2. දිව්‍යශ්‍රෝත ඥානය
යම් ආකාරයකින් ඒ දිබ්බසොත ඤාණය සම්පාදනය කළ යුතු ද, ඒ ආකාරය දැක්වීම් වශයෙන් භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක. සො එවං සමාහිතෙ චිත්තෙ, පරිසුද්ධෙ, පරියොදානෙ, අනඞ්ගණෙ විගතුපක්කිලෙසෙ, මුදුහුතෙ, කම්මනියෙ ඨිතෙ, ආනෙඤ්ජප්පත්තෙ දිබ්බාය සොතධාතුයා, විසුද්ධාය, අභික්කන්තමානුසකාය උභොසද්දෙ සුණාති, යෙ දුරෙ සන්තිකෙ චා ති”. ඒ අධිගමය කළ චතුර්ත්ථ ධ්‍යාන ඇති යෝගීතෙම ප්‍රථම ධ්‍යානාදී ක්‍රමයෙන් මෙසේ රූපාවචර චතුර්ත්ථ ධ්‍යානය ලැබ, චතුර්ත්ථ ධ්‍යානයෙන් සිත සමාධිමත්වූ කල්හි, උපෙක්ඛා සති පාරිශුද්ධියෙන් පිරිසුදුවූ කල්හි, පිරිසුදු හෙයින්ම ප්රභාශ්වරවූ කල්හි, පහවූ රාගාදී අඞ්ගණ ඇති කල්හි, අනඞ්ගණ හෙයින් ම පහවූ උපක්ලේශ ඇති කල්හි, මනාකොට වඩන ලදුව වශීභාවයට පැමිණි කල්හි, මෘදු හෙයින්ම සෘද්ධිවිධඥාන කර්මයට යෝග්‍යව සිටිකල්හි නොහොත් සෘද්ධිවිධ ඥාන කර්මයට යෝග්‍ය කල්හි, මෙසේ පිරිසුදු ආදී බැව්හි පිහිටි කල්හි ශ්‍රද්ධාදීන් පරිගෘහිත වන බැවින් නිශ්චල බවට පැමිණි කල්හි මිනිස්කන්හි ශබ්ද ඇසීමේ ශක්තිය ඉක්ම සිටි දෙවියන්ගේ ශ්‍රෝතය වැනි හෙයින් දිබ්බසොත යයි කියන ලද නුවණින්, දිව්‍යමය වූ ද, මනුෂ්‍යමය වූ ද දුරවූ හෝ සමීපයෙහි වූ හෝ උභයශබ්දයන් අසන්නේ ය.
දෙව්ලොවෙහිවූ දෙවියන්හට ශ්‍රද්ධා බහුලබවය, පිරිසුදුවූ දෘෂ්ටිය ය, ආනිසංස දක්නා බවය යනාදීවූ, දෙවියන් කෙරෙහි ඉපදීමට උපනිශ්රයවූ සුචරිත ධර්මයන් කරණකොට ගෙන උපන් හෙයින් ද, වාත, පිත්ත, සෙම් රොගාදීන්ගෙන් මිදුණු හෙයින් ද උපක්ලේශයන්ගෙන් විනිර්මුක්ත හෙයින් ද, ඉතා දුරෙහිවූ ද, ඉතා සියුම්වූ ද ශබ්ද අරමුණු ඇසීමට පවා සමර්ථ දිව්‍යමය වූ ප්‍රසාද ශ්‍රොත ධාතුව වෙයි. එසේම දිව්‍යශ්‍රොත ඥානය ලැබූ යොගී තෙම, වීර්‍ය්‍යාරම්භ වශයෙන් අභිමතාර්ථ සිද්ධිය කරන හෙයින් වීර්‍ය්‍ය භාවනා නම් වූ කුසල භාවනාවෙන් නොහොත් ප්‍රධාන