1. සෘධිවිධ ඥානය
සෘධිවිධ ඥානය හෙවත් සෘධිවිකුර්වණය සම්පාදනය කරනු කැමති ආදිකර්මික යෝගාවචරයා විසින්, පඨවි කසිණය තෙක් ඇති අට කසිණයන්හි ලෞකික සමාපත්ති අට බැගින් උපදවා, මතු දක්වන ලබන තුදුස් ආකාරයෙන් සිත දමනය කළ යුතු. ඒ තුදුස් ආකාරයෝ නම්:-
- කසිණානු ලොමය
- කසිණ පටිලොමය
- කසිණානු ලොම පටිලොමය
- ධ්යානානු ලොමය
- ධ්‍යාන පටිලොමය
- ධ්යානානු ලොම පටිලොමය
- ධ්යානුක්කන්තිකය
- කසිණුක්කන්තිකය
- ධ්‍යාන කසිණුක්කන්තිකය
- අඞ්ගසඞ්කන්තිකය
- ආරම්මණ සඞ්කන්තිකය
- අඞ්ගාරම්මණ සඞ්කන්තිකය
- අඞ්ග වවත්ථාපනය
- ආරම්මණ වවත්ථාපනය.
පඨවි කසිණය, ආපො කසිණය, තෙජො කසිණය, වායො කසිණය, නීල කසිණය, පීත කසිණය, ලොහිත කසිණය, ඕදාත කසිණය, ආලොක කසිණය, ආකාශ කසිණය යන දස කසිණයන් අතුරෙන් ආලොක කසිණය, ඕදාත කසිණයෙහි ඇතුළත් වේ. ආකාශ කසිණයෙන් අරූපාවචර සමාපත්ති නො ලැබේ. එහෙයින් ආලොක කසිණය හා ආකාශ කසිණය ද හැර පඨවි කසිණය පටන් ඕදාත කසිණය දක්වා ඇති අට කසිණයන්හි සමාපත්ති අට බැගින් උපදවා ගත යුතු බව කියන ලදී.
- කසිණානු ලොම:- යෝගාවචර තෙම පළමු කොට පඨවි කසිණයෙන් ධ්‍යානයට සමවැද, එයින් නැගි අපො කසිණයෙන් ධ්‍යානයට සමවදී. මෙසේ පඨවි කසිණය පටන් ඕදාත කසිණය දක්වා පිළිවෙලින් අනුලොම වශයෙන් අට කසිණයෙන් ම සියදහස්වර හෝ ඉන් වැඩියක් හෝ ධ්‍යානයට සමවදනේ ය. මෙය කසිණානු ලොමය නම් වේ.
- කසිණ පටිලොමය:- ඕදාත කසිණය පටන් ආපසු පිළිවෙලින් පඨවි කසිණය තෙක් ප්‍රතිලොම වශයෙන් අට කසිණයන්හි සියදහස්වර ධ්‍යානයට සමවැදීම කසිණ පටිලොමය නම් වේ.
- කසිණානු ලොම පටිලොමය:- පඨවි කසිණය සිට ඕදාත කසිණය දක්වා අනුලොම වශයෙන් ද, නැවත ඕදාත කසිණය පටන් පඨවි කසිණය දක්වා පටිලොම වශයෙන් ද නැවත නැවත සියදහස් වර ධ්‍යානයට සමවැදීම කසිණානු ලොම පටිලොම නමි.
- ධ්යානානු ලොමය:- ප්‍රථම ධ්‍යානය පටන් පිළිවෙලින් නෙවසඤ්ඤානාසඤ්ඤායතනය තෙක් අනුලොම වශයෙන් නැවත නැවත සියදහස් වර සමවැදීම ධ්යානානු ලොමය නමි.
- ධ්‍යාන පටිලොමය:- නෙවසඤ්ඤානාසඤ්ඤායතනය පටන් ආපසු පිළිවෙලින් ප්‍රථම ධ්‍යානය තෙක් ප්‍රතිලොම වශයෙන් නැවත නැවත සියදහස් වර සමවැදීම ධ්‍යාන පටිලොමය නමි.
- ධ්යානානු ලොම පටිලොමය:- ප්‍රථම ධ්‍යානය පටන් පිළිවෙලින් අනුලොම වශයෙන් නෙවසඤ්ඤානාසඤ්ඤායතනය දක්වා ද, නෙවසඤ්ඤානාසඤ්ඤායතනය පටන් ආපසු පිළිවෙලින් පටිලොම වශයෙන් ප්‍රථම ධ්‍යානය දක්වා ද සමවැදීම ධ්යානානු ලොම පටිලොමය නම් වේ.
- ධ්යානුක්කන්තිකය:- පඨවි කසිණයෙන් ප්‍රථම ධ්‍යානයට සමවැද එයින් නැගී තෘතිය ධ්‍යානයට ද, එයට අනතුරුව, එය උගුළුවා පඨවි කසිණයෙන් ම උපදවන ලද ආකාශය අනන්ත වශයෙන් පතුරුවා, එහි පරිකර්ම කොට ආකාසානඤ්චායතන ධ්‍යානයට ද සමවැද ඉක්බිතිව, එයින් ම ආකාසානඤ්චායතන විඤ්ඤාණයාගේ අභාවයෙහි පැවති ආකිඤ්චඤ්ඤායතන ධ්‍යානයට සමවදී. මෙසේ කසිණය නොඉක්මවා, ධ්‍යානය එකින් එක ඉක්මවීමෙන් සමවැදීම ධ්‍යාන උල්ලඞ්ගනය හෙවත් ධ්යානුක්කන්තිකය නම් වේ. ආපො කසිණ ආදියෙන් ද මේ ක්‍රමය වේ.
- කසිණුක්කන්තිකය:- පඨවි කසිණයෙන් ප්‍රථම ධ්‍යානයට සමවැද නැවත ආපො කසිණය හැර, තෙජො කසිණයෙන් ද ප්‍රථම ධ්‍යානයට සමවදී. එයට අනතුරුව වායො කසිණය හැර නිල කසිණයෙන් ද, අවසානයෙහි පීත කසිණය හැර ලොහිත කසිණයෙන් ද ප්‍රථම ධ්‍යානයට සමවදී. මෙසේ ධ්‍යානය උල්ලඞ්ගනය නොකොට කසිණ එකක් හැර එකකින් එකම ධ්‍යානයට සමවැදීම කසිණ උල්ලඞ්ගනය හෙවත් කසිණුක්කන්තිකය නම් වේ.
- ධ්‍යාන කසිණුක්කන්තිකය:- පඨවි කසිණයෙන් ප්‍රථම ධ්‍යානයට සමවැද, ආපො කසිණය හැර තෙජො කසිණයෙන් ද්විතිය ධ්‍යානය හැර තෘතිය ධ්‍යානයට සමවැද, වායො කසිණය හැර නීල කසිණයෙන් චතුර්ත්ථ ධ්‍යානය හැර නීල කසිණය උගුළුවා ආකාසානඤ්චායතන ධ්‍යානයට සමවැද, පීත කසිණය හැර ලොහිත කසිණය ආවර්ජනා කිරීමෙන් එය උගුළුවා ලබාගත් ආකාශය මෙනෙහි නොකොට එහි පැවති විඥානයාගේ අභාවය අරමුණු කිරීමෙන් ආකිඤ්චඤ්ඤායතන ධ්‍යානයට සමවදි. මෙසේ කසිණයෙන් හා ධ්‍යානයන් අතරතුර ඉක්මවීමෙන් සමවැදීම ධ්‍යාන කසිණ උල්ලඞ්ගනය හෙවත් ධ්‍යාන කසිණුක්කන්ති- කය නම්.
- අඞ්ගසඞ්කන්තිකය:- පඨවි කසිණයෙන් ප්‍රථම ධ්‍යානයට සමවැද පඨවි කසිණයෙන් ම ද්විතිය ධ්‍යාන, තෘතිය ධ්‍යාන, චතුර්ත්ථ ධ්‍යානය යන රූපාවචර ධ්‍යානයන්ට අඞ්ග පිළිවෙලින් සමවැදීම අඞ්ගසඞ්කන්තිකය නම්.
- ආරම්මණ සඞ්කන්තිකය:- පඨවි කසිණයෙන් ප්‍රථම ධ්‍යානයට සමවදනාසේ ආපො කසිණාදී වූ සියළු අට කසිණයෙන් ම එකම ධ්‍යානයකට ම සමවැදීම ආරම්මණ සඞ්කන්තිකය නම්.
- අඞ්ගාරම්මණ සඞ්කන්තිකය:- පඨවි කසිණයෙන් ප්‍රථම ධ්‍යානයට ද ආපො කසිණයෙන් ද්විතිය ධ්‍යානයට ද, තෙජො කසිණයෙන් තෘතිය ධ්‍යානයට ද, වායො කසිණයෙන් චතුර්ත්ථ ධ්‍යානයට ද, නීල කසිණය උගුළුවා ලබාගත් ආකාශය අරමුණු කොට ආකාසානඤ්චායතනයට ද, පීත කසිණයෙන් විඤ්ඤානඤ්චායතනයට ද, ලොහිත කසිණයෙන් ආකිඤ්චඤ්ඤායතනයට ද, ඕදාත කසිණයෙන් නේවසඤ්ඤානාසඤ්ඤායතනයට දැයි මෙසේ අඞ්ගයන්ගේ ද, ආලම්බනයන්ගේ ද එකිනෙක පැන සමවැදීම අඞ්ගාරම්මණ සඞ්කන්තිකය නම්.
- අඞ්ග වවත්ථාපනය:- ප්‍රථම ධ්‍යානය පඤ්චඞ්ගිකය හෙවත් විතක්ක, විචාර, පීති, සුඛ, එකග්ගතා යන අඞ්ග පසෙන් යුක්ත ය. ද්විතිය ධ්‍යානය තිවඞ්ගිකය හෙවත් පීති, සුඛ, එකග්ගතා යන අඞ්ග තුනෙන් යුක්ත ය. තතිය ධ්‍යානය දුවඞ්ගිකය හෙවත් සුඛ, එකග්ගතා යන අඞ්ග දෙකින් යුක්ත ය. චතුර්ත්ථ ධ්‍යානය ද දුවඞ්ගිකය හෙවත් උපෙක්ඛා, එකග්ගතා යන අඞ්ග දෙකින් යුක්ත ය, ආකාසානඤ්චායතනය, විඤ්ඤාණඤ්චායතනය, ආකිඤ්චඤ්ඤායතනය, නේවසඤ්ඤානාසඤ්ඤායතනය ද දුවඞ්ගිකය හෙවත් උපෙක්ඛා, එකග්ගතා යන අඞ්ග දෙකින් යුක්ත ය. මෙසේ ඒ ඒ ධ්‍යානයන් ගේ අඞ්ග මාත්‍රය ව්‍යවස්ථාපනය කිරීම අඞ්ග වවත්ථාපනය නම් වේ.
14. ආරම්මණ වවත්ථාපනය:- මේ පඨවි කසිණය, මේ ආපො කසිණය, මේ තෙජො කසිණය, මේ වායො කසිණය, මේ නීල කසිණය, මේ පීත කසිණය, මේ ලොහිත කසිණය, මේ ඕදාත කසිණය යයි මෙසේ ආලම්බන මාත්‍රය ම ව්‍යවස්ථාපනය කිරීම ආරම්මණ වවත්ථාපනය නම් වේ.
මේ තුදුස් ආකාරයෙන් සිත දමනය නොකොට, පෙර ආත්ම භාවයන්හි ධ්‍යාන වඩා පුරුද්දක් නැති, ආදිකර්මික යෝගාවචර තෙම, ඍද්ධිවිකුර්වණය සම්පාදනය කරන්නේ ය යන මේ කාරණය සිදු නොවේ ම ය. ආදිකර්මිකයාහට කසිණ පරිකර්මය හෙවත් උග්ගහ නිමිත්ත උපදනාතෙක් කසිණ මණ්ඩලයෙහි පිළිපැදීම ඉතා දුෂ්කර ය. භාවනා කරන සියදහස් ගණනින් එකෙකු ම උග්ගහ නිමිත්ත වඩා ගැනීමට සමර්ත්ථ වෙයි. කරණ ලද පරිකර්ම භාවනා ඇති යෝගාවචරයාහට පටිභාග නිමිත්ත උපදවා ගැනීම ද අති දුෂ්කර ය. සියදහස් ගණනින් එකෙකුම එයට සමත් වෙයි. උපදවා ගත් ඒ ප්‍රතිභාග නිමිත්ත වඩා අර්පණාව ලබා ගැනීම ඉතා දුෂ්කර ය. සියදහස් ගණනින් එකෙකු ම එයට ද සමත් වෙයි. එසේ අර්පණාව ලබාගත් යෝගාවචරයාහට යට කී තුදුස් ආකාරයෙන් සිත භාත්පසින් දමනය කර ගැනීම අති දුෂ්කර ය. සියදහස් ගණනින් එකෙකු ම එයට ද සමත් වෙයි. තුදුස් ආකාරයෙන් සිත දමනය කරගත් පුද්ගලයාහට ඍද්ධිවිකුර්වණය අතිශයින් දුෂ්කර ය. සියදහස් ගණනින් එකෙකු ම එයට සමත් වෙයි. ඍද්ධි විකුර්වණය ඇති පුද්ගලයාහට ද ඛිප්පනිසත්ති භාවය හෙවත් වහා වහා ධ්‍යානයට සමවැදීමේ සමර්ත්ථ භාවය ලබා ගැනීම ඉතා දුෂ්කර ය. සියදහස් ගණනින් එකෙකු ම එයට සමත් වෙයි.
පෙර මිහින්තලා පව්වේ අම්බස්ථලයෙහි වැඩසිටි මහා රොහණගුත්ත ස්ථවිරයන් වහන්සේට ගිලන් උපස්ථානයට පැමිණියා වූ තිස්දහසක් පමණ ඍද්ධිමතුන් වහන්සේ අතුරෙන් උපසම්පදාවෙන් අටවස් වූ බුද්ධරක්ඛිත ස්වාමීන් වහන්සේ, ඒ මහාරොහණගුත්ත තෙරණුවන්ට කැඳ පිළිගන්වමින් සිටි නාගරාජයා අල්වා ගැනීම පිණිස අහසින් බස්නා ගුරුළු රජු දැක එකෙණෙහි ම පර්වතයක් මවා නාරජු අතින් ගෙන ඒ පර්වතයට වැදුණේ ය. ගුරුළු රජ තෙමේ පර්වතයට පහරදී පලාගියේ ය. ඒ බුද්ධරක්ඛිත ස්ථවියරන් වහන්සේගේ සෘද්ධ්යානු භාවය දැක රොහණගුත්ත ස්ථවිරයන් වහන්සේ “ඇවැත්නී අද අපගේ සඞ්ඝ සභාවෙහි රක්ඛිත ස්ථවිරනම නොසිටියේ නම් නාරජු රැකගත නොහැක්කම්හ. අප හැම දෙන ම ගර්භාවට පත් වන්නමෝ යයි” කීසේක. තවද “සතුරන් දිනීමට යුද්ධ කරන යෝධ භටයන් මලනැති කඩු තෝමරාදිය ගෙන හැසිරෙන්නාසේ භික්ෂූන් විසින් ද කෙලෙස් සිඳීම පිණිස නිර්මල වූ ධ්යානාභිඥාදිය උපදවාගෙන විසිය යුතු යයි” අවවාද කළ සේක. ඒ අවවාදයෙහි පිහිටා තිස්දහසක් භික්ෂූහු බිප්පනිසන්ති වූහ. බිප්පනිසන්ති භාවය හෙවත් වහා ධ්‍යානයට සමවැදීමට සමත්වුව ද, අනුන්ට පැමිණි උපද්රවයේදී පිහිට වන බව අති දුෂ්කර ය. සිය දහස් ගණනින් එකෙක්ම එයට සමත් වේ.
පෙර ලක්දිව ගිරිභණ්ඩවාහන නම් මහා පූජාවෙක් විය. එහිදී සියලු චෛත්‍ය ගිරි ආදිය ද, ලක්දිව අවට යොදනක් පමණ තන්හි මහා සමුද්‍රයෙහි ද මහත් වූ ප්‍රදීප පූජාවෙකි. වසවර්ති මාරයා මහත් වූ අගුරු වැස්සක් මවා ඒ පූජාව හා මනුෂ්‍යයන් ද දවා අළුකරවන්නට තැත් කළ කල්හි, එක්තරා අභිඥාලාභී මහා තෙරනමක්, අගුරු වැස්ස වස්වන බව කලින් නොදැන ම, එය අහසින් පහළට බස්නා බව දුටු කෙණෙහිම, ඇසිපිය හෙළීමටත් පෙර, මද ඇසිල්ලකින් පාදක චතුර්ත්ථ ධ්‍යානයට සමවැද, විකුර්වණ සෘද්ධිය උදපවා, පෘථිවියක් මවා, එකම ගිනිපුපුරක්වත් මිනිසුන් කරා පැමිණෙන්නට නොදී අහස්හිම අගුරු වැස්ස නවතා ලූහ. මෙසේ අනුන්ට පැමිණි උපද්රවයේදී පිහිටවීම ඉතා දුෂ්කර වේ.
