1. ස්වාක්ඛාත නම් වූ ගුණය
භාග්‍යවතුන්වහන්සේ විසින් පර්‍ය්‍යාප්ති ධර්මය හා නවලොකොත්තර ධර්මය ද මනාකොට දේශනා කරණ ලද හෙයින් ධර්මය ස්වාක්ඛාත නම් වන්නේ ය.
පර්‍ය්‍යාප්ති ධර්මය, වනාහි:-
- ආදි කල්‍යාණ, මජ්ඣෙ කල්‍යාණ, පරියොසාන කල්‍යාණ බැවින් ද,
- සාර්ථ, සබ්‍යඤ්ජන, සර්වසම්පූර්ණ පිරිසුදු බ්‍රහ්මචර්‍ය්‍යාව ප්‍රකාශ වන බැවින් ද, ස්වාක්ඛාතය.
සූත්‍ර පිටකය වශයෙන් ගත් කල්හි බුදුන්වහන්සේ වදාළ:-
- එක් ගාථාවෙක්හි, මූල පදයෙන් ආදිකල්යාණය, දෙවන, තුන් වන පදයෙන් මජ්ඣකල්යාණය, අවසන් පදෙන් පරියෝසාන කල්‍යාණය.
- එකානුසන්ධික සූත්රයෙක්හි, නිදානයෙන් ආදි කල්‍යාණය, නිගමනයෙන් පරියෝසාන කල්‍යාණය, සෙස්සෙන් මජ්ඣ කල්‍යාණය.
- නානානුසන්ධික සූත්රයෙක්හි, ප්‍රථම අනුසන්ධියෙන් ආදිකල්යාණය, අවසාන අනුසන්ධියෙන් පරියෝසාන කල්‍යාණය, සෙස්සෙන් මජ්ඣකල්යාණය.
සූත්‍ර විනය උභය පිටක වශයෙන් වනාහි:-
සනිදාන, සඋත්පත්තික වශයෙන් ආදි කල්‍යාණය. විනෙය ජනයන්ට අනුරූප බැවින් හා දෙසනු ලබන ශීලාදී අර්ථ අවිපරීත බැවින් හා හේතු උදාහරණ සහිත බැවින් හා මධ්‍ය වශයෙන් මජ්ඣ කල්‍යාණය. අසන්නවුන්ට ශ්‍රද්ධාව උපද වන හෙයින් නිගමන වශයෙන් පරියෝසාන කල්‍යාණය.
ත්‍රිපිටකය වශයෙන් වනාහි, සියලු පර්යාප්ති ශාසනය එහි අර්ථය වූ ශීල වශයෙන් ආදි කල්‍යාණය. සමථ, විදර්ශනා, මාර්ග, ඵල වශයෙන් මජ්ඣ කල්‍යාණය. නිර්වාණය වශයෙන් පරියෝසාන කල්‍යාණය.
තවද, ශීල, සමාධි වශයෙන් ආදි කල්‍යාණය, විදර්ශනා මාර්ග වශයෙන් මජ්ඣ කල්‍යාණය, ඵල වශයෙන් පරියෝසාන කල්‍යාණය.
තවද, බුදුන්වහන්සේ මනා නුවණ ඇති බැවින් ධර්ම සුබොධිතායෙන් ආදි කල්‍යාණය. සංක්ලේශයන්ගේ ප්රහාණත්වය හා ව්යවහාරදානයාගේ පරිපූර්ණත්වය ගෙන දෙන හෙයින් ධර්මසුධර්මතායෙන්, මජ්ඣ කල්‍යාණය. සඞ්ඝ සුප්රතිපත්තියෙන් පරියෝසාන කල්‍යාණය.
ධර්මය අසා ඒ පිණිස පිළිපදිනවුන් විසින් අවබෝධ කටයුතු අභිසම්බෝධියෙන් ආදි කල්‍යාණය. ප්රත්යෙක බොධියෙන් මජ්ඣෙ කල්‍යාණය. ශ්‍රාවක බොධියෙන් පරියොසාන කල්‍යාණය.
ධර්මය ශ්‍රවණ මාත්‍රයෙන් ආදි කල්‍යාණය. ප්‍රතිපත්තියෙන් මජ්ඣෙ කල්‍යාණය. ඵලයෙන් පරියොසාන කල්‍යාණය.
යම් ශාසන බ්‍රහ්මචර්‍ය්‍යාවක් හා මාර්ග බ්‍රහ්මචර්‍ය්‍යාවක් භාග්‍යවතුන්වහන්සේ ප්‍රකාශ කරත් ද, නානා නයෙන් දක්වත් ද ඒ බ්‍රහ්මචර්‍ය්‍යාව තම තමාට යෙදෙන යෙදෙන පරිදි අර්ත්ථ සම්පත්තියෙන් යුක්ත බැවින් සාර්ත්ථ නම් වන්නේ ය. බ්‍යඤ්ජන සම්පත්තියෙන් යුක්ත බැවින් සබ්‍යඤ්ජන නම් වන්නේය. ත්‍රිවිධ ශික්ෂාව හා සියලු පාළි ධර්මය ද ශාසන බ්‍රහ්මචර්‍ය්‍යා නම්. සියලු ශික්ෂාවන්ගේ සාරය වූ ශික්ෂාත්රය සඞ්ඛ්‍යාත ආර්‍ය්‍ය මාර්ගය මාර්ග බ්‍රහ්මචර්‍ය්‍යා නම් වේ.
