අභිධර්මාර්ථ ප්‍රදීපිකා

6. පච්චත්තං වෙදිතබ්බො විඤ්ඤූහි

නම් වූ ගුණය

නුවණ ඇත්තන් විසින් තම තමන් සිත්හිම ලා දතයුතු, දැක්ක යුතු, වින්‍දනය කළ යුතු හෙයින් නවලොකොත්තර ධර්‍මය “පච්චත්තං වෙදිතබ්බො විඤ්ඤූහි” යයි කියන ලදී. මා විසින් මාර්‍ගය වඩන ලද්දේය, ඵලය ලබන ලද්දේය, නිවණ සාක්‍ෂාත් කරන ලද්දේය යනාදී වශයෙන් තම තමන් විසින් ම දතයුතු වේ. අන්‍යයන් මගින් දත යුත්තක් නොවේ.

මේ ධර්‍මය සන්‍දිට්ඨික හෙයින් ස්වාක්ඛාතය. අකාලික හෙයින් සන්‍දිට්ඨිකය. එහිපස්සික හෙයින් අකාලිකය. එහිපස්සික හෙයින් ම ඕපනයිකය.

දහම් ගුණ මෙසේ සිහිකරන්නා වූ යෝගාවචරයාගේ සිත රාගයෙන්, ද්වේෂයෙන් මැඩලන්නේ නොවේ. ධර්‍මය අරමුණු කොටම ඍජු බවට පැමිණේ. ක්ලේශයන් සිඳීමෙන් නීවරණ විෂ්කම්භනය වේ. එහෙයින් ධ්‍යානාඞ්ග පහළ වීමෙන් උපචාරධ්‍යානය උපදී. දහම් ගුණ ගැඹුරු හෙයින් අර්‍පණා ප්‍රාප්ත නොවේ.