සඞ්ඛාර සඞ්ඛ්‍යාත ඉඩිය ද භාවනායෙන් නිපන් ප්රඥාමයවූ, උපක්ලේශ විනිර්මුක්ත හෙයින් දුරයෙහිවූ ද, සියුම්වූ ද, ආලම්බන පිළිගැනීමෙහි සමර්ථ හෙයින් දිව්යශ්රොතය වැනිවූයේ හෝ, දිව්‍යවිහාර සඞ්ඛ්‍යාත රූපාවචර සතර ධ්‍යානයට ඇතුළත් වූ චතුර්ථ ධ්‍යානය නිසා ලබන ලද හෙයින් ද, දිව්‍ය නම් වූ තතු සේ ශබ්ද ස්වභාවය අවබෝධ කරන හෙයින් ශ්‍රොත නම් වූ, ආත්මාදීන් ශූන්‍ය හෙයින් හා ස්වලක්ෂණය දරණ හෙයින් ධාතු නම් වූ හෝ, හුදෙක් ඇසීම් මාත්‍රය කරන හෙයින්, ශ්‍රොතය වැනි හෙයින් ශ්‍රොත ධාතු නම් වූ දිව්‍ය ඥානයෙන්, උපක්ලේශ විනිර්මුක්ත හෙයින් පිරිසුදු වූ, මිනිසුන් විසින් ස්වභාවයෙන් ලබන ශබ්ද ඇසීමෙහි විෂය ප්‍රමාණය ඉක්ම, දෙවියන්ගේ, කථා ශබ්දය ඇසීමෙහිදී දෙවියන්ගේ ශ්‍රොතයට විෂය වූ ප්‍රමාණයෙහි පවත්නා හෙයින් මනුෂ්‍ය විෂය ඉක්මවා සිටියාවූ යම් ඥානශ්රොතයකින් දිව්‍ය මනුෂ්‍ය දෙපක්ෂයෙහි වූ ශබ්දයන් අසයි. අන්‍ය චක්රවාටාදී ඉතා දුර තන්හී හෝ යටත් පිරිසෙයින් තම සිරුර පිළිබඳ වූ ද උකුණු ආදීන්ගේ ද, සියලු සවිඥානක අවිඥානක ශබ්දයන් ද අසයි.
දිව්‍යශ්‍රොත ඥානය උපදවනු කැමති යෝගාවචර තෙම අභිඥාපාදක චතුර්ථ ධ්‍යානයට සමවැද, එයින් නැගී දිව්‍යශ්‍රෝත ඥානයට පරිකර්ම වශයෙන් පැවති ක්ෂණික සමාධියෙන් සමාහිත වූ චිත්තයෙන් පළමු කොට ප්‍රකෘති ශ්‍රෝත ප්‍රසාදයට විෂය වූ, අරණ්යාදී දූර තන්හි වූ සිංහ, ව්‍යාඝ්‍රාදීන්ගේ ද මේඝ ගර්ජනාදී වූ ද ඖදාරික ශබ්දය ආවර්ජනා කළ යුතු. මෙසේ ක්‍රමයෙන් ළං ළංව අවුත් විහාරයෙහි ගෙඩිය ගසන ශබ්දය, බෙර ශබ්දය, සංඛ ශබ්දය, සාමණේර දහර භික්ෂූන්ගේ සජ්ඣායනා ශබ්දය, “කිම, ස්වාමීනි, කිම ඇවැත්නි” යනාදී වූ ප්‍රකෘතියෙන් කථා කරන ශබ්දය, පක්ෂි ශබ්දය, වාත ශබ්දය, පාද ශබ්දය, අච්චෙහි වියලෙන තල්පත්වල ශබ්දය, කුරුකුහුඹු ආදීන්ගේ ශබ්දය යනාදී වශයෙන් සියලු ඖදාරික ශබ්දයන්ගේ පටන් ඉතා සියුම් ශබ්දයන් දක්වා ආවර්ජනා කටයුතු.
