අභිධර්මාර්ථ ප්‍රදීපිකා

ඉන්‍ද්‍රිය ප්‍රත්‍යය පිළිබඳ විසර්‍පනා වාර හෙවත් වීථි

සතකි.

1. වීථිය

කුසලො ධම්මො කුසලස්ස ධම්මස්ස ඉන්ද්‍රිය පච්චයෙන පච්චයො.

(කුසල ධර්මය කුසල ධර්මයට ඉන්ද්‍රිය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)

මෙහි කුසල ධර්මයට ඉන්ද්‍රිය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වන කුසල ධර්මයෝ නම්: සම්ප්‍රයුක්ත ස්කන්‍ධයන්ට ප්‍රත්‍යය වන එක්විසි කුසල් සිත්හි ඇති, ජීවිත, චිත්ත, වෙදනා, සද්ධා, විරිය, සති, එකග්ගතා, පඤ්ඤා යන නාමෙන්ද්‍රිය ධර්මයෝ අට දෙනය.

ප්‍රත්‍යොත්පන්න වශයෙන් ලැබෙන ධර්මයෝ නම් කුසල නාමස්කන්‍ධයෝ යි.

මෙහිදී එක්වර සුදුසු පරිදි ලැබෙන හේතු, අධිපති, සහජාත, අඤ්ඤමඤ්ඤ, නිස්සය, ආහාර, ඉන්ද්‍රිය, ඣාන මග්ග, සම්පයුත්ත, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති දොළොස අතුරෙන් ඉන්ද්‍රිය ශක්තිය ලැබේ.

මෙහි අනුවාදය වශයෙන්:

කුසලා ඉන්ද්‍රියා සම්පයුත්තකානං ඛන්‍ධානං ඉන්ද්‍රිය පච්චයෙන පච්චයො.

(එක්විසි කුසල චිත්තයන්හි ඇති ජීවිත, චිත්ත, වෙදනා, සද්ධා, විරිය, සති, එකග්ගතා, පඤ්ඤා යන ඉන්ද්‍රිය ධර්මයෝ අටදෙන සම්ප්‍රයුක්ත කුසල නාමස්කන්‍ධයන්ට ඉන්ද්‍රිය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වෙත්.)

2. වීථිය

කුසලො ධම්මො අබ්‍යාකතස්ස ධම්මස්ස ඉන්ද්‍රිය පච්චයෙන පච්චයො.

(කුසල ධර්මය අව්‍යාකෘත ධර්මයට ඉන්ද්‍රිය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)

මෙහි අව්‍යාකෘත ධර්‍මයට ඉන්ද්‍රිය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වන කුසල ධර්‍මයෝ නම්:

චිත්තජ රූපයන්ට ප්‍රත්‍යය වන පඤ්චවොකාර භූමියෙහි උපදනා අවස්ථාවෙහි වූ කුසල් සිත් එක්විස්සෙහි වූ ජීවිත, චිත්ත, වෙදනා, සද්ධා, විරිය, සති, එකග්ගතා, පඤ්ඤා යන නාමෙන්ද්‍රිය ධර්‍මයෝ අට දෙනය.

ප්‍රත්‍යයොත්පන්න වශයෙන් ලැබෙන අව්‍යාකෘත ධර්‍මයෝ නම්: කුසල චිත්තජ රූපයෝ ය.

මෙහිදී හේතු, අධිපති, සහජාත, අඤ්ඤමඤ්ඤ, නිස්සය, ආහාර, ඉන්‍ද්‍රිය, ඣාන, මග්ග, විප්පයුත්ත, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති දොළොස අතුරෙන් ඉන්‍ද්‍රිය ප්‍රත්‍යය ශක්තිය ලැබේ.

මෙහි අනුවාදය වශයෙන්:

කුසලා ඉන්ද්‍රියා චිත්ත සමුට්ඨානානං රූපානං ඉන්‍ද්‍රිය පච්චයෙන පච්චයො.

(එක්විසි කුසල් සිත්හි ඇති ජීවිත, චිත්ත ආදී වූ කුසල ඉන්‍ද්‍රිය ධර්‍මයෝ අටදෙන කුසල චිත්තජ රූපයන්ට ඉන්‍ද්‍රිය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වෙත්.)

