල නියමයක් හෝ නැත්තේ ය. කෝටිගණන් කල්ප අත්හැර යම් තැනක් බලනු කැමැති නම් ඒ තැන ප්‍රකට වේ. එසේ බලන්නාහු ද සිංහ ගතිකව, වාලවේධයෙහි සමත්, සරහඞ්ගාදී ධනුර්ධරයන් විසින් විදිනා ලද හීය, අතර ගස් වැල් ආදියක නො ගැටී, ඉලක්කය ම විදපියන්නාක් මෙන්, අතරතුර ජාතීන්හි නො ගැටී අභිමත ජාතියෙහි නුවණ පැමිණ සිටී.

මේ පූර්වේනිවාස අනුස්මරණය ද ඒ ඒ පුද්ගලයන්ගේ වශයෙන් වෙනස් වේ.

තීර්‍ත්‍ථකයෝ - කණමැදිරි එළියෙන් බලන්නාක් මෙන් ද,

ප්‍රකෘති ශ්‍රාවකයෝ - පහන් එළියෙන් බලන්නාක් මෙන් ද,

මහා ශ්‍රාවකයෝ - ගිනිහුලකින් බලන්නාක් මෙන් ද,

අග්‍ර ශ්‍රාවකයෝ - ඕසධිතාරකා එළියෙන් බලන්නාක් මෙන් ද,

පසේබුදුවරයෝ - සඳ එළියෙන් බලන්නාක් මෙන් ද,

සම්‍යක් සම්බුදුවරයෝ - මධ්‍යාහ්න සූර්‍ය්‍යාලොකයෙන් බලන්නාක් මෙන් ද ප්‍රකට වේ.

තව ද තිර්‍ත්‍ථකයන්ගේ පූර්‍වෙනිවාසානුස්මරණය අන්‍ධයාගේ සැරයටි කොණ ගෙන යාම මෙන් ද,

ප්‍රකෘති ශ්‍රාවකයන්ගේ ඥානය - තනි ඒදණ්ඩෙහි යාමක් මෙන් ද,

මහා ශ්‍රාවකයන්ගේ ඥානය - පුවරුහෙයකින් යන්නාක් මෙන් ද,

අග්‍ර ශ්‍රාවකයන්ගේ ඥානය - ගැළක් යා හැකි භෙයක යන්නාක් මෙන් ද,

පසේබුදුවරයන්ගේ ඥානය - පා මගෙක යන්නාක් මෙන් ද,

සම්‍යක් සම්බුදුවරයන්ගේ ඥානය - මහා සකට මාර්‍ගයෙක යන්නාක් මෙන් ද ප්‍රකට වේ.

පුබ්බෙනිවාසානුස්සති ඥානය ලබනු කැමති ආදී කාර්මික යෝගාවචර භික්‍ෂුව පසුබත නොහොත් පිණ්ඩපාතයෙන් වැළකී රහසිගතව, හුදකලාව හිඳ, කසිණාරම්මණය වඩා පිළිවෙලින් රූපාවචර චතුර්‍ත්‍ථධ්‍යානයට සමවැද, අනතුරුව අභිඥාපාදක චතුර්‍ත්‍ථ ධ්‍යානයෙන් නැගී, සියලු කටයුතු වලට පසුව වූ ඒ හිඳීම සිහි කළයුතු. එතැන් සිට පිළිවෙලින් ආසන පැනවීම ය, සෙනසුනට ඇතුල්වීම ය, පාසිවුරු තැන්පත් කිරීම ය, ආහර අනුභව කරන කාලය, ගමින් ආපසු ආ කාලය, ගමෙහි පිඬුසිඟා වඩින කාලය, පිඬුපිණිස ගමට වදනා කාලය, විහාරයෙන් නික්මෙන කාලය, දාගැබ්, මහබෝ වඳින කාලය, පාත්‍රය සෝදනා කාලය, පාත්‍රය පිළිගන්නා කාලය, පාත්‍රය ගන්නට පෙර මුව දෙවීම තෙක් කළ දෙය ද, උදෑසන කාලයෙහි කළ දෙය ද, මධ්‍යම යාමයෙහි කළ දෙය ද, ප්‍රථම යාමයෙහි කළ දෙය ද, මෙසේ ප්‍රතිලෝම වශයෙන් සියලු රෑ දාවල් කළ දැය ද, ආවර්ජනා කළ යුතු. මෙකී කරුණු ප්‍රකෘති සිතට ද ප්‍රකට වේ. පරිකර්ම සමාධි චිත්තයට අතිශයින් ම ප්‍රකට වේ. ඉදින් යම්කිසිවක් ප්‍රකට නොවේ ද, නැවත පාදක ධ්‍යානයට සමවැද, එයින් නැගී මෙනෙහි කළ යුතු. මෙතෙකින් පහනක් දැල්වූ කල්හි මෙන් ප්‍රකට වෙයි.

