සඞ්ඛාර පච්චයා විඤ්ඤාණං
කළාවූ කුසලාකුසල කර්මයන් හේතුකොටගෙන කර්ම විපාක වශයෙන් දෙතිස් විඤ්ඤාණයෝ ලැබෙන්නාහ. ඒ දෙතිස් විඤ්ඤාණයෝ නම්:
- චක්ඛු විඤ්ඤාණ - කුසල විපාක චක්ඛු විඤ්ඤාණ අකුසල විපාක චක්ඛු විඤ්ඤාණ } 2 2. සොත විඤ්ඤාණ - කුසල විපාක සොත විඤ්ඤාණ අකුසල විපාක සොත විඤ්ඤාණ } 2 3. ඝාණ විඤ්ඤාණ - කුසල විපාක ඝාණ විඤ්ඤාණ අකුසල විපාක ඝාණ විඤ්ඤාණ } 2 4. ජිව්හා විඤ්ඤාණ - කුසල විපාක ජිව්හා විඤ්ඤාණ අකුසල විපාක ජිව්හා විඤ්ඤාණ } 2 5. කාය විඤ්ඤාණ - කුසල විපාක කාය විඤ්ඤාණ අකුසල විපාක කාය විඤ්ඤාණ } 2 6. මනො විඤ්ඤාණ - කුසල විපාක මනො ධාතු අකුසල විපාක මනො ධාතු } 2 අහේතුක මනො විඤ්ඤාණ ධාතු (සන්තීරණත්රිකය) } 3 අෂ්ටවිධ කාමාවචර සහේතුක විපාක } 8 පඤ්චවිධ රූපාවචර විපාක - 5 චතුර්විධ අරූපාවචර විපාක - 4
32
මේ දෙතිස් විපාකයෝ ලෞකික විපාක විඤ්ඤාණයෝයි. ලෝකෝත්තර විපාක (ඵල) චිත්තයෝ සංසාරවෘත්ත කථායෙහි නොයෙදෙන හෙයින් මෙහිදී නොගන්නාලද බව දතයුතු.
පුණ්‍යාභිසංස්කාර, අපුණ්‍යාභිසංස්කාර, ආනෙඤ්ජාභිසංස්කාර යන ත්‍රිවිධ සංස්කාරයන් අතුරෙන් කාමාවචර පුණ්‍යාභිසංස්කාර ප්‍රත්‍යයෙන් වන්නාවූ විපාක විඤ්ඤාණයෝ සොළොසෙකි. එනම්:
කුසල විපාක චක්ඛු විඤ්ඤාණාදි
පඤ්චවිඤ්ඤාණයෝය 5
කුසල විපාක සම්පටිච්ඡන නම්වූ මනොධාතුවය 1
කුසල විපාක සොම්නස් සන්තීරණ සහිතවූ
උභය මනොවිඤ්ඤාණ ධාතුවය 2
අෂ්ටවිධ කාමාවචර මහා විපාකයෝය 8
16
රූපාවචර පුණ්‍යාභිසංස්කාර ප්‍රත්‍යයෙන් වන්නාවූ විපාක විඤ්ඤාණයෝ පසෙකි. එනම්: රූපාවචර විපාක සිත් පසය.
මෙසේ පුණ්‍යාභිසංස්කාර ප්‍රත්‍යයෙන් එක්විසි විපාක විඤ්ඤාණයන් ලැබෙත්.
අපුණ්‍යාභිසංස්කාර ප්‍රත්‍යයෙන් වන්නාවූ විපාක විඤ්ඤාණයෝ සත්දෙනෙකි. එනම්:
අකුසල විපාක චක්ඛු විඤ්ඤාණාදි වූ
පඤ්චවිධ විඤ්ඤාණයෝය 5
අකුසල විපාක සම්පටිච්ඡන නම්වූ මනො ධාතුවය 1
අකුසල විපාක සන්තීරණ
මනො විඤ්ඤාණ ධාතුවය 1
7
ආනෙඤ්ජාභිසංස්කාර ප්‍රත්‍යයෙන් වන්නාවූ විපාක විඤ්ඤාණයෝ සතරෙකි. එනම්: චතුර්විධ අරූප විපාක විඤ්ඤාණයෝ යි.
සියලුම විපාක විඤ්ඤාණයෝ
- ප්රවෘත්ති විපාක විඤ්ඤාණයෝ ය.
- ප්රතිසන්ධි විපාක විඤ්ඤාණයෝය යි විධ වේ.
1. ඒ විපාක විඤ්ඤාණයන් අතුරෙන්
ද්විපඤ්ච විඤ්ඤාණයෝය 10
ද්විධ විපාක මනොධාතු (සම්පටිච්ඡන 2) 2
සොම්නස් අහෙතුක මනොවිඤ්ඤාණ ධාතු (සොම්නස් සන්තීරණය) 1 13
යන තෙළෙස් විපාක විඤ්ඤාණයෝ පඤ්චවොකාර භවයෙහි ප්රවෘත්තික්ෂණයෙහිම පවතිත්, හෙවත් ප්රවෘත්ති විපාක වශයෙන් ලැබෙත්.
ඉතිරි එකුන්විසි (19) විපාක විඤ්ඤාණයෝ ත්රිවිධභවයන්හි ඒ ඒ භවයන්හි උපදනා පුද්ගලයන්ට සුදුසු පරිද්දෙන් ප්රවෘත්තික්ෂණයෙහිද පටිසන්ධික්ෂණයෙහිද පවතිත්.
