අභිධර්මාර්ථ ප්‍රදීපිකා

10. උපසමානුස්සතිය

උපසමය නම් නිර්‍වාණය යි. නිර්‍වාණ සඞ්ඛ්‍යාත උපසමයෙහි ගුණ සිහි කරන හෙයින් උපසමානුස්සති නම් වේ.

උපසමානුස්සතිය වඩනු කැමති යෝගාවචර තෙම විවේකගත ව, නන් අරමුණු වලින් සිත වළකා මේ කමටහනෙහි ඇළුණු සිත් ඇතිව “යාවතා භික්ඛවෙ ධම්මා සඞ්ඛතා වා අසඞ්ඛතා වා විරාගො තෙසං ධම්මානං අග්ගමක්ඛායති, යදිදං මදනිම්මදනො, පිපාසවිනයො, ආලයසමුග්ඝාතො, වට්ටුප්පච්ඡෙදො, තණ්හක්ඛයො විරාගො, නිරොධො නිබ්බාණං” ති යනාදී වශයෙන් භාග්‍යවතුන් වහන්සේ විසින් “මහණෙනි, සඞ්ඛත වූ හෝ අසඞ්ඛත වූ හෝ යම් ධර්‍මකෙනෙක් ඇද්ද, ඒ ධර්‍ම අතුරෙන් විරාගය අග්‍රයයි කියනු ලැබේ. ඒ වනාහි මදනිම්මදන ය, පිපාසවිනය ය, ආලයසමුග්ඝාත ය, වට්ටුපච්ඡේදය, තණ්හක්ඛය, විරාගය, නිරොධය, නිර්‍වාණය” යි වදාළ පරිදි සියලු දුක් නැති කරන නිර්‍වාණයෙහි ගුණ සිහි කළ යුතු වේ. මෙහි-

සඞ්ඛත ධර්‍ම නම් හේතු ප්‍රත්‍යයෙන් උපන්නාවූ ධර්‍මයෝ ය.

අසඞ්ඛත ධර්‍මය නම් හේතු ප්‍රත්‍යයෙන් නූපන් නිර්‍වාණ ධර්‍මය ය.

ධර්‍ම නම් ස්වභාව ධර්‍මය යි.

විරාගය නම් රාගයාගේ අභාවය. එනම් නිවණයි.

මදනිම්මදනය- නිවණට පැමිණ, මම උසස්මියි පැවති මානය නම් වූ මාන මදය ද, පුරුෂත්ත්‍වය නිසා උපදනා වූ පුරුෂ මදය ද, ජාතිය නිසා ඇතිවන ජාති මදය ද, යනාදී වූ සියලුම මදයෝ නිම්මදනයට හෙවත් විනාශයට යන හෙයින් නිර්‍වාණයට නිම්මදන යයි කියනු ලැබේ.

පිපාසවිනය- නිවණට පැමිණ කාමතෘෂ්ණා සඞ්ඛ්‍යාත වූ කාමපිපාසා විනාශයට, අස්තයට යන හෙයින් නිර්‍වාණය පිපාසවිනය නම් වේ.

ආලය සමුග්ඝාතය- නිවණට පැමිණ පඤ්චකාම ගුණ නැමැති ආලයෝ සහමුළින් නැතිවන හෙයින් නිර්‍වාණය ආලය සමුග්ඝාත නමුදු වේ.

වට්ටුපච්ඡේදය- නිවණට පැමිණ තුන්භූමියෙහි වූ කර්‍ම ක්ලේශ, විපාක සඞ්ඛ්‍යාත වට්ටයන් සිඳෙන හෙයින් නිර්‍වාණය වට්ටුපච්ඡේද නමුදු වේ.

තණ්හක්ඛය- නිවණට පැමිණීමෙන් සර්‍වාකාරයෙන් තෘෂ්ණාව ක්ෂය වන හෙයින් නිවණට තණ්හක්ඛය යයි කියනු ලැබේ.

විරාගය- නිවණට පැමිණීමෙන් සර්‍වාකාරයෙන් තෘෂ්ණාවෙහි නො ඇලීම වන හෙයින් නිවණ විරාග නමුදු වේ:

නිරෝධ- නිවණට පැමිණ සියලු දුක් නිරුද්ධ වන හෙයින් නිවණ නිරෝධ නමුදු වේ.

නිර්‍වාණය- යම් හෙයකින් වනාහි මේ අසඞ්ඛත ධර්‍මය, සතර යෝනිය, පඤ්චගතිය, සප්ත විඤ්ඤාණස්ථිතිය, නව සත්ත්‍වාවාසය යන මොවුන්, අනික් අනික් භවයකට හෙවත් දෙවියන් මිනිස්වීම පිණිස මිනිසුන් නාරජුන්වීම පිණිස යනාදී වශයෙන් මතු මතු භව පිණිස බඳනා හෙයින් යොදවන හෙයින් වාණ යයි ලත් ව්‍යවහාරය ඇති තෘෂ්ණායෙන් නික්මුණේ ද, තෘෂ්ණාව හා විසංයුක්තවූයේ ද, එහෙයින් නිබ්බාණ යයි කියනු ලැබේ.