මෙසේ ප්‍රතිලෝම වශයෙන් දෙවෙනි දවසය, තුන්වන දවසය, සතරවන දවසය, පස්වන දවසය, දසවන දවසය, අර්ධමාසය, මාසය, අවුරුද්දය, දස වසය, විසි වසය යනාදී ක්‍රමයෙන් මේ ආත්මභාවයෙහි ප්‍රතිසන්‍ධිය තෙක් ආවර්ජනා කටයුතු. මෙසේ මෙනෙහි කොට නැවත මෙයට අනතුරු අත්බැව්හි චුතික්‍ෂණයෙහි පැවැති නාම රූප ආවර්ජනා කටයුතු. අභිඥා සඳහා පුරුදු කරණ ලද නුවණ ඇති භික්‍ෂුව ප්‍රථම වාරයෙහි ම ප්‍රතිසන්‍ධිය උගුළුවා චුතික්‍ෂණයෙහි පැවැති නාම-රූපයන් බැලීමට සමත් වේ. පූර්වභවයෙහි පැවැති නාම-රූපයෝ ඉතිරියක් නැතිව ම නිරුද්ධවිය. අනෙක් කර්මයෙකින් හටගත් නාම-රූප පහළ විය. එහෙයින් ඒ නාම-රූපයන් සැඟවී සිටින ස්ථානය හාත්පසින් වැසුණු ඝනාන්‍ධකාරය මෙන් අප්‍රකට වේ ම ය. නුවණ මද පුද්ගලයාහට ඒ නාම-රූපයන් දැකීම ඉතා දුෂ්කරය. එහෙයින් ඔහු “ප්‍රතිසන්‍ධිය උගුළුවා චුතික්‍ෂණයෙහි පැවැති නාම-රූප දැකීමට නො හැකි වෙමියි” වීර්‍ය්‍යය නොහළ යුතු. ඔහු විසින් පාදක ධ්‍යානයට නැවත නැවත සමවැද එයින් නැග නැග ඒ ස්ථානය ආවර්ජනා කටයුතු.

යම්සේ ශක්තිමත් පුරුෂයෙක් කුටාගාර කර්ණිකාවක් කරණු සඳහා මහාරුකක් සිඳින්නේ, එහි ශාඛාවන් සිඳීමෙන් ම පොරොවෙහි මුවහත නැති වී ගියේ නම්, ඔහු එපමණකින් මහාරුක සිඳිය නො හැකි යයි පසුබට නොවී එය කම්හලට ගෙනගොස් මුවහත් තබා ගෙනවුත් නැවත රුක සිඳින්නේ ය. මෙසේ රුක සිඳින්නාවූ ඔහුගේ පොරොවෙහි මුවහත නැවත නැවත නැතිවී ගියේ නම් හෙතෙම නැවත නැවතත් එය කම්හලට ගෙන ගොස් මුවහත් තබා ගෙනවුත් රුක සිඳින්නේ ය. මෙසේ ඔහු පළමු සිඳි තැන් නැවත නොසිඳිය යුතු හෙයින් ද, නොසිඳු තැන් ම සිඳිය යුතු වන හෙයින් ද නොබෝකලෙකින් ඒ මහාරුක බිම හෙලන්නේ ය. එපරිද්දෙන් ම යෝගාවචර තෙම පාදක ධ්‍යානයෙන් නැගී, පළමු ආවර්‍ජනා කළ තැන් නැවත ආවර්‍ජනා නොකොට ප්‍රතිසන්‍ධියම ආවර්‍ජනාකරන්නේ නොබෝ කලෙකින් ම ප්‍රතිසන්‍ධිය උගුළුවා චුතික්‍ෂණයෙහි පැවැති නාම-රූපයන් අරමුණු කරන්නේ ය.

මේ උපමායෙහි කූටාගාර කර්ණිකාව මෙන් පූර්‍වේනිවාසානුස්සති ඥානය ද, මහා රුක මෙන් පූර්‍වභවයෙහි චුතික්‍ෂණයෙහි පැවැති නාම-රූප ධර්‍ම ද, ශාඛාවන් මෙන් මේ භවයෙහි ඒ හා සම්බන්‍ධ චිත්තය ද, මුවහත් පොරොවෙන් සිඳින්නාක් මෙන් පරිකර්‍ම භාවනාද, කම්භල මෙන් පාදක ධ්‍යානය ද දතයුතු.

