අවිජ්ජා පච්චයා සංඛාරා
අවිජ්ජා පච්චයා සඞ්ඛාරා - අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාර වන්නේය.
මෙහි අවිද්‍යාව විස්තර වන තැන්හි දුක්ඛෙ අඤ්ඤාණං, දුක්ඛ සමුදයෙ අඤ්ඤාණං, දුක්ඛ නිරොධෙ අඤ්ඤාණං, දුක්ඛ නිරොධ ගාමිනියා පටිපදාය අඤ්ඤාණං යනාදි වශයෙන් වදාරා ඇත.
මේ අවිද්‍යාව දුක්ඛ සත්‍යයාගේ යථාවසරසලක්ෂණය හෙවත් අවිපරීත වූ තමාගේ ස්වභාව ලක්ෂණය යම් හෙයකින් දැනීමට, දක්නට, ප්රත්යක්ෂ වශයෙන් දැනීමට නොදෙයිද, දැනීමට නොහැකි පරිදි මුවාකොට, දක්නට නොහැකි පරිදි හාත්පස ඔතා, ප්රත්යක්ෂ වශයෙන් දැනීමට නොහැකි පරිදි ගොතා පවතීද, එහෙයින් දුක්ඛෙ අඤ්ඤාණං යයි වදාරණ ලදී. එපරිද්දෙන්ම දුක්ඛයට කාරණ වූ සමුදය සත්‍යයාගේ ද දුක්ඛයාගේ නිරුද්ධ වීම වූ නිරොධ සත්‍යයාගේ ද දුක්ඛයාගේ, නිරොධයට පමුණුවන්නා වූ ප්රතිපදාවගේ ද, යථාවසරස ලක්ෂණ හෙවත් අවිපරීත වූ තමාගේ ස්වභාව ලක්ෂණය යම් හෙයකින් දැනීමට දක්නට ප්රත්යක්ෂ වශයෙන් දැනීමට නොදෙයිද, දැනීමට නොහැකි පරිදි මුවාකොට, දක්නට නොහැකි පරිදි හාත්පස ඔතා, ප්රත්යක්ෂ වශයෙන් දැනීමට නොහැකි පරිදි ගොතා පවතීද, එහෙයින් දුක්ඛ සමුදයෙ අඤ්ඤාණං, දුක්ඛ නිරොධෙ අඤ්ඤාණං, දුක්ඛ නිරොධ ගාමිනියා පටිපදාය අඤ්ඤාණං යයි වදාරණ ලදී.
මෙසේ චතුරාර්ය සත්‍යයන්ගේ වශයෙන් සතර තැනෙක්හි නොදැනීම අවිද්‍යාව යයි කියනු ලැබේ.
එපරිද්දෙන්ම, පුබ්බන්තෙ අඤ්ඤාණං, අපරන්තෙ අඤ්ඤාණං, පුබ්බන්තාපරන්තෙ අඤ්ඤාණං, පටිච්ච සමුප්පන්න ධම්මෙ අඤ්ඤාණං යනාදි වශයෙන් සතර තැනෙක්හි නොදැනීමද අවිද්‍යාව යයි වදාරනු ලැබේ.
අතීතවූ අධ්ව යයි කියනලද අතීතවූ හෙවත් ක්ෂණත්රයට පැමිණියාවූ ස්කන්ධ ධාතු ආයතනයන් පිළිබඳවූ නොදැනීම, පුබ්බන්තෙ අඤ්ඤාණං යයිද, අනාගතවූ අධ්ව යයි කියන ලද අනාගතවූ හෙවත් ක්ෂණත්රයට නොපැමිණියාවූ ස්කන්ධ ධාතු ආයතනයන් පිළිබඳවූ නොදැනීම, අපරන්තෙ අඤ්ඤාණං යයිද, අතීතානාගතවූ අධ්ව යයි කියනලද අතීතානාගතවූ ස්කන්ධ, ධාතු, ආයතනයන් පිළිබඳ නොදැනීම පුබ්බන්තා පරන්තෙ අඤ්ඤාණං යයිද පටිච්ච සමුප්පන්න ධර්මයන් පිළිබඳවූ නොදැනීම පටිච්ච සමුප්පන්න ධම්මෙ අඤ්ඤාණං යයිද දතයුතුයි.