3. වීථිය

කුසලො ධම්මො කුසලස්සව අබ්‍යාකතස්සව ධම්මස්ස ඉන්‍ද්‍රිය පච්චයෙන පච්චයො.

(කුසල ධර්‍මය කුසලාව්‍යාකෘත ධර්‍මයට ඉන්‍ද්‍රිය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)

මෙහි කුසලාව්‍යාකෘත ධර්මයට ඉන්‍ද්‍රිය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාරවන කුසල ධර්‍මයෝ නම්:

සම්ප්‍රයුක්ත ස්කන්‍ධයන්ට හා චිත්තජ රූපයන්ට ප්‍රත්‍යය වන එක්විසි කුසල චිත්තයන්හි ඇති ජීවිත චිත්තාදී වූ කුසල ඉන්‍ද්‍රිය ධර්‍මයෝ අටදෙනය,

ප්‍රත්‍යොත්පන්න වශයෙන් ලැබෙන කුසලාව්‍යාකෘත ධර්මයෝ නම්:

සම්ප්‍රයුක්ත ස්කන්‍ධයන් හා කුසල චිත්තජ රූපයෝ ය.

මෙහිදී එක්වර සුදුසු පරිදි ලැබෙන භේතු, අධිපති, සහජාත, අඤ්ඤමඤ්ඤ, නිස්සය, ආහාර, ඉන්‍ද්‍රිය, ඣාන, මග්ග, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්තින් අතුරෙන් ඉන්‍ද්‍රිය ප්‍රත්‍යය ශක්තිය ලැබේ.

මෙහි අනුවාදය වශයෙන්:

කුසලා ඉන්‍ද්‍රියා සම්පයුත්තකානං ඛන්‍ධානං චිත්ත සමුට්ඨානානඤ්ච රූපානං ඉන්‍ද්‍රිය පච්චයෙන පච්චයො

(එක්විසි කුසල් සිත්හි ඇති ජීවිත චිත්ත, ආදීවූ කුසල ඉන්‍ද්‍රිය ධර්මයෝ අටදෙන සම්ප්‍රයුක්ත කුසල නාමස්කන්‍ධයන්ට හා කුසල චිත්තජ රූපයන්ටද ඉන්‍ද්‍රිය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වෙති.)

4. වීථිය

අකුසලො ධම්මො අකුසලස්ස ධම්මස්ස ඉන්‍ද්‍රිය පච්චයෙන පච්චයො

(අකුසල ධර්මය අකුසල ධර්මයට ඉන්‍ද්‍රිය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ)

මෙහි අකුසල ධර්මයන්ට ඉන්‍ද්‍රිය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාරවන අකුසල ධර්මයෝ නම්: සම්ප්‍රයුක්ත අකුසල නාමස්කන්‍ධයන්ට ප්‍රත්‍යයවන දොළොස් අකුසල් සිත්හි ඇති, ජීවිත, චිත්ත, වෙදනා, විරිය, එකග්ගතා යන අකුසල ඉන්‍ද්‍රිය ධර්මයෝ පස්දෙනය.

ප්‍රත්‍යොත්පන්න වශයෙන් ලැබෙන අකුසල ධර්මයෝ නම් සම්ප්‍රයුක්ත අකුසල නාමස්කන්‍ධයෝයි.

මෙහි අනුවාදය වශයෙන්:

අකුසලා ඉන්‍ද්‍රියා සම්පයුත්තකානං ඛන්‍ධානං ඉන්‍ද්‍රිය පච්චයෙන පච්චයො.

(දොළොස් අකුසල් සිත්හි ඇති ජීවිත, චිත්ත, වෙදනා, විරිය, එකග්ගතා යන අකුසල ඉන්‍ද්‍රිය ධර්මයෝ පස්දෙන සම්ප්‍රයුක්ත අකුසල නාමස්කන්‍ධයන්ට ඉන්‍ද්‍රිය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වෙත්.)

5. වීථිය

අකුසලො ධම්මො අබ්‍යාකතස්ස ධම්මස්ස ඉන්‍ද්‍රිය පච්චයෙන පච්චයො.