මෙසේ පසුවම වූ හිඳීමෙහි පටන් ප්‍රතිසන්‍ධිය තෙක් අරමුණු කොට පැවැති ඥානය පූර්වේනිවාසානුස්මෘති ඥානය නොවේ. එය පරිකර්‍ම සමාධි ඥානය වේ. යම් කලෙක ඒ යෝගාවචරයාහට ප්‍රතිසන්‍ධිය ඉක්මවා පූර්‍වභවයෙහි වූ චුතික්‍ෂණයෙහි පැවැති නාම-රූප අරමුණු කොට මනොද්වාරාවර්ජන සිත උපදී ද, ඒ සිත නිරුද්ධවූ පසු එයම අරමුණු කොට ජවන් සිත් සතරක් හෝ පසක් උපදී. එයින් පූර්‍වවූ පරිකර්‍මාදි සිත් කාමාවචර ය, පශ්චිම වූ සිත රූපාවචර චතුර්‍ත්‍ථ ධ්‍යාන අර්පණා සිත වේ. ඒ රූපාවචර චතුර්‍ත්‍ථ ධ්‍යාන චිත්තය හා සමග උපදනා ඤාණය පුබ්බෙනිවාසානුස්සති ඤාණ නම්. ඒ ඤාණය හා සමග යෙදුණු සතිය කරණ කොට අනෙකවිධ වූ පූර්වේනිවාස අනුස්මරණය කෙරේ.

පූර්වේනිවාසයන් මෙසේ සිහිකරන්නාවූ අභිඥාලාභී පුද්ගල තෙම, එක් ජාතියක් හෝ දෙකක් හෝ තුනක් හෝ ඒ ඒ ජාතීන් පිළිබඳ ස්කන්‍ධ සන්තතිය හෝ, ජාතිදහයක් හෝ නොයෙක් සංවට්ට විවට්ට කල්ප හෝ ආකාර සහිතවූ, උද්දේස සහිතවූ අනෙක ප්‍රකාර වූ පූර්වේනිවාසය සිහි කරයි.

එක් භවයක් පිළිබඳ වූ, එක් කර්‍මයෙන් නිපන් ප්‍රතිසන්‍ධිය මුල් කොට ඇති, චුතිය අවසන් කොට ඇති ස්කන්‍ධ සන්තතියට එක් ජාතියක් යයි කියනු ලැබේ.

සංවට්ට කල්පය නම් පිරිහෙන්නා වූ නොහොත් විනාශවන්නා වූ කල්පයයි, විවට්ට කල්පය නම් වැඩෙන්නා වූ කල්පයයි, කල්පයන් පිළිබඳ විස්තරය යට දක්වන ලද හෙයින් එය බලා දත යුතු.

මෙසේ නොයෙක් ජාති, කල්පාදිය සිහිකරන්නා වූ යෝගී තෙම, අසුවල් ජාතියෙහි හෝ සංවට්ට කල්පයෙහි හෝ අසුවල් භවයෙහි හෝ අසුවල් යෝනියෙහි හෝ අසුවල් ගතියෙහි හෝ අසුවල් විඥානස්ථිතියෙහි හෝ අසුවල් සත්ත්‍වාවාසයෙහි හෝ අසුවල් සත්ත්‍වනිකායෙහි හෝ උපන්නෙමි. එකල්හි මම මෙනම් ඇත්තෙක් වීමි. මෙනම් ගෝත්‍ර ඇත්තෙක් වීමි. නාම, ගෝත්‍රාදිය මෙන් ම වර්‍ණ, සම්පත්, රූක්‍ෂ බව, ප්‍රණීත බව, ජීවිකාව, සුව-දුක් බහුල බව හෝ අල්පායුෂ්ක බව හෝ දීර්‍ඝායුෂ්ක බව හෝ ඇත්තෙක් වීමි යනාදී වශයෙන් සිහිකරන්නේ ය. ඒ භවයෙහි හවුරුදු සියයක් හෝ නෛවසඤ්ඤානාසඤ්ඤා භවයෙහි නම් මහාකල්ප අසූසාර දහසක් (84000) හෝ වැස, ඒ භව, යෝනි, ගති, විඤ්ඤානස්ථිති සත්ත්‍වාවාස, සත්ත්‍වනිකායයෙන් චුතව අසුවල් භවයෙක හෝ යෝනියෙක හෝ ගතියෙක හෝ විඤ්ඤානස්ථිතියෙක හෝ සත්ත්‍වාවාසයෙක හෝ, සත්ත්‍වනිකායක හෝ උපන්නෙමි. එයින් ද චුතව අසුවල් අසුවල් තැන උපන්නෙමි. එහිදී නාම ගෝත්‍රාදිය මෙසේ විය යනාදී වශයෙන් සිහි කරන්නේ ය.

මෙපරිද්දෙන් මේ පූර්‍වෙනිවාසානුස්සති ඥානයෙන්, අසුවල් තැන ඉපිද, එයින් චුතව අසුවල් තැන ඉපිද, මෙනම් ක්‍ෂත්‍රිය කුලයෙහි හෝ මෙනම් බ්‍රාහ්මණ කුලයෙහි හෝ මෙනම් වර්‍ණාදියෙන් යුක්තවීමි යි ආකාර වශයෙන් ද, නාමගෝත්‍රාදි උද්දෙස වශයෙන් ද, නානාවිධ වූ පූර්‍වෙනිවාස සිහි කරන්නේ ය.