අවිද්‍යාව සංස්කාරයන්ට ප්‍රත්‍යය වන ආකාරය.
අවිද්‍යාව, පුණ්‍යාභිසංස්කාරයන්ට දෙපරිද්දෙකින් ප්‍රත්‍යය වේ එනම්:
- ආරම්මණ ප්‍රත්‍යය වශයෙන් ප්‍රත්‍යය වීමද,
- උපනිශ්‍රය ප්‍රත්‍යය වශයෙන් ප්‍රත්‍යය වීමද වේ.
1. අවිද්‍යාව, ක්ෂය වශයෙන්, ව්‍යය වශයෙන් සම්මර්ශනය කරන කල්හි කාමාවචරවූ පුණ්‍යාභිසංස්කාරයන්ට ආරම්මණ ප්‍රත්‍යයෙන් ප්‍රත්‍යය වේ.
අභිඥා චිත්තයෙන් මොහ සහිතවූ චිත්තය දන්නා කල්හි, රූපාවචරවූ පුණ්‍යාභිසංස්කාරයන්ට ආරම්මණ ප්‍රත්‍යයෙන් ප්‍රත්‍යය වේ.
2. අවිද්‍යාව ඉක්මවීම පිණිස දාන, සීලාදීවූ පුණ්‍ය ක්‍රියා වස්තූන් සම්පූර්ණ කරන්නා හටද, රූපාවචර ධ්‍යානයන් උපදවන්නා හටද, ඒ කාමාවචර, රූපාවචර පුණ්‍යාභිසංස්කාරයන්ට උපනිශ්‍රය ප්‍රත්‍යයෙන් ප්‍රත්‍යය වේ. මොහයෙන් වැඩියක් මුළාවූ බැවින් කාමභව, රූපභව සම්පත්තීන් පතා එම කාමාවචර පුණ්යාභිසංස්කාරයන් කරන්නාහටද, උපනිශ්‍රය ප්‍රත්‍යයෙන් ප්‍රත්‍යය වේ.
අවිද්‍යාව, අපුණ්‍යාභිසංස්කාරයන්ට නොයෙක් පරිද්දෙන් ප්‍රත්‍යය වේ.
- අවිද්‍යාව අරමුණුකොට රාග, දිට්ඨි, විචිකිච්ඡා, උද්ධච්ච, දෝමනස්සයන් උපදනා කල්හි ආරම්මණ ප්‍රත්‍යයෙන් ප්‍රත්‍යය වේ.
- ගරුකොට ආස්වාදය කරණ කල්හි ආරම්මණාධි- පති සහ ආරම්මණූපනිස්සය ප්‍රත්‍යයෙන් ප්‍රත්‍යය වේ.
- අවිද්‍යාවෙන් සම්මූළ්හව ආදීනව නොදක්නාසීලීව ප්රාණඝාතාදීන් කරන්නාහට උපනිශ්‍රය ප්‍රත්‍යයෙන් ප්‍රත්‍යය වේ.
- ද්විතීය ජවනාදීන්ට අනන්තර ප්‍රත්‍යය, සමනන්තර ප්‍රත්‍යය, අනන්තරොපනිශ්‍රය ප්‍රත්‍යය, ආසේවන ප්‍රත්‍යය, නාස්ති ප්‍රත්‍යය, විගත ප්‍රත්‍යය යනාදී වශයෙන් ප්‍රත්‍යය වේ.
- සියලු අකුසල් කරන්නාහට, හේතු ප්‍රත්‍යය, සහජාත ප්‍රත්‍යය, අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යය, නිශ්‍රය ප්‍රත්‍යය, සම්ප්‍රයුක්ත ප්‍රත්‍යය, අස්ති ප්‍රත්‍යය, අවිගත ප්‍රත්‍යය යනාදි වශයෙන් ප්‍රත්‍යය වේ.
අවිද්‍යාව, ආනෙඤ්ජාභිසංස්කාරයන්ට උපනිශ්‍රය ප්‍රත්‍යයෙන් ප්‍රත්‍යය වේ.
අවිද්‍යා හේතුවෙන් සංස්කාරයන් වේයයි කී කල්හි එක් හේතුවක් සහ එක් ඵලයක් දක්වා ඇත. මෙසේ දැක්වීමට කාරණයද දතයුතු.