සෘවිද්ධ ඥානාදී ගුණ ධර්මයන්ට කාරණ වූ බලවත් පූර්වයෝග ඇති බුදු, පසේබුදු, ආර්ය්යශ්රාවකයනට මෙකී ක්‍රමයෙන් තොරව විදර්ශනා භාවනා පිළිවෙලින් ම අර්හත් ඵල ප්‍රතිලාභයෙන් ම, මේ සෘද්ධිවිකුර්වණය ද, අන්‍ය වූ ප්‍රතිසම්භිදා ඥාන, ස්ථානස්ථාන ඥානාදී ප්‍රභේද ඇති ගුණයෝ ද සමෘද්ධ වන්නාහ.
යම්සේ පළදනා ආභරණයන් කරණු කැමති රන්කරුවෙක් ගිනි පිඹිම් ආදියෙන් රන් මෘදුකොට වැඩට සුදුසු පරිදි සකස් කොට කැමැති ආභරණ සාදාගන්නේ ද, භාජන විශේෂයන් කරණු කැමති කුම්භකාරයෙක් මැටි තලා, අනා, මෘදු කොට භාජන කරත් ද, එ පරිද්දෙන් ම ආදි කාර්මික යෝගාවචර තෙම මේ තුදුස් ආකාරයෙන් සිත භාත්පසින් දමනය කොට ගෙන, ඡන්ද, චිත්ත, විරිය, විමංස යන සතර සෘද්ධිපාදයන් එකිනෙක මුල්කොට ගෙන සමවැදීම් වශයෙන් ද, ආවජ්ජන, සමාපජ්ජන, අධිට්ඨාන, වුට්ඨාන, පච්චවෙක්ඛණ යන පස් ආකාරයෙන් වසඟ බවට පැමිණවීමෙන් ද, සිත මොළොක් කොට කර්මණ්ය කොට, සෘද්ධිවිධ ඥානය ලබන පිණිස භාවනා කටයුතු. පූර්ව භේතු සම්පන්න පුද්ගලයා විසින් යම් කසිණයකින් චතුර්ත්ථ ධ්‍යානයක් පාදක කොට අභිඥා ඉපදවිය යුතු නම්, ඒ ධ්‍යානයෙහි ද පුරුදු කරණ ලද වශි භාවනා කැමති විය යුතු.
යම් ආකාරයකින් ඒ ඉද්ධිවිධ ඥානය සම්පාදනය කළ යුතු ද, ඒ ආකාරය දැක්වීම් වශයෙන් භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක, “සො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතුපක්කිලෙසෙ, මුදුභූතෙ, කම්මනියෙ ඨිතෙ, ආනෙඤ්ජප්පත්තෙ, ඉද්ධිවිධාය චිත්තං අභිනීභරති” ඒ අධිගමය කළ චතුර්ත්ථ ධ්‍යාන ඇති යෝගී තෙම ප්‍රථම ධ්‍යානාදී ක්‍රමයෙන් මෙසේ රූපාවචර චතුර්ත්ථ ධ්‍යානය ලැබ, චතුර්ත්ථ ධ්‍යාන සමාධියෙන් සිත සමාධිමත් වූ කල්හි, උපෙක්ඛා සතිපාරිශුද්ධියෙන් පිරිසිදු වූ කල්හි, පිරිසුදු වූ හෙයින් ම ප්‍රභාස්වර කල්හි, පහවූ රාගාදී අඞ්ගණ ඇති කල්හි, අනඞ්ගණ හෙයින් ම පහවූ උපක්ලේශ ඇති කල්හි, මනා කොට වඩන ලදුව වශී භාවයට පැමිණි කල්හි, මෘදු හෙයින් ම සෘද්ධිවිධ ඥාන කර්මයට යෝග්‍ය කල්හි මෙසේ පිරිසුදු ආදී බැව්හි සිටි කල්හි, ශ්‍රද්ධාදීන් පරිගෘහිත වන බැවින් නිශ්චල බවට පැමිණි කල්හි, ඉද්ධිවිධ ඥානය පිණිස සිත මෙහෙයයි. ශ්‍රද්ධායෙන් පරිගෘහිත වූ සිත හෙවත් ශ්‍රද්ධාවෙන් රුකුල් දෙන ලද සිත අශ්‍රද්ධාවෙන් නොසැලේ. වීර්‍ය්‍යයෙන් රුකුල් ලැබූ කල්හි කුසීත බැවින් නොසැලේ. ස්මෘතියෙන් රුකුල් ලැබූ කල්හි ප්‍රමාදයෙන් නොසැලේ. සමාධියෙන් රුකුල් ලැබූ කල්හි උද්ධච්චයෙන් නොසැලේ. ප්‍රඥායෙන් රුකුල් ලැබූ කල්හි අවිද්‍යායෙන් නොසැලේ. ප්‍රඥාලොකයෙන් රුකුල් ලැබූ කල්හි ක්ලේශාන්‍ධකාරයෙන් සිත නොසැලේ. මෙසේ මේ ශ්‍රද්ධාදී ධර්ම සයෙන් යුක්තව, රුකුල් දෙන ලද සිත නිශ්චල බවට පැමිණියේ වෙයි.
මෙසේ චතුර්ත්ථ ධ්‍යානයෙහි සිත පිහිටුවීම ය, පිරිසුදු බව ය, ප්‍රභාස්වර බව ය, අනඞ්ගණ බව ය, කෙලෙස් මලයෙන් පිරිසුදු බව ය, මෘදු බව ය, සෘද්ධි කර්මයට යෝග්‍ය බව ය, අචඤ්චල බව ය යන මේ අඞ්ග අටින් යුක්ත වූ චතුර්ත්ථ ධ්‍යාන චිත්තය සෘද්ධිවිධාදී අභිඥාවනට නැමීමට හා එයට අභිමුඛ කිරීමට ද යෝග්‍ය වේ.
තවද, චතුර්ත්ථ ධ්‍යාන සමාධීන් සමාහිත වූ කල්හි, ප්‍රථම ධ්‍යාන සමාධිගමයෙන් නීවරණ විෂ්කම්භන වන හෙයින් පිරිසුදු බව ද, ද්විතීය ධ්‍යානාදියෙන් විතර්කාදී ඖදාරිකාඞ්ග ප්රහාණය වන හෙයින් ප්‍රභාස්වර බව ද, ධ්‍යාන ලැබීමෙන් ඉච්ඡාවිඝාතාදීන්ගේ අභාවයෙන් අනඞ්ගණ බව ද, අභිධ්‍යා මායාදීන්ගේ අභාවයෙන් පහවූ උපක්ලේශ ඇති බව ද, පඤ්ච ප්‍රකාර වශී භාවයට පැමිණීමෙන් මෘදු බව ද, සෘද්ධිපාදයට ආසන්න බවට පැමිණීමෙන් කර්මණ්ය බව ද, භාවනා පරිපූර්ණ බවට පැමිණීමෙන් ස්ථිර බව ද යන මේ ක්‍රම අටකින් ද යුක්ත වූ කල්හි චතුර්ත්ථ ධ්‍යාන චිත්තය, අභිඥායෙන් ප්රත්යක්ෂ කටයුතු ධර්මය අභිඥා ප්රත්යක්ෂ කරණය පිණිස ද ආසන්න කාරණා වේ.
සෘද්ධිය:- අභිමතාර්‍ත්‍ථය නිපදවන අර්ත්ථයෙන් ද, අභිමතාර්‍ත්‍ථය ලැබීම් අර්ත්ථයෙන් ද, උපාය සම්පත්ති අර්ත්ථයෙන් ද, උපාය සම්පත්තියෙන් අදහස් කරන ලද ඵලය ලබාදෙන හෙයින් ද, අර්හත් මාර්ග ඵල ලැබීම් අර්ත්ථයෙන් ද ඉද්ධි නම් වේ.
මේ සෘද්ධිය දසවැදෑරුම් වේ. එනම්:-
- අධිට්ඨාන ඉද්ධිය
- විකුර්වන ඉද්ධිය
- මනොමය ඉද්ධිය
- ඤාණ විප්ඵාර ඉද්ධිය
- සමාධි විප්ඵාර ඉද්ධිය
- ආර්‍ය්‍ය ඉද්ධිය
- කර්මවිපාකජ ඉද්ධිය
- පුඤ්ඤවතො ඉද්ධිය
- විජ්ජාමය ඉද්ධිය
- සම්මාපයෝගපච්චය ඉද්ධිය.
1. අධිට්ඨාන සෘද්ධිය:- ප්‍රකෘතියෙන් එකලාවූයේ බොහෝ වෙමියි අධිෂ්ඨාන කරයි. සියයක් හෝ දහසක් හෝ ලක්ෂයක් හෝ බොහෝ වෙමියි ආවර්ජනා කොට අභිඥා නුවණින් අධිෂ්ඨාන කරයි. මෙසේ බෙදා දැක් වූ සෘද්ධිය අධිෂ්ඨාන වශයෙන් උපදවා ගන්නා ලද හෙයින් අධිෂ්ඨාන සෘද්ධි නම් වේ.
2. විකුර්වණ සෘද්ධිය:- විවිධ රූප නිර්මාණ සඞ්ඛ්‍යාත විකාර ස්වභාවය උපදවන හෙයින් විකුර්වණ නම්. යෝගාවචර තෙම තමාගේ ප්‍රකෘති වේශය අත්හැර කුමාර වේශයක් හෝ නාග, සුපර්ණ, යක්ෂ, රාක්‍ෂසාදි වූ කැමති වේශයක් නිර්මිත කොට දක්වයි. මේ සෘද්ධිය ප්රකෘතිවර්ණය හෙවත් ස්වභාවය දුරු කොට විකාර වශයෙන් පවත්නා හෙයින් විකුර්වණ සෘද්ධිය නම් වේ.
- මනෝමය සෘද්ධිය:- අභිඥාලාභී ඒ යෝගාවචර තෙම තමාගේ ප්‍රකෘති ශරීරාභ්‍යන්තරයෙන් ඔහු හා ඒකාන්තයෙන් සමවූ අඞ්ගප්‍රත්‍යඞ්ග සම්පූර්ණ වූ අන්‍ය රූපයක් අභිඥා සිතින් ම නිපදවීම මනෝමය සෘද්ධි නම් වේ.
- ඤාණ විප්ඵාර සෘද්ධිය:- අර්හත් මාර්ග ඥානය ලැබීමට පෙර විදර්ශනා අවස්ථාවෙහි හෝ එයට පෙර අන්තිම භවික පුද්ගලයාගේ ප්රතිසන්ධිය ගැනීමෙහි පටන් හෝ පසුව ස්කන්ධ පරිනිර්වාණය තෙක් හෝ අර්හත් මාර්ග ඥානය ලබන අවස්ථාවෙහි හෝ ඒ ඥානයාගේ ආනුභාවයෙන් හිරු උදාවන කල එය සිටි තැන හා ඒ අවට ආලෝක කිරීමට සමත් වන්නාසේ ප්‍රහීන කළ යුතු ධර්ම ප්රහාණය කිරීම හා වැඩිය යුතු ධර්ම භාවනායෙන් සම්පූර්ණ කිරීම යනාදි වශයෙන් උපදනා විශේෂය ඤාණ විප්ඵාර සෘද්ධිය නම් වේ.
ආයුෂ්මත් බක්කුල තෙරණුවෝ ළදරු අවස්ථාවෙහිදී නම් තබන මඞ්ගල දිනයෙහි, ගංගාවෙහි නාවන කල්හි, කිරිමවගේ ප්‍රමාදයෙකින් ගංගාවෙහි වැටුණේ, මත්ස්‍යයෙකු විසින් ගිලින ලද්දේ, බරණැස් තොටට පැමිණියේ ය. එහිදී මසුන් අල්වන්නෙක් ඒ මත්ස්‍යයා දැලින් අල්වා ගෙන ගොස් බරණැස සිටුභාර්ය්යාවට විකිණියේ ය. ඈ මත්ස්‍යයා දැක සතුටුව ඈ විසින් ම ඒ මත්ස්‍යයා කැපිය යුතු යයි සිතා කපද්දී කුසහොත් රන්රුවක් බඳු ළදරු කුමරා දැක “මම පුතකු ලදිමි” යි සොම්නස් වූ වාය. මෙසේ බක්කුල තෙරණුවෝ මත්ස්‍යයාගේ කුසයෙහි නිරෝගීව විසීම පශ්චිමභවික වූ ඒ පුද්ගලයාගේ ආත්මභාවයෙහි ලැබිය යුතු අර්හත් මාර්ග ඥානානුභාවයෙන් නිපන් හෙයින්, ඤාණ විප්ඵාර සෘද්ධිය යයි කියනු ලැබේ.
සංකිච්ච තෙරණුවන් වනාහි මව්කුස වසන කල්හි මව්තොමෝ කළුරිය කළාය. ඇගේ මළ සිරුර දරසෑයෙහි නංවා හුලෙන් ඇන දවන කල්හි ළදරුවාගේ ඇසෙහි හුල් කොණ ඇනී ළදරුවා ශබ්ද කෙළේය. එය අසා කුසහොත් ළදරුවා ජීවත් වන්නේ යයි දැන කුස පළා ළදරුවා රැගෙන මිත්තණියට දුන්නේ ය. ඇය ළදරුවා පෝෂණය කොට, වැඩිවිය පැමිණි කල්හි පැවිදි කරන ලදුව සිව්පිළිසිඹියා පත් රහත් බවට පැමිණි සේක. මෙසේ චිතකයෙහිලා දවන කල්හි නිරෝගීව විසීම ආයුෂ්මත් සංකිච්ච තෙරණුවන්ගේ ඤාණවිප්ඵාර සෘද්ධිය නම් වේ.
රජගහ නුවර එක්තරා දර වෙළෙන්දෙක් වනයෙන් දර කඩා ගැළ පුරවාගෙන සවස් වේලෙහි නගරය සමීපයට පැමිණ, ගොනුන් ලිහා භූතපාල නම් කුඩා ළදරුවා රථය සමීපයෙහි නිදිකරවා සිටියේ ය. පසුව ගොනුන් සොයනුයේ නගරය තුළට පිවිසි බව දැන ඔවුන්ගේ පා සටහනින් නගරය තුළට වන් කල්හි නුවර දොරටුව වැසිය. සැඩ පරුෂ ව්‍යාලමෘග යක්ෂාදීන් ගෙන් ගහන වූ පිට නුවරෙහි මුළු රැයක් ම නිරුපද්‍රැත ව හුදකලාව භූතපාල ළදරුවාගේ විසීම, එම අත් බැව්හි ම ලැබිය යුතු අර්හත් මාර්ග ඥානයාගේ ආනුභාවය කරණ කොට ගෙනවූ හෙයින් එය ඔහුගේ ඤාණවිප්ඵාර සෘද්ධිය නම් වේ.
- සමාධි විප්ඵාර සෘද්ධිය:- ප්‍රථම ධ්‍යානාදි සමාධි ලැබීමට පෙර උපචාර අවස්ථාවෙහි හෝ ලැබූ සමාපත්තිය පඤ්චවසිතාවන්ගේ වශයෙන් පුරුදු කළ පසු හෝ සමාධිය ලැබූ ක්ෂණයෙහි හෝ ඒ ඒ ධ්‍යාන සමාධි තේජසින් නීවරණ විෂ්කම්භනය, විතර්කාදී ධ්‍යානාඞ්ග ඉක්මවීම, සඤ්ඤාවෙදයිත නිරොධය හෙවත් නිරොධ සමාපත්තියට සමවන් කාලයෙහි උපද්‍රව නොපැමිණීමය යනාදී ආනුභාව විශේෂය සමාධි විප්ඵාර සෘද්ධිය නම්.
දිනක් සැරියුත් මහ තෙරණුවෝ, මුගලන් මහ තෙරුන් සමඟ කපොතකන්දරා නම් අරණ්‍ය විහාරයෙහි සඳ එලියෙන් බැබලි රාත්‍රියක අළුත කෙස් බහන ලද හිසින් යුක්ත ව අභ්‍යවකාශයෙහි වැඩහුන් කල්හි එක්තරා යක්ෂයෙක් අන්‍ය යහළු යක්ෂයෙකු සමග හැසිරෙන්නේ සැරියුත් මහ තෙරුන්ගේ හිසට පහරක් ඇන්නේ ය. ඒ පහර මේඝ ගර්ජනාවක් මෙන් ශබ්ද නැගී ය. සැරියුත් තෙරණුවෝ ද ඛිප්පනිසන්ති භාවයෙහි හෙවත් වහා ධ්‍යාන සමවතට සමවැදීමෙහි දක්ෂ බව ඇති හෙයින් ඒ ක්ෂණ යෙහි ම ධ්‍යානයට සමවැදුනෙන් ඒ පහරින් කිසිදු පීඩාවෙක් නොවී ය. මෙය වනාහී සැරියුත් මහ තෙරණුවන්ගේ සමාධි විප්ඵාර ඍද්ධිය නම් වේ.