මෙසේ මදනිම්මදනතාදී ගුණයන්ගේ වශයෙන් ද නිර්‍වාණ සඞ්ඛ්‍යාත උපසමය සිහිකළ යුතු.

තවද, භාග්‍යවතුන් වහන්සේ “අසඞ්ඛතඤ්ච වො භික්ඛවෙ දෙසිස්සාමි, සච්චඤ්ච, පාරඤ්ච, සුදුද්දසඤ්ච, අජරඤ්ච, ධුවඤ්ච, නිප්පපඤ්ච, අමතඤ්ච, සිවඤ්ච, ඛෙමඤ්ච, අබ්භුතඤ්ච, අනීතකංච, අබ්‍යාපජ්ජංච, විසුද්ධිංච, තාණංච, ලෙනංච, වො භික්ඛවෙ දෙසිස්සාමි” ති යනාදී වශයෙන් ද නිර්‍වාණයාගේ ගුණ වදාළ සේක.

මෙහි අසඞ්ඛත නම් ප්‍රත්‍යයෙන් නොනිපන් බවය.

සත්‍යය- නිර්‍වාණය කිසි පර්‍ය්‍යායෙකිනුදු අසත්‍යය නොවන බැවින් ඒකාන්තයෙන් ම සත්‍යය වන බැවින් අවිපරීතාර්‍ත්‍ථයෙන් සත්‍යය නම් වේ.

පාරං- නිර්‍වාණය සංසාරයාගේ පරතෙර බැවින් පාර නම්.

සුදුද්දස- නිර්‍වාණය පරමගම්භීර බැවින් ද. අතිසූක්ෂම ශාන්ත ස්වභාවය ඇති බැවින් ද, නුමුහු කළ නුවණ ඇත්තවුන් විසින් දක්නට නොපිළිවන් බැවින් මනාකොට දක්නට දුෂ්කර ය.

අජරං- තමා කෙරෙහි ජරා නැති බැවින් ද, නිවන් පැමිණි පුද්ගලයාහට ජරා නැති හෙයින් ද, නිවණ අජර නම් වේ.

ධුවං- ඒ ජරා ආදීන්ගේ වශයෙන් නොනස්නා හෙයින් ස්ථිර හෙයින් ධුව නම් වේ.

නිප්පපඤ්ච- තෘෂ්ණා ආදී ප්‍රපඤ්චයෝ නැති හෙයින් නිප්පපඤ්ච නම්.

අමතංව- මරණ නැති බැවින් අමෘතය.

සිවං- අශිව භාවය කරන්නා වූ සංක්ලේශ ධර්‍මයන්ගේ අභාවයෙන් සිව නම් වේ.

ඛෙමං- කාමාදී චතුර්යෝගයෙන් උපද්‍රව නැති හෙයින් ක්ෂේමය.

අබ්භූතං- විසංස්කාර බැවින් ද, ආශ්චර්‍ය්‍ය බැවින් ද, අභූතපූර්‍ව බැවින් ද අබ්භූතය.

අනීතිකං- ඊති නම් වූ සියලු අනර්‍ත්‍ථයන්ගේ අභාවයෙන් අනීතිකය.

අව්‍යාපජ්ඣං- දුක් නැති බැවින් අව්‍යාපජ්ඣය.

විසුද්ධිං- සියලු ක්ලේශ මලයන්ගෙන් අත්‍යන්ත විසුද්ධ බැවින් විශේෂයෙන් ම ශුද්‍ධවේනුයි විසුද්ධි නම්.

දීපං- චතුර්විධ ඕඝයෙන් නොමඩනා ලද බැවින් දීපය.

තාණං- සියලු වට්ටදුක්ඛයෙන් ආරක්ෂා කරනු ලබන බැවින් තාණය.

ලෙනං- සර්‍වාකාරයෙන් පිහිට වන හෙයින් ලෙන නම් වේ.

මෙසේ ද සියලු දුක්ඛයාගේ ව්‍යපසම සඞ්ඛ්‍යාත උපසමයෙහි ගුණ මෙනෙහි කළ යුතු.

මෙපරිද්දෙන් නිර්‍වාණයෙහි ගුණ සිහිකරන්නා වූ යෝගාවචරයාගේ සිත ඒ වේලෙහි රාග, ද්වේෂ, මොහාදියෙන් නොමඩනා ලද්දේම, නිවණ අරමුණු කරමින් සිත සෘජු වේ. නීවරණ ධර්‍මයන් විෂ්කම්භනය වේ. ධ්‍යානාඞ්ග පහළ වේ. උපසම ගුණ ගැඹුරු බැවින් ද, නා නා විධ ගුණ සිහිකිරීමෙහි අදහස් ඇති බැවින් ද, ඒ ධ්‍යානය උපචාරප්‍රාප්ත වේ. අර්පණාවට නො පැමිණේ. උපසමානුස්සතිය සමෘද්ධ වන්නේ ආර්‍ය්‍යශ්‍රාවකයන්ට ම ය. එසේ වුවත් උපසමය ගරු කොට ගත් පෘථග්ජනයන් විසින් ද මෙනෙහි කටයුතු ය. ශ්‍රැත වශයෙන් ද නිවන්හි සිත පහදී.