අභිධර්මාර්ථ ප්‍රදීපිකා

ආහාර ප්‍රත්‍යය පිළිබඳ ත්‍රිරාශිය-

1. රූපාහාරය.

රූපාහාර ප්‍රත්‍යය වශයෙන් ගනු ලබන්නේ කබලීකාරාහාරය නම් වූ ආහාර පානයන්හි ඇත්තා වූ බාහිර ඕජාවය.

එහි ප්‍රත්‍යොත්පන්න වශයෙන් ලැබෙන්නේ ආහාර සමුට්ඨානික රූපයෝයි.

ප්‍රත්‍යනීක ධර්මයෝ නම්- එකුන් අනූ (89) චිත්තය, චෛතසික දෙපනසය (52), චිත්තජ රූපයෝය, ප්‍රතිසන්ධි කර්මජ රූපයෝය, බාහිර රූපයෝය, සෘතූජ රූපයෝය, අසංඥසත්ත්ව කර්මජ රූපයෝය, ප්‍රවෘත්ති කර්මජ රූපයෝය යන මොව්හුය.

තවත් ක්‍රමයකින්

රූපාහාර ප්‍රත්‍යය ධර්මයෝ නම්:

අධ්‍යාත්ම සන්තානයෙහි වූ චතුසමුට්ඨානික ඕජාවය,

බාහිර සෘතූජ ඕජාවය යන ඕජා ධර්මයෝ ය,

ප්‍රත්‍යොත්පන්න වශයෙන් ලැබෙන ධර්මයෝ නම්-

ප්‍රත්‍යයවන ඕජාවෙන් අන්‍ය වූ චතුසමුට්ඨානික රූපයෝය යන මේ ධර්මයෝයි.

ප්‍රත්‍යනීක ධර්මයෝ නම්- එකුන් අනූ (89) චිත්තය, චෛතසික දෙපනසය (52), බාහිර රූපයෝය යන මේ ධර්මයෝ ය.

2. නාමාහාරය.

නාමාහාර ප්‍රත්‍යය වන ධර්මයෝ නම්-

ස්පර්ශය, චේතනාවය, විඥානය යන ධර්මයෝ තිදෙනය,

නාමාහාර ප්‍රත්‍යයාගේ ප්‍රත්‍යොත්පන්නයෝ නම්-

එකුන් අනූ (89) චිත්තයෝය, චෛතසික දෙපනසය (52), චිත්තජ රූපයෝය, ප්‍රතිසන්ධි කර්මජ රූපයෝය යන ධර්මයෝයි.

ප්‍රත්‍යනීක ධර්මයෝ නම්-

බාහිර රූපයෝය, ආහාරජ රූපයෝය, සෘතූජ රූපයෝය, අසංඥසත්ත්ව කර්මජ රූපයෝය, ප්‍රවෘත්ති කර්මජ රූපයෝය යන ධර්මයෝය.