එක්තරා රුකක් මුල නිරෝධසමාපත්තියට සමවැද නිශ්චලව වැඩහුන් සඤ්ජීව ස්ථවිරයන් වහන්සේ දුටු ගොපළු පිරිසක්, ඒ තෙරුන් වහන්සේ කළුරිය කළහයි සිතා, තණ, දර, ගෝමරිටි ආදිය රැස් කොට ගිනි තැබූහ. එතකුදු වුවත් ඒ ගින්න උන්වහන්සේගේ සිවුරු කොනක් වත් දවන්නට සමත් නොවී ය. සිරුර ගැන කියනුම කවරේ ද. මෙසේ ගින්නෙන් නොදැවීම සඤ්ජීව තෙරණුවන්ගේ අනුපූර්ව සමාපත්ති වශයෙන් පැවති ශමථානු භාවයෙන් නිපන් හෙයින් සමාධි විප්ඵාර ඍද්ධිය නම් වේ. නිරෝධ සමාපත්තියෙහි ආනුභාවය ගැන කවර කථා ද.
ඛාණුකොණ්ඩඤ්ඤ තෙරුන් වහන්සේ ප්‍රකෘතියෙන් ම සමාපත්ති බහුල කෙනෙකි. උන්වහන්සේ දිනක් රාත්‍රි කාලයෙහි එක්තරා අරණ්‍යයක සමාපත්තියට සමවැද වැඩහුන් සේක. එකල්හි පන්සියයක් පමණ වූ සොරු පිරිසක්, සොර බඩු පැහැර ගෙනයන්නේ එතැනට පැමිණ, දැන් අප ලුහුබඳුනාහු නැතැයි සළකා, ගිමන් හරිනු කැමතිව ඒ ඛාණුකොණ්ඩඤ්ඤ තෙරුන් කණුවෙකැයි සිතා, තෙරණුවන් මත බඩු පොදි සියල්ල තැබූහ. පසුව ගිමන් හැර යනු කැමතිවූ ඒ සොරු පිරිස බඩු පොදි නැවත ගන්නා කල්හි, පළමු තැබූ බඩු ගන්නා කෙණෙහි ම තෙරුන් වහන්සේ සමවතට සමවැදීමේදී නියම කරගත් කාල පරිච්ඡේදයත් අවසන් වූ හෙයින් සමවතින් නැගී සිටි සේක. තෙරුන් වහන්සේ සෙලවෙනු දුටු ඒ සොරු පිරිස භයවී යකෙකැයි සිතා පළායන්නට විය. තෙරණුවෝ ද, භය නොවව්, උපාසකවරුනි, මම භික්ෂුවෙමි යි කීසේක. එකල්හි ඔව්හු තෙරුන් වෙත පැමිණ වැඳ, උන්වහන්සේ කෙරෙහි පැහැද, මහණව, සිව්පිළිසිඹියා පත් රහත් බවට පැමිණියාහ. මෙසේ පන්සියයක් පමණ වූ බඩු පොදි වලට යටවී කිසිදු පීඩාවක් නොවීම ඒ තෙරුන්ගේ සමාධි විප්ඵාර සෘද්ධි නම් වේ.
පුණ්ණක සිටුහුගේ දුහිතෘ වූ උත්තරා උපාසිකා තොමෝ නිතර මෛත්‍රි වඩන කෙනෙකි. දිනක් සිරිමා නම් වූ ගණිකාවක් ඇය කෙරෙහි ඊර්ෂ්‍යාවෙන් කබලෙහි කකාළ තෙල් ඇගේ හිසෙහි වත් කළාය. උත්තරා උපාසිකා තොමෝ ද එකෙණෙහි ම මෛත්‍රි සමාධියට සමවත් හෙයින් පොකුරු පත දියත්තක් මෙන් තෙල් විසිර ගියේ ය. මෙසේ හුණු තෙලින් නොදැවීම උත්තරා උපාසිකාවගේ සමාධි විප්ඵාර සෘද්ධිය නම් වේ.
උදේනි රජහුගේ සාමාවති නම් අගමෙහෙසියක් විය. මාගන්දිය නම් වූ බමුණු තෙම තම දියණියන් අගමෙහෙසී බවට පත් කරනු කැමති ව රජහුගේ වීණායෙහි නාගයෙකු බහා “මහරජ, සාමාවතිය ඔබ මරණු සඳහා වීණායෙහි නාගයෙකු බහාලන ලදැයි” රජුහට කීය. රජ තෙමේ ද, එය දැක කිපී සාමාවතිය මරමියි දුන්න ගෙන විෂපෙවූ හීයෙකින් විදින්නට තැත් කෙළේය. පන්සියයක් පමණ පිරිවර සහිත වූ සාමාවතිය රජු කෙරෙහි ඕදිස්සක මෛත්‍රි සමාපත්තියට සමවැද මෛත්‍රිය පතුරුවමින් සිටියා ය. එකල්හි රජ තෙමේ ද හීය විදින්නට හෝ බහා තබන්නට හෝ නොහැකිව වෙව්ලමින් සිටියේ ය. එවිට දෙවිය “මහ රජ කිම, පෙළෙන්නෙහිදැ” යි ඇසුවාය. “එසේය පෙළෙන්නෙමැ” යි රජු කී කල්හි “එසේ නම් දුන්න බහා තබව” යි සාමාවතිය කීවාය. එකල්හි හීය පාමුලයෙහි ම පතිත විය. එවිට දේවිය නොකිපියාහට නොකිපෙවයි අවවාද කළාය. මෙසේ රජුට හීය විදිනා නොහැකිවීම සාමාවතියගේ සමාධි විප්ඵාර සෘද්ධි නම් වේ.
6. ආර්‍ය්‍ය සෘද්ධිය:- පටික්කුලතාදී අනිෂ්ටාරම්මණයෙහි අප්පටික්කුල සඤ්ඤීව විසීම ආර්‍ය්‍ය සෘද්ධි නම් වේ. ක්ෂීණාශ්රවයන් වහන්සේ පටික්කුලයෙහි අප්පටික්කුලව විසීම මැනවැයි සිතා ඒ පටික්කුල අරමුණෙහි අප්පටික්කුල සඤ්ඤීව වාසය කෙරේ. එසේම පටික්කුල අප්පටික්කුල අරමුණෙහි ෂඩඞ්ගොපෙක්ෂාවෙන් යුක්තව වාසය කෙරේ. මෙය රහතන් වහන්සේටම විෂය වන හෙයින් ආර්‍ය්‍ය සෘද්ධි නම් වේ. මේ ආර්‍ය්‍ය සෘද්ධියෙන් යුක්ත වූ ක්ෂීණාශ්රව භික්ෂු තෙමේ පිළිකුල් වූ අනිෂ්ට වූ වස්තුවෙහි මෛත්‍රිය පතුරුවමින් හෝ ධාතුමනසිකාර වශයෙන් හෝ වාසය කරන සේක. පිළිකුල් නොවූ ඉෂ්ට වස්තුවෙහි අශුභ වශයෙන් හෝ අනිත්‍ය වශයෙන් හෝ මෙනෙහි කරමින් පටික්කුල සඤ්ඤීව වාසය කෙරේ. එසේම පටික්කුල අප්පටික්කුල දෙක්හි මෛත්‍රිය පතුරුවමින් හෝ ධාතු මනසිකාර වශයෙන් හෝ අප්පටික්කුල සඤ්ඤීව වාසය කෙරේ. අප්පටික්කුල පටික්කුල දෙක්හි අශුභ වශයෙන් හෝ අනිත්‍යය මෙනෙහි කරමින් හෝ පටික්කුල සඤ්ඤීව වාසය කෙරේ. ඇසින් රූපයක් දැක ගේහසිත ප්‍රේම වශයෙන් සොම්නස් නොව, ප්‍රතිඝ වශයෙන් දොම්නස් නොව ඉෂ්ටානිෂ්ට සියලු අරමුණෙහි පිරිසුදු ප්‍රකෘතිය නොහැරීම ලක්ෂණ කොට ඇති ෂඩ්ද්වාරයෙහි පැවති ෂඩඞ්ගොපෙක්‍ෂාව යයි කියන ලද තත්රමධ්යස්ථතායෙන් යුක්තව හෝ වාසය කෙරේ. මේ චිත්ත වශී භාවය රහතන් වහන්සේට ම ලැබෙන හෙයින් එයට ආර්‍ය්‍ය සෘද්ධිය යි කියනු ලැබේ.
7. කර්මවිපාකජ සෘද්ධිය:- සියලු පක්ෂීන්ගේ ද, දෙවියන්ගේ ද, ආදිකල්පික ඇතැම් මනුෂ්‍යයන්ගේ ද, ඇතැම් විනිපාතිකයන්ගේ ද, අහසින් යාම, පිරිසුදු ඇස් ඇති බව යනාදිය කර්මවිපාකජ සෘද්ධි නම් වේ. මෙකී සත්ත්වයන්ගේ අහසින් යාම ආදිය අභිඥා පාදක ධ්‍යානයකින් හෝ උද්වේග ප්‍රීතිය සහිත වූ විදර්ශනාවකින් හෝ සිද්ධ වන්නෙක් නොවේ. එය කර්මවිපාකයාගේ වශයෙන් ලබන ලද සෘද්ධියකි.
8. පුණ්‍යවන්තයන්ගේ සෘද්ධිය:- චක්‍රවර්ති රජතෙම චතුරඞ්ගනී සේනාව ද, යටත්පිරිසෙයින් අස්ගොව්වන්, ගොපොල්ලන් ඇතුළු සියලු රජපිරිස් සමග අහසින් යාම යනාදිය පුණ්‍යවන්තයන්ගේ සෘද්ධිය වන බැවින් එයට පුඤ්ඤාවතො සෘද්ධිය යයි කියනු ලැබේ. මෙය මේරු පින් ඇති කල්හි සමෘද්ධ වන්නා වූ ආනුභාව විශේෂයකි.
ජොතිය නම් ගහපතිහට මාණික්‍යමය ප්‍රාසාදය හා සූසැටක් (64) කප්රුක් මහපොළොව පළාගෙන නැගීම ඔහුගේ පුණ්‍යවත් සෘද්ධි නම්.
ඡටිල නම් ගහපතිහට කොපමණ ගත්තේ වී නමුත් නොගෙවෙන අයුරින් ඝන රන් පර්වතයක් පැන නැගීම ඔහුගේ පුණ්‍යවත් සෘද්ධි නම් වේ.
ඝොෂිත නම් තැනැත්තා මරණු පිණිස සත් තැනෙක උපක්‍රම යෙදූ නමුත් කිසිදු දුකකට නොපැමිණ නිරෝගිව විසීම ඔහුගේ පුණ්‍යවත් සෘද්ධිය නම් වේ.
මෙණ්ඩක නම් තැනැත්තාට එක් කිරියක් පමණ තැන සත්රුවන්මුවා එළුවන් පැන නැගීම ඔහුගේ පුණ්‍යවත් සෘද්ධිය නම් වේ.
තවද මහා පිනැති පස්දෙනාගේ සෘද්ධිය ද පුණ්‍යවත් සෘද්ධිය නම් වේ. ඔවුන් අතුරෙන්.
මෙණ්ඩක සිටු තෙම ඉස්සෝදා නහා අහස බැලූ කල දොළොස්දහස් පන්සියයක් (12500) කොටුගුල් පුරවාලන පමණ රත්හැල් අහසින් බසියි.
ඔහුගේ භාර්‍ය්‍යාව වූ චන්ද්‍රා පද්ම ශ්‍රී දේවිය සහල් නැලියකින් පිසූ බත්ගෙන මුළු දඹදිව වැසියන් අනුභව කරවුවත් බත් නිමාවට නොයේ.
ඔහුගේ පුත්‍රවූ ධනඤ්ජය සිටාණෝ දහසින් බැඳි පියල්ලක් ගෙන මුළු දඹදිව වැසියන්හට බෙදා දුන් නමුත් එය නිමාවට නො පැමිණෙයි.
ඔහුගේ ලෙහෙලිය වූ සුමනා දේවිය එක් වී තිඹක් ගෙන මුළු දඹදිව් වැසියනට දුන ද නිමාවට නො පැමිණෙයි.
ඔහුගේ පූර්ණ නම් වූ දාසයා එක් නගුලක් ගෙන සෑකල්හි ඔබින් මොබින් සීවැල් සත බැගින් සීවැල් තුදුසක් (14) පෙනෙන්නේ ය. මේ මහා පිනැති පස්දෙනාගේ සෘද්ධිය නම් වේ.
- විජ්ජාමය සෘද්ධිය:- විද්යාධරාදීන්ගේ මන්ත්‍ර බලයෙන් අහසින් යාම් ආදිය විජ්ජාමය සෘද්ධි නම් වේ. විද්‍යාධරයෝ ගන්ධාර විද්‍යාදි විද්‍යා ජපකොට මන්ත්‍ර කියා ඒ ආනුභාවයෙන් අහසින් යෙති. අහස්හි ඇතුන් අසුන් ආදී සිව්රඟ සෙනඟ දක්වති. මෙය ඔවුන්ගේ විද්‍යාමය සෘද්ධිය නම්.
- සම්මාපයොග පච්චය සෘද්ධිය:- ඒ ඒ තන්හි සම්‍යක් ප්‍රයෝගයෙන් කැමති දෙය සමෘද්ධිවීම ඒ ඒ කටයුත්තෙහි මනාව යෙදීමට හේතු වන හෙයින් සම්මාපයොග පච්චය ඉද්ධි නම් වේ. නෛෂ්ක්‍රම්‍යයෙන් නොහොත් ප්‍රථම ධ්‍යානයෙන් කාමච්ඡන්ද ප්රහාණය කිරීම් නම් වූ අර්ත්ථය සිද්ධවන හෙයින් සෘද්ධි නම් වේ. රහත් මගින් සියලු කෙලෙසුන්ගේ ප්රහාණය කිරීම නම් වූ අර්ත්ථය සිද්ධ වන හෙයින් ද සෘද්ධි නම් වේ.
මේ ආදී වශයෙන් සම්‍යක් උපාය යෙදීම යයි කියන ලද ප්‍රතිපත්තියෙන් අභිමතාර්‍ත්‍ථය සිද්ධ කර ගැනීමට හැකි වන පරිදි පැවති ක්රමානුකූල ප්‍රතිපත්තියෙන් සමෘද්ධ වන හෙයින් සම්මාපයොග පච්චය සෘද්ධිය යයි කියනු ලැබේ. යම්කිසි ගණිත ගන්ධබ්බාදී ශිල්පයක් හෝ වෛද්‍ය කර්මයක් හෝ ඍග්වේදාදී ත්රිවේදය හෝ ත්‍රිපිටක ධර්මය හෝ ඉගෙණීමක් හෝ යටත්පිරිසෙයින් සීසෑම්, වැපිරීම් ආදිය පටන් ඒ ඒ කර්මාන්ත කොට හටගත් විශේෂය ඒ ඒ කටයුත්තෙහි සම්‍යක් ප්‍රයෝග ප්‍රත්‍යය යෙන් සමෘද්ධ වන හෙයින් ද සෘද්ධිය යයි කියනු ලැබේ.
මේ දශවිධ ඍද්ධීන් අතුරෙන් මෙහිදී සෘද්ධිවිධ ඥානය යන්නෙන් අදහස් කරණු ලබන්නේ අධිට්ඨාන සෘද්ධිය ය. විකුර්වණ සෘද්ධිය මනොමය සෘද්ධිය ද කැමති විය යුතු යයි ද කියන ලදී.
අධිට්ඨාන සෘද්ධිය
මෙසේ සෘද්ධිවිධ ඥානය ලබනු කැමති යෝගාවචර තෙම අනේකවිධ වූ ඍද්ධි කොට්ඨාසය නුවණින් මෙනෙහි කරයි. හෙතෙමේ ප්‍රකෘතියෙන් හුදකලාව සිට පසුව සිය දහස් ගණනින් බොහෝ වෙයි. බොහෝ ව එකෙක් වෙයි. එසේ වීමට පෙර ඔහු විසින්—
- ඍද්ධියට සුදුසු භූමි සතර ය,
- පිහිටීමට සුදුසු පාද සතර ය,
- හේතු වූ කාරණා හෙවත් පද අට ය,
- මුල් සොළොස ය යන මෙය සම්පාදනය කොට නුවණින් අධිෂ්ඨාන කොට ඍද්ධිය උපදවා ගත යුතු.
ප්‍රථම ධ්‍යානාදී ධ්‍යාන සතර භූමි සතර ය. ඒ මෙසේ යි:-
- ප්‍රථම ධ්‍යානය:- පඤ්චනීවරණයන්ගේ විෂ්කම්භණයෙන් හටගත් හෙයින් විවේකජ භූමි නම් වේ.
- ද්විතිය ධ්‍යානය:- ප්‍රීති, සුඛ, සහජාත හෙයින් පීති සුඛ භූමි නම්.
- තෘතිය ධ්‍යානය:- උපෙක්ඛා සුඛ සහජාත හෙයින් උපෙක්ඛාසුඛ භූමි නම්.
- චතුර්ත්ථ ධ්‍යානය:- උපෙක්ඛා සහජාත හෙයින් අදුක්ඛමසුඛ භූමි නම් වේ.
