අභිධර්මාර්ථ ප්‍රදීපිකා

15. ආහාර ප්‍රත්‍යය

සත්ත්‍වයා පිළිබඳ වූ නාමරූප ධර්මයන්ගේ නැවත නැවත ඇතිවීමටද, පරම්පරා වශයෙන් වැඩීමටද, නොසිඳී පැවැත්මටද උපකාර වන ධර්මයන්ට ආහාර ප්‍රත්‍යයෝයි කියනු ලැබේ. උපන් සත්ත්‍වයන්ගේ පැවැත්මටද උපදින්නට සිටින සත්ත්‍වයන්ට අනුග්‍රහය පිණිසද මේ ආහාරයෝ බොහෝ සෙයින් උපකාර වෙත්. මෙසේ ආහාර ප්‍රත්‍යයයෙන් උපකාර වන ආහාර නාමයෙන් හැඳින්වෙන ධර්මයෝ සතර දෙනෙකි.

එනම්:

  1. කබලිකාරාහාරය
  2. ඵස්සාහාරය
  3. මනෝසඤ්චේතනාහාරය
  4. විඤ්ඤාණාහාරය යන ධර්ම සතරය.

එයින් කබලිකාරාහාරය සංඛ්‍යාතවූ ඔජාරූපය ඔජාෂ්ඨමක රූපකලාප උපදවමින් සම්පූර්ණ රූපකායයටද උපස්ථම්භක භාවයෙන් උපකාර වේ. චතුජකායද පාලනය කෙරේ.

එස්සාහාරය සුඛ, දුක්ඛ, උපෙක්ඛා යන වේදනාත්‍රය උපදවයි.

මනොසඤ්චෙතනාහාරය කාම, රූප, අරූප යන ත්‍රිවිධ භවය ඇති කරයි.

විඤ්ඤාණාහාරය ප්‍රතිසන්‍ධි නාමරූපයන් උපදවයි.

මෙයින් කබලීකාරාහාරය, රූපාහාරයකි.

එස්සාහාරය, මනොසඤ්චෙතනාහාරය විඤ්ඤාණා- හාරය යන ත්‍රිවිධ ආහාරයෝ නාමාහාරයෝයි.

මේ ත්‍රිවිධ නාමාහාරයෝ වේදනාදිය ඇති කරමින් සත්ත්‍වයා පිළිබඳ වූ සියලු නාමරූප ධර්මයන්ගේ පරම්පරා වශයෙන් පැවැත්මට උපස්ථම්භක වේ. කර්මයෙන් ඇති කරන ලද කර්මජ රූපයන්ගේ පරම්පරාව බොහෝ කලක් නොසිඳී පැවැත්මට සෘතු ආහාර යන දෙදෙනාගේ අනුග්‍රහය ලැබිය යුතු— ඒ අනුග්‍රහය නොලදහොත් සත්ත්‍වයා මිය යන්නේය.

ඕජාරූපය සංඛ්‍යාත වූ රූපාහාරය අධ්‍යාත්මික ඕජාරූපය, බාහිර ඕජාරූපය යයි ද්විවිධ වේ. කබලීකාරාහාරයෙහි හෙවත් අනුභව කළ ආහාරයෙහි ඕජා රූපය වශයෙන් ගතයුත්තේ බාහිර සෘතුජ රූප කලාපයන්හි ඇති ඕජා රූපයයි. අධ්‍යාත්මික ඕජාරූපය නම් සත්ත්‍ව ශරීරය පිළිබඳ වූ කර්ම චිත්ත, සෘතු, ආහාර යන සතර සමුට්ඨානික රූප කලාපයන්හි ඇති ඕජා රූපයයි. මේ සියලු ඕජාරූපයෝම ශාරීරික වූ සියලු රූපයන්ටම උපස්ථම්භනය කිරීම වශයෙන් ප්‍රත්‍යය වෙති. බාහිර ඕජාව සත්ත්‍ව ශරීරයට පැමිණෙන්නට පෙර කර්මාදි ප්‍රත්‍යය තුනෙන් හටගත් ඕජා රූපයන්ගෙන් සත්ත්‍ව ශරීරය පාලනය කරනු ලැබේ. බාහිර ඕජාව ශරීරගත වූ තැන් පටන්, ඒ බාහිර ඕජාවය, චතුසමුට්ඨානික අධ්‍යාත්මික ඕජාවය යන සියල්ලෙන්ම ශරීරය පාලනය වේ ශාරීරික වූ රූප කලාපයන්ගෙන් එක් එක් රූප කලාපයක ඇති ඕජාරූපය ඒ කලාපයේ ඉතිරි රූපයන්ට හා අන්‍ය සියලු ශාරීරික රූපයන්ටද ප්‍රත්‍යය වේ. රූපාහාර ප්‍රත්‍යයාගේ ප්‍රත්‍යොත්පන්නයන් වශයෙන් ගතයුත්තේ චතුසමුට්ඨානික රූප කලාපයන්හි ඇති ඕජා රූපයෙන් අන්‍ය රූපයෝ පමණය.

ඵස්සාහාරය - සත්ත්‍වයෝ ස්පර්‍ශ හේතුයෙන් ආරම්මණ රසය විඳ, ඒ වේදනා නමැති උපභෝග පරිභෝග රසය ආස්වාදනය කරමින් එයට සතුටු වෙමින් සසරෙහි නොකලකිරී සිටී. එබැවින් සසර පැවැත්මට හෙවත් ස්කන්‍ධයන්ගේ නොසිඳී පැවැත්මට මේ ඵස්සාහාරය මහත් වූ උපකාරයෙකි.

මනොසඤ්චේතනාහාරය - චෙතනා සංඛ්‍යාත කර්මයෙන් භවයෙන් භවයට යෙමින් සත්ත්‍වයෝ සසර සැරිසරති. චෙතනා නම් වූ කර්මය නැති කල්හි නැවත නැවත ඉපදීමක් ඇති නොවේ. එබැවින් තම තමන් පිළිබඳ වූ අධ්‍යාත්මික ස්කන්‍ධ සන්තතියේ නොසිඳී පැවැත්මට මනොසඤ්චේතනාහාරය මහත් වූ උපකාර යෙකි.

විඤ්ඤාණාහාරය - විඤ්ඤාණයාගේ උපකාරයෙන් අරමුණු දැන, ඒ අරමුණුවල ස්පර්‍ශ, වේදනා, චෙතනාදීන් උපදවාගෙන සසර සැරිසරමින් ස්කන්‍ධයන්ගේ පරම්පරාව නොසිඳ පැවැත්මට මේ විඤ්ඤාණාහාරය මහත් වූ උපකාරයෙකි.