- එක් හේතුවකින් මේ භවයෙහි හෝ මේ ප්‍රත්‍ය වීමෙහි කිසි එක් ඵලයෙක් නැත.
- එක් හේතුවකින් නොයෙක් ඵලයකුදු නැත.
- නොයෙක් හේතුවලින් එක් ඵලයකුදු නැත.
- නොයෙක් හේතුවලින් වනාහි නොයෙක් ඵලයෙක්ම වේ.
අනෙකවිධවූ සෘතු පෘථිවි, බීජ ජල සඞ්ඛ්‍යාත හේතු වලින් අනෙකවිධවූම රූප, ගන්ධ, රසාදීන් සමෘද්ධවූ අඞ්කුර යයි කියනලද ඵලයෙක් උපදනා බව දක්නා ලැබේ.
යම්බඳුවූ එක් එක් හේතු ඵලයෙකු දැක්වීම භාග්‍යවතුන් වහන්සේ විසින් කර වදාරන ලදද, ඒ එක් එක් හේතු ඵලයෙක් දැක්වීමෙහි අර්‍ත්‍ථයෙක් ද ඇත ප්‍රයෝජනයෙක්ද විද්‍යමාන වෙයි. භාග්‍යවතුන්වහන්සේ සමහර තැනෙක යම් කිසි ප්‍රයෝජනයක් ප්‍රධාන බැවින්ද, කිසි තැනෙක්හි ප්‍රකට බැවින්ද, කිසි තැනෙක්හි අසාධාරණ බැවින්ද, කිසි තැනෙක්හි දේශනා විලාසය වශයෙන්ද, වෛනෙය ජනයන්ට සුදුසු පරිද්දෙන් එකම හේතුවෙකු එකම ඵලයෙකු හෝ දක්වා වදාරණ සේක.
ඵස්ස පච්චයා වේදනා යයි කී තැන ඵස්සය තෙම වේදනාවගේ ප්‍රධාන හේතුව වේ. වේදනාව ඵස්සයාගේ ප්‍රධාන ඵලය වේ. සෙම්භසමුට්ඨානා ආබාධා යනාදී තන්හි ප්‍රකට එක් හේතුවක් දක්වා ඇත. යෙකෙචි භික්ඛවෙ අකුසලා ධම්මා සබ්බේ තෙ අයොනිසො මනසිකාර මූලකාති. මහණෙනි! සියලු අකුසල ධර්ම කෙනෙක් ඇද්ද ඒ සියලු අකුසල ධර්මයෝ තුමූ අයොනිසො මනසිකාර සඞ්ඛ්‍යාත අකුසල ජවන සම්පාදක ආවර්ජනය මුල්කොට ඇතියහ. මේ ආදී තැන්හි අසාධාරණ බැවින් එක් හේතුවක් ම වදාළ සේක වස්තු ආලම්බනාදීහු සාධාරණ හේතුහු වෙති. එහෙයින් මේ අවිද්‍යා තොමෝ අවිද්‍යාව කෙරෙන් අන්‍යවූ වස්තු ආලම්බන සහජාත ධර්මයන් මුල්කොට ඇති සංස්කාරයන්ට කාරණා වූවත් විද්‍යමාන කල්හි සුඛාස්වාදයකැයි නැවත නැවත දක්නා කැමැතිවූ මූඪයා හට තෘෂ්ණාව වැඩෙයි. මෙසේ අවිද්‍යා සඞ්ඛ්‍යාත හේතුවෙන් ආශ්‍රවයන්ගේ පහළවීම වේ. මෙසේද, අනිකුදු තණ්හා ආශ්රවාදීවූ සංස්කාරයන්ට කාරණා වූවන්ගේ හේතුව වේ. යථොක්ත නයින් ප්‍රධාන බැවින්ද අවිද්යවෙන් සමන්විතවූ අන්ධබාලතෙම පුණ්යාභිසංස්කාරයන් සකස් කෙරෙයි යන තන්හි ප්‍රකට බැවින්ද, අසාධාරණ බැවින්ද, සංස්කාර ධර්මයන්ගේ හේතුව වශයෙන් ප්‍රකාශ කරණ ලදී. සඞ්ඛාර පච්චයා විඤ්ඤාණං යනාදීවූ සියලු පදයන්හි එක් එක් හේතු ඵල කෙනෙකුන් ඇර දැක්වීමෙහි ප්‍රයෝජනය මෙසේම දතයුතු.
