සඞ්ඛාරා
මෙහිදී සංස්කාර ශබ්දයෙන් ආ සංස්කාරයන් නොගෙන අවිද්‍යා ප්‍රත්‍යයෙන් ආ සංස්කාරයන් පමණක් ගනු ලැබේ.
අවිද්‍යා ප්‍රත්‍යයෙන් ආ සංස්කාරයෝ ත්‍රිවිධ වේ.
එනම්:
- පුණ්යාභිසඞ්ඛාර
- අපුණ්යාභිසඞ්ඛාර
- ආනෙඤ්ජාභිසංඛාර
- පුණ්‍යාභිසංඛාර - යම් කුසල ධර්මයක් තෙම කුසල් කරන්නාවූ පුද්ගලයා පවිත්‍ර කෙරෙයිද, අදහස සම්පූර්ණ කෙරේද, පූජ්‍යවූ භාවයන් උපදවයිද, එහෙයින් ඒ කුසල ධර්මයාට පුණ්‍ය යයි කියනු ලැබේ. විපාකස්කන්ධයද, කටත්තා හෙවත් කර්මජරූපයද යම් කුසල ධර්මයක් තෙම අභිසංස්කරණය කෙරේද, සකස් කෙරේද, එහෙයින් ඒ කුසල කර්මය අභිසංස්කාරද වේ, පුණ්යයද වේ. එහෙයින් පුණ්‍යාභිසංස්කාර යයි කියනු ලැබේ.
- අපුණ්යාභිසඞ්ඛාර - පුණ්යයට විපක්ෂ වූයේ අපුණ්‍ය නම්. අපුණ්යම අභිසංස්කරණය කෙරේනුයි අපුණ්යාභිසඞ්ඛාර නම්.
- ආනෙඤ්ජාභිසංඛාර - කම්පා නොවෙනුයි ආනෙඤ්ජ නම්. කම්පා නොවන්නාවූ කුසල ධර්මයම අභිසංස්කාර වෙනුයි ආනෙඤ්ජාභිසඞ්ඛාර නම්.
තවද,
- කාය සංඛාර
- වචී සංඛාර
- චිත්ත සංඛාර යයි ද සංස්කාරයෝ ත්‍රිවිධ වේ.
කාය ද්වාරය විසින් පවත්වන ලද කුසලා කුසල කර්මයතෙම, නොහොත් කායද්වාර හේතුකොට ගෙන පැවැත්තාවූ කුසලාකුසලය තෙමේ, නොහොත් කාය ද්වාරය විසින් සකස් කරන ලද, නොහොත් කායද්වාරයාගේ සංස්කාරය කාය සංඛාර නමි. එපරිද්දෙන්ම වාග්ද්වාරය කරණකොටගෙන පැවති සංස්කාරයෝ වචී සංඛාර යයිද මනොද්වාරය කරණ කොටගෙන පැවති සංස්කාරයෝ විත්ත සඞ්ඛාර යයිද කියනු ලැබේ.
පුණ්යවූ සංස්කාරය ඉදින් සකස් කරන්නේ නම්, පුණ්‍ය ඵල සඞ්ඛ්‍යාත භව සම්පත්තිය කරා එළඹ සිටියාවූ ප්රතිසන්ධි ප්රවෘත්ති විඤ්ඤාණය වේ. අපුණ්යවූ සංස්කාරය සකස් කරන්නේනම්, විපත්ති භවය කරා එළඹ සිටියාවූ ප්රතිසන්ධි ප්රවෘත්ති විඤ්ඤාණය වේ. නොසැලෙන්නාවූ, සමාධියට ප්රතිපක්ෂ ධර්මයන්ට අති දූරස්ථවූ බැවින්, ආනෙඤ්ජ නම් වූ සංස්කාරයන් සකස් කරන්නේ නම් ආනිඤ්ජන භව සම්පත්තිය කරා එළඹ සිටියාවූ ප්රතිසන්ධි ප්රවෘත්ති විඤ්ඤාණය වේ.