කුසල විපාකවූ චක්ෂුර්විඥානාදීවූ පස්දෙන, කුසල විපාකයකින් හෝ අකුසල විපාකයකින් හෝ පිළිසිඳ ගත්තාවූ පිළිවෙලින් මිහිකිරීමට පැමිණි ඉඳුරන් ඇති, සත්ත්වයාගේ චක්ෂුරාදීන්ට හමුවූ ඉෂ්ටාලම්බනවූ හෝ ඉෂ්ට මධ්යස්ථාලම්බන වූ හෝ රූපාලම්බනාදීවූ ආලම්බනයක් අරමුණු කොට චක්ෂුරාදි ප්‍රසාද රූපයක් ඇසුරුකොට ගෙන දර්ශන කෘත්‍යය, ශ්‍රවණ කෘත්‍යය, ආඝ්රාණ කෘත්‍යය, ආස්වාදන කෘත්‍යය, ස්පර්ශන කෘත්‍යය සිදුකරන්නෝව පවතිත්.
අකුසල විපාකවූ චක්ෂුර්විඥානාදීවූ පස්දෙනද එපරිද්දෙන්ම චක්ෂුරාදීන්ට හමුවූ අනිෂ්ටාලම්බනවූ රූපාලම්බනාදීවූ ආලම්බනයක් අරමුණු කොට පවතිත්.
දසවිධවූ මේ විපඤ්ච විඤ්ඤාණයෝ නියතවූ චාරාලම්බන වස්තුස්ථානයන් හා නියතවූ කෘත්‍යය ඇත්තාහුම වෙත්.
විපඤ්ච විඤ්ඤාණයන් ඉපිද නිරුද්ධ වූ ඉක්බිති ඒ දසවිධ විඤ්ඤාණයන් අතුරෙන් කුසල විපාක වූ චක්ෂුර් විඤ්ඤාණාදීන්ට අනතුරුව කුසල විපාක මනොධාතු හෙවත් කුසල විපාක සම්පටිච්ඡනය ඒ කුසල විපාක වූ පඤ්ච විඤ්ඤාණයන්ගේම ආලම්බනය අරමුණුකොට, හෘදයවස්තු රූපය ඇසුරුකොට සම්පටිච්ඡන කෘත්‍යය හෙවත් අරමුණ පිළිගැනීම් කිස සාදන්නීව පවතී.
අකුසල විපාක වූ පඤ්ච විඤ්ඤාණයන්ගේ අනතුරුව වූ අකුසල විපාක මනො ධාතු හෙවත් අකුසල විපාක සම්පටිච්ඡනයද එපරිද්දෙන්ම පවතී.
මේ සම්පටිච්ඡනය වනාහි අනියත වූ චාරාලම්බන ඇත්තේද, නියත වූ වස්තුස්ථාන ඇත්තේද, නියත වූ කෘත්‍ය ඇත්තේද වේ.
සෝමනස්ස අහේතුක මනො විඤ්ඤාණ ධාතුව හෙවත් සෝමනස්ස සන්තීරණය, කුසල විපාක මනො ධාතුව නම් ලද කුසල විපාක සම්පටිච්ඡන චිත්තයාගේ නිරොධයට ඉක්බිති, ඒ කුසල විපාක මනොධාතුවගේම අරමුණ අරමුණු කොට, හදයවස්තුව ඇසුරුකොට, සන්තීරණ කෘත්‍යය සාදමින් ද, ෂඩාරම්මණයන්හි බලවත් ආලම්බනයෙහි කාමාවචර සත්ත්වයනට බෙහෙවින් ලෝභ සම්ප්‍රයුක්ත ජවනයන්ගේ අන්තයෙහි භවාඞ්ග වීථිය පසිද, ජවනයා විසින් ගත් අරමුණෙහි එල්බ තදාලම්බන කෘත්‍යය වශයෙන් දෙවරක් ද පවතී.
ඉතිරි විපාක විඤ්ඤාණයන් අතුරෙන් කිසි විපාක විඤ්ඤාණයෙක් තමහට සුදුසු වූ ප්රතිසන්ධියෙහි නොහොත් සුදුසු වූ ප්රතිසන්ධි කෘත්‍ය වශයෙන් නොපවත්නේ නොවෙයි. පවත්නේමය.
ප්රවෘත්ති කාලයෙහි වනාහි පළමුකොට කුසලාකුසල විපාක සන්තීරණ නම් ලද විප්‍රකාර වූ අහේතුක මනොවිඤ්ඤාණ ධාතූහු, පඤ්චවාරයෙහි කුසල විපාක අකුසල විපාක සම්පටිච්ඡන චිත්තයන්ට අනතුරුව සන්තීරණ කෘත්‍යය ද, ෂඩ්ද්වාරයන්හි පූර්වයෙහි කීනයින්ම තදාලම්බන කෘත්‍යය ද, තමා විසින් දෙනලද ප්රතිසන්ධි විපාකයෙන් මත්තෙහි භවඞ්ග සන්තතිය සිඳපියන්නාවූ වීථි චිත්තොත් පාදයක්හු අවිද්‍යමාන කල්හි භවඞ්ග කෘත්‍යය ද, අවසානයෙහි චුති කෘත්‍යය ද, යන මේ චතුර්විධ කෘත්‍යයන් සාදමින් නියත වස්තු ඇත්තෝව අනියත වූ ආලම්බන ස්ථාන කෘත්‍ය ඇත්තෝව පවතිත්.