ඒකාන්තයෙන්ම අනිෂ්ට ඵල ඇත්තාවූ, සාවද්‍යවූ අවිද්යවගේ, පුණ්‍යාභිසංස්කාර, ආනෙඤ්ජාභිසංස්කාරයන්ට ප්‍රත්‍යය වන බව කෙසේ නම් යෙදෙයි ද.
යම් ප්‍රත්‍යුත්පන්න ධර්ම කෙනෙකුන්ට විරුද්ධවූත්, අවිරුද්ධවූත්, සදෘශවූත්, අසදෘශවූත් ප්‍රත්‍යය වීම ප්රකටය. ධර්මයන්ට ස්ථාන, ස්වභාව, කෘත්යයාදී වශයෙන් විරොධවූද, අවිරොධවූද ප්‍රත්‍යය වීම ප්රකටය. පළමු පැවති සිත පසුව පවත්නා සිතට ස්ථාන භාවයෙන් හෙවත් විද්යමානත්වයෙන් විරුද්ධවූයේ නමුදු ප්‍රත්‍යය වෙයි. පළමු පුහුණු කළ ශිල්පාදීහුද, පසුව පවත්නාවූ ශිල්පාදීවූ ක්රියාවන්ටද, නාමය තෙම රූපයටද, ස්වභාවයෙන් විරුද්ධවූයේ නමුදු ප්‍රත්‍යය වෙයි. ක්ෂීරාදීහු දධි ආදීන්ටද, ආලෝකය තෙම චක්ෂුර් විඥානයටද, කෘත්‍යයෙන් විරුද්ධවූයේ නමුදු ප්‍රත්‍යය වෙයි. චක්ෂුස් රූපාදීහු චක්ෂුර්විඥානාදීන්ටද ස්ථාන අවිරුද්ධ භාවයෙන් හෙවත් විද්යමානත්වයෙන් අවිරුද්ධ වූවාහු ප්‍රත්‍යය වෙත්. පූර්වවූ ජවනාදීහු පසුව ජවනාදීන්ට ස්වභාව වශයෙන්ද අවිරුද්ධ වූවාහු, කෘත්යයෙන්ද අවිරුද්ධ වූවාහු ප්‍රත්‍යයයෝ වෙත්. විරුද්ධ අවිරුද්ධ ප්‍රත්‍යයයෝ සිද්ධවූවාක් මෙන් සදෘශ, අසදෘශවූ ප්රත්යයයෝද සිද්ධය. සමානවූම ඍතු, ආහාර සංඛ්‍යාතවූ රූපය තෙම රූපයට ප්‍රත්‍යය වේ. මෙය සමාන භාවයෙන් ප්‍රත්‍යය වීමයි. අසමානවූද රූපය තෙම නාමයටත්, නාමය තෙම රූපයටත් අසමාන වශයෙන් ප්‍රත්‍යය වේ. ගවලොම්, රතු එළු ලොම්හු දුර්වානම්ලද වදකහ හෙළ හීතෘණයන්ගේ උත්පත්ති යට ප්‍රත්‍යය වේ. දධි, තල, පිටි ආදීහු භූස්තෘණ නම් ලද ඖෂධ විෂයයාගේ උත්පත්තියට ප්‍රත්‍යය වේ. මෙය අසමාන භාවයෙන් ප්‍රත්‍යය වීමයි.