මේ සතර ධ්‍යානයෝ ඍද්ධිය ලැබීම පිණිස ද, ඍද්ධියගේ නැවත නැවත ලැබීම පිණිස ද, විවිධ රූප මැවීම නම් වූ ඍද්ධි විකුර්වණය පිණිස ද, නොයෙක් ආනිශංස ලැබීම නම් වූ ඍද්ධි-විසවිතාය පිණිස ද, ඛිප්පනිසන්ති භාවය හෙවත් වහා ධ්‍යානයට පැමිණීම් සඞ්ඛ්‍යාත වශීභාවය පිණිස ද, ප්රතිපක්ෂ ධර්මයන් දුරු කිරීමෙන් විසාරද බව පිණිස ද පිහිට වන බැවින් භූමි නම් වේ. ප්‍රථම, දුතිය, තතිය ධ්‍යානයන්ට සමවැදීමෙන් ක්‍රමයෙන් ප්‍රීතිය පැතිර වීමෙන් ද, සැප බවට පැමිණීමෙන් ද, සුඛ සංඥාව ලැබීමෙන් ද, සිත සැහැල්ලු බවට පැමිණීමෙන් ද සිත හාත්පසින් දමනය වේ. “එහෙයින් එයට සම්භාර භූමි යයි කියනු ලැබේ. චතුර්ත්ථ ධ්‍යානය සුවසේ ඍද්ධි ප්‍රතිලාභය පිණිස පවත්නා හෙයින් ප්‍රකෘති භූමි නම් වේ.
සතර පාදයෝ නම් ඍද්ධිපාදයෝ සතර දෙනා ය. ඒ සතර දෙනා නම්:-
- ඡන්දසමාධි පධාන සඞ්ඛාර සමන්නාගත ඉද්ධිපාදය,
- විරිය සමාධි පධාන සඞ්ඛාර සමන්නාගත ඉද්ධිපාදය,
- චිත්ත සමාධි පධාන සඞ්ඛාර සමන්නාගත ඉද්ධිපාදය,
- වීමංසා සමාධි පධාන සඞ්ඛාර සමන්නාගත ඉද්ධිපාදය.
මෙහි ඡන්ද සමාධිය නම් පූර්වභාගයෙහි පැවති කත්තුකම්‍යතා කුසලඡන්දය හේතුකොට ඇත්තා වූ චිත්තයාගේ එකග්රතාවය යි.
ප්‍රධාන වූ හෝ ශ්‍රේෂ්ඨ වූ හෝ චතුර්විධ වීර්‍ය්‍යය හෙවත් නූපන් අකුසල් නූපදීම පිණිස වෑයම් කිරීම ය, උපන් අකුසල් ප්රහාණය පිණිස වෑයම් කිරීම ය, නූපන් කුසල් ඉපදීම පිණිස වෑයම් කිරීම ය, උපන් කුසල් වැඩීම පිණිස වෑයම් කිරීම ය යන මේ ධර්මයෝ ප්‍රධාන සංස්කාරයෝ නම් වෙත්. අභිමතාර්‍ත්‍ථය සිද්ධකරන අර්ත්ථයෙන් ඍද්ධි නම් වූ අභිඥා සිතෙහි යෙදුණු ඡන්දසමාධි ප්‍රධාන සංස්කාරයන්ට ආධාරාර්ත්ථයෙන් සෙසු චිත්ත චෛතසික සමූහය පාදයක් වූයේනුයි ඉද්ධිපාද නම් වේ. එ බැවින් ඡන්දාදී ධර්මයන් ලබමින් සිටියහුගේ වේදනා, සඤ්ඤා, සඞ්ඛාර, විඤ්ඤාණ යන සතර නාමස්කන්‍ධයෝ ඍද්ධිපාද නම් වෙත්. මෙසේ ඡන්ද සමාධියෙන් හා ප්‍රධානසංස්කාරයෙන් යුක්ත වූ ඍද්ධිපාදය, ඡන්ද සමාධි පධාන සඞ්ඛාර සමන්නාගත ඉද්ධිපාදය නම් වේ. මෙ පරිද්දෙන් ම විරිය සමාධියෙන් හා ප්‍රධාන සංස්කාරයෙන් යුක්ත වූ ඍද්ධිපාදය, විරිය සමාධි පධාන සඞ්ඛාර සමන්නාගත ඉද්ධිපාදය යයි ද, චිත්ත සමාධියෙන් හා ප්‍රධාන සංස්කාරයෙන් යුක්ත වූ ඍද්ධිපාදය, චිත්ත සමාධි පධාන සඞ්ඛාර සමන්නාගත ඉද්ධිපාදය යයි ද, වීමංසා හෙවත් ප්‍රඥා සමාධියෙන් හා ප්‍රධාන සංස්කාරයෙන් යුක්ත වූ ඍද්ධිපාදය, වීමංසා සමාධි පධාන සඞ්ඛාර සමන්නාගත ඉද්ධිපාදය යයි ද දත යුතු. මේ සතර ඍද්ධිපාදයෝ ඍද්ධියගේ විසාරද බව පිණිස පවතිත්.
ඉද්ධි ප්‍රතිලාභය පිණිස පවත්නා ඡන්දාදී සතර ද, ඒ සතර හා යෙදුණු එකග්ගතා සතර ද යන අට දෙන ඉද්ධිපද නම් වෙත්. ඡන්ද සමාධිය යයි කී කල්හි ඡන්දය සමාධි නම් නොවේ. එසේම සමාධිය ඡන්දය නොවේ. ඡන්දය එක් ධර්මයෙක. සමාධිය එක් ධර්මයෙක. මෙසේ ම විරිය සමාධිය යයි කී කල්හි විරිය එක් ධර්මයෙක, සමාධිය එක් ධර්මයෙක. චිත්ත සමාධිය යයි කී කල්හි චිත්තය එක් ධර්මයෙක, සමාධිය එක් ධර්මයෙක, වීමංසා සමාධිය යයි කී කල්හි වීමංසාව හෙවත් ප්‍රඥාව එක් ධර්මයෙක, සමාධිය එක් ධර්මයෙක. මෙසේ ඉද්ධිපදයෝ අට දෙනෙක් වෙති. ඡන්දය සමාධියෙන් වෙන් ව ද, සමාධිය ඡන්දයෙන් වෙන් ව ද සෘද්ධිය නිපදවීමට අසමර්ථ වන හෙයින් ඉද්ධිපද නොවේ. නමුත් එක් ව උපදනා ඡන්දාදී සතර හා එකග්ගතා සඞ්ඛ්‍යාත සමාධිය ද සෘද්ධි ප්‍රතිලාභයට සමත් වන හෙයින් ඉද්ධිපද නම් වෙත්.
ධ්‍යාන සිත ආනෙඤ්ජතායෙන් හෙවත් නොසැලෙනසේ පවත්නා ධර්ම සොළොස, සොළොස් මූල නම් වෙත්.
ඒ සොළොස් ධර්මයෝ නම්:-
- වීර්‍ය්‍යයෙන් වඩනා සිත කොසජ්ජයෙන් හෙවත් කුසීත බැවින් නොනැමුණු හෙයින් ආනෙඤ්ජ නම් වේ.
- සන්සුන් වූ සිත උද්ධච්චයෙන් උද්ධට නොනගන ලද හෙයින් ආනෙඤ්ජ නම් වේ.
- අරමුණෙහි නොඇලුණු සිත රාගයෙන් නොසැලෙන හෙයින් ආනෙඤ්ජ නම් වේ.
- ක්‍රෝධයෙන් දූෂණය නොවූ සිත ව්‍යාපාදයෙන් නොසැලෙන හෙයින් ආනෙඤ්ජ නම් වේ.
- දිට්ඨියෙන් අල්වා නොගන්නා ලද සිත මිථ්‍යාදෘෂ්ටියෙන් නොසැලෙන හෙයින් ආනෙඤ්ජ නම් වේ.
- ඡන්දරාගයෙන් නොබැඳුණු සිත ඡන්දරාගයෙන් නොසැලෙන හෙයින් ආනෙඤ්ජ නම් වේ.
- කාමරාගයෙන් මිදුණු සිත කාමරාග නිමිත්තෙන් නොසැලෙන හෙයින් ආනෙඤ්ජ නම් වේ.
- සතර යෝගයන් ගෙන් වෙන් වූ සිත කෙලෙස් නිමිත්තෙන් නොසැලෙන හෙයින් ආනෙඤ්ජ නම් වේ.
- ස්වල්ප වූ කෙලෙස් කොටසින් නොසැලෙන සිත කෙලෙස් සීමාවෙන් කම්පා නොවන හෙයින් ආනෙඤ්ජ නම් වේ.
- එකග බවට පැමිණි සිත නොයෙක් කෙලෙසුන් ගෙන් නොසැලෙන හෙයින් ආනෙඤ්ජ නම් වේ.
- ශ්‍රද්ධායෙන් රුකුල් දෙන ලද සිත අශ්‍රද්ධාවෙන් නොසැලෙන හෙයින් ආනෙඤ්ජ නම් වේ.
- වීර්‍ය්‍යයෙන් රුකුල් දෙන ලද සිත කුසීත බැවින් නොසැලෙන හෙයින් ආනෙඤ්ජ නම් වේ.
- ස්මෘතියෙන් රුකුල් දෙන ලද සිත ප්‍රමාදයෙන් නොසැලෙන හෙයින් ආනෙඤ්ජ නම් වේ.
- සමාධියෙන් රුකුල් දෙන ලද සිත උද්ධච්චයෙන් නොසැලෙන හෙයින් ආනෙඤ්ජ නම් වේ.
- ප්‍රඥාවෙන් රුකුල් දෙන ලද සිත දුර්වල අවිද්‍යාවෙන් නොසැලෙන හෙයින් ආනෙඤ්ජ නම් වේ.
- ඔභාසගත සිත අවිද්යාන්ධකාරයෙන් නොසැලෙන හෙයින් ආනෙඤ්ජ නම් වේ.
මෙකී සොළොස් ධර්මයෝ ඍද්ධිහුගේ නොසැලීම පිණිස පවත්නා හෙයින් සෘද්ධි මූලයෝ නම් වෙත්.
යෝගාවචර තෙම ඍද්ධිය ලැබීමට උපකාර වන මූල ධර්මයන් මෙසේ සකස් කොට, අභිඥාපාදක චතුර්ත්ථ ධ්‍යානයට සමවැද එයින් නැගී සියයක් වනු කැමති නම් සියයක් වෙමියි කාමාවචර සිතින් මෙනෙහි කිරීමෙන් පරිකර්ම කොට නැවත ආවර්ජනා කොට අභිඥාපාදක චතුර්ත්ථ ධ්‍යානයට සමවැද, එයින් නැගී, සියයක් වෙමියි අධිෂ්ඨාන කරයි. ඒ අධිෂ්ඨාන චිත්තය හා සමඟම සියයක් වේ. මෙසේ දහසක් වනු කැමති නම් මේ ක්‍රමය ම පිළිපැදිය යුතු. මෙයින් අභිමතාර්‍ත්‍ථ සිද්ධිය නොවූයේ නම්, නැවත නැවත පරිකර්ම කොට අභිමතාර්‍ත්‍ථය සිද්ධ වන තෙක් අධිෂ්ඨාන කළ යුතු.
මහාපන්ථක, චූලපන්ථක යයි දෙබෑ කෙනෙක් වූහ. පන්ථයෙහි හෙවත් මාර්ගයෙහි උපන් හෙයින් පන්ථක නම් විය. වැඩිමහලු මහාපන්ථක තෙම මහණව සිව්පිළිසිඹියාපත් රහත් බවට පැමිණි සේක. උන්වහන්සේ පසුව චූලපන්ථක යන් ද මහණ කරවා-
“පදුමං යථා කොකනදං සුගන්ධං
පාතොසියා ඵුල්ල මවීත ගන්ධං
අඞ්ගීරසං පස්ස විරොචමානං
තපන්ත මාදිච්ච මිවන්තලික්ඛෙ.”
යන මේ ගාථාව ඉගෙණීමට භාර කළ සේක. එහි අදහස නම්, කොකනද නම් වූ බොහෝ පෙති ඇති, මනා සුවඳ ඇති හෙළපියුම හිරු උදාවන කල්හි යම්සේ සුගන්ධයෙන් වෙන් නොවී බබලා ද, එපරිද්දෙන් ම ශරීර ගන්ධයෙන් හා ගුණ ගන්ධයෙන් ද සුගන්ධ ඇතිව සරත් කාලයෙහි අහසෙහි බබලන සූර්ය්යා මෙන් තමන්වහන්සේගේ තේජසින් යුක්තව බබලන්නා වූ අඞ්ගිරස නම් සම්මා සම්බුදුන් වහන්සේ බලව” යනු යි. චූලපන්ථක තෙමේ සාරමසක් (4) උත්සාහ කළ නමුත් මේ ගාථාව ඉගෙණීමට අසමත්ථ විය. මහාපන්ථක තෙරණුවෝ ඔහු කැඳවා, “ඇවැත්නි, මේ ශාසනය ප්‍රතිපත්ති සාරය. ප්‍රතිපත්ති පර්‍ය්‍යාප්තිය මුල් කොට ඇත්තේ ය. ඔබ ඒ පර්‍ය්‍යාප්තිය ඉගෙණීමට අසමත්ථය. එහෙත් මේ ශාසනයෙහි නුඹ අභව්යයෙකැ”යි විහාරයෙන් බැහැර කර වූ සේක. එකල මහාපන්ථක ස්ථවිරයන් වහන්සේ භත්තුද්දෙසක තනතුර ලැබ සිටි සේක. ජීවක තෙම විහාරයට පැමිණ, “ස්වාමීනි, සෙට දින භාග්‍යවතුන් වහන්සේත් සමඟ පන්සියයක් පමණ භික්ෂූන් වහන්සේ ගෙන අප නිවසට භික්ෂාව පිණිස වඩින සේක්වා” යි ආරාධනා කෙළේය. ස්ථවිර තෙමේ ද චුල්ලපන්ථක තෙරුන් හැර අනික් බුදුපාමොක් සංඝයා වෙනුවෙන් ආරාධනය පිළිගත් සේක. චුල්ලපන්ථක තෙමේ ද වැඩිමහළු තෙරුන් කළකිරුණු බව දැන විහාර දොරටුවට විත් හඬමින් සිටියේ ය. භාග්‍යවතුන් වහන්සේ ඒ බව දිවැසින් දැක එතැනට වැඩ, “කුමක් හෙයින් හඬන්නේදැ” යි ඇසූ සේක. චුල්ලපන්ථක තෙමේ ද සියලු පවත් දැන්වූයේ ය. “සජ්ඣායනා කිරීමට නොහැකි වූ පමණින් මාගේ ශාසනයෙහි අභව්යයෙක් නම් නොවේ. භික්ෂුව නොහඬවයි,” වදාරා, එතැනින් බැහැර කොට ගෙන විහාරයට ගොස් ඍද්ධියෙන් මැවූ පිරිසුදු රෙදි කඩක් අතට දී මෙය පිරිමදිමින් “රජො භරණං, රජො භරණං” යයි නැවත නැවත සජ්ඣායනා කරව යි වදාළ සේක උන්වහන්සේ ද ඒ රෙදිකඩ පිරිමැදීමේ දී අත තිබූ ඩහදිය ගෑවීමෙන් කිලුටු වූ බව දැක “මේ රෙදිකඩ පිරිසුදු ය, එහි දොසක් නැත. දෝෂය ඇත්තේ මාගේ අතෙහි ය” යනාදී වශයෙන් සංඥාව ලැබ පඤ්චස්කන්ධයෙහි දොස් දැකීමේ නුවණ උපදවා විදර්ශනා වඩා පිළිවෙලින් අනුලොම ගොත්රභූ ඥානය සමීපයට සිත පැමිණි කල්හි භාග්‍යවතුන් වහන්සේ ආලෝකය පතුරුවා මේ ගාථා වදාළ සේක:-
“රාගො රජො න ච පන රෙණු වුච්චති
රාගස්සෙතං අධිවචනං රජොති
එතං රජං විප්පජහිත්ව පණ්ඩිතා
විහරන්ති තෙ විගතරජස්ස සාසනෙ.”
“දොසො රජො න ච පන රෙණු වුච්චති
දොසස්සෙතං අධිවචනං රජොති
එතං රජං විප්පජහිත්ව පණ්ඩිතා
විහරන්ති තෙ විගත රජස්ස සාසනෙ.”
“මොහො රජො න ච පන රෙණු වුච්චති
මොහස්සෙතං අධිවචනං රජොති
එතං රජං විප්පජහිත්ව පණ්ඩිතා
විහරන්ති තෙ විගත රජස්ස සාසනෙ.”
මෙහි අර්ථය නම්:-
රාගය රජසය. මේ ආර්‍ය්‍ය විනයෙහි ධූලි රජසැයි නොකියයි. රාගයට රජසයයි විශිෂ්ට නමෙකි. සිත කිලුටු කරන හෙයින් මේ රාග රජස ආර්‍ය්‍ය මාර්ගඥානයෙන් පහ කොට ආර්‍ය්‍යයන් වහන්සේලා වීතරජස්ක සර්වඥ ශාසනයෙහි සිත් අලවා වෙසෙති.
