අභිධර්මාර්ථ ප්‍රදීපිකා

ධම්මානුස්සතියෙහි අනුසස්

ස්වාක්ඛාතාදී වූ ගුණයෙන් යුත් මේ ධර්‍මය දේශනා කරන්නාවූ ද, මෙබඳු අඞ්ගයන්ගෙන් යුක්තවූ ද, ශාස්තෘවරයෙකු අතීතයෙහිදු නොදකිමි. දැනුදු නොදකිමි. ඔවුන් හා සමාන ශාස්තෘවරයෙක් නැතැයි දහම් ගුණ දැකීමෙන් ම, දහම් දෙසූ ශාස්තෘන්වහන්සේ කෙරෙහි ගෞරව සහිත වේ. යටහත් පැවතුම් ඇත්තේ වේ. ධර්‍මය කෙරෙහි ගරුබුහුමන් කරන්නේ, ශ්‍රද්ධාදී ගුණයෙන් විපුලත්‍වයට පැමිණේ. ප්‍රීතිය හා ප්‍රමෝද්‍ය බහුල කොට ඇත්තේ වේ. සියලු භය හා දුක් ඉවසීමෙහි සමත් වේ. ධර්‍මය හා එක්ව වසමියි යන සිත් පහළ වේ. දහම් ගුණ මෙනෙහි කරන්නා වූ ඔහුගේ ශරීරය පවා චෛත්‍ය ගෘහයක් මෙන් පූජනීය බවට පත්වේ. ධර්‍මාවබෝධය පිණිස සිත් නැමේ. ශික්‍ෂා කඩකිරීමට කාරණයක් පැමිණි කල්හි ධර්‍මසුධර්‍මතාවය මෙනෙහි කිරීමෙන් වහා හිරිඔතප් පහළ වේ. ලොව්තුරු දහම් ප්‍රත්‍යක්‍ෂ නොකෙළේ නම් මරණින් මතු ඒකාන්තයෙන් ම සුගතිගාමී වේ.