අෂ්ටවිධ කාමාවචර විපාක සිත්හු, ප්රවෘත්ති කාලයෙහි කීනයින්ම ෂඩ්ද්වාරයන්හි තදාලම්බන කෘත්‍යය ද, තමතමා විසින් දෙනලද ප්රතිසන්ධි විපාකයෙන් මත්තෙහි භවඞ්ග සන්තතිය සිඳපියන්නාවූ වීථි චිත්තොත්පාදයක්හු අවිද්‍යමාන කල්හි භවාඞ්ග කෘත්‍යය ද, අවසානයෙහි චුති කෘත්‍යය ද, යන මේ ත්‍රිවිධ කෘත්‍යයන් සාදමින් නියත වස්තු ඇත්තෝව අනියත වූ ආලම්බන ස්ථාන කෘත්‍යය ඇත්තෝව පවතිත්.
පඤ්චවිධ රූපාවචර විපාක සිත්හුද චතුර්විධ අරූප විපාක සිත්හුද තම තමා විසින් දෙනලද ප්‍රතිසන්ධිවිපාක යෙන් මත්තෙහි භවඞ්ග සන්තතිය සිඳපියන්නාවූ වීථි චිත්තොත්පාදයක්හු අවිද්‍යමාන කල්හි භවාඞ්ග කෘත්‍යයද අවසානයෙහි චුති කෘත්‍යයද යන මේ කෘත්‍යය දෙක සාදමින් පවතිත්. ඔවුන් අතුරෙන් රූපාවචර විපාක සිත්හු, නියත වූ වස්තු ආලම්බන ඇත්තාහු, අනියත වූ ස්ථාන කෘත්‍යය ඇත්තාහු වෙත්. අරූපාවචර විපාක සිත්හු, අවස්තුක වූ වාහු. නියත වූ ආලම්බන ඇත්තාහු, අනියත ස්ථාන කෘත්‍යය ඇත්තාහුව පවතිත්.
යථොක්ත නයින් පළමුකොට දෙතිස් (32) වැදෑරුම් වූ ද, විපාක විඤ්ඤාණය තෙම ප්රවෘත්ති කාලයෙහි සංස්කාර ප්‍රත්‍ය ශක්තියෙන් පවතී. ඒ ප්‍රවෘත්තියෙහි, ඒ දෙතිස් (32) වැදෑරුම් වූ විපාක විඤ්ඤාණයට පුණ්යාභිසංස්කාරාදී වූ ඒ ඒ සංස්කාරයෝ තුමූ නා නා ක්ෂණික කර්ම ප්‍රත්‍යය වශයෙන්ද ප්‍රත්‍යය වේ.
ඒ දෙතිස් විපාක විඤ්ඤාණයන් අතුරෙන් යම් එකොළොස් තදාලම්බන චිත්ත කෙනෙක් දක්වන ලදද ඒ එකොළොස් තදාලම්බන චිත්තයන් අතුරෙන් එක් තදාලම්බනයකුදු රූපාරූප භවයෙහි තදාලම්බන කෘත්යවත්ව නොපවතී කාමාවචර ප්රතිසන්ධි සඞ්ඛ්‍යාත බීජයක්හු අවිද්‍යමාන හෙයිනි.
ඒ තදාලම්බන චිත්තයා, නියමයෙන් රූපාරූප භවයෙහි යම්සේ නොපවතීද, එසේම සියලුම කාමාවචර ධර්මයන් කෙරෙන් අන්‍යවූ මහද්ගත ලෝකෝත්තර ධර්මයන් අනුව නොපවතී ජනක නොවන බැවින්ද, රූපාරූප භවයන්හි ප්රතිසන්ධිය දනවන්නාවූ ජනක කර්මයාගේ කාමාවචර ජවන සඞ්ඛ්‍යාත තදාලම්බන විපාක ජනක කර්මය හා නොසම වන බැවින්ද වේ. ගෙයින් නික්ම බැහැර යනු කැමැත්තාවූ ළදරුවෙකු, තමා ඉපදවූ පියහුගේ හෝ අන්‍යවූ පියහු වැනි වූ හිත කැමැත්තාවූ නෑයෙකුගේ හෝ ඇඟිල්ල ගෙන කැටිව යන මෙන් අන්‍යවූ රාජපුරුෂාදී අයකු ලුහුනොබඳනාහු මෙන්, එසේ මේ තදාලම්බන චිත්තයද භවඞ්ග චිත්තයාගේ ආලම්බනය කෙරෙන් බැහැර නික්ම යනු කැමැත්තෝ, තමා හා කාමාවචර භවයෙහි සමානභාග වන බැවින් තමා දනවන්නාවූ පියා වූ හෝ පියා වැනි වූ හෝ කාමාවචර ජවනයම අනුව පවතී. අන්‍යවූ මහද්ගත ජවනයකු හෝ ලෝකෝත්තර ජවනයකු හෝ අනුව නොපවතී.
තදාලම්බනය, මහද්ගත ලෝකෝත්තර ධර්මයන් අනුව නොපවතින මෙන්, කාමාවචර ධර්මයෝද, මහද්ගත ආලම්බන ඇත්තෝව නොපවතිත් තමන් පුරුදු නොකළ මහද්ගත ලෝකෝත්තර දේශය වන බැවින්ද ඒකාන්තයෙන් පරිත්තාලම්බන වූ කාමාවචර ධර්මයන් අරමුණුකොට ඇති බැවින් ද අනුව නොපවතී.
තදාලම්බනය පියකු හෝ පියා වැනි වූ නෑයෙකු හෝ ලුහුබඳනේ නමුදු, ළදරු තෙමේ ගේ මිදුල්, අසලමග සතර මංසන්ධි යනාදි වූ පුරුදු කළ පියෙස්හිම ලුහුබඳනා මෙන්, වනයකට හෝ සංග්රාම භූමියකට හෝ යන්නාවූ පියා හෝ පියා වැනි වූ ඤාතියෙකු හෝ ලුහු නොබඳනාක් මෙන් කාමාවචර ධර්මයන් අනුව පවත්නේ වී නමුදු මහද්ගත ලොකොත්තර ධර්මයන් කෙරෙන් අන්‍ය වූ පුරුදුකළාවූම විෂය ස්ථානයෙහි පවත්නාවූ කාමාවචර ධර්මයන් අනුව පවතී. මහද්ගත ලොකොත්තර ධර්මයන් අරමුණුකොට ඇත්තා වූ කාමාවචර ධර්මයන් අනුව නොපවතී.
