අභිධර්මාර්ථ ප්‍රදීපිකා

3. පරචිත්ත විජානන ඥානය

(චෙතොපරිය ඤාණය)

තමාගෙන් අන්‍යවූ සත්ත්‍වයන්ගේ සිතෙහි ස්වභාවය පිරිසිඳ දන්නා නුවණ පරචිත්තවිජානන ඥානය හෙවත් චෙතො පරිය ඤාණ නම්. පරිය ශබ්දයෙන් පිරිසිඳ දැනීම අදහස් කරන හෙයින් චිත්තයේ සරාගාදී ස්වභාවය පිරිසිඳ දැනීම චෙතො පරිය නම් වේ.

මේ චෙතො පරිය ඤාණය ඉපදවීමට දිව්‍යචක්‍ෂුරභිඥානය පරිකර්ම වශයෙන් පවතී. එ හෙයින් චෙතො පරිය ඤාණය උපදවනු කැමැති යෝගාවචර තෙම පළමුකොට දිව්‍යචක්‍ෂුරභිඥානය උපදවාගත යුතු. හෙතෙම පළමුකොට රූපාවචර චතුර්ථ ධ්‍යානය උපදවා, එය ස්ථිර බවට පමුණුවා, දිව්‍යචක්‍ෂුරභිඥානය ද උපදවාගෙන අන්‍ය පුද්ගලයෙකුගේ හෙවත් පරසන්තානගත හෘදයවස්තුව බැලිය යුතු. මේ හෘදයමාංස පිණ්ඩය පිටතින් පියුම් කැකුළක බඳු සටහන් ඇත්තේ ය. ඇතුළත වැටකොලු කොස්සක් වැනි ය. එය ඇසුරුකොට චතුසමුට්ඨානික රුධිරය පවතී. ඒ චතුසමුට්ඨානික රුධිරය නිසා හෘදයවස්තු රූපය සහිතවූ වස්තුදසක රූපකලාප පවතී. මනොද්වාරයෙන් අරමුණු ගෙන උපදනා සිත් මේ හෘදයවස්තුරූපය වස්තුකොට උපදී.

දිව්‍යචක්‍ෂුරභිඥානලාභී යෝගාවචර තෙම ඒ හෘදය ඇසුරු කොට පවත්නා රුධිර සඞ්ඛ්‍යාත චතුසමුට්ඨානික රූපයන්ගේ වර්ණය බැලීමෙන් සරාගාදී ප්‍රභෙදවූ සිත බැලිය යුතු.

සොම්නස් සිතක් පවත්නා කල්හි ඒ ලෙය විලිකුන් නුගඵලයක් මෙන් රතු පැහැ ඇත්තේ වේ.

දොම්නස් සිතක් පවත්නා කල්හි විලිකුන් දඹ ඵලයක් මෙන් කළු පාට වේ.

උපෙක්‍ෂා සිතක් පවත්නා කල්හි පහන් තලතෙලක් බඳු පැහැ ඇති වේ.

ඒ අනුව බැලීමෙන් මේ සිත සොම්නස්සින්‍ද්‍රිය සහගත යයි ද, මේ සිත දොම්නස්සින්‍ද්‍රිය සහගත යයි ද, මේ සිත උපෙක්ඛින්‍ද්‍රිය සහගත යයි ද දැනගනී. මෙසේ දිව්‍යචක්‍ෂුරභිඥානයෙන් අනුමාන වශයෙන් සිත දැනගත් පසු නැවත නැවත නුවණ මෙහෙයවා සෙවීමෙන් චෙතොපරියඤාණය ශක්තිමත් බවට පැමිණ වියයුතු. හෙතෙම මෙසේ සොම නස්සින්‍ද්‍රිය, දොමනස්සින්‍ද්‍රිය, උපෙක්ඛින්‍ද්‍රිය වශයෙන් ව්‍යවස්ථා කොට පාදක ධ්‍යානයට සමවැද, එයින් නැගී “මොහු සිත දනිමි. මොහු සිත දනිමි” යි පරිකර්‍ම කොට චේතෝපරිය ඥානය දැන් උපදනේ යයි කිවයුතු තැනට පැමිණි කල්හි එසේ උපදනා සිත අරමුණු කොට මනෝද්වාරාවජ්ජන සිතක් උපදී. එයට අනතුරුව පෙරකීසේ කාමාවචර ජවන් පසක් හෝ සතරක් හෝ උපදී. එයින් පසු පස්වැනිව හෝ සතර වැනිව හෝ රූපාවචර චතුර්‍ත්‍ථ ධ්‍යාන සිත උපදී. ඒ සිත හා යෙදුණු ප්‍රඥා චෛතසිකය චේතෝපරිය ඤාණය නම් වේ.