මේ බ්‍රහ්මචර්‍ය්‍යාව වනාහි සංකාසන, පකාසන, විවරණ, විභජන, උත්තානිකරණ, පඤ්ඤත්ති යන ෂට්විධ අර්ත්ථයෙන් යුක්ත බැවින් සාර්ත්ථය.
සංකාසනය නම් අර්ත්ථය හැඟවීමය.
පකාසනය නම් පළමුවෙන් අර්ත්ථය හැඟවීමය.
විවරණය නම් සංක්ෂෙපයෙන් කියන ලද්ද විස්තර කිරීමය.
විභජනය නම් පළමු කියන ලද්ද නැවත නැවත බෙදා දැක්වීමය.
උත්තානිකරණය නම් විවරණය තවද ප්‍රකට කොට කීමය.
පඤ්ඤත්තිය නම් විභජන දෘෂ්ටාන්ත දැක්වීමෙන් ශ්‍රවණය කළවුන්ගේ සිත් සතුටු වන සේ ප්‍රකාරයෙන් හැඟවීමය.
මේ ෂට්විධ අර්ථයන් අතුරෙන් සංකාසන, පකාසන දෙකින් උද්දෙසය ද, විවරණ, විභජන දෙකින් නිද්දෙසය ද, උත්තානිකරණ, පඤ්ඤත්ති දෙකින් පටිනිද්දෙසය ද දක්වන ලදී.
එසේම, බ්‍රහ්මචර්යාව, අක්ඛර, පද, බ්‍යඤ්ජන, ආකාර, නිරුත්ති, නිද්දෙස යන ෂට්විධ ශබ්ද සම්පත්තියෙන් යුක්ත බැවින් සබ්යඤ්ජනය.
අක්ඛර නම් අකුරුයි.
පද නම් එක් අකුරකින් හෝ කීපයකින් හෝ අර්ථ ප්‍රකාශ වන වචනයයි.
බ්‍යඤ්ජන නම් පද කීපයක් එක්වීමෙන් සෑදෙන වාක්‍යයයි.
ආකාර නම් වාක්‍ය විභාග කිරීමයි.
නිරුත්ති නම් නිර්වචනයයි.
නිද්දෙසය නම් නිර්වචනය තවද විස්තර කිරීමයි.
තවද, අර්ථ ගම්භීරත්වයෙන් හා ප්‍රතිවෙධ ගම්භීරත්ව- යෙන් ද යුක්ත බැවින් සාර්ථය. ධර්ම ගම්භීරත්වයෙන් හා දෙශනා ගම්භීරත්වයෙන් යුක්ත බැවින් සබ්යඤ්ජනය.
තවද, අත්ථපටිසම්භිදා, පටිභාන පටිසම්භිදා වශයෙන් සාර්ථය. ධම්මපටිසම්භිදා, නිරුත්ති පටිසම්භිදා වශයෙන් සබ්යඤ්ජනය.
උගතුන් විසින් දතයුතු බැවින් පරීක්ෂක ජනයාගේ චිත්තප්‍රසාදය එළවන හෙයින් ද, ගැඹුරු අදහස් ඇති බැවින් ද සාර්ත්ථය, ඇදහිය යුතු බැවින් ලෞකික ජනයාගේ චිත්ත ප්‍රසාදය එළවන හෙයින් ද නොගැඹුරු පද ඇති හෙයින් ද සබ්යඤ්ජනය.
අඩුවක් නැති හෙයින් සර්වසම්පූර්ණය. අධිකයයි බැහැර කළ යුත්තක් නැතිව සියල්ල නිර්දෝෂ බැවින් පිරිසුදුය.
ශීලවිසුද්ධි ආදී සම්‍යක් ප්‍රතිපත්තියෙන් අධිගමය ප්‍රකාශ වන බැවින් සාර්ත්ථය, පර්‍ය්‍යාප්තියෙන් ආගමය ප්‍රකාශ වන බැවින් සබ්යඤ්ජනය. ශීලාදී පඤ්ච ධර්මස්කන්ධයෙන් යුක්ත බැවින් සර්වසම්පූර්ණය. දිට්ඨි, මානාදී උපක්ලේශ නැති හෙයින් ද පිරිසුදුය.
මෙසේ සාර්‍ත්‍ථවූ ද, සබ්යඤ්ජනවූ ද, සර්වසම්පූර්ණවූ ද, පිරිසුදුවූ ද, බ්‍රහ්මචර්‍ය්‍යාව ප්‍රකාශ කරණ හෙයින් පර්‍ය්‍යාප්ති ධර්මය ස්වාක්ඛාත නම් වන්නේ ය.
ලෝකෝත්තර ධර්මය වනාහි නිර්වාණයට අනුරූප ප්‍රතිපත්තිය ද, ප්‍රතිපත්තියට අනුරූපවූ නිර්වාණය ද වදාළ බැවින් ස්වාක්ඛාත නම් වන්නේ ය.
ආර්‍ය්‍ය මාර්ගය අන්තද්වයට නොපැමිණ මධ්‍යම ප්‍රතිපදා වූයේම මධ්යමප්රතිපදායයි කියන ලද හෙයින් ස්වාක්ඛාතය. ආර්‍ය්‍ය ඵලය සංසුන් කෙලෙස් ඇත්තේම සංසුන් කෙලෙස් ඇතැයි කියන ලද හෙයින් ස්වාක්ඛාතය. නිර්වාණය ශාස්වත, අමෘත, ත්‍රාණ, ලෙණාදී ස්වභාව ඇති හෙයින්ම ශාස්වත, අමෘත, ත්‍රාණ, ලෙණ යයි වදාළ බැවින් ද ස්වාක්ඛාතය.