විස්තර වශයෙන් වනාහි,
පුණ්‍යාභිසංස්කාරය නම් කුසල චේතනාවයි. මේ කුසල චේතනාව දෙයාකාර වේ. එනම්:
අෂ්ටවිධ කාමාවචර කුසල චේතනාවෝය
පඤ්චවිධ රූපාවචර කුසල චේතනාවෝය
මෙයින් අෂ්ටවිධ කාමාවචර කුසල චේතනාවෝ,
දාන චේතනාවෝය
සීල චේතනාවෝ යයි විධ වේ.
තෙළෙස් චේතනාවෝම භාවනාමයවූ කුසල චේතනාවෝයි. මේ තෙළෙස් චේතනාවන් අතුරෙන් ඥානවිප්‍රයුක්ත චේතනාවන්ගේ භාවනාමයත්වය අප්‍රකටය. පුහුණු කළාවූ ධර්මය හදාරන්නාවූ පුද්ගල තෙමේ, එක් අනුසන්ධියකුදු අනුසන්ධි දෙකකුදු ඉක්මගිය කල්හිත් නොදනී, නොහොත් හදාළ ධර්මය අනුසන්ධියට වන් කල්හිත් එක් අනුසන්ධියක්ද අනුසන්ධි දෙකක්ද නොදනී. පසුව ආවර්ජනා කරන කල්හි දැන ගන්නේ යම්සේද, එපරිද්දෙන්ම, කසිණ පරිකර්ම කරන්නාවූ යෝගාවචරයාහටද, පුහුණුවූ දැහැන ප්රත්යවේක්ෂා කරන්නාවූ යෝගාවචරයාහටද, පුහුණුවූ කමටහන මෙනෙහි කරන්නාවූ යෝගාවචරයා හටද ඥාන විප්‍රයුක්තවූ භාවනාවකුදු වේ. එහෙයින් තෙළෙස් චේතනාවෝම භාවනාමය කුසල් වන බව දක්වන ලදී.
දානය අරඟයා, දානය නිසා යම් චේතනාවක්, යම් සංචේතනාවක්, යම් චින්තන සඞ්ඛ්‍යාත වූ පුද්ගලයාගේ භාවය යයි කියන ලද සිතිවිල්ලක් උපදීද මේ චේතනා තොමෝ දානමය වූ පුණ්‍යාභිසංස්කාරය යයි කියනු ලැබේ.
ශීලය අරඟයා යම් චේතනාවක්, යම් සංචේතනාවක් යම් සිතිවිල්ලක් උපදීද, ඒ චේතනා තොමෝ ශීලමයවූ පුණ්‍යාභිසංස්කාරය නම් වේ.
භාවනාව නිසා යම් චේතනාවක්, යම් සිතිවිල්ලක් උපදීද, ඒ චේතනා තොමෝ භාවනාමයවූ පුණ්‍යාභිසංස්කාරය නම් වේ.
තවද, සිවුරු පිරිකර ආදීවූ සිව්පසයන් අතුරෙන්ද, රූපාලම්බනාදීවූ ෂඩාලම්බනයන් අතුරෙන්ද, බත් ආදීවූ දාන වස්තූන් අතුරෙන්ද, ඒ ඒ දානවස්තු පරිත්‍යාග කරන්නාවූ පුද්ගලයාහට දාන වස්තු සපයන පූර්වභාග අවස්ථාවෙහිද, පරිත්‍යාග කරන අවස්ථාවෙහිද, පසුව සොම්නස් සිතින් නැවත නැවත අනුස්මරණය කරන අවස්ථාවෙහිද යන මේ තුන් අවස්ථාවෙහි පවත්නා චේතනා තොමෝ දානමය චේතනා නමි.