අභිඥාලාභි යෝගාවචර තෙම මෙසේ පරසන්තානගත සිත් දැනගැනීම පිණිස පරිකර්‍මකොට, ප්‍රත්‍යක්‍ෂ වශයෙන් දැනීමෙන් එය ප්‍රකට කෙරේ. නැවත නැවත සමවැදීමෙන් ශක්තිමත් වූ කල්හි ක්‍රමයෙන් සියලුම කාමාවචර, රූපාවචර, අරූපාවචර සිත් සරාගාදී ප්‍රභේද වශයෙන් දැනගන්නේ ය. අරූපතලයෙහි හදය වස්තුරූප නැති හෙයින්, කාමාවචර, රූපාවචර සිත් බලා මනා පුරුද්දක් ඇති යෝගාවචර තෙම සිතින් සිතට සංක්‍රමණයවීම වශයෙන් හෝ ආවර්ජනා බලයෙන් හෝ දොළොස් අරූපාවචර සිත් දැන ගන්නේ ය.

චේතෝපරිය ඤාණයෙන් පරසිත් බලන්නා වූ යෝගාවචරයා ඒ සිත් සියල්ල සරාගාදි වූ සොළොස් ප්‍රභේදයන්ගේ වශයෙන් බලන්නේ ය. ඒ මෙසේයි.

  1. සරාගං වා චිත්තං සරාගං චිත්තංති පජානාති – රාගය සහිත වූ සිත සරාග සිත වශයෙන් බලන්නේ ය. මෙහි සරාග සිත නම් අටවැදෑරුම් ලෝභසහගත සිතය. දොළොස් අකුසල් සිත් අතුරෙන් ලෝභමූල සිත් අටෙහි ලෝභ සඞ්ඛ්‍යාත වූ රාගය යෙදුණු හෙයින් සරාග නම් වේ.
  2. වීතරාගං වා චිත්තං වීතරාගං චිත්තංති පජානාති – වීතරාග හෙවත් රාගය හා නො යෙදුණු සිත අවශේෂ වූ චාතුර්භූමික කුසල් සිත් හා අව්‍යාකෘත සිත් සත්සැත්තෑව මෙහි වීතරාග සිත් නම්. දොෂමූල සිත් දෙක හා මෝහමූල සිත් දෙක යන අකුසල් සිත් සතර මෙහි ඇතුලත් නො වේ. ඇතැම් ආචාර්‍ය්‍ය කෙනෙක් ඒ සතර ද ඇතුළත් කොට වීතරාග සිත් අසූඑකකැයි කියති.

3. සදොසං වා චිත්තං සදොසං චිත්තංති පජානාති- දොෂමූල අකුසල් සිත් දෙක සදොස සිත් නම් වේ.

4. වීතදොසං වා චිත්තං වීතදොසං චිත්තංති පජා- නාති- සෙසු කුසල් සිත් හා අව්‍යාකෘත සිත් සත්සැත්තෑව වීතදොස සිත් නම්. මෙහි දී අකුසල් සිත් අතුරෙන් ලොහමූල සිත් අට හා මොහමූල දෙසිතය යන දස අකුසල චිත්තයන් ඇතුළත්වී නැත. ඇතැම් ආචාර්‍ය්‍ය කෙනෙක් ඒ දසය ද ඇතුළත් කොට වීතදොස සිත් සත් අසූවෙකැයි කියති.

5. සමොහං වා චිත්තං සමොහං චිත්තංති පජානාති- මොහමූල දෙසිත සමොහ සිත් නම්. සියලුම දෙළොස් අකුසල චිත්තයන්හි මොහය යෙදෙන බැවින් දෙළොස් අකුසල් සිත් ම සමොහ සිත් යයි ද කියනු ලැබේ.