මෙසේ මේ එකොළොස් තදාලම්බන සිත්හු
- නම්ගොත් අරමුණුකොට කාමාවචර ජවනයා පැවති කල්හි තදාලම්බනය නොගනිත්.
- ප්රඥප්තිය අරමුණුකොට කාමාවචර ජවනයා ප්රවෘත්තවූ කල්හි තදාලම්බනය නොලැබේ.
- අනිත්‍යාදි තිලක්ෂණයන් අරමුණුකොට ඇති විදර්ශනාවෙහි තදාලම්බනය නොලැබේ.
- වුට්ඨානගාමිණී නම් වූ බලවත් විදර්ශනාවෙහි තදාලම්බනය නොලැබේ.
- රූපාවචර අරූපාවචර ධර්මයන් අරමුණුකොට කාමාවචර ජවනයා ප්රවෘත්තවූ කල්හි තදාලම්බනය නොලැබේ.
- මිච්ඡත්ත නියත ධර්මයන්හි තදාලම්බනය නොලැබේ.
- සම්මත්ත නියත ධර්මයන්හි තදාලම්බනය නොලැබේ.
- ලොකොත්තර ධර්මයන් අරමුණුකොට කාමාවචර ජවනයා ප්රවෘත්තවූ කල්හි තදාලම්බනය නොලැබේ.
- පඤ්චාභිඥ ඤාණය අරමුණුකොට කාමාවචර ජවනයා ප්රවෘත්තවූ කල්හි තදාලම්බනය නොලැබේ.
- පටිසම්භිදා ඤාණය අරමුණුකොට කාමාවචර ජවනයා ප්රවෘත්තවූ කල්හි තදාලම්බනය නොලැබේ.
- කාමාවචරවූ දුබ්බලාරම්මණය හෙවත් මහන්තාරම්මණ, පරිත්තාරම්මණ, අතිපරිත්තාරම්මණයෙහි තදාලම්බනය නොලැබේ.
සඞ්ඛාරයන්හි බලවත්වූ ආලම්බනයක්හු හමුවූ කල්හි තදාලම්බනය ලැබේ. එනම්: අතිමහන්ත විඥානාලම්බනයක් හමුවූ කල්හි තදාලම්බනය ලැබේ. එසේ ලැබෙන්නේ වී නමුදු කාමාවචර භූමියෙහිම ලැබේ රූපා රූප භවයන්හි තදාලම්බනයක් නැත.
2. ප්රතිසන්ධි විපාක විඤ්ඤාණය.
අසංඥසත්ත ප්රතිසන්ධිය හා සමග ප්රතිසන්ධීහු විස්සෙක් (20) වෙති. ප්රතිසන්ධි චිත්තයෝ එකුන් විස්සෙකි (19) යි.
අකුසල විපාක අහේතුක මනො විඤ්ඤාණ ධාතුව හෙවත් උපෙක්ඛාසහගත සන්තීරණ අකුසල විපාක චිත්තය, සතර අපාය දුගතීන්හි ප්රතිසන්ධිතොම වේ.
කුසල විපාක අහේතුක මනො විඤ්ඤාණ ධාතුව හෙවත් උපෙක්ඛා සහගත සන්තීරණ කුසල විපාක චිත්තය මිනිස් ලෙව්හි ජාතිඅන්ධය, ජාති බධිරය, ජාති උම්මත්තකය, එළමූග, (බිහිරි ගොළු දෙක්හි අසමත් බව) නපුංසකය යනාදී සත්ත්වයන්ගේ ප්රතිසන්ධිය වේ.
අෂ්ටවිධවූ සහේතුක මහා විපාක සිත්වලින් ෂට් කාමාවචර දෙව්ලෙව්හිද, මනුෂ්‍ය ලෝකයෙහිද පිනැත්තවුන්ගේ ප්රතිසන්ධිය වේ.
පඤ්චවිධවූ රූපාවචර විපාක සිත්වලින් රූපාවචර බ්‍රහ්ම ලෝකයෙහි ප්රතිසන්ධිය වේ.
චතුර්විධ අරූපාවචර විපාක සිත්වලින් අරූපාවචර බ්‍රහ්මලෝකයෙහි ප්රතිසන්ධිය වේ.
මෙසේ යම් ප්රතිසන්ධි චිත්තයකින් යම් භූමියෙක්හි ප්රතිසන්ධිය වේද, ඒ ප්රතිසන්ධි තොමෝම ඒ භූමියට යෝග්‍යවූ ප්රතිසන්ධි නම් වේ.
සැකෙවින් ප්රතිසන්ධියගේ කම්ම, කම්ම නිමිති, ගති නිමිති යයි ත්‍රිවිධ වූ ආලම්බනයෙක් ඇත.
කර්මය නම්, සකස් කළාවූ කුසලාකුසල චෙතනාවෝයි.
කම්ම නිමිත්ත. යම් වස්තුවක් අරමුණුකොට සකස් කෙරේද, ඒ වස්තුව කම්ම නිමිත්ත නම්.