(අකුසල ධර්මය අව්‍යාකෘත ධර්මයට ඉන්‍ද්‍රිය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)

මෙහි අව්‍යාකෘත ධර්මයට ඉන්‍ද්‍රිය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාරවන අකුසල ධර්මයෝ නම්:

දොළොස් අකුසල් සිත්හි ඇති ජීවිත, චිත්ත, වෙදනා, විරිය, එකග්ගතා යන අකුසල ඉන්‍ද්‍රිය ධර්මයෝයි.

ප්‍රත්‍යොත්පන්න වශයෙන් ලැබෙන අව්‍යාකෘත ධර්මයෝ නම්:

අකුසල චිත්තජ රූපයෝයි.

මෙහි අනුවාදය වශයෙන්:

අකුසලා ඉන්‍ද්‍රියා චිත්ත සමුට්ඨානානං රූපානං ඉන්‍ද්‍රිය පච්චයෙන පච්චයො.

(දොළොස් අකුසල් සිත්හි ඇති ජීවිත, චිත්ත, වෙදනා, විරිය, එකග්ගතා, යන අකුසල ඉන්‍ද්‍රිය ධර්ම පස අකුසල චිත්තජ රූපයන්ට ඉන්‍ද්‍රිය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වෙත්.)

6. වීථිය

අකුසලො ධම්මො අකුසලස්සව අබ්‍යාකතස්සව ධම්මස්ස ඉන්‍ද්‍රිය පච්චයෙන පච්චයො.

(අකුසල ධර්මය අකුසලාව්‍යාකෘත ධර්මයට ඉන්‍ද්‍රිය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)

මෙහි අකුසලාව්‍යාකෘත ධර්මයට ඉන්‍ද්‍රිය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාරවන අකුසල ධර්මයෝ නම්:

දොළොස් අකුසල් සිත්හි ඇති ජීවිත, චිත්ත, වෙදනා, විරිය, එකග්ගතා යන අකුසල ඉන්‍ද්‍රිය ධර්මයෝ පස්දෙනය.

ප්‍රත්‍යොත්පන්න වශයෙන් ලැබෙන අකුසලාව්‍යාකෘත ධර්මයෝ නම්:

සම්ප්‍රයුක්ත අකුසල නාමස්කන්‍ධයන් හා චිත්තජ රූප යෝ යි.

මෙහි අනුවාදය වශයෙන්:

අකුසලා ඉන්‍ද්‍රියා සම්පයුත්තකානං බන්‍ධානං චිත්ත සමුට්ඨානානඤ්ච රූපානං ඉන්‍ද්‍රිය පච්චයෙන පච්චයො.

(දොළොස් අකුසල් සිත්හි ඇති, ජීවිත, චිත්ත, වෙදනා, විරිය, එකග්ගතා යන අකුසල ඉන්‍ද්‍රිය ධර්මයෝ පස්දෙන සම්ප්‍රයුක්ත අකුසල නාමස්කන්‍ධයන්ට හා අකුසල චිත්තජ රූපයන්ට ද ඉන්‍ද්‍රිය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)

  1. විථිය.

අබ්‍යාකතො ධම්මො අබ්‍යාකතස්ස ධම්මස්ස ඉන්‍ද්‍රිය පච්චයෙන පච්චයො.

අව්‍යාකෘත ධර්මයට ඉන්‍ද්‍රිය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වන අව්‍යාකෘත ධර්මයෝ නම්:

සම්ප්‍රයුක්ත ස්කන්‍ධයන්ට ද, සම්ප්‍රයුක්තස්කන්‍ධ හා චිත්තජ රූපයන්ට ද ප්‍රත්‍යය වන විපාක සිත් සතිසය (36), ක්‍රියා සිත් විස්සය, චෛතසික අටතිසය (38) යන ධර්මයන්හි ඇති නාමෙන්‍ද්‍රිය ධර්ම අටදෙනය.