සීලය සම්පූර්ණ කිරීම පිණිස පැවිදි වන්නෙමියි වෙහෙර වදනාහටද, පැවිදි වන්නාහටද, අදහස මුදුන් පමුණුවා ගෙන මම පැවිද්දෙක් වූයෙමියි, එය ඉතා මැනවැයි ආවර්ජනය කරන්නාහටද, ප්රාතිමොක්ෂ ශීලය රක්නාහටද චීවරාදිවූ ප්‍රත්‍යයයන් ප්රත්යවේක්ෂා කොට වළඳන්නාහටද රූපාදි ෂඩාලම්බනයන් හමුවූ කල්හි චක්ෂුරාදි ෂඩ්වාරයන් රක්නාහටද ආජීවය පිරිසිදු කරන්නාහටද, පවත්නා චෙතනා තොමෝ ශීලමය චෙතනා නම්.
විදර්ශනා මගින් චක්ඛායතනාදියද චක්ෂුර් විඥානාදියද චක්ෂු සම්ඵස්සාදියද, රූප සඥාදියද, ජරා මරණයද අනිත්‍ය වශයෙන්ද, දුක්ඛ වශයෙන්ද, අනාත්ම වශයෙන්ද භාවනා කරන්නා හට උපදනා චෙතනාවෝ භාවනාමය චෙතනා නම්.
2. අපුණ්යාභිසංඛාරයෝ නම් අකුසල චෙතනාවෝයි දොළොස් අකුසල් සිත් හා සමඟ එකොත්පාදාදි චතුර්විධ සම්ප්‍රයොග ලක්ෂණයෙන්ද යුක්තවූ චෙතනාවෝයි. එය කාමාවචරයහ. දොම්නස් දෙසිත හැර ඉතිරි දසවිධ අකුසල චෙතනාවෝ රූපාරූප භවයෙහිත් උපදිත් නමුදු, ඒ රූපා රූප භවයෙහි පටිසන්ධි නොදෙත්. කාම භූමියෙහිම පිළිසිඳ ගැනීම් වශයෙන් විපාකය පවත්වත් එහෙයින් කාමාවචර යයි දෙශනා කරනලදි.
3. ආනෙඤ්ජාභිසඞ්ඛාරයෝ නම් සතර අරූපාවචර කුසල චෙතනාවෝයි. අකම්පනාර්ථ හෙයින්ද, අකම්පන ස්වභාවයවූ විපාකය පිළියෙල කරන අර්ථයෙන්ද, ආනෙඤ්ජාභිසංඛාර යයි කියනු ලැබෙත්.
රූපාවචර චතුර්ථධ්යාන වශයෙන් ත්‍රිවිධවූ කුසල විපාක ක්‍රියා චෙතනාවෝද, දොළොස් වැදෑරුම් අරූපාවචර කුසල විපාක ක්‍රියා චෙතනාවෝද යන පසළොස් වැදෑරුම් වූ චෙතනා ධර්මයෝ තුමූ නොසැලෙන අර්ථයෙන් ආනෙඤ්ජ නම් වෙත්. එයින් රූපාවචර කුසල චෙතනාවෝ නොසැලෙන නමුත් තමා හා අසමානවූද සමානවූද සැලීම් නැත්තාවූද, රූප නාම විපාකචය උපදවත්. එහෙයින් අනෙඤ්ජාභි සංඛාර නම් නොවේ. රූපාවචර විපාක ක්‍රියා චෙතනාවෝ වනාහි විපාක ජනක ස්වභාවයක් නැති හෙයින් විපාකය සකස් නොකෙරෙත්. අරූපාවචර වූ විපාක ක්‍රියා චෙතනාවෝ තුමූත් ඒ රූපාවචර විපාක ක්‍රියා චෙතනාවන් මෙන් විපාක නොදේ. මෙසේ හෙයින් එකොළොස් (11) ප්‍රකාරවූ ඒ චෙතනාවෝ අකම්පනාර්ත්ථයෙන් ආනෙඤ්ජ නම් වෙත්. නමුත් අභිසංස්කාරයෝ නොවෙත්.