ඒ කම්ම කම්ම නිමිත්ත යන් අතුරෙහි අතීතවූ කල්ප කොටි ශත සහශ්රයෙකින් මත්තේහිදු කර්මයක්හු සකස් කළ කල්හි, ඒ පිළිසිඳ ගන්නා කෙණෙහි කර්මය හෝ කර්ම නිමිත්ත හෝ පැමිණ එළඹ සිටී. ඉදිරියෙන් යන්නාවූ පුරුෂයෙකුගේ හිස, පිටුපසින් අවුත් තියුණු වූ කඩුපතෙකින් සිඳිද්ද, වැද හොව නිදන්නාවූ පුරුෂයාගේ හිස තියුණු වූ කඩුපතෙකින් සිඳිද්ද, ජලයෙහි ගිල්වා මරද්ද, මෙබඳු වූ කාලයන්හිද එක්තරා කර්මයක් හෝ කර්ම නිමිත්තක් හෝ එළඹ සිටී. බිම කණින යවුල් දඬු මත්තෙහි වසා සිටි මැස්සකු මුගුරෙන් පහරා සුණු කෙරෙද්ද, මෙබඳුවූ කල්හිත් කර්මය හෝ කර්ම නිමිත්ත හෝ එළඹ සිටී. මේ පරිද්දෙන් සුණු කරනු ලබන්නාවූ මැස්සාගේ වනාහි පළමුකොට කායද්වාරයෙහි ප්රවෘත්තවූ චිත්ත වීථියෙන් මරණය සිදුනොවේ. දෙවන චිත්ත වීථියත් ඉක්ම තුන්වන වර උපදනා චිත්ත වීථියෙන් මරණය සිදුවේ.
ගතිනිමිත්ත - මතු උපදින්නාවූ භවයෙහි එක් වර්ණ සංස්ථානයක් වැටහේද, එය ගති නිමිත්ත නම්. එයින් නිරය භූමිය වැටහෙන කල්හි ලොහොකුඹු නිරය හා සමාන වූයේව වැටහේ. මිනිස් ලොව වැටහෙන කල්හි මව් කුස, කම්බල වස්ත්‍රයෙන් සැරසූ යානයක් හා සමානව වැටහේ. දෙව්ලොව වැටහෙන කල්හි දිව්‍ය කප්රුක්, විමන්, යහන් ආ අරමුණු වැටහෙත්.
තවද, ප්රතිසන්ධියගේ ආලම්බනයෝ තිදෙනෙක් වෙති එනම්:
- අතීතාලම්බනය
- පච්චුප්පන්නාලම්බනය
- නවත්තබ්බාලම්බනය (ප්රඥප්ති අරමුණ)
අසංඥසත්ත්වතල වාසීන්ගේ ප්රතිසන්ධි තොම අනාරම්මණය හෙවත් අරමුණු රහිතය.
ත්‍රිවිධ ප්රතිසන්ධීන් අතුරෙන්
විඤ්ඤාණඤ්චායතන
නේවසඤ්ඤානාසඤ්ඤායතන
යන ප්රතිසන්ධීන්ගේ අරමුණ අතීතාලම්බනම වේ.
දසවිධ කාමාවචර ප්රතිසන්ධීන්ගේ අරමුණ අතීතා ලම්බන හෝ පච්චුපන්නාලම්බනයෝ යි.
සෙසු ප්රතිසන්ධීන්ගේ අරමුණ නවත්තබ්බාලම්බන හෙවත් ප්රඥප්ත්යාලම්බන යයි.
1. අතීත වූ ආලම්බන ඇති චුති චිත්තයාගේ අනතුරුව වූ අතීතාලම්බන ඇති ප්රතිසන්ධිය. කාමාවචර සුගතියෙහි සිටියාවූ. පාපකර්ම ඇත්තාවූ, ඒ පුද්ගලයා හට ඒ පාපකර්මයෝ මරණාසන්න කාලයෙහි නැඹුරු වෙත්. මරණ මඤ්චකයෙහි වැදහොත්තාවූ පුද්ගලයා හට යම් පරිද්දෙකින් සකස්කළාවූ පාපකර්‍මයෙක් හෝ කර්මනිමිත්තයෙක් හෝ මනෝද්වාරයෙහි හමුබවට පැමිණේද, ඒ කර්ම කර්මනිමිත්තය අරභයා උපන්නාවූ, තදාලම්බනයන් අවසන් කොට ඇති වීථි චිත්තයාගේ හෝ ශුද්ධවූ හෙවත් තදාලම්බනයන් හා අසම්මිශ්රවූ ජවන වීථියගේ හෝ ඉක්බිති භවඞ්ග චිත්තයාගේ ආලම්බනය අරමුණුකොට චුති චිත්තය උපදී. ඒ චුතිචිත්තය නිරුද්ධවූ කල්හි හමුවූ හෙවත් අරමුණු බවට පැමිණියාවූ ඒ කර්මය හෝ කර්ම නිමිත්ත හෝ අරමුණුකොට, මාර්ගයෙන් ප්‍රහීණ නොකළාවූ ක්ලේශයන්ගේ බලයෙන් භවාන්තරයෙහි නැඹුරු කරන ලද්දාවූ දුගති භවයෙහි අන්තර්ගතවූ ප්රතිසන්ධි චිත්තය උපදී. මෙය අතීතාලම්බන ඇති චුති චිත්තයාගේ අනතුරුව වූ අතීතාලම්බන ඇති ප්රතිසන්ධිය වේ.