එසේම ද්වේෂය ද රජස් වෙයි, මෝහය ද රජස් වෙයි.
මේ ගාථා දේශනාවසානයෙහි චුල්ලපන්ථක ස්ථවිරයන් වහන්සේ සිව්පිළිසිඹියා හා ෂඩභිඥාලාභීව අර්හත්ත්වයට පැමිණි සේක. දෙවන දවස්හි භාග්‍යවතුන් වහන්සේ, භික්ෂුසංඝයා වහන්සේ සමඟ ජීවකයාගේ නිවසට වැඩිසේක්, ජීවකයා වඩාහිඳුවා දක්ෂිණොදකය පිරිනැමූ කල අතින් පාත්‍රය වැසූ සේක. ජීවක තෙම ඒ කිම් දැයි විචාළේය. එවිට භාග්‍යවතුන් වහන්සේ, “උපාසකය, විහාරයෙහි එක් භික්ෂුවක් ඇතැයි” වදාළහ. ජීවක තෙමේ “විහාරයෙහි වූ භික්ෂුව වහා කැඳවා ගෙන එව” යි පුරුෂයෙකු යැවී ය. බුදුරජාණන් වහන්සේ විහාරයෙන් වැඩි පසු චුල්ලපන්ථක ස්ථවිරයන් වහන්සේ තමා වැනි රූප දහසක් අභිඥාපාදක සිතින් මවාගෙන, රම්‍යවූ ඒ අඹ වනයෙහි කල් දන්වන තෙක් වැඩ සිටි සේක. විහාරයට පැමිණි ඒ පුරුෂයා කාෂාය වස්ත්‍රයෙන් බබලන විහාරය දැක ආපසු ඇවිත් ඒ බව දන්වා ඒ භික්ෂුව කවරෙක් දැයි නොදනිමි යි කීය. භාග්‍යවතුන් වහන්සේ ඔහුට කථා කොට, “නුඹ නැවත විහාරයට ගොස් පළමු දුටු භික්ෂුවගේ සිවුරු කොණ අල්වා, “බුදුන්වහන්සේ ඔබවහන්සේ ඇමතූහයි කියවයි” වදාළහ. හෙතෙමේ ද වෙහෙරට ගොස් පළමු දුටු තෙරුන්වහන්සේගේ සිවුරු කොණ අල්ලා ගත් කල නිර්මිත කළ සියලු දෙනාම අතුරුදන් වූහ. තෙරුන්වහන්සේ ද ඔහු යවා මුව දෝවනාදී ශරීරකෘත්යයන් නිම කොට ඔහුට පෙරටුව වැඩ පණවන ලද අසුන්හි වැඩහුන් සේක.
ඒ නිර්මිත භික්ෂුහු වර්ණ, ශරීරාවයව, පරිෂ්කාර, ක්‍රියා විශේෂාදීන් නියම නොකොට මැවූ හෙයින් ඍද්ධිමතුන් හා සමාන වෙති. සිටීම් හිඳීම් ආදීවූ ද, කථා කිරීම්, තුෂ්ණීම් භූතවීම් ආදී වූ ද ඍද්ධිමතුන් කරන ක්‍රියාවන් නිර්මිත භික්ෂුහු ද කෙරෙත් මැයි.
ඉදින් නා නා වර්ණාදි වශයෙන් නිර්මිත කරණු කැමති වේ නම් එනම්:- ඇතැම් කෙනෙකුන් ප්‍රථම වයස්හිවූවන් මෙන් ද, ඇතැම් කෙනෙකුන් මධ්‍යම වයස්හිවූවන් මෙන් ද, ඇතැම් කෙනෙකුන් පශ්චිම වයස්හිවූවන් මෙන් ද, ඇතමෙක් දික් වූ කෙස් ඇතියවුන් මෙන් ද, ඇතැම් කෙනෙකුන් හිස මුඩු කළවුන් මෙන් ද, ඇතැම් කෙනෙකුන් කළ කෙස් ඇතියවුන් මෙන් ද, ඇතැම් කෙනෙකුන් මනාව රඳු සිවුරු ඇත්තවුන් මෙන් ද, ඇතැම් කෙනෙකුන් මදක් රඳු සිවුරු ඇත්තවුන් මෙන් ද, ඇතැම් කෙනෙකුන් පද කියන්නවුන් මෙන් ද, ඇතැම් කෙනෙකුන් අර්ත්ථ කියන්නවුන් මෙන් ද, ඇතැම් කෙනෙකුන් උස් ස්වරයෙන් කියන්නවුන් මෙන් ද, ඇතැම් කෙනෙකුන් ප්‍රශ්න කරන්නවුන් මෙන් ද, ඇතැම් කෙනෙකුන් ප්‍රශ්න විසඳන්නවුන් මෙන් ද, ඇතැම් කෙනෙකුන් පඬු පිසනවුන් මෙන් ද, ඇතැම් කෙනෙකුන් පඬුපොවන්නවුන් මෙන් ද, ඇතැම් කෙනෙකුන් සිවුරු මසන්නවුන් මෙන් ද යනාදී වශයෙන් මවනු කැමති නම් - ඔහු විසින් පළමු කොට පාදක ධ්‍යානයට සමවැද එයින් නැගී මෙතෙක් භික්ෂුහු ප්‍රථම වයස්හි වූවාහු වෙත්වා යනාදී වශයෙන් පරිකර්මකොට නැවත සමාපත්තියට සමවැද එයින් නැගී අධිෂ්ඨාන කළ යුතු. ඒ අධිෂ්ඨාන සිත හා සමඟම කැමති කැමති ආකාරම වේ.
බොහෝවැ එකකුවීමෙහි ද මේ ක්‍රමය ම වේ. එහි විශේෂය නම්:- මේ භික්ෂුව මෙසේ බොහෝ කොට මවා නැවත එකකුව සක්මන් කරමැයි කියා හෝ සජ්ඣායනා කරමැයි කියා හෝ ප්‍රශ්න අසමියි කියා හෝ මේ භික්ෂූන් ස්වල්ප දෙනෙකුන් ඇති විහාරයෙක, කෙසේ බොහෝ වී ද, ඒකාන්තයෙන් මෙය ආර්‍ය්‍යයන් වහන්සේගේ ආනුභාවයකැ යි සිතා මා හැඳින ගනිතැ යි, අල්පෙච්ඡ බැවින් හෝ එකෙක් වන්නෙමැයි කැමති වන්නාහු විසින් පාදක චතුර්ත්ථ ධ්‍යානයට සමවැද එයින් නැගී “එකෙක් වෙමි” යි පරිකර්ම කොට නැවත ධ්‍යානයට සමවැද, එයින් නැගී එකෙක් වෙමි යි අධිෂ්ඨාන කළ යුතු. ඒ අධිෂ්ඨාන සිත හා සමගම එකෙක් වේ. මෙසේ නොකෙළේවී නමුත් කාල නියමයක් ඇතිව අධිෂ්ඨාන කරන හෙයින් ඒ කාලය ගතවීම සමගම බොහෝ කොට නිර්මිත කළ රූප අතුරුදන් වෙයි.
තවද මේ ඍද්ධිවිධ ඥානය උපදවාගත් පුද්ගලයාහට කැමති කල්හි ආවිභාවය හෝ තිරොභාවය උපදවාගත හැකිවේ. ආවිභාවය නම් හිත්ති පවුරු ආදී කිසිවෙකින් මුවහ නොවී, පිළිසන් නොවී, විවෘතව ප්රකටවීමයි. තිරොභාවය නම් හිත්ති පවුරු ආදී කිසිවකින් මුවහවී පිළිසන්වී, වසන ලද ආකාරයෙන් හෝ මුනින් වසන ලද ආකාරයෙන් හෝ අප්‍රකට වීමයි. එසේ ප්‍රකට කරනු කැමති යෝගාවචර තෙම පාදක ධ්‍යානයට සමවැද එයින් නැගී “මේ අන්ධකාර තැන ආලෝක වේවා”යි කියා හෝ “මේ මුවහවූ දැය ප්‍රකට වේවා”යි කියා හෝ “මේ දුර වූ දැය ළංවේවා”යි කියා හෝ යනාදී වශයෙන් කැමති පරිද්දෙන් ආවර්ජනා කොට, පරිකර්ම භාවනා කොට අධිෂ්ඨාන කරයි. ඒ අධිෂ්ඨානයට අනතුරුව ම එසේ ම වන්නේ ය.
භාග්‍යවතුන් වහන්සේ, චූලසුභද්රාවගේ ආරාධනය පිළිගෙන, සැවැත් නුවර සිට සාකෙත නුවරට වඩනට වන් කල්හි සක්දෙව් රජහුගේ නියමයෙන් විස්කම් දෙව්පුත් තෙමේ සත්යොදුනක් පමණ වූ මාර්ගයෙහි පන්සියයක් පමණ වූ කුළු ගෙවල් මැවී ය. බුදුන්වහන්සේ ද එහි වැඩ සිට සාකෙත නුවර වැස්සන් විසින් සැවැත් නුවර වැස්සන් ද, සැවැත් නුවර වැසියන් විසින් සාකෙත නුවර වැසියන් ද ඔවුනොවුන් දක්නාසේ අධිෂ්ඨාන කළ සේක. සාකෙත නුවර මැදට වැඩ පොළොව දෙබේකොට අවීචි මහනිරය තෙක් දැක්වූ සේක. ආකාශය දෙබේකොට එහි වූ විමානයන් ද, බඹලොව තෙක් දැක්වූ සේක.
දේවෝරෝහණයෙහි ද මේ කාරණය ප්‍රකට වේ. අපගේ භාග්‍යවතුන් වහන්සේ යමක මහා ප්‍රාතිභාර්ය්‍ය පවත්වා අසූසාරදහසක් ප්‍රාණීන් සංසාර බන්ධනයෙන් මුදවා, අතීත බුදුවරු යමාමහ පෙළහර දවස්හි පෙළහර කොට කොහි වැඩි සේක් දැයි ආවර්ජනා කරණු යේ, තව්තිසා භවනයට වැඩි බව දුටු සේක. අප බුදුරජාණන් වහන්සේ ද එක් පියවරක් පොළොවෙහි තබා දෙවන පියවර යුගන්ධර පර්වත මුදුනෙහි තබා නැවත පළමු පියවර ගෙන මහමේරු පර්වත මස්තකයෙහි තබා එහි වූ පණ්ඩුකම්බල ශෛලාසනයෙහි වස් සමාදන් ව එහි රැස්වූ දසදහසක් සක්වළ දෙව් බඹුන්හට අභිධර්ම දේශනාව මුල පටන් දේශනා කරන්නට ආරම්භ කළ සේක. භික්ෂාවාර වේලාවෙහි නිර්මිත බුදු කෙනෙකුන් මවා ඒ බුදුහු මෙතෙක් ධර්ම දෙසත්වායි අධිෂ්ඨාන කොට නාගලතා දැවටි දඬු වළඳා අනවතප්ත විලින් මුව දොවා, උතුරුකුරු දිවයිනට පිඬු සිඟා වැඩ අනවතප්ත විල් ඉවුරෙහි වැඩහිඳ දන් වළඳති. සැරියුත් මහා තෙරණුවෝ එතැනට වැඩ බුදුන් වැඳි කල්හි “අද මෙතෙක් දම් දෙසීමි”යි නය ක්‍රමය උන්වහන්සේට වදාරති. මෙසේ භාග්‍යවතුන් වහන්සේ නොකඩ කොට තුන්මසක් මුළුල්ලෙහි අභිධර්ම දේශනා කළ සේක. ඒ ධර්මය, ඇසූ අසූකෙළක් පමණ දෙවියන්ට ධර්මාභිසමය වූහ. යමාමහ පෙළහර දවස්හි දොළොස් යොදුනක් පමණ තැන් රැස්ව සිටි පිරිස බුදුන් වහන්සේ දැකම යන්නෙමු යි කඳවුරු බැඳ එහි ම සිටියාහ. අනේපිඬු සිටාණන්ගේ බාල සොහොයුරු වූ චුල්ල අනේපිඬු සිටාණෝ ඒ පිරිසට සියලු ප්‍රත්‍යයෙන් උපස්ථාන කළෝ ය. මහාජනයා ද භාග්‍යවතුන් වහන්සේ කොහි වැඩිසේක් දැයි දැනගනු කැමතිව අනුරුඩ මහතෙරුන් අයැද සිටියාහ. අනුරුද්ධ තෙරණුවෝ ද ඔදාත කසිණයට සමවැද ආලෝකය පතුරුවා දිවැසින් බලා වස්විසීම සඳහා දෙව්ලොව වැඩි බව දැක මහාජනයාට ඒ බව ප්‍රකාශ කළ සේක. මහජන තෙමේ බුදුන් දැක වඳිනු කැමතිව ඒ බව මහමූගලන් මහ තෙරුන්ට කීහ. මුගලන් මහතෙරණුවෝ ද ඒ පිරිස මැද මහා පොළොව කිමිද මහාජනයාට පෙනෙන සේ මහාමේරු පර්වතය විනිවිදගෙන තථාගත පාදමූලයෙහි බුදුන් පා වඳිමින් ම පාමුලින් නැගී බුදුන්වහන්සේට මෙසේ සැල කළ සේක, “භාග්‍යවතුන් වහන්ස, ජම්බුද්විපවාසීහු බුදුන් දැක වැඳම යන්නමෝ යයි කියා සිටිනාහ.” කීහ. එකල්හි බුදුහු “මොග්ගල්ලානය, ඔබගේ දෙටු බෑ දම්සෙනෙවි මහසැරියුත් තෙරණුවෝ කොහිදැ”යි විචාරා, “ස්වාමීනි, සංකස්ස නගරයෙහි යයි” කී කල “මොග්ගල්ලානය, මා දකිනු කැමැත්තෝ සෙට දින සංකස්ස නගරයට පැමිණෙත්වා. සෙට මහාපවාරණ පුණු පොහෝ දින බැවින් මම සංකස්ස නුවරට බසින්නෙමි”යි වදාළ සේක. යහපත ස්වාමීනි යි මුගලන් මහතෙරණුවෝ දසබලධාරීන් වහන්සේ වැඳ ආ මගින් ම නැවත බැස මිනිසුන් සමීපයට පැමිණි සේක. තෙරුන් වහන්සේ ද ඒ ගමනාගමනය කාලයෙහි යම්සේ මිනිසුන් දකි ද එසේ අධිෂ්ඨාන කළ සේක. මෙය මුගලන් මහතෙරුන්ගේ ආවිර්භාව ප්‍රාතිහාර්‍ය්‍යය වීය. එසේ වැඩ එපවත් මහජනයාට දන්වා ගමන දුරයයි නොහඟවා පෙරබත් කිස නිමවාම යවයි වදාළ සේක.
භාග්‍යවතුන් වහන්සේ සක්දෙව් රජුට කථාකොට “සෙට දවස මිනිස්ලොව යන්නෙමි”යි දැන්වූ සේක. සක්දෙව් රජහු විස්කම් දෙව් පුතුන් අමතා, “දරුව, සෙට භාග්‍යවතුන් වහන්සේ මිනිස් ලොව වඩනා සේක. එහෙයින් හිණිපෙති තුනක් නිර්මිත කරව. එකක් රනින් ද, එකක් රිදීයෙන් ද, එකක් මාණික්‍යයෙන් ද සකස් කරව”යි අණ කෙළේ ය. විස්කම් දෙව්පුත් තෙමේ ද එසේම මැවීය. භාග්‍යවතුන් වහන්සේ, දෙවන දවසෙහි මහමෙර මුදුනේ සිට පෙරදිග ලෝකධාතුව බලා වදාරණ සේක් නොයෙක් සියදහස් චක්‍රවාටයන් විවෘතව ඒකාඞ්ගණයක් මෙන් ප්‍රකට වී ය. එසේම පශ්චිම දිග්භාගය ද, දකුණු දිග්භාගය ද යන සියලු දිගුන් ම ප්‍රකට වී ය. එසේ ම යට අවීචිය දක්වා ද, උඩ අකනිටා බඹලොව දක්වා ද පෙනී ගියහ. මෙසේ එ දින ලෝක විවරණ නම් මහා ප්‍රාතිහාර්‍ය්‍යයක් වී ය. මනුෂ්‍යයෝ දෙවියන් දකිති, දෙවියෝ මිනිසුන් දකිති. මනුෂ්‍යයෝ උඩ නොබලා ම දෙවියන් බලති. දෙවියෝ බිම නොබලාම මිනිසුන් දකිති. ඔවුනොවුන් සම්මුඛව බලන්නාක් මෙන් දකිති. භාග්‍යවතුන් වහන්සේ මැද වූ මාණික්‍යමය හිණිමගින් බස්නා සේක. වම්පස රන්හිණිමගින් කාමාවචර දෙවියෝ සදෙනක් බස්නාහ. දකුණුපස රිදී හිණිමගින් සුඛාවාස බ්‍රහ්මයෝ හා මහා බ්‍රහ්මයෝ ද බස්නාහ, සක්දෙව් රජු බුදුන්වහන්සේගේ පාසිවුරු ගෙන ආහ. මහාබ්‍රහ්මයා තුන් යොදුන් පමණ සේසතක් ද, සුයාම දෙවියෝ වල්විදුනා ද, පඤ්චසිඛ ගාන්ධර්ව පුත්‍රයෝ තුන්යොදුන් වේලුව පාණ්ඩු වීණාව ද ගෙන තථාගතයන් වහන්සේට පූජා පවත්වමින් බස්නාහ. එ දින භාග්‍යවතුන් වහන්සේගේ ඒ ප්‍රාතිහාර්‍ය්‍යය දැක බුදු බව නොපැත කෙනෙක් නම් නැත. මෙය බුදුන්වහන්සේගේ ආවිභාව ප්‍රාතිහාර්‍ය්‍ය නම් වන්නේ ය.
