අභිධර්මාර්ථ ප්‍රදීපිකා

4. සාමීචිපටිපන්න නම් වූ ගුණය

සම්‍යක් ප්‍රතිපදාව, සසරදුකින් බැහැරලීමට සමර්‍ත්‍ථ වන හෙයින් සාමීචි නම් වේ. සාමීචි සඞ්ඛ්‍යාත සසර දුකින් බැහැරලීමට සමත් සම්‍යක් ප්‍රතිපදාවට පිළිපන් හෙයින් සාමීචිපටිපන්න නම් වේ. තවද, යම් පරිදි පිළිපන් කෙනෙක් අනුන් කරනු ලබන උපස්ථානාදී සාමීචියට සුදුසු ලෙස පිළිපන් බැවින් ද සාමීචිපටිපන්න නම් වේ. මේ ආදී ගුණයෙන් භාග්‍යවතුන් වහන්සේගේ ආර්‍ය්‍යශ්‍රාවක සඞ්ඝ තෙමේ සාමීචිපටිපන්න නම් වන සේක.

යටකී සුප්‍රතිපන්නාදී ගුණයෙන් යුත් ශ්‍රාවක සඞ්ඝ තෙමේ පුරිසයුග වශයෙන් සතරෙක. පුරිස පුද්ගල වශයෙන් අටදෙනෙක.

පුරිස යුග සතර නම්— සොවාන් මාර්‍ගස්ථ - ඵලස්ථයෝ එක් පුරිස යුගයෙක. සකදාගාමී මාර්‍ගස්ථ - ඵලස්ථයෝ එක් පුරිස යුගයෙක. අනාගාමී මාර්‍ගස්ථ - ඵලස්ථයෝ එක් පුරිස යුගයෙක. අර්හත් මාර්‍ගස්ථ - ඵලස්ථයෝ එක් පුරිස යුගයෙකි.

පුරිසපුද්ගලයෝ අටදෙන නම්, සොවාන් මාර්‍ගස්ථ, සොවාන් ඵලස්ථ, සකෘදාගාමී මාර්‍ගස්ථ, සකෘදාගාමී ඵලස්ථ, අනාගාමී මාර්‍ගස්ථ, අනාගාමී ඵලස්ථ, අර්හත් මාර්‍ගස්ථ, අර්හත් ඵලස්ථ යන පුද්ගලයෝ අට දෙනය.