සතර වැදෑරුම්වූ අරූපාවචරවූ කුසල චෙතනා තොමෝ හස්ති අශ්වාදීන්ගේ සෙවනැල්ල ඔවුන් හා සමාන වූවා වන මෙන් එපරිද්දෙන්ම තමා හා සමානවූ නොසැලෙන්නාවූ අරූප විපාකයක්ම උපදවයි. එහෙයින් ආනෙඤ්ජාභිසංඛාර යයි කියනු ලැබේ.
යථොක්ත නයින්, පුණ්යාභිසඞ්ඛාර වශයෙන් තෙළෙසක්ද, අපුණ්යාභිසඞ්ඛාර වශයෙන් දොළොසක්ද, ආනෙඤ්ජාභි සඞ්ඛාර වශයෙන් සතරක්දැයි චෙතනාවෝ එකුන් තිසක් (29) ක් වේ. මෙසේ භාග්‍යවතුන් වහන්සේ ප්‍රමාණාතික්‍රාන්තවූ සත්ත්වයන්ට උපදනාවූ කුසලාකුසල චෙතනා තුමූ මහා තරාදියකින් කිරන්නක්හු මෙන්ද, නැළියක බහා මැන ගන්නක්හු මෙන්ද, සර්වඥතාඥානයෙන් පිරිසිඳ දැන එකුන් තිසක්ම දක්වා වදාළ සේක.
3. කායසඞ්ඛාර — ප්‍රමාණ රහිතවූ චක්රවාලයන්හි ප්‍රමාණ රහිතවූ සත්ත්වයෝ තුමූ කුසලාකුසල කර්ම රැස් කරන්නාහු යම් චාර කෙනෙකුන් කරණකොට ගෙන සකස් කෙරෙද්ද, ත්‍රිවිධවූ ඒ කර්මචාරයන් දක්වා වදාරන්නාවූ භාග්‍යවතුන්වහන්සේ කාය සඞ්ඛාර, වචී සඞ්ඛාර, චිත්ත සඞ්ඛාරයන් වදාළ සේක. ඔවුන් අතුරෙන් කාය සඞ්ඛාර නොහොත් කාය සඤ්චේතනා යනු කාය විඤ්ඤත්ති රූපය හටගන්වා, කායචාරය හෙතුකොට ගෙන ප්රවෘත්තවූ, අෂ්ට විධවූ කාමාවචර කුසල චෙතනාවෝද, ද්වාදස විධවූ අකුසල චෙතනාවෝද යන මේ විසිවැදෑරුම්වූ චෙතනාවෝයි, නොහොත් කායචාරයෙහි ඇද ගැනීමට, සම්ප්රයුක්තයාගේ ගැනීමට සෙලවීමට පමුණුවමින් උපන්නාවූ විසි වැදෑරුම් කුසලාකුසල චෙතනාවෝයි.
- වචීසඞ්ඛාර හෙවත් වචීසඤ්චෙතනා යනු වාග් විඤ්ඤති රූපය හටගන්වා, වාග්චාරය හේතුකොට ගෙන ප්‍රවෘත්ත වූ එම විසි වැදෑරුම්වූ චෙතනාවෝයි නොහොත් වාග් චාරයෙහි හනු සඤ්චලනයට, වාග් භේදයට පමුණුවමින් උපන්නාවූ විසි වැදෑරුම්වූ චෙතනාවෝයි.
- චිත්තසඞ්ඛාර හෙවත් මනොසඤ්චෙතනා වනාහි විප්රකාරවූ විඤ්ඤත්ති රූපයන් නූපදවා, මනොචාරයෙහි උපන්නාවූ සියළුම එකුන්තිස් වැදෑරුම්වූ චෙතනාවෝයි.
පුණ්යාභිසඞ්ඛාරය - කාය දුශ්චරිතයෙන් වෙන්වන පුද්ගලයා හට කිසි කලෙක්හි කාය සංස්කාරද වේ. වාග් දුශ්චරිතයෙන් වෙන්වන පුද්ගලයා හට කිසි කලෙක්හි වචී සංස්කාරයද වේ. මේ නයින්, කාමාවචරවූ අට වැදෑරුම් කුසල චෙතනාවෝ, පුණ්‍යාභිසංස්කාරයත් වේ, චිත්ත සංස්කාරයත් වේ මනොචාරයෙහි උපන්නාවූ ඒ තෙලෙස් කුසල චෙතනාවෝ පුණ්‍යාභිසංස්කාරයත් වේ, චිත්ත සංස්කාරයත් වේ.
