16. ඉන්ද්රිය ප්‍රත්‍යය
තමන් හා සම්බන්ධ ධර්මයන්ට තමන් අයත් කෘත්‍යයෙහි තමන්ගේ ස්වභාවය ඉක්මවන්නට නොදී තමන්ට අනුකූල කරවන්නාවූ ධර්මයෝ ඉන්ද්රිය ධර්මයෝ යි. ඉන්ද යනු කුසලාකුසලයන්ට නමෙකි. ඉන්ද නම්වූ කුසලාකුසල කර්මය ප්‍රකාශ කරන අර්ථයෙන් ඉන්ද්රිය නම් වේ. එසේම ඉන්ද නම්වූ කුසලාකුසල කර්මයෙන් නිපදවන ලද්දාහුය යන අර්ථයෙන්ද ඉන්ද්රිය නම් වේ. මෙයින් ප්‍රධාන වශයෙන් කර්මජ ඉන්ද්රියයෝ ගැනෙති. තවද, ඉන්ද යනු බුදුන් වහන්සේට නමෙකි. ඉන්ද නම් වූ බුදුන්වහන්සේ විසින් දේශනය කරන ලද්දාහුය යන අර්ථයෙන්ද ඉන්ද්රිය නම් වේ. ඉන්ද නම් වූ තථාගතයන් වහන්සේ විසින් දක්නා ලද්දාහුය යන අර්ථයෙන්ද තථාගතයන් වහන්සේ විසින් සේවනය කරන ලද්දාහුය යන අර්ථයෙන්ද ඉන්ද්රියයෝ නම් වෙති. ඉන්ද්රිය නාමයෙන් හැඳින්වෙන ධර්මයෝ දෙවිස්සෙකි (22). මේ ධර්මයෝ තමන් ඇසුරුකරන නාම ධර්මයන්ද, තමන් හා එක්ව උපදනා නාමරූප ධර්මයන්ද තමන්ට අනුකූල කරවමින් තමන්ගේ ඊශ්වරත්වය දක්වති. ඉන්ද්රිය ධර්මයන්ගේ මේ ඊශ්වරත්වය ඒ හා සම්බන්ධ ධර්මයන්ගේ ඉපදීමටද උපකාර වේ. එසේ ඊශ්වරත්‍වයෙන් උපකාරවන ධර්මයන්ට ඉන්ද්රිය ප්‍රත්‍යය ධර්මයෝ යයි කියනු ලැබේ. මේ දෙවිසි ඉන්ද්රිය ධර්මයන් අතුරෙන් ස්ත්‍රීන්‍ද්‍රිය, පුරුෂේන්‍ද්‍රිය යන ධර්ම දෙක හැර ඉතිරි විසි ඉන්ද්රිය ධර්මයෝ ඉන්ද්රිය ප්‍රත්‍යය ධර්ම වශයෙන් සළකනු ලැබේ. මෙකී භාවරූපයන්ගේ ඊශ්වරත්වය ඇත්තේ ස්ත්‍රීලිඞ්ග පුරුෂලිඞ්ගාදියට පමණය. අන්‍ය හේතූන්ගෙන් උපදනා රූපයන්ට ස්ත්‍රී ආකාර, පුරුෂ ආකාරයන් ගැන්වීමට මේ භාවරූපයෝ සමත්ය. අන්‍ය හේතූන්ගෙන් හටගන්නා රූපයෝ ඒ භාවරූපයන්ට අනුකූලව ස්ත්‍රී පුරුෂ ආකාරයන් ගන්නා බැවින් ඒ ධර්ම දෙක ඉන්ද්රියයෝ නම් වෙති. නමුත් මේ ඉත්‍ථින්‍ද්‍රිය පුරුෂේන්‍ද්‍රිය යන භාවරූප දෙකෙහි ප්‍රත්‍යය ධර්මයන්ට තිබියයුතු ජනක ශක්තිය හෝ, උපස්ථම්භක ශක්තිය හෝ අනුපාලක ශක්තිය හෝ නැති හෙයින් ඒ ධර්ම දෙක ප්‍රත්‍යය ධර්ම වශයෙන් සළකනු නොලැබේ.
ඉන්ද්රිය ප්‍රත්‍යය ධර්මයෝ, සහජාතින්ද්රිය ප්‍රත්‍යය ධර්මය, පුරෙජාතින්ද්රිය ප්‍රත්‍යය ධර්මය, රූප ජීවිතෙන්ද්රිය ප්‍රත්‍යය ධර්මය යයි තෙවැදෑරුම් වේ. තමන් හා එක්වර උපදනා ධර්මයන්ට ප්‍රත්‍යයවන අරූප ඉන්ද්රිය ධර්මයෝ සහජාතින්ද්රිය ප්‍රත්‍යය ධර්මයෝයි. තමන් පළමු ඉපිද, පසුව උපදනා පඤ්ච විඥානයන්ට ප්‍රත්‍යය වන ප්‍රසාදරූප ධර්මයෝ පුරේජාතින්ද්රිය ප්‍රත්‍යය ධර්මයෝයි. ජීවිතෙන්ද්රිය රූපය, රූප ජීවිතෙන්ද්රිය ප්‍රත්‍යය ධර්මයයි. මේ රූප ජීවිතෙන්ද්රිය, ඉන්ද්රිය භාවයෙන් ප්‍රත්‍යය වන්නේ සහජාත රූපයන්ටය.