2. අතීතාලම්බන ඇති චුතියගේ අනතුරුව වූ ප්‍රත්‍යුත්පන්නාලම්බන ඇති ප්රතිසන්ධිය. අන් පුද්ගලයෙකු හට මරණාසන්න කාලයෙහි කියනලද ප්‍රකාර ඇති කර්මයාගේ වශයෙන් නිරයාදීන්හි නිරය ගිනිජාලාදීවූ දුර්ගති නිමිත්තෙක් මනොද්වාරයෙහි හමුවීමට පැමිණේද, ඒ පුද්ගලයාහට දෙවරක් භවාඞ්ග චිත්තය ඉපිද නිරුද්ධවූ කල්හි ඒ අරමුණම අරමුණු කොට එකළාවූ මනොද්වාරාවර්ජනයද, මරණයාගේ ලංවීමෙන් මදව පැවති වේගය ඇති බැවින් ජවන් සිත් පසක්ද, තදාලම්බන සිත් දෙකක්දැයි මෙසේ ත්‍රිවිධවූ වීථි සිත් උපදිත්. ඒ වීථි චිත්තයන්ට ඉක්බිති භවඞ්ග චිත්ත යාගේ අරමුණ අරමුණුකොට එකළාවූ චුති චිත්තය උපදී මෙසේ පැවති එකොළොස් චිත්තක්ෂණයන්ට අනතුරුව ඉතිරිවූ චිත්තක්ෂණ පසකට ආයු ඇති හෙයින් මරණාසන්න ජවන් සිත් විසින් ගන්නාලද ඒ අරමුණෙහිම ප්රතිසන්ධි චිත්තයද එයට අනතුරුව භවඞ්ග සිත්ද පහළවේ. මේ ප්රතිසන්ධි තොමෝ අතීතාලම්බන ඇති චුතියගේ අනතුරුව වූ ප්‍රත්‍යුත්පන්නාලම්බන ඇති ප්රතිසන්ධිය වේ.
3. අනික් පුද්ගලයෙකු හට මරණාසන්න කාලයෙහි පඤ්චවිධවූ ද්වාරයන් අතුරෙන් එක්තරා ද්වාරයකින් රාගාදීන්ගේ කාරණාවූ ළාමකවූ අරමුණක් හමුවූ කල්හි, ඒ පුද්ගලයාගේ පිළිවෙල නොයික්ම උපන් වොට්ඨපන චිත්තයාගේ අන්තයෙහි මරණයාගේ ලංවීමෙන් මදව පැවති වේගය ඇති බැවින් ජවන් සිත් පසක්ද, තදාලම්බන දෙකක්ද උපදිත්. ඒ වීථි චිත්තයන්ට ඉක්බිතිව භවාඞ්ගයාගේ ආලම්බනය අරමුණුකොට එකළාවූ චුති චිත්තය උපදී. මෙසේ භවාඞ්ග සිත් 2 ක්ද, පඤ්චද්වාරාවර්ජනයද, චක්ෂුර්විඥානාදියෙන් එක් විඥානයක්ද, සම්පටිච්ඡනයද, සන්තීරණයද, වොට්ඨපනයද, ජවන් 5 ද, තදාරම්මණ 2 කද, චූති චිත්තයද යන පසළොසක් සිත්හු ඉක්මගොස් අනතුරුව ඉතිරිවූ එක් චිත්තක්ෂණයට ආයු ඇති, මරණාසන්න ජවන් විසින් ගන්නාලද අරමුණම ගෙන ප්රතිසන්ධි චිත්තය උපදී. මේ ප්රතිසන්ධි තොමෝද අතීතා- ලම්බන ඇති චුතියගේ අනතුරුව වූ ප්රත්යුත්පන්නාලම්- බන ඇති ප්රතිසන්ධිය වේ.
මේ කියන ලද්දේ අතීතාලම්බන ඇති සුගති චුතියගේ අනතුරුව වූ අතීත ප්‍රත්‍යුත්පන්නාලම්බන ඇති දුගති ප්රතිසන්ධියගේ පවත්නා පරිදිය.
- 4 දුගතියෙහි සිටියාවූ මරණාසන්න කාලයෙහි, සකස් කළාවූ නිරවද්‍ය කර්ම ඇති සත්ත්වයාහට ඒ නිරවද්‍ය කර්මය හෝ කර්මනිමිත්ත හෝ මනොද්වාරයෙහි අරමුණු බවට පැමිණේ. ඒ කර්ම කර්මනිමිති අරභයා උපන්නාවූ චිත්ත වීථියේ චුති චිත්තය නිරුද්ධවූ කල්හි සුගති භවයෙහි අන්තර්ගතවූ ප්රතිසන්ධි චිත්තය උපදී.
මෙසේ අතීතාලම්බන ඇති, දුගති චුතියෙන් අනතුරුව වූ අතීත ප්‍රත්‍යුත්පන්නාලම්බන ඇති සුගති ප්රතිසන්ධියගේ පවත්නා පරිදි දතයුතු.
අතීත භවයෙහි හෝ ඒ පුරුෂ පුද්ගලයා විසින් දුක් විඳීමට කරුණුවූ යම් පාපකර්මයක් කරන ලදද, ඒ පාපකර්මයද, ප්‍රත්‍යුත්පන්න භවයෙහි හෝ ඒ පුරුෂ පුද්ගලයා විසින් යම් පාපකර්මයක් කරනලද නම් ඒ පාප කර්මයද, මරණාසන්න ජවන කාලයෙහි හෝ ඒ පුරුෂ පුද්ගලයා විසින් යම් මිථ්‍යා දෘෂ්ටියක් සම්පූර්ණ කරනලදු නම්, සමාදන්වන ලදු නම්, ඒ මිථ්‍යා දෘෂ්ටියද යන ත්‍රිවිධ පාප කර්මයෙන් ඒ පුද්ගල තෙම කායයාගේ භේදයෙන් මරණින් මත්තෙහි අපාය දුගති විනිපාතවූ නිරයෙහි උපදනේය.