ප්‍රත්‍යොත්පන්න වශයෙන් ලැබෙන අව්‍යාකෘත ධර්මයෝ නම්:

විපාක සිත් සතිසය (36), ක්‍රියා සිත් විස්සය, චෛතසික අටතිසය (38) යන නාමස්කන්‍ධයන් හා චිත්තජ රූපයෝ යි.

මෙහිදී එක්වර සුදුසු පරිදි ලැබෙන හේතු, අධිපති, සහජාත, අඤ්ඤමඤ්ඤ, නිස්සය, ආහාර, ඉන්‍ද්‍රිය, විපාක, සම්පයුත්ත, විප්පයුත්ත, ධ්‍යාන, මග්ග, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති තුදුස අතුරෙන් ඉන්‍ද්‍රිය ප්‍රත්‍යය ශක්තිය ලැබේ.

ප්‍රතිසන්‍ධි කාලයෙහි

අව්‍යාකෘත ධර්මයට ඉන්‍ද්‍රිය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වන අව්‍යාකෘත ධර්මයෝ නම්:

සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට ද, සම්ප්‍රයුක්තස්කන්‍ධයන්ට සහ කර්මජ රූපයන්ට ද ප්‍රත්‍යය වන ප්‍රතිසන්‍ධි සිත් එකුන් විස්සය, චෛතසික පන්තිසය යන මොවුන් කෙරෙහි ඇති නාමෙන්‍ද්‍රිය අටදෙනය.

ප්‍රත්‍යොත්පන්න වශයෙන් ලැබෙන අව්‍යාකෘත ධර්මයෝ නම්:

ප්‍රතිසන්‍ධි සිත් එකුන්විස්සය, චෛතසික පන්තිසය යන නාමස්කන්‍ධයන් හා කර්මජ රූපයෝ ද වෙත්.

පුරෙජාතින්‍ද්‍රිය ප්‍රත්‍යය ධර්ම වශයෙන් ලැබෙන අව්‍යාකෘත ධර්මයෝ නම්:

චක්‍ෂුර්විඥාන චයයට ප්‍රත්‍යය වන මධ්‍යමායුෂ්ක චක්‍ෂුප්‍රසාද රූපයය, ශ්‍රෝතවිඥාන චයයට ප්‍රත්‍යය වන මධ්‍යමායුෂ්ක ශ්‍රෝතප්‍රසාද රූපයය, ඝ්‍රාණවිඥාන චයයට ප්‍රත්‍යය වන මධ්‍යමායුෂ්ක ඝ්‍රාණප්‍රසාද රූපයය, ජිව්හා විඥාන චයයට ප්‍රත්‍යය වන මධ්‍යමායුෂ්ක ජිව්හා ප්‍රසාද රූපයය, කායවිඥාන චයයට ප්‍රත්‍යය වන මධ්‍යමායුෂ්ක කායප්‍රසාද රූපයය යන ධර්මයෝ යි.

ප්‍රත්‍යොත්පන්න වශයෙන් ලැබෙන අව්‍යාකෘත ධර්මයෝ නම්:

ද්විපඤ්ච විඥානයෝ ය, සබ්බචිත්ත සාධාරණ චෛතසික සතය යන ධර්මයෝ යි.

මෙහිදී එක්වර සුදුසු පරිදි ලැබෙන නිස්සය, පුරෙජාත, ඉන්‍ද්‍රිය, විප්‍රයුත්ත, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති සය අතුරෙන් ඉන්‍ද්‍රිය ප්‍රත්‍යය ශක්තිය ලැබේ.

රූප ජීවිතෙන්‍ද්‍රියයෙහි ඉන්‍ද්‍රිය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වන අව්‍යාකෘත ධර්‍මයෝ නම්:

කර්මජ රූප කලාපයන්හි ඉතිරි රූපයන්ට ප්‍රත්‍යය වන රූප ජීවිතෙන්‍ද්‍රිය ලැබේ.

ප්‍රත්‍යොත්පන්න වශයෙන් ලැබෙන අව්‍යාකෘත ධර්‍මයෝ නම්:

කර්මජ කලාපයන්හි ජීවිතෙන්‍ද්‍රිය රූපයෙන් අන්‍ය රූපයෝය.