එසේම දිව්‍යශ්‍රෝත ඥානය ඉපදවීමට හේතු වූ පූර්වදිසාවෙහි වූ ශබ්දය ද, පශ්චිම දිසාවෙහි වූ ශබ්දය ද, උත්තර දිසාවෙහි වූ ශබ්දය ද, දක්ෂිණ දිසාවෙහි වූ ශබ්දය ද, හෙට්ඨිම දිසාවෙහි වූ ශබ්දය ද, උපරිම දිසාවෙහි වූ ශබ්දය ද, නිරිත දිසාවෙහි වූ ශබ්දය ද, ඊසාන දිසාවෙහි වූ ශබ්දය ද, වයඹ දිසාවෙහි වූ ශබ්දය ද, ගිනිකොණ දිසාවෙහි වූ ශබ්දය ද යනාදී වශයෙන් සියලු දිසා අනු දිසාවන්හි ඖදාරික වූ ද, සියුම් වූ ද සියළුම ශබ්ද මෙනෙහි කටයුතු. මෙසේ මෙනෙහි කරන කල්හි ඒ ශබ්දය ඔහුගේ ප්‍රකෘති සිතට ප්‍රකට වෙයි. පරිකර්ම සමාධි චිත්තයට වූකලී අතිශයින් ම ප්‍රකට වෙයි.
මෙසේ ශබ්ද නිමිත්ත මෙනෙහි කරන්නා වූ යෝගාවචරයාහට දිව්යශ්රෝතධාතුව දැන් දැන් උපදනේ යයි කියයුතු තැනට පැමිණි කල්හි, අරමුණු වූ ශබ්ද අතුරෙන් යම් කිසි ශබ්දාරම්මණයක් අරමුණු කොට මනොද්වාරාවජ්ජන චිත්තය නිරුද්ධ වූ කල්හි තික්ඛප්රාඥ, මන්දප්රාඥයන්ගේ වශයෙන් ජවනයන් සතරක් හෝ පසක් උපදී. තික්ඛ ප්‍රාඥයාහට උපදනා උපචාර, අනුලෝම, ගොත්රභූ යන කාමාවචර ජවන් තුනට අනතුරුව ද, මන්දප්රාඥයාහට උපදනා පරිකර්ම, උපචාර, අනුලෝම, ගොත්රභූ යන කාමාවචර ජවන් සතරට අනතුරව ද, සතරවනුව හෝ පස්වනුව හෝ රූපාවචර චතුර්ත්ථධ්යාන අර්පණා සිත උපදී. ඒ චතුර්ත්ථ ධ්‍යාන සිතෙහි උපදනා ඥානය දිව්‍යශ්‍රෝත ධාතු නම් වේ.
මේ දිව්යශ්රෝතධාතුව ස්ථිර කොට පවත්වාගනු කැමති යෝගාවචර තෙම, පාදක චතුර්ත්ථ ධ්‍යානයට අරමුණු වූ කසිණ නිමිත්ත මෙතෙක් තැන පැතිරේවායි මෙනෙහි කරන්නේ ය. එවිට කසිණ නිමිත්ත එතෙක් තැන පැතිරේ. අනතුරුව ඒ යෝගී තෙම පාදක ධ්‍යානයෙන් නැගී එහි වූ ශබ්දය ආවර්ජනා කෙරේ. පළමු කොට මෙතෙක් තැන ශබ්දය අසමියි එක් අගලක් පමණ තැන පිරිසිඳ වැඩිය යුතු. අනතුරු දෑඟුල්, සතරඟුල්, අටඟුල්, වියත්, රියන්, ඇතුළු ගැබ, පමුඛය, ප්‍රාසාදය, පිරිවෙණ, සංඝාරාමය ගොදුරු ගම ජනපදාදී වශයෙන් ක්‍රමයෙන් සක්වළ තෙක් ද, එයින් පිටතඳ පිරිසිඳ වැඩිය යුතු. මෙසේ ලබන ලද අභිඥා ඇති යෝගී තෙම පාදක ධ්‍යානාලම්බනයෙන් සම්මර්ශනය කරණ ලදුව ශරීරය ඇතුළත වූ ශබ්දය නැවත පාදක ධ්‍යානයට සමනොවැද දිව්‍යශ්‍රෝත ඥානයෙන් ම අසන්නේ ය. මෙසේ අසන්නේ ද බඹලොවතෙක් සක්, බෙර, පණවාදී ශබ්දයෙන් එකකොලාහලවූයේ ද වෙයි. ශබ්ද බෙදා අසනු කැමැතිවූයේ නම් ඒ එක එක ශබ්දයක් පාසා නැවත නැවත පාදක ධ්‍යානයට සමවැදිය යුතු. එවිට මේ බෙර හඬය මේ සක් හඬය යනාදී වශයෙන් නියම කොට පිරිසිඳ දත හැකි වේ.