අපුණ්‍යාභිසංස්කාරය - කාය දුශ්චරිත වශයෙන් පවත්නා කල්හි කිසිකලෙක කාය සංස්කාරය වේ. වචී දුශ්චරිත වශයෙන් පවත්නා කල්හි කිසි කලෙක වචී සංස්- කාරද වේ කාය වාග්චාරයන් හැර මනොචාරයෙහි පවත්නා කල්හි චිත්තසංස්කාරය වේ. මෙසේ අපුණ්‍යාභි සංස්කාරය කායසංස්කාරත් වේ, වචීසංස්කාරත් වේ, චිත්තසංස්කාරත් වේ.
කාය සංස්කාරය, කිසි කලෙක පුණ්‍යාභිසංස්කාරය වේ කිසි කලෙක අපුණ්යාභිසංස්කාරද වේ නුමුත් ආනෙඤ්ජාභි සංස්කාර නොවේ.
වචී සංස්කාරයද, කිසි කලෙක පුණ්යාභිසංස්කාරද වේ, අපුණ්යාභිසංස්කාරද වේ, ආනෙඤ්ජාභිසංස්කාර නොවේ.
චිත්ත සංස්කාරය, කිසි කලෙක පුණ්‍යාභිසංස්කාරය වේ, කිසි කලෙක අපුණ්යාභිසංස්කාරද වේ, කිසි කලෙක ආනෙඤ්ජාභිසංස්කාරද වේ.
මේ කියන ලද සංස්කාරයෝ තුමූ අවිද්‍යා ප්‍රත්‍යයෙන් වන්නාවූ සංස්කාරයෝ නම්හුයි.
අවිද්‍යාවගේ වීම ඇති කල්හි නොහොත් අවිද්‍යාවගේ වීමෙන් සංස්කාරයන්ගේ වීම වේ.
යම් පුද්ගලයෙකු හට දුක්ඛාදීන්හි අවිද්‍යා සංඛ්‍යාතවූ අඥාන භාවය හෙවත් මුළාවීම ප්‍රහීණ නොවූයේද, ඒ පුද්ගල තෙම පළමුකොට දුක්ඛ සත්‍යයෙහිද, අතීත ස්කන්ධ කොට්ඨාසාදීන්හිද අවිද්‍යාවෙන් හෙවත් මුළාවීමෙන් සංසාර දුක්ඛය, සුඛය යන සංඥාවෙන් ගෙන, ඒ සංසාර දුක්ඛයාගේ කාරණභූතවූ ත්‍රිවිධ සංස්කාර ධර්මයන් රැස් කරන්නට පටන් ගනී. සමුදය සත්‍යයෙහි මුළාවීම හේතුකොට ගෙන සංසාර දුක්ඛයාගේ කාරණභූතවූද, තෘෂ්ණාවගේ පිරිවරවූද, සංස්කාර ධර්මයන් සුඛයාගේ හේතු වශයෙන් හඟිමින් රැස් කරන්නට පටන් ගනී. නිරොධ සත්‍යයෙහිද මාර්ග සත්‍යයෙහිද මුළාවීමෙන් සංසාර දුක්ඛයාගේ අවිනාශ ස්වභාවවූද දෙව බ්‍රහ්මාදි ගති විෂයෙහි නිර්වාණය යන හැඟීම් ඇත්තේවී, නිරොධ සත්යයාගේද අනුපාය මාර්ගවූත්, යාඥවිධි, අමරතපස් ආදීන්හි, නිරොධ සත්‍යයය සාක්ෂාත් කරණයට හේතුවූ මාර්ගය යන සංඥා ඇත්තේවී, දුක්ඛ නිරොධ සංඛ්‍යාත නිර්වාණය ප්‍රාර්ථනා කරමින් යාඥා විධාන අමරතපස් චරණාදී හේතුවෙන් ත්රිවිධවූද සංස්කාර ධර්මයන් රැස්කරන්නට පටන් ගනී. අමර තපස් නම් නිර්වාණය පිණිස යයි කියා ශරීර තැවීම් ආදිවූ දුෂ්කර ක්රියාවෝය නොහොත් දෙවාත්මභාවය පිණිසවූ තපසය.