මෙසේ අට තැනෙක්හි නොදැනීම අවිද්‍යා නම්. මෙහිදී අවිද්‍යාව කෘත්‍යය වශයෙන්ද ජාති වශයෙන්ද වදාරන ලදී. මේ අට තැන් දැනීමට, දැකීමට, ප්රත්යක්ෂ වශයෙන් දැනීමට නොදේද යනාදියෙන් අවිද්‍යාව කෘත්‍ය වශයෙන්ද උපදින්නී නමුදු මේ අට තැන්හි උපදීද යනාදියෙන් අවිද්‍යාව, ජාති වශයෙන්ද වදාරන ලදී.
ලක්ෂණ වශයෙන් වනාහි, අවිද්‍යාවගේ ලක්ෂණයන් විසිපස් පදයෙකින් පමණ දක්වා තිබේ.
- අඤ්ඤාණං - ඥානය නම්වූ ප්‍රඥාව, ඵල සමූහයද හේතු සමූහයද චතුස්සත්‍ය ධර්මයද මනාකොට දනී. මේ අවිද්‍යාව ඇතිවූ කල්හි එසේ අවිපරීතාර්ථය දැනීමට ඉඩ නොදී ඥානයට විපක්ෂ වශයෙන් ඇතිවන බැවින්, අවිද්‍යාවට අඤ්ඤාණ යයි කියනු ලැබේ.
- අදස්සනං - දර්ශන නම්වූ ප්‍රඥාවෙන්ද ඒ අවිපරීතාර්ථාදීවූ ආකාරය මනාකොට දකී. අවිද්‍යා තොමෝ වනාහි ඉපිද ඒ අවිපරීතාර්ථාදීවූ ආකාරය දක්නට නොදෙයි. එ හෙයින් අදස්සන යයි කියති.
- අනභිසමයො - අභිසමය නම්වූ ප්‍රඥාවෙන්ද, අවිපරීතාර්ථාදීවූ ආකාරය මොනවට දකී. අවිද්‍යාව ඇති කල්හි එම අර්ථාදිය මොනවට දැනගන්නට නොදී එයට ප්රතිපක්ෂ වශයෙන් ඇතිවන හෙයින් අනභිසමය යයි කියනු ලැබේ.
- අනනුබොධො
- අසම්බොධො
- අප්පටිවෙධො අනුබොධ, සම්බොධ, පටිවෙධ යනුද ප්රඥාවගේම නාම යෝයි. අවිපරීතාර්ථාදීවූ ආකාරය ඒ ප්‍රඥා තොමෝ අනුබොධය කෙරෙයි, සම්බොධය කෙරෙයි. ප්රතිවෙධයකෙරෙයි. අවිද්‍යා තොමෝ ඉපිද ඒ අවිපරීතාර්ථාදීවූ ආකාරය අනුබොධය කරන්නට, සම්බොධය කරන්නට ප්‍රතිවෙධය කරන්නට නොදී එයට ප්රතිපක්ෂ වශයෙන් පවතී. එහෙයින් අවිද්‍යාවට අනනුබොධ, අසම්බොධ, අප්පටිවෙධ යයි කියනු ලැබේ.
- අසඞ්ගාහණ - සඞ්ගාහනා නමුදු ප්‍රඥාවට නමෙකි. ඒ ප්‍රඥාව අවිපරීතාර්ථාදීවූ ආකාරය සිත්හි රුවා නොහොත් සිතින් හෝ පුද්ගලයා විසින් හෝ ගත්තක්හු කොට ගටා හනී. අවිද්‍යාව ඇතිවූ කල්හි එය ගටා ගන්නට නොදෙන හෙයින් අසඞ්ගාහණ නම් වේ.
- අපරියොගාහණා - පරියොගාහනා යනුද ප්‍රඥාවට නමෙකි. ඒ ප්‍රඥාව අවිපරීතාර්ථාදී වූ ආකාරය අළලා අවතීර්ණව හෙවත් අනුව බැසගනී අවිද්‍යා තොමෝ ඉපිද එය අළලා අනුව පිවිස ගන්නට නොදෙන හෙයින් අපරියොගාහණා නම් වේ.
- අසමපෙක්ඛණා - සමපෙක්ඛණ නම් වූ ප්‍රඥාවෙන් අවිපරීතාර්ථාදී වූ ආකාරය සමකොටද, මනා කොටද ප්රේක්ෂණය කෙරෙයි. අවිද්‍යාව ඒ ආකාරය සමකොටද මනාකොටද ප්රේක්ෂණය කරන්නට නොදෙන හෙයින් අසමපෙක්ඛණ නම් වේ.