- සුගතියෙහි සිටියාවූ සකස් කළ කුසල ධර්ම ඇත්තාවූ, මරණ මඤ්චකයෙහි වැදහොත් පුද්ගලයාහට යම් යම් පරිද්දෙන් සකස්කළාවූ කුසල කර්මයෙක් හෝ කර්ම නිමිත්තයෙක් හෝ මනෝචාරයෙහි හමුවීමට පැමිණේ. ඒ අනවද්‍ය කර්ම කර්මනිමිත්තයන්ගේ හමුවීමද, සකස්කළ කුසලකර්ම ඇත්තාහටමය.
සකස්කළ මහද්ගත කුසලකර්ම ඇති පුද්ගලයාහට වනාහි කර්මනිමිත්තයම හමුවීමට පැමිණේ.
ඒ කර්ම කර්මනිමිත්ත අරභයා උපන්නාවූ තදාලම්බනයන් අවසන් කොට ඇත්තාවූ හෝ තදාලම්බනයෙන් අසම්මිශ්රවූ හෝ ජවන් වීථියගේ අනතුරුව වූ, භවාඞ්ග චිත්තයාගේ ආලම්බනය අරමුණුකොට චුති චිත්තය උපදනේය. ඒ චුති චිත්තය නිරුද්ධවූ කල්හි, හමුවූ ඒ කර්මය හෝ කර්ම නිමිත්තය හෝ අරමුණු කොට, මාර්ගයෙන් නුසුන්කළ කෙලෙස් බලයෙන් නැඹුරු කළාවූ, සුගති භවයෙහි අන්තර්ගතවූ ප්රතිසන්ධි චිත්තය උපදනේය. මේ ප්රතිසන්ධි තොමෝ අතීතාලම්බන ඇත්තාවූ චුතියගේ අනතුරුවවූ අතීතාලම්බන ඇත්තාවූ හෝ නවත්තබ්බාලම්බන ඇත්තාවූ හෝ ප්රතිසන්ධි තොමෝයි.
- අනික් පුද්ගලයෙකුහට මරණාසන්න කාලයෙහි කාමාවචර කුසල කර්මයාගේ වශයෙන් මනුෂ්‍ය ලෝකයෙහි මාතෘකුක්ෂිවර්ණ සඞ්ඛ්යාතවූ හෝ සුගති නිමිත්තයෙක් මනෝචාරයෙහි හමුවීමට පැමිණේ. ඒ පුද්ගලයාහට දුර්ගති නිමිත්තයෙහි දැක්වූ පිළිවෙළින්ම චූති චිත්තයට අනතුරුව ප්රතිසන්ධි චිත්තය උපදී. මේ ප්රතිසන්ධි තොමෝ අතීතා ලම්බන ඇති චුතියගේ අනතුරුවවූ ප්රත්යුත්පන්නා ලම්බන ඇති පටිසන්ධි නමි.
- අනික් පුද්ගලයෙකුහට මරණාසන්න කාලයෙහි නෑයෝ ඉදිරිපත්ව, දරුව තාගේ ප්‍රයෝජනය පිණිස මේ බුද්ධ පූජාව කරණු ලැබේ, සිත පහදව, මෙසේ පුෂ්පදාම, ධජ, පතාකාදීන්ගේ වශයෙන් රූපාලම්බනයෙකු හෝ ධර්ම ශ්‍රවණ, තූර්ය්ය පූජාදි වශයෙන් ශබ්දාලම්බනයෙකු හෝ, ධූම සුගන්ධාදීන්ගේ වශයෙන් ගන්ධාලම්බනයෙකු හෝ, පුත මේ රසය ආස්වාදනය කරව තාගේ ප්‍රයෝජනය පිණිස දියයුතු වූ දානවස්තුවෙක. මෙසේ කියා මීපැණි යනාදීන්ගේ වශයෙන් රසාලම්බනයෙකු හෝ, මේ ස්පර්ශය ස්පර්ශ කරව. තාගේ ප්‍රයෝජනය පිණිස දියයුතු වූ දානවස්තුවෙක. මෙසේ බැණ අගනා පටපිළි ආදින්ගේ වශයෙන් ස්පර්ශාලම්බනයෙකු හෝ චක්ෂුරාදි පඤ්චද්වාරයෙහි එළවත්. ඒ පුද්ගලයාහට හමුවූ ඒ රූපාදි ආලම්බනයෙහි, පිළිවෙල නොයික්ම උපන් වොට්ඨපනයාගේ අවසානයෙහි මරණයාගේ ලංවීමෙන් මදවූ වේගය ඇති බැවින් ජවන් පස් දෙනෙක්ද, තදාලම්බන සිත් 2 ක්ද උපදිත්. ඉක්බිති භවඞ්ගයාගේ ආලම්බනය අරමුණු කොට එකළාවූ චුති චිත්තයද, ඒ චුති චිත්තයාගේ අන්තයෙහි ඒ ආලම්බනයෙහි ප්රතිසන්ධිය උපදී. මේ ප්රතිසන්ධිය ද අතීතාලම්බන ඇති චුතියගේ අනතුරුව වූ ප්රත්යුත් පන්නාලම්බන ඇති ප්රතිසන්ධි නම්.