මෙහිදී එක්වර සුදුසු පරිදි ලැබෙන ඉන්‍ද්‍රිය, අත්‍ථි, අවිගත යන ප්‍රත්‍යය ශක්ති තුන අතුරෙන් ඉන්‍ද්‍රිය ප්‍රත්‍යය ශක්තිය ලැබේ.

මෙහි අනුවාද වශයෙන්:

  1. විපාකාබ්‍යාකතා කිරියාබ්‍යාකතා ඉන්‍ද්‍රියා සම්පයුත්තකානං ඛන්‍ධානං චිත්තසමුට්ඨානානඤ්ච රූපානං ඉන්‍ද්‍රිය පච්චයෙන පච්චයො. (විපාක සිත් සතිසය (36), ක්‍රියා සිත් විස්සය (20), චෛතසික අටතිසය (38) යන අව්‍යාකෘත ධර්මයන්හි ඇති නාමෙන්‍ද්‍රියයෝ අටදෙන සම්ප්‍රයුක්ත අව්‍යාකෘත නාමස්කන්‍ධයන්ට සහ අව්‍යාකෘත චිත්තසමුට්ඨාන රූපයන්ටද ඉන්‍ද්‍රිය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වෙත්.)
  2. පටිසන්‍ධික්ඛණෙ විපාකාබ්‍යාකතා ඉන්‍ද්‍රියා සම්පයුත්තකානං ඛන්‍ධානං කටත්තාව රූපානං ඉන්‍ද්‍රිය පච්චයෙන පච්චයො. (ප්‍රතිසන්‍ධික්‍ෂණයෙහිදී ප්‍රතිසන්‍ධි සිත් එකුන්විස්සය (19), චෛතසික පන්තිසය (35) යන මේ ධර්මයන් කෙරෙහි ඇති නාමෙන්‍ද්‍රියයෝ අටදෙන, සම්ප්‍රයුක්ත අව්‍යාකෘත නාමස්කන්‍ධ යන්ට හා කර්මජ රූපයන්ටද ඉන්‍ද්‍රිය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වෙත්.)
  3. චක්ඛින්‍ද්‍රියං චක්ඛු විඤ්ඤාණස්ස ඉන්‍ද්‍රිය පච්චයෙන පච්චයො. (මධ්‍යමායුෂ්ක චක්‍ෂුර්ප්‍රසාද රූපය චක්ඛු විඥානයට ඉන්‍ද්‍රිය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ)
  4. සොතින්‍ද්‍රියං සොතවිඤ්ඤාණස්ස ඉන්‍ද්‍රිය පච්චයෙන පච්චයො. (මධ්‍යමායුෂ්ක ශ්‍රෝතප්‍රසාද රූපය ශ්‍රෝත විඥානයට ඉන්‍ද්‍රිය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
  5. ඝාණින්‍ද්‍රියං ඝාණ විඤ්ඤාණස්ස ඉන්‍ද්‍රිය පච්චයෙන පච්චයො. (මධ්‍යමායුෂ්ක ඝ්‍රාණප්‍රසාද රූපය ඝාණවිඥානයට ඉන්‍ද්‍රිය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
  6. ජීව්හින්‍ද්‍රියං ජීව්හා විඤ්ඤාණස්ස ඉන්‍ද්‍රිය පච්චයෙන පච්චයො. (මධ්‍යමායුෂ්ක ජීව්හාප්‍රසාද රූපය ජීව්හා විඥානයට ඉන්‍ද්‍රිය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)
  7. කායින්‍ද්‍රියං කායවිඤ්ඤාණස්ස ඉන්‍ද්‍රිය පච්චයෙන පච්චයො. (මධ්‍යමායුෂ්ක කායප්‍රසාද රූපය කාය විඥානයට ඉන්‍ද්‍රිය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ)
  8. රූප ජීවිතින්‍ද්‍රියං කටත්තා රූපානං ඉන්‍ද්‍රිය පච්චයෙන පච්චයො. (කර්මජ රූප කලාපයන්හි ජීවිතින්‍ද්‍රිය රූපය, එයින් අන්‍යවූ කර්මජ රූපයන්ට ඉන්‍ද්‍රිය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.)