අභිධර්මාර්ථ ප්‍රදීපිකා

6. පාහුනෙය්‍ය නම් වූ ගුණය

සතරදිගින් හා සතර අනුදිගින් ආ ප්‍රියමනාප වූ නෑයන් මිත්‍රයන් පිණිස සත්කාරයෙන් සපයන ලද ආගන්තුක දානයට පාහුන යයි කියනු ලැබේ. එසේ පිළියෙල කරන ලද දානය ඔවුනට නොදී ශ්‍රාවක සඞ්ඝයාට දිය යුතුම ය. සඞ්ඝයා ඒ පාහුනය පිළිගන්නට සුදුසු ය. සඞ්ඝයා වහන්සේ වනාහි එක් බුද්ධාන්තරයක් ඉක්මුණු කල්හි හෝ අසඞ්ඛ්‍යයක් කප් ඉක්මුණු කල්හි හෝ ලැබෙන්නේ ය. එබැවින් ප්‍රියමනාපවූ ද, සීලාදී ගුණයෙන් යුක්තවූ ද මේ සඞ්ඝයා අමුතු සත්කාරයට හෙවත් පාහුනයට සුදුසු වන්නේමය. ප්‍රිය නෑමිතුරු ආදීවූ සෙසු පාහුනකයෝ මුළුකාලයෙහිම ලැබිය හැකි වේ. එහෙයින් භාග්‍යවතුන් වහන්සේගේ ආර්‍ය්‍යශ්‍රාවක සඞ්ඝයා පාහුනෙය්‍ය නම් වන සේක.