ලක්දිව තලගුරු විහාරවාසී ධම්මදින්න නම් තෙරණුවෝ තිස්සමහාවිහාරයෙහි චෛත්‍ය මලුයෙහි වැඩහිඳ අපණ්ණක පටිපදා සූත්‍රයෙන් දම්දෙසනුවෝ විජිනිපත සටිකුරු කළ කල්හි අවීචිය තෙක් ඒකාඞ්ගණයක් මෙන් ප්‍රකට විය. එය උඩුකුරු කළ කල්හි බඹලොව තෙක් ඒකාඞ්ගණයක් මෙන් ප්‍රකට විය මෙසේ නිරය දුකින් තැතිගන්වා, දිව්‍ය සැපයෙහි සිත් අලවා දහම් දෙසන කල්හි ඇතැම් කෙනෙක් සෝවාන් වූහ, ඇතැම් කෙනෙක් සකෘදාගාමී, අනාගාමී සහ අර්හත්ත්වයට ද පැමිණියහ. මෙය ද ආවිභාව ප්‍රාතිහාර්‍ය්‍ය නම් වේ.
තිරොභාවය හෙවත් මුවහ කරණු කැමති ඍද්ධිමත් පුද්ගල තෙම ආලෝකය නැතිකොට අන්ධකාරය ඇති කරයි. නොවැසුනු දැය හෝ වසයි. ළංවූ දැය හෝ ඈත් කරයි.
තමා හෝ අන්‍යයෙක් හෝ ළඟ සිටියේ ද නොදක්වනු කැමැත්තහු විසින් පාදක චතූර්ත්ථ ධ්‍යානයට සමවැද එයින් නැගී “මේ ආලෝකය අන්ධකාර වේවා”යි හෝ පිළිසන් නොවුව පිළිසන් වේවා”යි කියා හෝ ළංවූ දැය ඈත් වේවා යි කියා හෝ ආවර්ජනා කොට පරිකර්ම භාවනා කොට පළමු කී පරිදි අධිෂ්ඨාන කරයි. ඒ අධිෂ්ඨාන චිත්තය හා සමඟ එසේ ම සිදු වේ. එකල්හි අන්‍යයෙක් ළඟ සිටියේ ද නොදකී. තමා ද නොදක්වනු කැමති නම් එසේ ම වෙයි.
භාග්‍යවතුන් වහන්සේ තමන්වහන්සේ සමීපයෙහි සිටි යසකුල පුත්‍රයා යම්සේ ඔහුගේ පියා විසින් නොදක්නේ ද එසේ අධිෂ්ඨාන කළ සේක.
එසේම එක්සිය විසියොදුනක් පෙරගමන් කොට මහාකප්පින රජු අනාගාමී ඵලයෙහි ද, දහසක් ඇමතියන් සෝවාන් ඵලයෙහි ද, ඔවුන් හා එකමඟ ගමන් කළ දහසක් පමණ ස්ත්‍රීන් විසින් පිරිවරණ ලද අනෝජා දේවිය, සමීපයෙහි සිටියා වූ පිරිවර සහිත වූ රජු නො දක්නාසේ අධිෂ්ඨාන කොට සිටි කල්හි “ස්වාමීනි, රජු දුටු දැයි” ඇ විචාළා ය. එවිට භාග්‍යවතුන් වහන්සේ “කිම, තොපට රජු සෙවීම උතුම් ද, නැත හොත් තමා සෙවීම උතුම් දැයි විචාරා “තමා සෙවීම උතුමැ”යි කියා සිටි කල්හි ඔවුන්ට දහම් දෙසා ස්ත්‍රීන් දහසක් සමඟ ඇය සෝවාන් ඵලයෙහි ද, අමාත්‍යයන් අනාගාමී ඵලයෙහි ද, රජු අර්හත් ඵලයෙහිද පිහිට වූ සේක.
මිහිඳු මහ තෙරුන්වහන්සේ ලක්දිවට පැමිණි දිනයෙහි තමා සමඟ පැමිණි පිරිස දෙවන පෑතිස් රජුට නො පෙනෙනසේ අධිෂ්ඨාන කිරීම ද මේ ප්‍රාතිහාර්‍ය්‍ය මැයි.
ආවිහාව ප්‍රාතිහාර්‍ය්‍යයෙහි දී ඍද්ධි ප්‍රාතිහාර්‍ය්‍යය ද, ප්‍රාතිහාර්‍ය්‍යය දක්වන්නා ද පෙනෙයි. ශ්‍රාවකයන් හා අසාධාරණ වූ යමක ප්‍රාතිහාර්‍ය්‍යයෙහි උඩුකයින් ගිනි කඳක් හා යටි කයින් දිය කඳක් වෙන වෙන ම පෙනේ. තිරොහාව ප්‍රාතිහාර්‍ය්‍යයෙහි ඍද්ධි ප්‍රාතිහාර්‍ය්‍ය පැනෙයි. ප්‍රාතිහාර්‍ය්‍ය දක්වන්නා නොපැනෙයි.
චිත්ත ගහපති තෙම, මහක තෙරුන් සමීපයෙහි “ස්වාමීනි, ඍද්ධි ප්‍රාතිහාර්‍ය්‍යයක් දැක්වුවහොත් මැනවැ”යි කීය. තෙරුන්වහන්සේ ද, එසේ නම් ආලින්දයෙහි උතුරුසළුව එලවා ඒමත තෘණ කැරැල්ලක් විසුරුවයි කීසේක. හෙතෙම එසේ කළේ ය. එවිට මහක තෙරුන්වහන්සේ වෙහෙරට පිවිස කෙසී සිදුරෙන් ගිනිසිළු නික්මවා උතුරුසළුව නොදවා තණ කැරැල්ල පමණක් දැවෙන ලෙස අධිෂ්ඨාන කළ සේක. එපරිද්දෙන් ම ඍද්ධි ප්රාතිහාර්ය්යයවිය.
බ්‍රහ්ම පිරිස කෙරෙන් අතුරුදන්වනු කැමති බක බ්‍රහ්මයාහට අතුරුදන් විය නොහැකිසේ කොට, බුදුන්වහන්සේ ඔවුනට අතුරුදහන්ව සිට “ශ්‍රමණභවත් ගෞතමයන් මෙහි ඇති බව හෝ නැති බව හෝ දැනගත නොහැකැයි කියන බ්‍රහ්මයනට එයට අවකාශ නොවේවා”යි අධිෂ්ඨාන කොට, ශබ්දය පමණක් ඇසේවායි ඉටා මේ ගාථාව වදාළ සේක:-
“භවෙවාහං භයං දිස්වා - භයංච විභවෙසිනං
භවංනාභි වදිං කිඤ්චි - නන්දිංච න උපාගමිං.”
එහි අදහස නම්:- මම මේ සංසාරයෙහි ජාති, ජරා,
මරණ භය දැකම, විභව නම් වූ නිර්වාණය සොයන්නෙම්, තෘෂ්ණා-දිට්ඨි වශයෙන් කිසි භවයක් ග්‍රහණය නොකෙළෙමි. භව තෘෂ්ණාවට ද නොපැමිණියෙමි” කියා යි. මේද භාග්‍යවතුන් වහන්සේගේ තිරොහාව ප්‍රාතිහාර්‍ය්‍ය නම්.
“තිරොකුඩ්ඩං, තිරොපාකාරං, තිරොපබ්බතං අසජ්ජමානො ගච්ඡති, සෙය්යථාපි ආකාසෙ” යනු ද අභිඥාවගේ තවත් ප්‍රාතිහාර්‍ය්‍යයකි. ගෙවල බිත්තියෙන් පිටතට ද, ගෙවල්, නගර, ගම් ආදිය වට කළ ප්‍රාකාර වලින් පිටතට ද, වෘක්ෂ, පර්වතාදීන්ගෙන් පිටතට ද, අහසෙහි යන්නාසේ නොපැකිළ යන්නේ ය යනු එහි අර්ත්ථය වේ.
මේ ප්‍රාතිහාර්‍ය්‍යය දක්වනු කැමති යෝගාවචරයා විසින් ආකාස කසිණයට සමවැද එයින් නැගී, බිත්තියක් හෝ ප්රාකාරයක් හෝ මහාමේරු, චක්‍රවාට ආදීවූ එක්තරා පර්වතයක් හෝ ආවර්ජනා කොට, කරණ ලද පරිකර්ම ඇත්තේ “අහස වේවා” කියා අධිෂ්ඨාන කළ යුතු. එකල්හි එතැන ආකාශයක් සෑදේ. යටට බසින කැමැත්තහුට හෝ උඩ නගිනු කැමැත්තහුට හෝ විවරයක් වේ. විනිවිද යනු කැමැත්තාහට සිදුරෙක් වේ. ඍද්ධිමත් තෙමේ එයින් නොපැකිළ යයි.
ප්‍රතිච්ඡන්නය විවෘත කිරීම ආකාශ කසිණය වැඩීමෙන් ද, එකකුව බොහෝ වීම් ආදිය පඨවි කසිණය වැඩීමෙන් ද, අහසෙහි හෝ ජලයෙහි හෝ පොළොව මවා පයින් යාම පඨවි කසිණය වැඩීමෙන් ද, සමෘද්ධ වන බව දත යුතු.
තවද, අන්‍ය ඍද්ධිමතකුගේ නිර්මිතයට වඩා පළමු නිර්මිතය බලපවත්වන හෙයින් දෙවනුව ඍද්ධි ප්‍රාතිහාර්‍ය්‍ය කරන්නහු විසින් පළමු ඍද්ධිමත්හට උඩින් හෝ යටින් හෝ යා යුතු.
“පඨවියා පි උම්මුජ්ජ නිම්මුජ්ජං කරොති සෙය්යථාපි උදකෙ.” - ජලයෙහි මෙන් පොළොවෙහිද ඉල්පීම් ගැලීම් කෙරේ යනු ද තවත් ඍද්ධි ප්‍රාතිහාර්‍ය්‍යයකි. එසේ කරණු කැමැත්තහු විසින් ආපො කසිණයට සමවැද එයින් නැගී මෙතෙක් තන්හි පොළොව දිය වේවා යි පිරිසිඳ, පරිකර්ම කොට, පළමු කියන ලද ආකාරයෙන් අධිෂ්ඨාන කළ යුතු. අධිෂ්ඨානය කළ පරිද්දෙන් ම පිරිසිඳි ස්ථානයෙහි පොළොව ජලය මෙන් වෙයි. හෙතෙම එහි ඉල්පීම්, ගැලීම් කෙරේ. පිටත බලාසිටියවුන්හට එහි පොළොව පෙනෙතත් ඍද්ධිමත් තැනැත්තාට එය ජලය වෙයි. හෙතෙමේ ඉල්පීම්, ගැලීම් පමණක් නොව නෑම, බීම, මුවදෙවීම, බඩු දෙවීම් ආදි යමක් කැමති නම් එය කරයි. එසේම, ජලය පමණක් නොව, ආපො අධික ගිතෙල්, තෙල්, මිපැණි යනාදීන් අතුරෙන් යමක් කැමැත්තේ නම්, ඒ කැමති දෙය මෙතෙක් වේවායි පිරිසිඳින ලද ද එය අධිෂ්ඨාන කළ පරිදිම වේ. එයින් බඳුනකට ගන්නා ලද ගිතෙල්, ගිතෙල් ම වෙයි. තෙල් ආදිය, තෙල් ආදිය ම වෙයි. එහි තෙමෙනු කැමැත්තේ තෙමෙයි. නොතෙමෙනු කැමැත්තේ නොතෙමෙයි. ඍද්ධිමත්හුහට ම එය ජලය වෙයි. සෙසු ජනයාට පොළොව වෙයි. එහි මිනිස්සු පයින් හෝ යානාදීන් හෝ යෙති. කෘෂිකර්මාදිය හෝ කෙරෙත්. ඉදින් ඒ ඍද්ධිමත් තෙම අන්‍යයන්ට ද එය ජලය වේවායි කැමති වේ නම් ඔවුන්ට ද එය ජලය වෙයි. පිරිසිඳි කාලය ඉක්මගිය කල්හි ඝට තළාකාදීන්හි තිබූ ජලය හැර සෙස්ස පොළොව වේ.
“උදකෙපි අභිජ්ජමානො ගච්ඡති සෙය්යථාපි පඨවියං.” - ජලයෙහි ද පොළොවෙහි මෙන් නොගැලෙමින් යයි යනු ද තවත් ප්‍රාතිහාර්‍ය්‍යයකි. මෙසේ කරණු කැමති යෝගාවචරයා විසින් පඨවි කසිණයට සමවැද, එයින් නැගි, “මෙතෙක් තන්හි ජලය පොළොව වේවා යි” පිරිසිඳ, අධිෂ්ඨාන කළ කල්හි අධිෂ්ඨානය හා සමගම පිරිසිඳි ප්‍රදේශයේ ජලය පොළොව වේ. හෙතෙම එහි නොගිලී යෙයි. හුදෙක් යාම පමණක් නොව යම් ඉරියව්වක් කැමති වේ ද ඒ ඒ ඉරියව් පවත්වයි. එසේම පෘථිවි පමණක් නොව මැණික්, රන්, පර්වත, වෘක්ෂාදීන් අතුරෙන් යමක් කැමති වේ ද ඒ ඒ දෙය, යට කියන ලද පරිද්දෙන් ආවර්ජනා කොට අධිෂ්ඨාන කළ කල්හි එසේම සිද්ධ වෙයි. ඍද්ධිමත්හුට ම ඒ ජලය පොළොව වෙයි. සෙසු ජනයාට ජලය ම වෙයි. මත්ස්‍ය ය, කැසුබු, දියකා ආදී ජලචර සත්ත්වයෝ ද කැමතිසේ හැසිරෙති. ඉදින් සෙසු ජනයාට ද එය පොළොවක් මෙන් කරණු කැමැත්තේ නම් පොළොවක් ම වෙයි. පිරිසිඳි කාලය අවසන් වූ කල්හි පෙරසේම ජලය වේ.
“ආකාසෙපි පල්ලංකෙන කමති සෙය්යථාපි පක්ඛි සකුණෝ”. - අහසෙහි ද පර්‍ය්‍යඞ්කයෙන් යන්නේ වෙයි. පියාපත් ඇති පක්ෂියෙකු මෙනි-යනු ද තවත් ප්‍රාතිහාර්යයෙකි. මෙසේ කරණු කැමති යෝගාවචර තෙම පඨවි කසිණයට සමවැද එයින් නැගී, ඉදින් හිඳගෙන ම යනු කැමති නම්, පර්‍ය්‍යඞ්කයක් පමණ තැන පිරිසිඳ පරිකර්ම කොට පෙරසේ අධිෂ්ඨාන කළ යුතු. වැදහෙව යනු කැමති නම් ඇඳක් පමණ තැන පිරිසිඳ පරිකර්ම කොට, අධිෂ්ඨාන කළ යුතු. ඉදින් පයින් යනු කැමති නම් මාර්ගය ප්‍රමාණ ප්‍රදේශයක් පිරිසිඳ පරිකර්ම කොට අධිෂ්ඨාන කළ යුතු. මෙසේ අධිෂ්ඨානය හා සමගම පොළොවම වෙයි. ස්වභාවයෙන් හෙතෙම ආකාශය ආවර්ජනා කොට අභිඥා ඥානයෙන් පෘථිවිය වේවා යි අධිෂ්ඨාන කළ කල්හි අහස පොළොව වේ. ප්‍රකෘති පොළොවෙහි සාමාන්‍ය මිනිසුන්සේ හෙතෙමේ අහසෙහි සක්මන් කිරීම් ආදි ඉරියව් පවත්වයි.