6. වීතමොහං වා චිත්තං වීතමොහං චිත්තංති පජා- නාති- සෙසු කුසල් සිත් හා අව්‍යාකෘත සිත් සත්සැත්තෑව වීත මොහ සිත් නම්.

7. සංඛිත්තං වා චිත්තං සංඛිත්තං චිත්තංති පජානාති- අරමුණෙහි හැකිලෙන හෙයින් ථීන - මිද්ධ සහගත වූ සසඞ්ඛාරික අකුසල් සිත් පස සංඛිත්තවූ සිත් නම්.

8. වික්ඛිත්තං වා චිත්තං වික්ඛිත්තං චිත්තංති පජා- නාති- නොසන්සුන් බව ඇති උද්ධච්චසම්ප්‍රයුක්ත සිත වික්ඛිත්ත සිත නම්. දෙළොස් අකුසල් සිත්හිම උද්ධච්චය යෙදෙන හෙයින් දෙළොස් සිත් ම වික්ඛිත්ත සිත් යයි ද කියනු ලැබේ.

  1. මහග්ගතං වා චිත්තං මහග්ගතං චිත්තංති පජානාති- ක්ලේශයන්ගේ විෂ්කම්භනයට සමත්වූ හෙයින් ද, විපුලඵල ලබාදෙන හෙයින් ද, මහත් බවට පැමිණි හෙයින් ද, උළාරවූ ඡන්‍ද, විරිය, චිත්ත විමංසාදීන්ගේ වශයෙන් පිළිපන් හෙයින් ද රූපාවචර සිත් පසළොසත් අරූපාවචර සිත් දොළොසත් යන සිත් සත්විස්ස මහග්ගත සිත් නම්.
  2. අමහග්ගතං වා චිත්තං අමහග්ගතං චිත්තංති පජානාති- රූපාවචර අරූපාවචර සිත් සත්විස්ස හැර ඉතිරි දෙසැටක් සිත් අමහග්ගත සිත් නම්.
  3. සඋත්තරංවා චිත්තං සඋත්තරං චිත්තංති පජානාති- සියලුම ත්‍රෛභූමික, එනම් කාමාවචර, රූපාවචර, අරූපාවචර යන ලෞකික සිත් සඋත්තර සිත් නම්.
  4. අනුත්තරං වා චිත්තං අනුත්තරං චිත්තංති පජානාති- ලෝකෝත්තර සිත් අට අනුත්තර සිත් නම්.
  5. සමාහිතං වා චිත්තං සමාහිතං චිත්තංති පජානාති- උපචාර සමාධියට හෝ අර්‍පණා සමාධියට හෝ පැමිණි සිත් සමාහිත සිත් නම් වේ.
  6. අසමාහිතං වා චිත්තං අසමාහිතං චිත්තංති පජානාති- එසේ උපචාර සමාධියට හෝ අර්‍පණා සමාධියට නො පැමිණි සිත් අසමාහිත සිත් නම්.
  7. විමුත්තං වා චිත්තං විමුත්තං චිත්තංති පජානාති- තදඞ්ග විමුක්ති වශයෙන් කෙලෙසුන්ගෙන් විනිර්මුක්ත වූ හෙවත් මිදුණු කාමාවචර කුසල් සිත ද, විෂ්කම්භන විමුක්ති වශයෙන් කෙලෙසුන් ගෙන් මිදුණු රූපාවචර, අරූපාවචර සිත් ද, සමුච්ඡෙද විමුක්ති වශයෙන් කෙලෙසුන්ගෙන් මිදුණු මාර්‍ග සිත් ද,

පටිප්පස්සද්ධි විමුක්ති වශයෙන් කෙලෙසුන්ගෙන් මිදුණු ලොකොත්තර ඵල සිත් සතර ද,

නිස්සරණ විමුක්ති වශයෙන් කෙලෙසුන්ගෙන් මිදුණු මාර්‍ගඵල සිත් දෙකොටස ද විමුක්ති සිත් නම්.

16. අවිමුත්තං වා චිත්තං අවිමුත්තං චිත්තංති පජානාති - මෙසේ පඤ්ච විමුක්තීන්ගේ වශයෙන් කෙලෙසුන් කෙරෙන් නොමිදුණු සිත් අවිමුක්ත සිත් යයි දන්නේය.