8. අනික් පුද්ගලයෙකු හට වනාහි පඨවිකසිණ ධ්‍යානාදීන්ගේ වශයෙන් ලබන ලද මහද්ගත ධ්‍යාන ඇත්තා වූ සුගතියෙහි සිටි හෙයින් මරණාසන්න කාලයෙහි කාමාවචර කුසලකර්ම, කර්මනිමිති, ගති නිමිත්තයන් අතුරෙන් එක්තරා නිමිත්තයෙක් හෝ පඨවි කසිණාදි වූ කර්ම නිමිත්තයෙක් හෝ මහග්ගත චිත්තයෙක් හෝ මනොද්වාරයෙහි හමුවීමට පැමිණේ. චක්ෂුද්වාර සොතද්වාරයන් අතුරෙන් හෝ එක්තරා ද්වාරයෙක්හි කුසලොත්පත්තියට හේතු වූ උතුම් වූ අරමුණෙක් හමුවීමට පැමිණේ. ඒ පුද්ගලයාහට පිළිවෙල නොයික්මවා උපන් වොට්ඨපන චිත්තයාගේ අවසානයෙහි මරණයාගේ ලංවීමෙන් මද වූ වේගය ඇති බැවින් ජවන් සිත් පසක් උපදිත්. මහද්ගත භූමියෙහි සිටිනා සත්තට වනාහි හෙවත් බ්‍රහ්මලොකයෙන් චුතවන පුද්ගලයා හට තදාලම්බනයෙක් නැත. එහෙයින්
ජවනයන්ට අනතුරුවම භවාඞ්ගයාගේ ආලම්බනය අරමුණු කොට එකළා වූ චුති චිත්තය උපදී. ඒ චුති චිත්තයාගේ අන්තයෙහි කාමාවචර මහද්ගත සුගතීන් අතුරෙන් එක්තරා සුගතියක ඇතුළත් වූ ස්වකීය කර්මානුරූපව එළඹ සිටියා වූ ආලම්බනයන් අතුරෙන් එක්තරා අරමුණක් ඇති ප්රතිසන්ධි චිත්තය උපදී. මේ ප්රතිසන්ධිය නවත්තබ්බාලම්බන ඇති සුගති චුතියගේ අනතුරුව වූ අතීත, ප්‍රත්‍යුත්පන්න, නවත්තබ්බාලම්බනයන් අතුරෙන් එක්තරා ආලම්බනයක් ඇති ප්රතිසන්ධි නම්.
9. මෙකී නයානුසාරයෙන් අරූප චුතියගේ ද අනතුරුව වූ ප්රතිසන්ධිය ද දත යුත්තීය. මෙකී නය, අතීත නවත්තබ්බාලම්බන ඇති සුගති චුතියගේ අනතුරුව වූ අතීත, නවත්තබ්බ, ප්‍රත්‍යුත්පන්නාලම්බන ඇති ප්රතිසන්ධියගේ පවත්නා පරිදිය.
10. දුගතියෙහි සිටියා වූ පාපකර්ම ඇත්තා වූ පුද්ගලයා හට වනාහි යටකී නයින්ම ඒ පාපකර්මය හෝ කර්ම නිමිත්ත හෝ ගතිනිමිත්ත හෝ මනොචාරයෙහි හමුවීමට පැමිණේ. පඤ්චද්වාරයෙහි වනාහි අකුසලොත්පත්තියට, හේතු වූ අරමුණක් හමුවීමට පැමිණේ. ඉක්බිති ඒ පුද්ගලයාගේ යටකී පිළිවෙල නොයික්ම චුති චිත්තයාගේ අන්තයෙහි දුර්ගතිභවයෙහි ඇතුළත් වූ ඒ ආලම්බනයන් අතුරෙන් එක්තරා ආලම්බනයක් ඇති ප්රතිසන්ධි චිත්තය උපදී. මේ ප්රතිසන්ධිය අතීතාලම්බන ඇති දුර්ගති චුතියගේ අනතුරුව වූ අතීතපච්චුප්පන්නාලම්බන ඇති පටිසන්ධිය වේ.
මෙකී නයින් එකුන්විසි (19) වැදෑරුම් වූ විපාක විඤ්ඤාණයාගේ ප්රතිසන්ධි වශයෙන් ප්‍රවෘත්තිය දනවන ලද්දේ වේ.
- මෙහි අතීතාලම්බනවත් සුගති චුතිහු එකොළොස් දෙනෙකි. එනම්: Ensure
නවවිධ කාමාවචර සුගති චුතිහුය.
විධවූ විඤ්ඤාණඤ්චායතන, නෙවසඤ්ඤානාසඤ්ඤායතන චුතිහුය.
- නවත්තබ්බාලම්බනවත් සුගති චුතිහු සත් දෙනෙකි. එතම්:
ආකාසානඤ්චායතන, ආකිඤ්චඤ්ඤායතන චුතිහු දෙදෙනය, පඤ්චවිධ රූපාවචර චුතිහුය.
තවද, අරූපාවචර චුතියට අනතුරුව රූපාවචර ප්‍රතිසන්ධියක් නැත.
අරූප තලයෙහිදු යට යට අරූපතල ප්‍රතිසන්ධියක් නැත.
සතර අරූප චුතියෙන් නවත්තබ්බාලම්බනවත් ප්‍රතිසන්ධියක් නැත.
සතර ආරූප්‍ය චුතියෙන් පරව ඒ සතර ආරූප්‍ය යෙහිම අතීතාලම්බනවත් වූ ප්‍රතිසන්ධියත්, සතර ආරූප්‍ය චුතියෙන් පරව කාමාවචර භූමියෙහි අතීත, ප්රත්යුත්පන්නාලම්බනවත් වූ ප්‍රතිසන්ධියත් ලැබේ.
ඒ ප්රතිසන්ධි විඤ්ඤාණයට, ජනක කර්මය තෙම නානා ක්ෂණික කර්ම ප්‍රත්‍ය ශක්ති වශයෙන්ද, උපනිශ්‍රය ප්‍රත්‍ය ශක්ති වශයෙන්ද ප්‍රත්‍යය වීම වේ.