අහසින් යනු කැමති භික්ෂු තෙම දිවැස්ලාභියකු විය යුතු. අහසින් යන අතරමග ප්‍රකෘතියෙන් හටගත් නොහොත් සෘතුසමුට්ඨාන, වෘක්ෂ, පර්වතාදිය හෝ ඇති වෙයි. දිව්‍ය, නාග, සුපර්ණාදීහු ඊර්ෂ්‍යාවෙන් මවන්නාහු හෝ වෙත්. එවැනි උපද්‍රවාදිය දකිනු පිණිස දිවැස් ඇති විය යුතු. එසේ යමක් දුටුවහොත් පාදක චතුර්ත්ථ ධ්‍යානයට වහා සමවැද එයින් නැගී, ආකාශය වේවායි පරිකර්ම කොට අධිෂ්ඨාන කළ යුතු. තවද, අවකාශ ඇති තැනෙක බැසීම සඳහා ද දිව්යචක්ෂුරභිඥානය උපකාර වේ. මොහු නහන තොට, ගම්දොර ආදී මහජනයා ගැවසෙන තැනෙක බැස්සේ නම් මහජනයා අතර ප්‍රකට වන හෙයින් එවැනි තැන් දිවැසින් බලා එයින් පිටත බැසීමට හැකි වේ. “ඉමෙපි චන්දිම සූරියෙ එවං මහිධිකෙ එවං මහානුභාවෙ පාණිනා පරිමසති පරිමජ්ජති.” - මේ මහත් සෘද්ධි ඇති, මහත් ආනුභාව ඇති සඳ-හිරු දෙදෙනා ද අත්ලෙන් අල්වයි. පිරිමදියි-යනු ද සෘද්ධිවිධඥානයාගේ ප්රාතිභාර්ය්යයකි. දෙසාළිස් (42) දහසක් යොදුන් මත්තෙහි හැසිරීමෙන් මහත් සෘද්ධි ඇති, එක විට තුන් දිවයිනකට ආලෝකය දීමෙන් මහානුභාව ඇති සඳ-හිරු දෙදෙනා එක් ප්‍රදේශයක් හෝ භාත්පසින් හෝ අල්වයි, කැටපත් තලයක්සේ පිරිමදියි. අභිඥාලාභි තෙම සඳ-හිරු දෙදෙන ආචර්ජනා කොට අභිඥා ඥානයෙන් චන්ද්‍ර-සූර්ය්යයන් අත්පසෙහි වෙත්වා යි අධිෂ්ඨාන කළ කල්හි ඒ හා සමගම අත්පසෙහි වෙති. ඉදින් හෙතෙම හිඳ හෝ හෙවැ හෝ සඳ-හිරු අතින් අල්වයි. ඔබමොබ අත යවා පිරිමදියි. සඳ-හිරු වෙතට ගොස් අල්වනු කැමැති නම් එසේ ද කරන්නේ ය. එතැන්හිම සිට අල්වනු කැමැති නම් අත්පස වේවා යි අධිෂ්ඨාන කොට නටුයෙන් ගිළිහුනු තල්ගෙඩියක් මෙන් තමා වෙතට පැමිණි සඳ-හිරු දෙදෙන පිරිමදියි. තමා සිටි තැනම සිට, සඳ-හිරු එහි ම තිබිය දී අත දික් කොට හෝ පිරිමදියි. එසේ වන කල්හි උපාදින්නකය හෙවත් තණ්හා-දිට්ඨි දෙකින් මමායනය කරන ලද ප්‍රකෘති අත නිසා අනුපාදින්නක හෙවත් ධ්‍යාන බලයෙන් පහළ වූ අතින් පිරිමදියි. ශරීරය කුඩා කිරීමේ දී උපාදින්නකය කුඩා වේ. මහත් කිරීමේ දී උපාදින්නකය මහත් වේ.
එක් සමයෙක්හි අනාථපිණ්ඩික ගහපති තෙම, භාග්‍යවතුන්වහන්සේ ගෙන් බණ අසා, “ස්වාමීනි, හෙට දින පන්සියයක් පමණ භික්ෂු සඞ්ඝයා වහන්සේ සමඟ අප නිවසට භික්ෂාව පිණිස වඩිනසේක්වා” යි ආරාධනා කොට ගියේ ය. භාග්‍යවතුන් වහන්සේ ද ඒ ආරාධනය ඉවසා, එදින රාත්‍රිභාගය ඉක්මවා පසු දින උදෑසන දසසහස්සී ලෝකධාතුව බලා වදාරණසේක්, නන්දොපනන්ද නම් නාරජු දුටු සේක. එකල්හි ඒ නාරජුට උපනිශ්‍රය සම්පත් ඇද්දෝහෝ යි බලා වදාරණසේක්, “මේ තෙමේ මිථ්යාදෘෂ්ටියෙක, ත්රිවිධරතනයෙහි අප්‍රසන්න වූවෙකැ” යි දැක, මොහු මිථ්‍යාදෘෂ්ටියෙන් කෙසේ මුදවා ගත හැකි දැයි බලන කල්හි මහමුගලන් තෙරණුවන් දුටු සේක. බුදුන් වහන්සේ ශරීරය පිළිදැගුම් කොට, ආයුෂ්මත් අනඳ තෙරණුවන් අමතා “ආනන්දය, පන්සියයක් පමණ භික්ෂූන් රැස් කරව, තථාගතයෝ දේවචාරිකාවෙයි යනු කැමති, යහ”යි වදාළ සේක. එදවස මහමේරු නිතම්බයෙහි නන්දොපනන්ද නම් නාරජුගේ ආපාන භූමිය සකස් කරණ කාලය විය. නාරජු තෙම දිව්‍ය රතන පර්‍ය්‍යඞ්කයෙහි දිව්‍ය සේසත යට ත්‍රිවිධ නාටිකාවන් හා නාග පිරිස පිරිවරා, දිව්‍ය භාජනයන්හි එළවන ලද දිව්‍ය ආහාර පානාදිය බලමින් හුන්නේ විය. භාග්‍යවතුන් වහන්සේ ද යම්සේ නාරජුන් දකී ද, එපරිද්දෙන් අධිෂ්ඨාන කොට, නාරජුගේ විමානය මතුයෙන් පන්සියයක් භික්ෂූන් හා සමග තව්තිසා දෙවලොව බලා වැඩම කළසේක. එසමයෙහි නන්දොපනන්ද නාරජුහට මෙබඳු දෘෂ්ටියක් උපන. “මේ මුඩු මහණහු අපගේ භවන මතුයෙන් තව්තිසා දිව්‍ය භවනයට යම්හ යි නික්මියාහුය. මොවුනට අප මස්තකයෙහි පාධූලි විසුරුවමින් යන්නට නොදෙම්හ”යි කියා යි. මෙසේ සිතා මහමෙර පතුලට ගොස් තමාගේ මහානාග වේශය මවා ගෙන මහමෙර සත්වරක් දරණ වැලින් වෙළා, මුදුනෙහි පෙණය තබා, තව්තිසා භවනය යටිකුරු කොට පෙණයෙන් වසා නොපෙනෙන සේ කෙළේ ය. එකල්හි ආයුෂ්මත් රට්ඨපාල තෙරහු, “ස්වාමීනි, පෙර මේ පෙදෙසෙහි දී මහමෙර පැනෙයි. මහමෙර හාත්පස තව්තිසා භවනයට ආරක්ෂා පිණිස පන්සියයක් පමණ යොදුන් විශාල වූද, නාග, ගරුඩ, කුම්භාණ්ඩ, යක්ෂාදීන්ගේ වාසස්ථාන වශයෙන් පැවැති පරිභාණ්ඩයෝ ද පැනෙත්. එසේම තව්තිසා භවනය ද, වෛජයන්ත ප්‍රාසාදය ද පැනෙයි. වෛජයන්ත ප්‍රාසාදය මත නංවන ලද ධජය ද පැනෙයි. අද ඒ කිසිවක් නොපෙනෙයි. එයට හේතු කවරේ දැයි, ඇසී ය. එකල්හි බුදුරජාණන් වහන්සේ, “රට්ඨපාලය, අද නන්දොපනන්ද නම් නාරජ තෙම තොපට කිපී මහමෙර සත්වරක් වෙලා එය මතුයෙහි පෙණයෙන් වසා අන්ධකාර කොට සිටින්නේ ය” යි වදාළහ. එවිට ඔහු දමනය කරමියි රට්ඨපාල තෙරහු කීහ. බුදුන්වහන්සේ එය අනුදැන වදාළේ නැත. ඉක්බිති ආයුෂ්මත් භද්දිය, රාහුලාදී සියලු තෙරුන් ද අවසර ඉල්ලූ සේක. බුදුහු අවසර නුදුන්හ. අවසානයෙහි මුගලන් මහතෙරණුවෝ, “ස්වාමීනි, මම ඒ නාරජු දමනය කරන්නෙමැයි කී කල්හි, “මොග්ගල්ලානය, දමනය කරවු”යි අනුදැන වදාළ සේක. මහමුගලන් තෙරණුවෝ ද, තමන් වහන්සේගේ මනුෂ්‍ය ආත්මභාවය හැර මහා නාගරාජ වේශයක් මවාගෙන, මහමෙර පත්ලට වැද, නන්‍දොපනන්‍දයා මතුයෙහි තුදුස්වරක් දරණ වැලින් වෙළා, ඔහුගේ පෙණය මතුයෙහි තම පෙණය තබා මහමෙරට තදකොට සිටියහ. එවිට නාරජු දුමන්නට විය. තෙරණුවෝ ද, දුම ඇත්තේ තොපගේ ශරීරයෙහි පමණක් නොවේ. මාගේ සිරුරෙහි ද දුමක් ඇතැයි කියා දුම් නැගූහ. නාරජුගේ දුම් තෙරුන් නො පෙළීය. එහෙත් තෙරුන්ගේ දුම නාරජු පෙළීය. නැවත නාරජු ගිනි නිකුත් කළහ, තෙරණුවෝ ද එසේම ගිනි නිකුත් කළහ. නාරජුගේ ගින්නෙන් තෙරුන්ට බාධා නොවීය. තෙරුන් නිකුත් කළ ගිනි නාරජුට බාධා කළහ. නාරජතෙම, මෙතෙමේ මා මහමෙරට තද කොට පෙළයි. දුම් ද නංවයි, ගිනි ද නිකුත් කරයි. මේ කවරෙක් දැයි සිතා “පින්වත, නුඹ කවරහු දැයි, පිළිවිසීය. “කන්දය, මම මුගලන් වෙමි” යි කී කල්හි, “ස්වාමීනි, තමා භික්ෂු භාවයෙන් සිටිය මැනවැයි කීහ. තෙරහු ද, මවාගත් නාගරූපය හැර භික්ෂු වේශය ගෙන ඔහුගේ දකුණු කණින් ඇතුල්ව වම් කණින් නික්මෙති, වම් කණින් ඇතුල්ව දකුණු කණින් නික්මෙති. එසේම දකුණු නාසා සිදුරෙන් ඇතුල්ව වම් නාස් සිදුරෙන් නික්මෙති. වම් නාස් සිදුරෙන් ඇතුල්ව දකුණු නාස් සිදුරෙන් නික්මෙති. එකල්හි නාරජ මුඛය හැරියේ ය. එකල්හි තෙරහු මුවින් කුසට ඇතුල්ව, කුස තුළ නැගෙනහිරින් බටහිර දිගට සක්මන් කරති. බටහිරින් නැගෙනහිර දෙසට සක්මන් කරති. භාග්‍යවතුන් වහන්සේ “මොග්ගල්ලානය, සිහි ඇතිකර ගනුව මේ නාගයා මහා ආනුභාව ඇත්තෙකැ” යි වදාළහ. එකල්හි තෙරහු, “ස්වාමීනි, මා විසින් සතර ඍද්ධිපාදයෝ වඩන ලදහ. නැවත නැවත වඩන ලදහ. ගමනට යානාවක් මෙන් වඩන ලදහ. සිටීමට වස්තුවක් මෙන් කරන ලදහ. නැවත නැවත මනාකොට පිහිටුවන ලදහ. මනාකොට පුරුදු කරන ලදහ. මොනවට ආරම්භ කරන ලදහ. ස්වාමීනි, මේ එක නන්දොපනන්දයෙක් සිටීවා. මම නන්දොපනන්දයන් සමාන නාරජුන් සියයක් හෝ, දහසක් හෝ, සියදහසක් හෝ දමනය කරමි” යි කීහ.
නාරජ තෙමේ ද, “පළමුව ඇතුළත වදනා මොහු නොදක්නා ලදහ. දැන් පිටතට නික්මෙන කල්හි දළ ඇතුළට ගෙන සඟවා කාදමමි” යි සිතා “ස්වාමීනි, පිටතට නික්මෙව, මා කුස තුළ සක්මන් කරමින් මා නො පෙළව” යි කීහ. තෙරුන්වහන්සේ ද පිටතට නික්ම සිටියහ. එකල නාගරාජයා නාසාවාතය නිකුත් කෙළේය. මුගලන් මහ තෙරණුවෝ එකෙණෙහි ම චතුර්ත්ථ ධ්‍යානයට සමවැදුණු සේක. එහෙයින් තෙරුන්වහන්සේගේ රෝම කූපයකුදු සෙලවීමට නොහැකි විය.
අවශේෂ භික්ෂූහු ද මුල පටන් මේ සියලු ප්‍රාතිහාර්‍ය්‍යය දක්වන්නට සමර්ත්ථයහ. නමුත් මේ ස්ථානයට පැමිණ, මේ නාසාවාතයෙන් නොපෙළීම සඳහා ඛිප්පනිසන්තිභාවය යයි කියන ලද වහා ධ්‍යානයට සමවැදීමෙන් අභිමතාර්‍ත්‍ථය සිද්ධ කරගන්නට අසමර්‍ත්‍ථයහ. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ ඒ භික්ෂූන්ට අවසර නුදුන්හ. නාරජු ද, මම නාසාවාතයෙන් මේ ශ්රමණයාගේ ලෝමකූපයකුදු සොලවන්නට අසමර්ත්ථ වීමි. ශ්‍රමණ තෙම මහත් ඍද්ධි ඇත්තෙකැ’යි සිතීය. මහතෙරහු ද, තමන්වහන්සේගේ මනුෂ්‍යාත්ම භාවය හැර, මහත් ගුරුළු වෙසක් මවා, ගුරුළු වාතයක් දනවමින් නාරජු ලුහුබැන්දහ. නාරජ තෙමේ ද, තමාගේ නාගාත්ම භාවය අන්හැර, මාණවක වේශයක් මවා ගෙන, “ස්වාමීනි, ඔබවහන්සේ සරණ යෙමි,” යි කියමින් තෙරුන් වහන්සේගේ දෙපා වැන්දාහ. තෙරුන්වහන්සේ ද, “නන්දය, ශාස්තෘන්වහන්සේ ද වැඩිය සේක. උන්වහන්සේ වෙත යම්හ” යි නාරජුන් දමනය කොට නිර්විෂ කොට ගෙන ගොස් භාග්‍යවතුන් වහන්සේ සමීපයට පැමිණවූහ. නාරජු ද, භාග්‍යවතුන් වහන්සේ වැඳ “ස්වාමීනි, ඔබ වහන්සේ සරණ යෙමි” යි කීහ. බුදුන්වහන්සේ ද, “සුඛී හොතු නාගරාජ” සුවපත් වේවා නාරජ යයි වදාරා භික්ෂුසංඝයා විසින් පිරිවරණ ලදුව අනේපිඬු සිටාණන්ගේ නිවසට වැඩි සේක.
අනේපිඬු සිටාණෝ ද, “ඉතා දවල්ව වැඩියේ ඇයි” දැයි ඇසූ කල්හි, “මුගලන් තෙරුන් හා නන්‍දොපනන්‍දයා අතර යුද්ධයක් වී” යයි බුදුහු වදාළහ. “ස්වාමීනි, කවරෙකුහට ජයවී ද, කවරෙකු පරාජයවී” දැයි ඇසූ සිටාණන්ට “මුගලන් තෙරුන්ට ජය ය, නන්දයාට පරාජයවී” යයි වදාළහ. එසේ නම් ස්වාමීනි, භාග්‍යවතුන්වහන්ස, මුගලන් තෙරුන්වහන්සේගේ ජය පූජා පවත්වමි යි සතියක් මාගේ ආරාධනය පිළිගත මැනැවැයි කියා සතියක් මුළුල්ලෙහි බුදුන්වහන්සේ ප්රමුඛ පන්සියයක් පමණ මහා සඟනට මහත් පූජා සත්කාර කෙළේය.
සෘද්ධිමත් තෙමේ සඳහිරු පිරිමැදීම පමණක් නොව, ඉදින් කැමති නම් සඳ-හිරු පා පුටුවක් කොට හෝ පා තබති. පුටුවක් කොට හෝ හිඳිති, ඇඳක් කොට හෝ හොවී. එල්ලෙන පුටුවක් කොට හෝ එල්බ ගනී. එක් සෘද්ධිමතෙකු පමණක් නොව වෙනත් සෘද්ධිමතුන් සියදහසක් හෝ එසේම කරනත් ඒ ඒ සෘද්ධිමතුන්හට එකී සියල්ලම සමෘද්ධ වේ. සඳ-හිරු දෙදෙනාගේ ගමන ද, ආලෝක කිරීම ද එසේම වෙයි. යම්සේ භාජන දහසෙක ජලය පුරවා තිබූ කල, ඒ හැම බදුනකම සඳමඬල වෙන වෙන ම පෙනේ ද, චන්ද්‍රයාගේ ප්‍රකෘති ගමන හා ආලෝක කිරීම ද එසේම සිදුවෙයි. මේ ප්‍රාතිහාර්‍ය්‍යය ද එසේමැයි.