තවද, ඒ පුද්ගලතෙම ඒ සංසාර දුක්ඛය, සුඛය යයි ගත් සංඥා වශයෙන්, සතර සත්‍යයන්හි මාර්ගඥාණයෙන් ප්‍රහීණ නොකළාවූ අවිද්‍යාව ඇති බැවින් අතිශයින් ජාති, ජරා, ව්‍යාධි, මරණාදී නානා ප්‍රකාර ආදීනවයෙන් සංකීර්ණවූ පුණ්‍ය ඵලය යයි කියනලද සංසාර දුක්ඛය දුක්ඛ වශයෙන් නොදන්නේව, ඒ සංසාර දුක්ඛය අයත්කර ගැනීම පිණිස කාය, වාග්, චිත්ත සංස්කාර භේදය ඇති පුණ්‍යාභිසංස්කාරය රැස්කරන්නට පටන්ගනී. දිව්‍යාප්සරාවන් පතන පුද්ගලයෙක් ඉන්ද්රකූටාදි පර්වතයකට නැගීමට දුක් ගන්නාක් මෙනි. සුඛය යයි සම්මත කරණලද්දාවූ ද, ඒ පුණ්‍ය ඵලයාගේ කෙළවර මහා තැවිලි උපදවන විපරිණාම දුක්ඛ ස්වභාවයද, සැප නැති බවද නොදක්නේවිනමුත් ඒ පුණ්‍ය ඵලයට හේතුවූ පුණ්යාභිසංස්කාරයන් සකස්කරන්නට පටන්ගනී. පළඟැටියෙක් පහන්සිලට වදින්නට පටන්ගන්නාක් මෙනි. මී බිඳෙහි ලොල්වූ පුද්ගලයෙක් මී වැකි කඩුමුවත ලෙවීමට පටන්ගන්නාක් මෙනි.
විපාක සහිතවූ කම්සැප බුත්තිවිඳීම් ආදියෙහි ආදීනව නොදක්නා පුද්ගලතෙම සුඛය යන සංඥාවෙන්ද, කෙලෙසුන් විසින් මඩිනලද බැවින ද, තුන්දොර පැවැත්තාවූ අපුණ්‍යාභි- සංස්කාරය රැස්කරන්නට පටන්ගනී. ළදරුවෙක් අසූචි ගෙන කෙළීමට පටන්ගන්නාක් මෙනි. මැරෙනු කැමැති පුද්ගලයෙක් වස කෑමට පටන්ගන්නාක් මෙනි. අරූපාවචර විපාකයන්හිත්, සංස්කාර දුක්ඛ, විපරිණාම දුක්ඛයන්ගේ ස්වභාවය නොවටහගන්නා පුද්ගලතෙම ශාස්වත උච්ඡෙදාදී වශයෙන් විපරීතග්රහණයෙන් චිත්ත සංස්කාරවූ ආනෙඤ්ජාභිසංස්කාරය රැස්කරන්නට පටන්ගනී මංමුළා වුවෙක් යකුන් වසන පුරයට යොමුවූ මගට පිළිපැදීමට පටන්ගන්නාක් මෙනි.
යම්හෙයකින් අවිද්‍යාවගේ හේතුවෙන්ම සංස්කාරයන්ගේ ඇතිවීම වේද, අවිද්‍යා හේතුව නැති කල්හි සංස්කාරයෝ නොවෙත්. එහෙයින් සංස්කාරයෝ අවිද්‍යා ප්‍රත්‍යයෙන් වේ යයි කියන ලදී.