- අපච්චවෙක්ඛනා - පච්චවෙක්ඛනා නම් වූ ප්‍රඥාවෙන් ඒ ආකාරය ප්රත්යවෙක්ෂා කරයි. අවිද්‍යාව ඉපිද ඒ ආකාරය ප්රත්යවෙක්ෂා කරන්නට නොදෙන හෙයින් අපච්චවෙක්ඛනා නම් වේ.
- අපච්චක්ඛ කම්මං - අවිද්‍යාවගේ ප්රත්යක්ෂ වූ කිසි කටයුත්තෙක් නැත. තමනුත් ප්රත්යවෙක්ෂා නොකොට කටයුත්ත කරයි. එහෙයින් අපච්චක්ඛකම්ම හෙවත් අප්රත්යක්ෂ කර්ම නම් වේ.
- දුම්මෙජ්ඣං - මෙධ නම් වූ ප්‍රඥාවට විපක්ෂවන හෙයින් දුම්මෙධ්ය නම්.
- බාල්යං - වරදවා සිතීම් ආදී වූ බාලභාව භේතුවෙන් බාල්ය නමුදු වේ.
- අසම්පජඤ්ඤං - සම්පජඤ්ඤ නමුදු ප්‍රඥාවට නමෙකි. සම්පජඤ්ඤ නම් වූ ප්‍රඥාවෙන් හේතුඵල ධර්මයන්ද චතුස්සත්‍යය ධර්මයන්ද මනාකොට ප්‍රකාරයෙන් දනී, අවිද්‍යාව ඒ ආකාරය ප්‍රකාරයෙන් දැනීමට නොදෙන හෙයින් අසම්පජඤ්ඤ නම් වේ.
- මොහො - අරමුණෙහි මුළාවීම් වශයෙන් මොහ නම්.
- පමොහො - බලවත් මුළාවීම් වශයෙන් පමොහ නම්.
- සම්මොහො - හාත්පස මුළාවීම් වශයෙන් සම්මොහ නම්.
- අවිජ්ජා - විඳීමට හෝ ලැබීමට නුසුදුසුවූ කාය දුශ්චරිතාදිය විඳීනුයි අවිජ්ජා නම්.
- අවිජ්ජොඝො - වෘත්තදුක්ඛයෙහි සත්ත්වයන් ගිල්වන හෙයින් අවිජ්ජාඝ නම් වේ.
- අවිජ්ජා යොගො - වෘත්තදුක්ඛයෙහි සත්ත්වයන් යොදවන හෙයින් අවිජ්ජා යොග නම් වේ.
- අවිජ්ජානුසයො - මාර්ගයෙන් අප්‍රහීණ වූවහුගේ වශයෙන් නැවත නැවත සන්තානයෙහි උපදනා හෙයින් අවිජ්ජානුසය නම්.
- අවිජ්ජා පරියුට්ඨානං - මං පැහැරීමෙහි යෙදුනු සොරහු මාර්ගිකයන් පහරන්නාක් මෙන් කුසල් සිත් පැහැර ගන්නා, සොරා ගන්නා හෙයින් අවිජ්ජා පරියුට්ඨාන නම් වේ.
- අවිජ්ජාලඞ්ගී - නගරද්වාරයෙහි පරිඝ යයි කියන ලද ලඞ්ගිය නොහොත් දොර අගුල යෙදූ කල්හි ඇතුල් නුවර මිනිසුන්ගේ පිටවියාමත්, නුවරින් පිටත සිටින මිනිසුන්ගේ නුවරට ඇතුල්වීමත් වැළකේ. එපරිද්දෙන් යම් පුද්ගලයෙක්හුගේ ස්ව ආත්මභාව සඞ්ඛ්‍යාත පුරයෙහි මේ අවිද්‍යා තොමෝ පතිතවේද, ඒ පුද්ගලයාගේ නිවණට පමුණුවන්නාවූ ප්‍රඥා සඞ්ඛ්‍යාත ගතිය වළකී. එහෙයින් අවිජ්ජාලඞ්ගී නමුදු වේ.
- අකුසලං - අවිද්‍යාව අකුසලයකි.
- අකුසල මූලං - අවිද්‍යාව අකුසලයන්ගේ මූල හේතුවක්ද වේ. එනම් මොහයයි.
මෙබඳු ලක්ෂණ ඇති අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාරයෝ ලැබෙති.