2. සන්‍දිට්ඨික නම් වූ ගුණය
ස්වකීය සන්තානයෙහි රාගාදීන් නැති කරණ බැවින් තමා විසින් ම දැක්ක යුතු ය යන අර්‍ත්‍ථයෙන් ආර්‍ය්‍ය මාර්‍ගය, සන්‍දිට්ඨික නම් වන්නේ ය. නවවිධ ලෝකෝත්තර ධර්‍මය, යම් කෙනෙකු විසින් අධිගත නම්, ප්‍රත්‍යක්‍ෂඥානයෙන් තමා විසින් ම දැක්ක යුතු බැවින් ලෝකෝත්තර ධර්‍ම සන්‍දිට්ඨික නම් වන්නේ ය. එහෙයින් ආර්‍ය්‍යමාර්‍ගය ද නවලෝකෝත්- තර ධර්‍මය ද සන්‍දිට්ඨික නම් වේ. රාගයෙන් රත්වූ, රාගයෙන් අභිභූතවූ, රාගයෙන් චලඳනා ලද්දාවූ, පුද්ගල තෙම, තමහට වධ පිණිස ද, අන්‍යයන්ට වධ පිණිස ද, තමන්ට හා අන්‍යයන්ටත් වධ පිණිස ද සිතන්නේ ය. චෛතසික වූත් දුක් දොම්නස් විඳින්නේ ය. රාගය ප්‍රහීණවූ කල්හි තමන්ට හෝ අන්‍යයන්ට හෝ, ඒ දෙපක්‍ෂයටම හෝ වධ පිණිස නො සිතන්නේ ය. චෛතසිකවූත් දුක් - දොම්නස් නොවිඳින්නේ ය. මෙසේ හෙයින් මේ ආර්‍ය්‍ය මාර්‍ගය සන්‍දිට්ඨික යයි බුදුන්වහන්සේ විසින් වදාළ සේක. දෘෂ්ට යනු දැකීමය. සංදර්ශනයට සුදුසු හෙයින් සන්‍දිට්ඨික නම්.
ලොකොත්තර ධර්‍මය, භාවනා ප්‍රතිවෙධ වශයෙන් ද, ප්‍රත්‍යක්‍ෂ ප්‍රතිවෙධ වශයෙන් ද දක්නා ලබන හෙයින් සන්‍දිට්ඨික නම් වන්නේ ය.