යම් ප්රත්යොත්පන්න ධර්ම කෙනෙකුන්ට යම් ප්‍රත්‍යය ධර්ම කෙනෙක් විරුද්ධ, අවිරුද්ධ වූවෝව, සමාන, අසමාන වූවෝව ප්‍රත්‍යය වූවාහුද, ඒ ප්රත්යොත්පන්න ධර්මයෝ තුමූ ඒ ප්‍රත්‍යය ධර්මයන්ගේ විපාකයෝම නොවෙද්ද, එහෙයින් මේ අවිද්‍යා තොමෝ ප්‍රධානවූ විපාක ගෙනදීම් වශයෙන්ද, නියතයෙන්ම අනිටුවූ අකුසල විපාක ස්වභාවයාගේ ශක්ති වශයෙන්ද සාවද්යවූවා නමුදු, සියලුම පුණ්යාභිසංස්කාරාදීන්ට සුදුසු පරිද්දෙන් ස්ථාන, ස්වභාව, කෘත්‍ය වශයෙනුදු, විරුද්ධ අවිරුද්ධ ප්‍රත්‍යය වශයෙනුදු, සමාන අසමාන ප්‍රත්‍යය වශයෙනුදු ප්‍රත්‍යය වේමැයි.
යම් පුද්ගලයෙක් චුති ප්රතිසන්ධියෙහිත්, ස්කන්ධ ආයතන ධාතූන්ගේ පිළිවෙල නොසිඳ පැවැත්ම යයි කියනලද සංසාර වෘත්තයෙහිත්, සංස්කාර ධර්මයන්ගේ ලක්ෂණයෙහිත්, ප්‍රතීත්‍යසමුත්පන්න ධර්ම හෙවත් ඵල ධර්මයන්හිත් නොහොත් අවිද්‍යාදීවූ පටිච්චසමුප්පාද ධර්ම, ජරා මරණාදීවූ පටිච්ච සමුප්පන්න ධර්ම සඞ්ඛ්‍යාත හේතුඵල ධර්මයෙහිත් වෙසෙසින් මුළාවේද, ඒ පුද්ගල තෙමේ ත්‍රිවිධවූ ඒ සංස්කාරයන් යම් හෙයකින් සකස් කෙරේද, එහෙයින් මේ අවිද්‍යා තොමෝ ත්‍රිවිධවූ ද ඒ සංස්කාරයන්ට ප්‍රත්‍යය වේ.
චුති ප්රතිසන්ධි ආදී ධර්මයන්හි මුළා වීමෙන් ත්‍රිවිධ සංස්කාරයන් රැස්කිරීම මෙසේ දතයුතු.
චුතියෙහි පළමුකොට වෙසෙසින් මුළාවූ පුද්ගලතෙම, සියලුම භව, යොනි, ගති, විඥානස්ථිති, සත්තාවාසයන්හි ස්කන්ධයන්ගේ එක් අත්බැවෙක අවසන්වන බිඳීම මරණ නම්. මෙපරිද්දෙන් චුතිය නොගෙන සත්ත්ව තෙමේ මැරෙයි. සත්ත්වයාගේ දේශාන්තරයට සංක්‍රමණය නොහොත් ආත්මය තෙමේ පණ හැර ආය ආත්මයාගේ අන් සිරුරකට වැදීමය යනාදී මිථ්‍යා මත කල්පනාකොට ගනී.
ප්රතිසන්ධියෙහි වෙසෙසින් මුළාවූ පුද්ගලතෙම, සියළු භවයන්හි ස්කන්ධයන්ගේ පහළවීම ජාති නමි. මෙපරිද්දෙන් ප්රතිසන්ධිය නොගෙන සත්ත්ව තෙමේ නොහොත් ආත්ම තෙමේ උපදී. සත්ත්වයාගේ නොහොත් ආත්මයාගේ අභිනව ශරීරයෙක්හි පහළවීම වේ මේ ආදී වශයෙන් මිථ්‍යා මතයන් කල්පනාකොට ගනී.
සසරෙහි වෙසෙසින් මුළාවූ පුද්ගලතෙම ස්කන්ධයන්ගේ ද ධාතු ආයතනයන්ගේ ද නොසිඳ පවත්නාවූ පරිපාටි තොමෝ සසර යයි නොගෙන මේ සත්ත්ව තෙමේ, මේ ආත්ම තෙමේ මෙලොවින් පරලොවට යේ, පරලොවින් මෙලොවට එයි යනාදී වශයෙන් මිථ්‍යා මතයන් කල්පනාකොට ගනී.
