17. ධ්‍යාන ප්‍රත්‍යය
සියලුම චිත්ත චෛතසික ධර්මයෝ අරමුණක් ගෙනම උපදිති. ඒ ධර්මයන් අතුරෙන් අරමුණු ගැනීමෙහි අධිකොත්සාහයක් ඇත්තාවූද, අරමුණු ගැනීමෙහි ප්‍රමුඛත්වය දරන්නාවූද ධර්මයෝ සත්දෙනෙක් වෙති. එනම්: විතක්කය, විචාරය, පීතිය, එකග්ගතාය, සොමනස්සය, දොමනස්සය, උපෙක්ඛාය යන ධර්මයෝයි. මේ ධර්මයෝ අරමුණ කරා යන්නාක් මෙන්ද, අරමුණට පිවිසෙන්නාක් මෙන්ද, අරමුණ දෙස බලන්නාක් මෙන්ද, අරමුණ පිරිමදින්නාක් මෙන්ද, විශේෂයෙන් අරමුණ ගැනීම කෙරෙති. එහෙයින් ආරම්මණය එළඹ බලන්නේය යන අර්ථයෙන් ඒ ධර්මයන්ට ධ්‍යාන ධර්මයෝ යයි කියනු ලැබේ. තවද රූපාවචර අරූපාවචර ධ්‍යාන සිත්හිද, ලොකොත්තර සිත්හිද ප්රතිපක්ෂ ධර්මයන් දවන අර්ථයෙන්ද මේ ධර්මයන්ට ධ්‍යාන යන නාමය ව්‍යවහාර වේ.
විපඤ්ච විඥානයන් හැර සියලුම කුසලාකුසල අව්‍යාකෘත ධර්මයන්ගේ අරමුණට යොමුවීම, අරමුණ දෙස බැලීම, අරමුණ ගනිමින් ඉපදීම ආදී කෘත්‍යයන් සිදුවන්නේ මේ ධ්‍යාන ධර්මයන්ගේ උපකාරයෙනි. ඒ ධ්‍යාන ධර්මයන්ට අනුව ඒ සිත හා ඒ සිත්වල යෙදෙන අන්‍ය චෛතසිකයෝද අරමුණ ගනිමින් උපදිති. මෙසේ සම්ප්‍රයුක්ත ධර්මයන්ට අරමුණ ගැනීම් වශයෙන් උපකාර වන්නාවූ ඒ ධ්‍යාන ධර්මයන්ට ධ්‍යාන ප්‍රත්‍යය යයි කියනු ලැබේ. මේ ධ්‍යාන ධර්මයෝ සම්ප්‍රයුක්ත ධර්මයන්ට පමණක් නොව ඒ සිත හා එක්ව උපදනා චිත්තජ රූපයන්ටද ප්රතිසන්ධි කර්මජ රූපයන්ටද ධ්‍යාන ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.
රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ඨබ්බ යන ආරම්මණයෝ චක්ඛු, සොත, ඝාන, ජිව්හා, කාය ප්‍රසාද වස්තුන්හි ස්පර්ශවීම නිසා, ඒ ආයතනයන්හි උපදනා චක්ෂුර් විඥානාදී විපඤ්ච විඥානයෝ, අරමුණ ගැනීමෙහිදී උත්සාහයක් නො දරති. එබැවින් ඒ විපඤ්ච විඥාන චිත්තයන්හි ඇති එකග්ගතා, සුඛ, දුක්ඛ, උපෙක්ෂාවෝ ධ්‍යාන ප්‍රත්‍යය ධර්මයන් වශයෙන් සලකනු නොලැබෙත්.