“යාව බ්රහ්මලොකාපි කායෙන වසංවත්තෙති.” සෘද්ධිමත් තෙම බඹලොව තෙක් කයින් වසයෙහි පවත්වයි— යනු ද එක් ප්‍රාතිහාර්‍ය්‍යයකි. මෙහි බ්‍රහ්මලොක යයි කියන ලද්දේ ඉතා දුර දැක්වීම පිණිස ය. එය හැර අනික් ස්ථානද මෙයට ඇතුළත් වේ බඹලොව හෝ දෙව්ලොව ආවර්ජනා කොට, දුර පවත්නා වස්තුහු ළංවේවා යි ආවර්ජනය කොට, පරිකර්ම කොට නැවත සමාපත්තියට සමවැද අභිඥා ඥානයෙන් ළංවේවායි අධිෂ්ඨාන කරයි. අධිෂ්ඨානය හා සමගම දුර තිබූ වස්තුව ළංවෙයි. සමීපයෙහි වස්තුව දුර වේවායි එපරිද්දෙන් ම ඉටා නම් දුරවෙයි. බොහෝ වූ වස්තු ස්වල්ප වේවායි ඉටා නම් ස්වල්ප වෙයි. ස්වල්ප වූ වස්තුව බොහෝ වේවායි ඉටා නම් බොහෝ වෙයි. දිවැසින් ඒ බ්‍රහ්මයන්ගේ රූප දක්නා කැමති නම් රූප දකී. දිවකනින් බ්‍රහ්මයන්ගේ ශබ්දය අසනු කැමති නම් ශබ්දය අසයි. චේතෝපරිය ඥානයෙන් හෙවත් පරසිත් දන්නා නුවණින් බ්‍රහ්මයන්ගේ සිත් බලනු කැමති නම් සිත් දකී. ඉදින් ඔහු දෘශ්‍යමාන ශරීරයෙන් බඹළොව යනු කැමති නම්, ශරීරයාගේ වශයෙන් සිත පිරිනමා ශරීරයාගේ වශයෙන් සිත අධිෂ්ඨාන කොට, සුඛ සංඥාවට ද, ලඝු සංඥාවට ද වැද, දෘශ්‍යමාන ශරීරයෙන් බඹළොව යයි. ඉදින් ඔහු චිත්ත වශයෙහි කය පිහිටුවා චිත්ත වශයෙහි කය අධිෂ්ඨාන කොට සුඛ සංඥාවට ද වැද, නොපෙනන කයින් බඹලොව යයි. හෙතෙම එහි ගොස් බ්‍රහ්මයන් ඉදිරියෙහි මනෝමය වූ සියලු අගපසඟින් සම්පූර්ණ වූ, නොපිරිහුණු ඉඳුරන් ඇති රූපයක් මවාගන්නේ ය. ඒ සෘද්ධිමත් තෙම සක්මන් කෙරේ නම් නිර්මිත රූපය ද සක්මන් කරන්නේ ය. හෙතෙම සිටීම හෝ හොවීම හෝ කෙරේ නම් නිර්මිත රූපය ද එසේම කරන්නේ ය. හෙතෙමේ දුම නගා නම් දිලිහෙන්නේ නම්, දහම් දෙසා නම්, පැන විචාරා නම්, පැන විසඳා නම් නිර්මිත රූපය ද එසේ කරයි. හෙතෙමේ ඒ බ්‍රහ්මයා හා සමග සිටි නම්, කථා කෙරේ නම්, සාකච්ඡා කෙරේ නම් වෙන යමක් කෙරේ නම්, නිර්මිත රූපය ද එසේම කරයි.
තථාගතයන් වහන්සේ යමකප්රාතිහාර්ය්යාවසානයෙහි දෙව්ලොව වඩනාසේක් යුගන්ධර පර්වතය හා මහාමේරු පර්වතය ද සමීපයෙහි කොට පෘථිවිතලයෙන් එක් පාදයක් ගෙන යුගන්ධර පර්වතයෙහි පිහිටුවා දෙවන පාදය මහමෙර මතුයෙහි තැබූ සේක. මෙය බුදුන්වහන්සේ දුර වූ දෙය සමීපයෙහි වන සේ කළ පරිදිය.
මහමුගලන් මහතෙරහු, දෙවෝරෝහණ සමයේදී සැවත් නුවරින් දවල් අහර අනුභව කොට නික්මුණු, දොළොස් යොදුනක් තැන පිරිසිටි පිරිස තිස්යොදුනක් දුර වූ සංකස්ස නුවර සමීපයට ක්ෂණයකින් පැමිණවිය. මෙය මුගලන් මහ තෙරහු දුර වූ දෙය සමීපයෙහි වනසේ කළ පරිදි ය.
ලක්දිව චූලසමුද්ද නම් තෙර කෙනෙක් විය. දුර්භික්ෂ කාලයෙහි සත්සියයක් පමණ භික්ෂූහු උන්වහන්සේ වෙත පැමිණියහ. මහතෙරහු ද, මේ මහාභික්ෂු පිරිසට භික්ෂාව කොතැන්හි ලැබෙන්නේදැයි සිතන්නේ ලක්දිවින් පිණ්ඩපාතය නොලැබෙන බව දැක, මුහුදින් එතර දඹදිව පැළලුප් නුවරින් ලැබෙන බව දැන ඒ භික්ෂූන් පාත්‍ර සිවුරු ගන්වා “ඇවැත්නි, පිඬුසිගා වඩිමු” යයි කියා, පොළොව හකුළුවා පැළලුප් නුවර වැඩි සේක. භික්ෂූහු මේ කිනම් නගරයක්දැයි ඇසූහ. ඇවැත්නි, පැළලුප් යයි තෙරහු කීහ. ස්වාමීනි, පැළලුප් නුවර දුර නොවේ දැයි ඇසූ භික්ෂුහට ඇවැත්නී, මහලු තෙරහු දුර වූ දෙය ද ළං කෙරෙතියි කීහ. එවිට මහමුහුද කොහිදැයි භික්ෂුහු ඇසූහ. අතරමග ඉක්ම වූ නිල්වන් කුඩා ඇලයයි තෙරහු කීහ. මුහුද මහත් නොවේදැයි ඇසූ භික්ෂූන්ට මහලු තෙරහු මහත් දැය කුඩා කෙරෙතියි කීහ. මෙයද දුර වූ දැය ළං කිරීම හා මහත් වූ දැය කුඩා කිරීම් වශයෙන් දක්වන ලද ප්‍රාතිහාර්‍ය්‍යය වේ.
තිස්සදන්ත නම් තෙරනමක් සවස් කාලයෙහි දිය නා උතුරු සඟල පොරවා ශ්‍රී මහාබෝධීන්වහන්සේ වඳිනු කැමැතිවූයෙන් දුරවුව ළං කළහ.
බුදුරජාණන් වහන්සේ තමාගේ හා අඞ්ගුලිමාලයාගේ අතර ඉතා ළං වුවද එය දුර කළ සේක,
රජගහනුවර නැකත් කෙළනා දිනයක පන්සියයක් පමණ කුමාරිකාවෝ චන්ද්රමණ්ඩලාකාර කැවුම් පිසගෙන නැකත් ක්‍රීඩා පිණිස නික්ම ගියාහුය. අතරමගදී බුදුන් වහන්සේ වඩිනු දැක එක් කුමරියක්වත් එය පූජා නොකළාය. පසුව වඩින මහාකස්සප ස්ථවිරයන් වහන්සේ දුටු ඒ කුමරියෝ “අපගේ තෙරුන්වහන්සේ වඩිති, අපි කැවුම් පිළිගන්වමු” යයි කියා සියලු දෙනාම කැවුම් ගෙන තෙරුන්වහන්සේ වෙත එළඹියාහුය. තෙරණුවෝ පාත්‍රය මෑත්කොට සියල්ලම එක පාත්‍රයක් පිරෙන පමණ කළසේක. බුදුරජාණන් වහන්සේ ද තෙරුන් වඩනා පෙරමග බලමන් වැඩහුන් සේක. තෙරුන්වහන්සේ ඒ කැවුම් පාත්‍රය ගෙනවිත් බුදුන්ට පිරිනැමූහ. මෙය බොහෝ දැය ටිකකිරීමේ ප්‍රාතිහාර්‍ය්‍යයකි.
මහාකාශ්‍යප තෙරණුවෝ සත්දිනක් නිරෝධ සමවතට සමවැද එයින් නැගී දිළින්දන්ට සංග්‍රහ කරණු පිණිස කාකවලිය නම් දුගියාගේ ගේදොර වැඩ සිටියහ. ඔහුගේ භාර්‍ය්‍යාව තෙරුන් දැක තම සැමියාට පිළියෙළ කළ ලුණු නැති ඇඹුල් කැඳ පාත්‍රයෙහි බහාලූහ. තෙරුන් වහන්සේ ද එය ගෙන බුදුන්වහන්සේගේ අත තුබූ සේක. බුදුන්වහන්සේ ද එය මහාභික්ෂු සඞ්ඝයාට පොහෝනා සේ අධිෂ්ඨාන කළ සේක. ඒ සියල්ලම පොහෝනා පමණ විය. කාකවලිය තෙමේ ද සත්වන දින සිටුතනතුරු ලැබීය. මෙය ටික දැය බොහෝ කිරීමේ ප්‍රාතිහාර්‍ය්‍ය වේ.
ස්වල්ප වූ දැය බොහෝ කිරීම පමණක් නොව මිහිරිදැය අමිහිරි කිරීම ද, අමිහිරි දැය මිහිරි කිරීමද යනාදී යම් යම් දැයක් කරණු කැමැති නම් එය ද කළ හැකිවේ. එක් කලෙක මහා අනුල ස්ථවිරයන් වහන්සේ, බොහෝ භික්ෂූන් පිඬු සිඟා වැඩ, වියළි බත් පමණක් ලැබ ගංතෙර හිඳ වළඳන්නවුන් දැක, ගඟ දිය ගිතෙල් බඳුනක් වේවායි අධිෂ්ඨාන කොට සාමණේරයන්ට හැඟවූහ. ඔහු බඳුනකින් එය ගෙනවුත් භික්ෂූන්ට පිළිගැන්වූහ. සියලු දෙනා වහන්සේ ම මිහිරි ගිතෙල් හා බත් වැළඳුහ. මෙය අමිහිරි දැය මිහිරි කිරීමේ ඍද්ධිප්රාතිහාර්ය්යයකි.
තවද මෙහිම සිට කසිණාලෝකය වඩා ඒ බ්‍රහ්මයාගේ රූපය දකී. මෙහිම සිට ඒ බ්‍රහ්මයන් කථා කරන ශබ්දය අසයි. ඔවුන්ගේ සිතද පිරිසිඳ දනී.
දෘශ්‍යමාන ශරීරයෙන් බඹලොව යනු කැමති වේ නම් අභිඥාලාභීතෙම පාදකධ්‍යාන චිත්තය ගෙන ශරීරයෙහි ආරෝපණය කොට “මේ සිත කය අනුව දන්ධව හෙවත් ලැසිව යන්නක් වේවයි” චිත්ත ස්වභාවය වූ ශීඝ්රගමන වළකා කායයාගේ ස්වභාවය වූ දන්ධ හෙවත් ලැසිගමන පිහිටුවයි. එහි ඇති උපේක්ෂාව ශාන්ත බැවින් සුඛසංඥාව ලබයි. උපේක්ඛා සහගත චතුර්ත්ථධ්යාන සම්ප්‍රයුක්තවූ සංඥාව බරවූ නීවරණයන්ගේ ද, ඖදාරික වූ විතර්කාදියෙන් ද විශේෂයෙන් මිදුණු හෙයින් ලඝු සංඥාවද ලබයි. ඒ සුඛ සංඥාවට හා ලඝු සංඥාවටද පැමිණියාවූ අභිඥාලාභීහුගේ කරජකය පුළුන් පිඩක් මෙන් සැහැල්ලුවේ. එබැවින් සුළඟෙහි ලූ පුළුන් පිඩක් මෙන් සැහැල්ලුව දෘශ්‍යමාන ශරීරයෙන් බඹලොව යන්නාවූ හෙතෙම කැමතිවේ නම්, පඨවිකසිණයාගේ වශයෙන් ආකාශයෙහි මාර්ගයක් මවා පයින් යෙයි. ඉදින් පුළුන් පිඩක්සේ වාතයෙන් යනු කැමැති නම් වායො කසිණයට සමවැද වාතයක් මවාගෙන යයි. යනු කැමැති කල කරණ ලද චිත්ත අධිෂ්ඨාන වේගයෙන් ම උඩට නගන ලද්දේ දුන්නෙන් නගන ලද ඊතලයක්සේ දෘශ්‍යමානව යන්නේය.
නොපෙනී බඹලොව යනු කැමැති වේ නම්, කය ගෙන සිතෙහි නංවා, සිත අනුව කය සීඝ්‍රව ගෙන ගමන් කරවයි. රූප කායාරම්මණිකව උපන් ඍද්ධි චිත්තය හා සම්ප්‍රයුක්තවූ සුඛ සංඥාවටද, ලඝු සංඥාවටද බසී. කය චිත්තයාගේ ස්වභාවය ගනී. ඉදින් හෙතෙම කැමති වේ නම් තමා හෝ නිර්මිත රූපය හෝ බඹලොව යවයි.
නිර්මිත රූපයෙහි වනාහි ප්‍රසාද රූප, භාවරූපාදියක් නැත්තේය. ඍද්ධිමත් තෙම සක්මන් කරන්නේ නම්. නිර්මිත රූපය ද එසේම සක්මන් කරයි. මේ කියන ලද්දේ ශ්‍රාවකයන්ගේ වශයෙනි. භාග්‍යවතුන් වහන්සේ විසින් නිර්මිත කරණ ලද රූපය, භාග්‍යවතුන් වහන්සේ යමක් යමක් කෙරෙත් නම් ඒ ඒ දැය ද, අන් යමක් කරවනු කැමැති නම් ඒ ඒ දැය ද කෙරේ.
මේ කියන ලද්දේ අධිට්ඨාන ඍද්ධිය යි.
විකුර්වණ සෘද්ධිය
විකුර්වණ ඍද්ධිය දැක්වීමේදී ඍද්ධිමත් තෙම තමාගේ ප්‍රකෘති වේශය හැර කුමාර වේශයක් හෝ නාග, ගුරුළු, අසුර, ශක්‍ර, දිව්‍ය, බ්‍රහ්ම, සමුද්‍ර, පර්වත, සිංහ, ව්යාඝ්ර, දීපි ආදී යම් යම් වේශයක් හෝ මවා දක්වයි. තමා ඇතකු කොට හෝ අන් ඇතෙකු හෝ මවා දක්වයි. තමා අශ්වයෙකු කොට හෝ අන්‍ය අශ්වයෙකු හෝ මවා දක්වයි. රථ සෙනගක් හෝ, පාබල සෙනගක් හෝ නානාවිධ සේනා සන්නිවෙස හෝ මවා දක්වයි. මෙයින් යමක් මවනු කැමැත්තේ නම්, පඨවි කසිණාදීන් අතුරෙන් යම්කිසි ආරම්මණයකින් අභිඥාපාදක චතුර්ත්ථ ධ්‍යානයට සමවැද එයින් නැගි කුමාර වේශයක් කැමැති වේ නම්, ඒ කුමාර වේශය ආවර්ජනා කළ යුතු. එසේ ආවර්ජනා කොට පරිකර්මාවසානයෙහි නැවත සමවතට සමවැද එයින් නැගී මෙබඳු කුමාරයෙක් වෙමියි අධිෂ්ඨාන කළ යුතු. ඒ අධිෂ්ඨාන චිත්තය හා සමඟම කුමාරයෙක් වේ. දෙව්දත් තෙම අජාසත් කුමරුවන් පහදවා ගැනීමට කුමාර වේශයක් මවාගත්තේ ය. අන්‍ය රූප මැවීම ද මෙසේ ම ය. මෙය විකුර්වණ ඍද්ධිය නම්.
මනෝමය සෘද්ධිය
මනෝමය ශරීරයක් මවනු කැමැති සෘද්ධිමත්හු විසින් පෙරකිසේ පාදක චතුර්ත්ථ ධ්‍යානයට සමවැද, එයින් නැගී පළමුව තමා කය ආවර්ජනාකොට, පරිකර්මකොට, සිදුරක් වේවායි අධිෂ්ඨාන කළ යුතු. එවිට සිදුරක් වේ. නැවත සිදුර ඇතුළත අනෙක් කයක් ආවර්ජනා කොට පෙරකිසේ ම ඒ සිදුර ඇතුළෙහි එබඳු කයක් වේවායි අධිෂ්ඨාන කරයි. එවිට ඒ යෝගීතෙම මුදු තණ ගසින් ඇදගන්නා ගොබයක් මෙන් ද, කොපුවකින් ඇදගන්නා කඩුවක් මෙන් ද, සැව හැර යන්නා නයකු මෙන් ද, ඒ අනෙක් කය ඇදගනී. මේ මනෝමය රූපය සෘද්ධිමත්හු හා සමානය.