සංස්කාර ධර්මයන්ගේ ලක්ෂණයෙහි වෙසෙසින් මුළාවූ පුද්ගලතෙමේ සංස්කාර ධර්මයන්ගේ නමන රුප්පානාදීවූ ද කර්කශ ස්පර්ශතාදීවූ ද, තමතමන් සතුවූ ලක්ෂණයද, අනිත්යාදීවූ සමාන ලක්ෂණයද, නොගෙන සංස්කාර ධර්මයන් ආත්ම වශයෙන් ද, ආත්මීය හෙවත් ආත්මසන්තක වස්තු වශයෙන් ද කල්පනාකොට ගනී.
පටිච්චසමුප්පාද ධර්ම පටිච්චසමුප්පන්න ධර්මයන්හි වෙසෙසින් මුළාවූ පුද්ගල තෙම අවිද්‍යාදී ප්‍රත්‍යය ශක්තියෙන් සංස්කාරාදී ඵල ධර්මයන්ගේ ප්‍රවෘත්තිය නොගෙන ආත්මය තෙම දනී, හෝ නොදනී, ඒ ආත්මය තෙම තමාද කරන්නේයි, මෙරමාද කරවන්නේයි, ඒ ආත්මය තෙම ප්රතිසන්ධික්ෂණයෙහි උපදී, ඒ ආත්මයාගේ අණු පරමෙශ්වරාදී හේතුහු කලල රූපාදී භාවයෙන් සිරුර පිහිටුවත්, චක්ෂුරාදී ඉන්ද්රියයෝ සපයත් ඒ ආත්මය නම් ලද සත්ත්වතෙම චක්ෂුරාදී ඉන්ද්රියයන් හා සමන්විත වූයේව ආලම්බන ස්පර්ශ කෙරෙහි ආලම්බනයන්හි ඇලෙයි. අලම්බන වූවත් දැඩි කොට ගනී අනතුරු ආත්මභාවය හා ගළපයි. ඒ ආත්ම භාවය තෙම නැවත අන්‍ය භවයෙක්හි වේ මෙපරිද්දෙන් සියළු සත්ත්වයෝ තුමූ නියත ගති ඇතියහ. නිෂ්කාරණොත් පත්තීය ඇතියහ. ස්වභාවයෙන්ද නානාප්‍රකාර භාවයට පැමිණියහ. මෙපරිද්දෙන් වරදවා කල්පනා කෙරෙයි. මෙසේ අවිද්‍යාව විසින් නුවණැස ඇඳිරි කළාවූ ඒ බාල ජන තෙමේ වරදවා කල්පනා කරන්නේය. අන්ධ මිනිසෙක් පොළෝතලයෙහි ඔබිමොබ හැසිරෙන්නේ නිසි මගටත් නොමගටත්, ගොඩැල්ලටත්, වළ තැනටත්, සමතලව්වටත්, නොසමතලව්වටත් පිළිපදනේද එමෙන්ම පුණ්යාභිසංස් කාරයන්ද, අපුණ්යාභිසංස්කාරයන්ද, ආතෙඤ්ජාභිසංස් කාරයන්ද අවිද්යාවම ප්‍රත්‍යය කොටගෙන සකස් කෙරෙයි.
තමන් රැක බලා මගට පමුණුවන්නෙකු නැති උත්පත්තියෙන්ම අන්ධවූ මිනිසෙක් කිසිවිටෙක නිසි මගින්ද, කිසිවිටෙක නොනිසි මගින්ද පිළිපදනේ යම්සේද, එමෙන්ම අර්හත් ඵල සඞ්ඛ්‍යාත මාර්ගය මොනවට පිළියෙල කර දෙන්නාවූ කල්‍යාණ මිත්‍රයෙකු රහිතවූ අඥාන ජනතෙමේ සසරෙහි සැරිසරන්නේ කිසිකලෙක පුණ්යාභිසංස්කාරයන් රැස් කෙරෙයි. කිසිකලෙක අපුණ්යාභිසංස්කාරයන් රැස් කෙරෙයි. ඒ අඥානතෙම යම් කලෙක ධර්මය දැන නිර්වාණ ධර්මය මාර්ගඥානයෙන් පසක් කොට සත්‍යයයන් අවබෝධ කරන්නේද එකල්හි අවිද්‍යාවගේ සංසිඳීම් හේතුවෙන් කෙලෙස් විඩා සන්හුන්ව හැසිරෙන්නේයි.